Thursday, April 24, 2014

ජවිපෙ උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පන්නයේ වැදගත් පක්ෂයක් වෙන්න - දීප්ති

මැයි පලමු වැනිදා එළැඹෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වය සහිතව අද දින (අපේ‍්‍රල් 24) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කර තිබුණේ ‘ මැයි දිනයට කටුස්සොත් රතු පාටයි ’ යන තේමාව යටතේය. මේ සදහා කථිකයන් ලෙස නව සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ලීනස් ජයතිලක, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී (මාක්ස් ලෙනින්වාදී) පක්ෂය නියෝජනය කරමින් වී. මහේන්ද්‍රන්, ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් දීප්ති කුමාර ගුණරත්න සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත යන සහෝදරවරු සහභාගී වූහ. සම්මන්ත‍්‍රණය අවසානයේ ඊට සහභාගී වී සිටි පිරිස් සම්බන්ධ වූ සංවාදයක් ද පවත්වන ලදී. සම්මන්ත‍්‍රණයේ දී කථිකයන් පහත අදහස් දැක්වූහ.

වී මහේන්ද්‍රන් (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ( මාක්ස් ලෙනින්වාදී ) පක්ෂය) 

අද වෙන කොට කම්කරු අයිතීන් සදහා වූ දිනය ධනපති පංතිය ජනතාව රැුවටීම සදහා භාවිතා කරමින් තිබෙන ආකාරය අපි දකිනවා. ලංකාවේ උතුරු පළාතේ මේ වනවිට හමුදා පාලනයක් බිහිවී තිබෙනවා. දෙමළ හා මුස්ලිම් ජනතාවට එරෙහි විවිධ හිරිහැර සිදුවෙමින් තිබෙනවා. මහ බැංකු වාර්තා වල ඉහළ ආර්ථික වර්ධනයක් ගැන කථා කලත් එ ්කථා කරන ආර්ථික වර්ධනය ඇත්තටම දකින්නට නැහැ. බඩු මිල ඉහල ගිහින් ජනතාව පීඩාවට පත් වෙනවා. මාධ්‍ය වලින් සංවර්ධනයක් ගැන කථා කරනවා. ගොඩනැගිලි, වරායවල්, මහාමාර්ග හැදෙනවා. ප‍්‍රශ්නය මේවා කා වෙනුවෙන්ද කියන එකයි. මේව රටේ ජනතාව වෙනුවෙන් ඉදිවෙන ඒවා නෙමෙයි. මෙච්චර කල් හමුදා පාලනය හමුදා බලය පාවිච්චි කළේ උතුරේ දෙමළ ජනතාව මර්දනය කරන්න විතරක් කියලා මිනිස්සු හිතුවා නම් දැන් ඒ මර්දනය දකුණටත් ඇවිත් තිබෙන හැටි රතුපස්වලදී, කටුනායකදී අපි දැක්කා. පාලකයින් බොරු අධිරාජ්‍ය විරෝධයක් මවලා ජනතාව පීඩාවට පත්කරනවා. මර්දනය කරනවා. මේ තත්වය යටතේ සිංහල දෙමළ මුස්ලිම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ධනපති පාලනය ඉවත් කරල වැඩකරන ජනතාවගේ පාලනයක් සදහා සටන් කල යුතුව තිබෙනවා. 

ලීනස් ජයතිලක (නව සමසමාජ පක්ෂය) 

වැඩකරන ජනතාව මේ රටේ ඉතිහාසයේ කරපු දියුණුම සටන 1953 හර්තාලය. ඒ සටනේදී වැඩපොල මට්ටමින් එහාට ගියපු සටනක් ජනතාව කළා. ඒ වගේම ලංකා ඉතිහාසයේ අපට අමතක කල නොහැකි තවත් නැගිටීම් දෙකක් කම්කරු පංතිය හරහා නොව තරුණයන් තුළින් පැන නැගුණා. එය බරපතල සන්නද්ධ අරගලයක් දක්වාම ගමන් කළා. ධනේශ්වරයට එරෙහිව තරුණයින් හා ශිෂ්‍යයින් එහිදි සටන් කළා. ඒත් මේ තරුණ ව්‍යාපාර උතුරේදිත් දකුණේදීත් ජාතිකත්වය මූලික කරගෙන ඉදිරියට ගියා. අවසානයේ දකුණේදි පාර්ලිමේන්තුවාදයට ගිහින් ආසන මට්ටමින් ඡුන්ද කීයක් හරි වැඩි කරගන්න ජාතිවාදය පාවිච්චි කරන තත්වයට පත්වුණා. මේ සටන් වල ඉතිහාසයෙන් රටේ වැඩ කරන ජනතාව පාඩම් උගත යුතුයි. මේ පාඩම් මතයි ජන අරගලයක් ඇති කළ යුතුව තිබෙන්නේ.

වමේ පක්ෂ කොමියුනිස්ට් පක්ෂ හැදුවේ 1917 රුසියන් විප්ලවයේ අත්දැකීම් මත. අපි කවුරුත් කැමතියි බොල්ෂෙවික් වෙන්න. ඒත් බොල්ෂෙවික් විප්ලවය රුසියාවේදී පිලි පැනලා අන්තිමේදී අත්තනෝමතිකත්වයට ගමන් කළා. ඒ සෝවියට් සභා පරිහාණියට පත්වුනාට පස්සේ. කම්කරු පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හදනවා වෙනුවට පක්ෂය නිලධාරී තන්ත‍්‍රයක් ලෙස තහවුරු වුණා. මේවා පාඩම්. මේ පාඩම් ඉගෙන ගන්නේ නැතිව අපට ඉදිරියට යන්න බැහැ.

අද වෙනකොට ධනපති ක‍්‍රමය ඇතුලෙ මිනිස් ශ‍්‍රමය සූරාගෙන කනවා විතරක් නෙමෙයි ස්වභාවික සම්පත් විනාශ වෙනවා. පරිසරය විනාශ වෙනවා. ගෝලීයකරණයට විරුද්ධව වැඩ කරන්න නම් ශක්තිමත් සැලැස්මක් ඕනේ. විශේෂයෙන් දකුණු ආසියාව වගේ කලාප වල ගොවීන් මුහුන දෙන ප‍්‍රශ්න එක්ක ඇති කරගන්න එකගතාවයක් වැඩකරන ජනතාවට අවශ්‍ය කරනවා.

දීප්ති කුමාර ගුණරත්න (ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය)

ලංකාවේ ධනවාදය හා ධනපතියො කවුද කියල ප‍්‍රශ්නයක් තියෙනවා. සාම්ප‍්‍රදායික වමේ භාෂාව අනුව මට මේ වෙලාවෙ උදවු කරන්නේ ධනපතියො කියන්න පුලුවන්. ධනපතියො පුද්ගලවාදී කියල අදහසක් තිබෙනවා. මගේ අත්දැකීම ඊට වෙනස්. 2006 2007 කාලයේ මට මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් එක්ක වැඩ කරන්න ලැබුණා. එයා සාමාන්‍ය විදිහට කාල බීල ඇදල ඉන්නවා. බීඑම්ඩබ්ලිවු කාර් එකක් එලියෙ නතර කරලා තියෙනවා. ඒත් එයාගෙ රියැදුරු ඒ කාර් එක ඇතුලට වෙලා ඒසී දාගෙන ආතල් එකේ ඉන්නවා. පැරණි වමේ භාෂාවෙන් කම්කරුවා තමයි ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නෙ. ලංකාවේ ඇත්තටම තියෙන ධනවාදය මොකක්ද කියල හදුනාගන්න ඕනෙ. මේ ක‍්‍රමය ඇත්තටම පවත්වාගෙන යන්නේ පීඩිතයා.

වම දකුණ ලංකාවේ කාටවත් තේරෙන් නැහැ. ඒ කාලයේ වාමාංශිකයො දක්ෂිණාංශිකයො වෙන් කරන්න පුලුවන්. අද ලාල් කාන්තයි උදය ගම්මන්පිලයි ටීවී එකේ දෙපැත්තේ ඉන්නවා. ටීවී බලන මැදි පංතිකයාට හිතෙන්නේ මේ අය ජාති ආලෙන් මත්වූ දේශපේ‍්‍රමීන් කියලා. ඉස්සර රේඩියෝ එකෙන් කථා කරන විදිහට වාමාංශිකයො දක්ෂිණාංශිකයා වෙන් කරලා හදුනගන්න පුලුවන්. ලංකාවේ ජවිපෙට මොකද උනේ? පහුගිය කාලේ ¥ෂණ වංචා වලට විරුද්ධව වසන්ත සමරසිංහ සහෝදරයා මූලික කරගෙන ව්‍යාපාරයක් හැදුවා. වාමාංශික සංවිධානයක් පීඩිතයාගේ අරගල වලින් ඈත්වෙලා දුෂණ වංචා හොයන්න යනව නම් ඒක ලිබරල්වාදයක්. ජවිපෙ උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පන්නයේ වැදගත් පක්ෂයක් වෙන්න. මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ පාදඩයින්ගේ පක්ෂයක්. පීඩිතයින් සංවිධානය කරන එකෙන් ජවිපෙ ඈත් වෙලා. ඒකට ශ‍්‍රී ලංකා ජනතා විමුක්ති පෙරමුණ වගේ නමක් දාගනියි. 

දැන් ඥානසාර කියල කෙනෙක් ඉන්නවා. සදරුවන් සේනාධීර වගේ අය මේක දකින්නේ ගෝඨාභය රාජපක්ෂගෙ නැතිනම් මහින්ද රාජපක්ෂගෙ ප‍්‍රශ්නයක් විදිහට. ධනවාදයට ඒජනත්යො ඕනෙ නැහැ. ඒක ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වෙනවා. ඕනෙ නම් කෙනෙක් ගිිහින් බැංකු ණයක් ගන්නව. ඒකෙන් බිස්නස් කරනවා. ඒ වගේ තමයි පන්සල් කියන්නෙ කහ රෙදි පොරවගත්ත බිස්නස්කාරයෝ ඉන්න තැන්. කවුරුත් ඒ ගැන කථා කරන්නෙ නැහැ. අනිත් අයත් ඥානසාරලා තමයි. ඥානසාර කියන්නේ සිස්ටම් එකේම ප‍්‍රතිඵලයක්. මේ තමයි ධනවාදය. මම කියන්නෙ අද වෙනකොට ට්‍රොට්ස්කිවාදය ඉවරයි. මගේ අදහස ගෝලීය ධනවාදය විග‍්‍රහ කිරීම සදහා ලෝක දැක්මක් විදිහට ට්‍රොට්ස්කිවාදයට තවදුරටත් බැහැ. ට්‍රොට්ස්කිවාදය හැම වෙලේම අවධාරණය කරන්නේ වාස්තවික යථාර්ථය. ඒත් ගෝලීයකරණය එක්ක ප‍්‍රශ්නය තිබෙන්නේ ආත්මමූලිකත්වය තුළ. 

චමීර කොස්වත්ත ( පෙරටුගාමී සමාජවාදී පක්ෂය) 

අද වෙනකොට මැයි දිනයට අදාල ප‍්‍රධාන රැුස්වීම තියන්නේ නියෝජ්‍ය පොලිස්පති සහ නාගරික කොමසාරිස්. මේ අය තමයි මැයි රැුලි තියන්න පිට්ටනි වෙන් කරලා දෙන්නේ. පෙලපාලි එක එක ඝට්ටනය නොවෙන විදිහට මේ අය පිට්ටනි වෙන් කරනවා. ඒ වෙන් කරලා දෙන විදිහට මැයි දින කරනවා. මැයි දිනයට අදාළව හේමාකට් චතුරස‍්‍රයේ කථාවක් තිබෙනවා. එදා සූරාකෑමට විරුද්ධව සටන් කළා. පැය 8 ක වැඩදිනයක් දිනාගන්න සටන් කළා. ඒත් අද ශ‍්‍රමිකයා පැය දහය දොලය වැඩ ඉල්ලනවා. රැුකියා එකක් නෙමෙයි දෙකක් තුනක් කරනවා. රැුකියා අතරතුර හුවමාරු කරගන්න දෙයක් තියේ නම් ඒකත් කරනවා. ඕටී ඉල්ලගෙන කරනවා. එදයි අදයි මේ වෙනස මොකක්ද? පංතියක් අද හදුනගන්න පුලුවන්ද? මෙතැනදී තමයි විසංවාදය එන්නේ. පංති තියෙනවද? එදා හිටපු නිර්ධනයගෙයි අද ඉන්න නිර්ධනයගෙයි වෙනසක් තියෙනවද? ඒ වෙනස මොකක්ද? අද සූරාකන්න ධනපතියයි කම්කරුවයි අතරට අතරමැදියෝ එනවා. මෑන් පවර් සමාගම් තිබෙනවා. ලංකාවේ වෘත්තීය සමිති වල මේ වෙනස පේනවා. අද බොහෝ වෙලාවට රාජ්‍ය අංශයේ වාත්තීය සමිති සංවිධානය කරන්නේ ආණ්ඩුව. ශ‍්‍රමිකයින් ශ්‍රේණි අනුව වෙන් වෙලා. ශ්‍රේණි අනුවයි ශ‍්‍රමිකයින් සංවිධානය කරන්නේ. වෛද්‍යවරුනුයි හෙදියන්වයි බෙදලා. හෙදියන්වයි උපස්ථායකයින්වයි බෙදලා. එක වෘත්තීයට එක වෘත්තීය සමිතියක් කියල එකක් නැහැ.

ලංකාවේ සියයට හැටට එහා පැත්තේ ඉන්නේ අසංවිධිත කම්කරුවෝ. මේ අය සංවිධානය කරන්න උත්සාහයක් අරගෙන නැහැ. එක පැත්තකින් මේ අනුව සංවිධානය නොවිච්ච කම්කරුවන්ගේ ප‍්‍රශ්නේ. අනිත් පැත්තෙන් සංවිධානය වූ සීමාව ඇතුලෙ පවා කරන්නෙ මොකක්ද? වැටුප් වැඩි කරගන්න එක වගේ ප‍්‍රතිසංස්කරණ සීමාවේ ඒවා නතර වෙලා. එහෙනම් මේක ඉස්සරහ තියෙන උත්තරය මොකක්ද? සංවිධානය කරන්න ගියාම ධනවාදයට ඒක උරාගන්නවා. මේක තමයි ඉතිහාසයේ අත්දැකීම. ඒක එක ආකාරයක්. ඒත් අනිත් අතට ගත්තම උරාගන්නවා කියල සංවිධානය නොකර ඉන්න පුලුවන්ද? ධනවාදයට අධිරාජ්‍යවාදයට එරෙහිව අරගල කිරීම සම්බන්ධ හොද සංකේත්යක් චේ. ඒත් අද ධනවාදය ඇතුළෙ හොදටම විකිණෙන සංකේතයක් චේ. අද විකුණුනා කියලා චේ ඉතිහාසය ඇතුලෙ අරගල කලේ නැද්ද? එහෙම නැත්නම් ධනවාදය චේ උරා ගන්න තරමට පුලුල් වෙලාද? එහෙම නම් ඒක පරද්දන්නෙ කොහොමද?

එදාට වඩා අද ධනවාදය සංකීර්ණයි. මර්ධන උපකරණ දෘෂ්ටිවාදී උපකරණ මේක ඇතුලේ ක‍්‍රියාත්මක වෙනවා. මේ තත්වය තුළ සමාජය වමේ දේශපාලනයට හරවාගන්නේ කොහොමද? ඒක සරල නැහැ. ඒ සදහා විවිධ සමාජ බලවේග එක්ක භාවිතයක් ක‍්‍රියාකාරීත්වයක් ව්‍යවහාරයක් අවශ්‍ය කරනවා. අපි අතර මේ ගැන විවිධ විවාද තිබෙන්න පුලුවන්. ඒත් අපිට මේ සමාජය වෙනස් කරන ගාමකය හම්බ වෙන්නේ මේ සමාජය වෙනස් කරන්න මැදිහත් වී සිටින මිනිස්සු ඇතුලෙමයි. සාම්ප‍්‍රදායිකව දීල තියෙන නීත්‍යනුකූලයි කියල කියන ආකෘතිවල වැඩ කරන ගමන් ඒවා ඇතුලෙන් පුපුරුවා හැරීම සදහාත් තහනම් කරපු නීත්‍යනුකූල නොවේ යැයි කියන ආකෘතිනුත් අරගලය සදහා යොදාගන්නත් අපට අභ්‍යාසයක් අවශ්‍ය කරනවා.

0 comments:

Post a Comment