Monday, April 28, 2014

මැයි දිනය ගැන ලියෝන් ට්‍රොස්කි

Leon Trotsky
පහත පලවන්නේ 1918 මැයි දිනය නිමිති කරගෙන රුසියානු විප්ලවයේ නායකයෙක් වූ ලියොන් ට්‍රොට්ස්කි විසින් ලියන ලද ලිපියකි. මෙම ලිපියේදී ට්‍රොට්ස්කි දෙවැනි ජාත්‍යන්තරය විසින් කම්කරු පංති ව්‍යාපාරය පාවා දී තිබූ තතු යටතේ මැයි දිනයේ අර්ථය විකෘති වී ගිය අන්දමත් විප්ලවීය තුන්වන ජාත්‍යන්තරයක් ගොඩනැගීම තුළින් එම තත්වය අතික‍්‍රමණය කළ යුතු ආකාරයත් සාකච්ඡුා කරයි. 

මැයි දිනය සහ ජාත්‍යන්තරය

දෙවන ජාත්‍යන්තරය යුගයේ දී පැවැති සමස්ථ කම්කරු ව්‍යාපාරයේ ස්වරූපය මැයි දින නිවාඩුවේ ඉතිහාසය සහ එහි ඉරණම තුළින් විදහා දැක්වේ. මැයි පලමු වැනි දින නිවාඩු දිනයක් ලෙස පිහිට වූයේ 1889 දී පැරිස් හි පැවැති ජාත්‍යන්තර සමාජවාදී සමුලූව මගිනි. එය එසේ පිහිටුවීමේ අරමුණ වූයේ සෑම රටකම කම්කරුවන් එදිනට සමගාමීව පවත්වන පෙලපාලි තුළින් එක් ගෝලීය කේන්ද්‍රයක් සහ එක් දේශපාලන දිශානතියක් ඇති විප්ලවීය ක‍්‍රියාකාරීත්වයක් සහිත එක් ජාත්‍යන්තර නිර්ධන පංති සංවිධානයක් තුළට කැඳවීමයි.

ඉහත තීරණය ගන්නා ලද සමුලූව ජාත්‍යන්තර කොමියුනිස්ට් ලීගය සහ පලමුවන ජාත්‍යන්තරය ගත් මගම යමින් සිටියේය. ආරම්භයේ සිටම දෙවන ජාත්‍යන්තරයට මෙම සංවිධාන දෙකෙහි ආදර්ශය අනුගමනය කිරීම පහසු කටයුත්තක් විය. පළමු ජාත්‍යන්තර අවධියේ සිට ගත වූ වසර දහ හතරක කාලය තුළ සෑම රටක් තුළම නිර්ධන පංති සංවිධාන වර්ධනය ව තිබිණි. ඒවා ඔවුන්ගේ කටයුතු තමන්ගේ දේශ සීමා තුළ ස්වාධීනව සිදු කළ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවයේ මූලධර්ම මත ජාත්‍යන්තර එකමුතුවට අනුගතව නොතිබිණි.
මැයි දින සමරුව ඔවුන්ව එවැනි එකමුතුවක් සඳහා සූදානම් කළ යුතුව තිබුණු අතර එම නිසා එහි සටන් පාඨයක් ලෙස පැය අටක වැඩ දිනයක ඉල්ලීම හදුන්වා දෙන ලදී. එය නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය මගින් අනිවාර්යය කොට තිබූ අතර සෑම රටකම පුලූල් කම්කරු පංති අතර ජනප‍්‍රිය සටන් පාඨයක් විය.
මැයි දින නිවාඩුවට භාර ව තිබූ සාධනීය කාර්යභාරය සමන්විත වූයේ ආරථික ප‍්‍රවර්ගයක් වූ කම්කරු පංතිය, එහි සමාජ විද්‍යාත්මක අර්ථයට අනුව හැඩ ගැස්වීමයි. එනම් සමස්ථ පංතියේ යහපත පිළිබද සවිඥානික වූත්, සිය ආඥාදායකත්වය පිහිටුවන , සමාජවාදී විප්ලවය උදෙසා වෙහෙසෙන පංතියක් බවට කම්කරු පංතිය පරිවර්තනය වීමේ ක‍්‍රියාදාමය පහසු කිරීමයි. 

මෙම දෘෂ්ටි කෝණයෙන් ගත් කල සමාජවාදී විප්ලවයට සහය පල කරන පෙලපාලි මැයි දිනයට වඩාත් උචිත වූයේ යැයි කිව හැක. සමලූවේ විප්ලවීය කොටස් මෙය අවබෝධ කොට ගෙන සිටියේය. නමුත් එම අවස්ථාවේදී කම්කරු පංතිය පසු කරමින් සිටි වර්ධන අවධිය තුළ බොහෝ දෙනා සිතුවේ පැය අටක වැඩ දිනයක් සඳහා වූ ඉල්ලීම ඔවුන් ඉදිරියේ පැවැති කාර්යයට වඩා යෝග්‍ය වූ බවයි. කෙසේ වුවත් මෙය සෑම රටකම කම්කරුවන් එක් කිරීමට සමත් සටන් පාඨයක් විය. 

පසුකාලීනව ඉදිරිපත් කරන ලද ලෝක සාමය සඳහා වූ සටන් පාඨයද මෙවැනි කාර්යභාරයක් ඉටු කළේය.
සමුලූව යෝජනාව ඉදිරිපත් කරන ලද අතර කම්කරු ව්‍යාපාරයේ වාස්තවික තත්වය එම යෝජනාව සඳහා අදාල විධානය සිදු කළේය.

මැයි දින නිවාඩුව ක‍්‍රමානුකූලව ලෝක නිර්ධන පංතියේ අරගල මධ්‍යයේ සිට දේශීය උවමනා සඳහා එක් එක් රාජ්‍යයේ අරගල මාධ්‍යය බවට පත්විය. සර්ව ජන ඡුන්ද බලය සඳහා වූ තුන් වන සටන් පාඨය මෙයට තව දුරටත් රුකුල් දුන්නේය. 

බොහෝ රටවල මැයි දින සැමරුම පැවැත්වූයේ වැඩ ඉවර වූ පසු හවස් වරුවේදී නැතිනම් ඉරිදා දිනයකදීය. වැඩ නවතා මැයි දිනය සැමරූ බෙල්ජියම සහ ඔස්ට‍්‍රියාව වැනි රටවල පවා දේශීය අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වුවද සියලූ රටවල කම්කරු ජනතාව ලෝක කම්කරු පංතියක් බවට පත් කිරීමට අසමත් විය. එම නිසා එහි ප‍්‍රගතශීලී ප‍්‍රතිඵල මෙන්ම ( නිශ්චිත රටක කම්කරුවන් එකතු කිරීම * සෘණාත්මක ප‍්‍රතිගාමී අංශයක් ද විය. ඒ මගින් කම්කරුවන්ව නිශ්චිත රටක ඉරණමක් සමග අනවශ්‍ය ලෙස තදින් සම්බන්ධ කල අතර එය සමාජවාදී දේශපේ‍්‍රමීත්වයේ වර්ධනයට මග සෑදුවේය. 

පැරිස් සමුලූව වැදගත් කොට සැලකූ කාර්යභාරය ඉෂ්ට වූයේ නැත. ජාත්‍යන්තර විප්ලවීය නිර්ධන පංතියේ ක‍්‍රියාකාරීත්වයේ සංවිධානය ලෙස එක් කේන්ද්‍රයක් සහ එක් ජාත්‍යන්තර දේශපාලන හැඩ ගැස්මක් සහිත ජාත්‍යන්තරයක් පිහිටුවීම සාක්ෂාත් කරගත නොහැකි විය. දෙවන ජාත්‍යන්තරය ක‍්‍රියාකාරීත්වයේදී අන්‍යොන්‍ය වශයෙන් ස්වාධීන වූ කම්කරු පක්ෂවල දුර්වල එකමුතුවක් විය.

මැයි දිනය එහි විරුද්ධාර්ථයට හැරුණු අතර යුද්ධයත් සමග එහි පැවැත්ම අවසාන විය. කම්කරු ව්‍යාපාරය විසින් දයලෙක්තික වර්ධන ක‍්‍රියාවලිය පිළිබද කරන ලද දැඩි තර්කනයේ ප‍්‍රතිඵලය වූයේ එයයි.

මෙම සංසිද්ධියට හේතු වූයේ කුමක්ද? එයම නැවත සිදු නොවන බවට ඇති සහතික කිරීම කුමක්ද? අනාගතය වෙනුවෙන් මෙයින් ඉගෙන ගත හැකි පාඩම් මොනවාද? මැයි දින නිවාඩුවේ අසාර්ථක වීමට මුල් වූ හේතුව ගැබ් වී ඇත්තේ එම යුගයේදී ධනවාදයේ සිදු වූ වර්ධනයේ ස්වභාවය තුළයි. සෑම රටකම ධනවාදය දියුණු වීමේ ක‍්‍රියාවලිය සහ එම ක‍්‍රියාවලිය විසින් පාලනය කරන රාජ්‍ය පද්ධතිය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමට සහ රාජ්‍ය ධනවාදයේ වර්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් හැඩ ගැස්වීමට කරන අරගලය තුළයි. නමුත් ධනවාදී හෝ අනෙකුත් කවර හෝ පද්ධතියක වර්ධනයේදී එහි ප‍්‍රවණතා දෙකක් පවතී. එනම් ප‍්‍රතිගාමී ප‍්‍රවණතාව සහ විප්ලවීය ප‍්‍රවණතාවයයි.

ඓතිහාසික ක‍්‍රියාවලියේ ක‍්‍රියාකාරීව සහභාගී වන කම්කරු පංතියත් සමගම එහි පෙරටුගාමීන් වන සමාජවාදී පක්ෂ මෙම ක‍්‍රියාවලිය ඉදිරියෙන් ගමන් කිරීමට නියමිත අතර කම්කරු ව්‍යාපාරයේ සෑම අවධියකදීම ප‍්‍රතිගාමී ප‍්‍රවණතාවයට එරෙහිව විප්ලවීය ප‍්‍රවණතාවය මතු කිරීම සහ ජාතිකත්වය මත පදනම් වන්නේ නැතිව සමස්ථ නිර්ධන පංතියේ යහපත ඉදිරියට දැමීම සහ ආරක්ෂා කිරීම ඔවුන් විසින් ( එනම් සමාජවාදී පක්ෂ විසින් * සිදු කළ යුතු වේ. දෙවන ජාත්‍යන්තරය වකවානුවේදී සමාජවාදී පක්ෂ විසින් ඉටු නොකළ කාර්ය භාරය මෙයමයි. එය මැයි දින නිවාඩුවේ ඉරණම මත සෘජු බලපෑමක් ඇති කළේය.

බුද්ධිමතුන්ගේ සහ කම්කරු ව්‍යාපාරවල නිලධාරීන්ගේ බලපෑම යටතේ මෙම වකවානුව තුලදී සමාජවාදී පක්ෂ ඔවුන්ගේ අවධානය යොමු කලේ ඉතා ප‍්‍රයෝජ්‍යතාවාදී පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වය වෙතයි. පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වයෙහි සාරය ජාතික වේ. එය ජාත්‍යන්තර හෝ පංති ලක්ෂණයන්ගෙන් තොරය. කම්කරු සංවිධාන පාර්ලිමේන්තු තුළ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය දුටුවේ පංති අරගලයේ මාධ්‍ය්‍යක් ලෙස පමණක් නොවේ එහි අරමුණ ලෙසයි. ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නායකයින් මැයි දිනය ආසන්නයේම ඊලගට එලැඹෙන ඉදිරි දිනය වෙත මාරු කරන්නට යැයි තර්ක කළ ආකාරය මතකයට නගා ගැනීම මෙහිදී ප‍්‍රමාණවත් වේ. ඔවුන් පවසා සිටියේ ආදර්ශමත් පක්ෂ සංවිධානය, පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වය සහ විශාල ගණනක් වූ වෘත්තීය සමිති පෙලපාලියක් වෙනුවෙන් අනතුරේ දැමිය නොහැකි බවයි.

වර්තමාන වකවානුවේ ස්වභාවය පැවැති වකවානුවේ ස්වභාවයට සෘජුව ප‍්‍රතිවිරුද්ධ වේ. යුද්ධයෙන් සහ 
විශේෂයෙන්ම ඔක්තෝබර් රුසියානු විප්ලවයෙන් විවෘතව, එය ප‍්‍රකාශව ඇත්තේ ලෝක පරිමාණයෙන් නිර්ධන පංතිය සඳහා බලය ලබා ගැනීමේ සෘජු අරගලයේ වකවානුව ලෙසයි.

පැරිස් සමුලූවේ විප්ලවීය කොටස් 1889 දී මැයි දිනට භාර කිරීමට උත්සාහ කරන ලද කාර්ය භාරය ඉෂ්ට කිරීමට මේ යුගයේ ස්වභාවය උපකාරී වේ. මේ යුගයේ කාර්යභාරය වන්නේ තුන්වන විප්ලවීය ජාත්‍යන්තරයක් ගොඩ නැගීමේ කාර්යයට උර දීම සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා නිර්ධන පංති බලවේග සංවිධාන කිරීමයි.

නමුත් මෙම ශ්‍රේෂ්ඨ කාර්යය ඉෂ්ට කිරීමට නම් අතීතයේ පාඩම් සහ වර්තමානයේ ඉල්ලීම් විසින් සියලූ රටවල සමාජවාදීන්ට ප‍්‍රබලව අණ කර කියා සිටින්නේ,
1. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති වල රැුඩිකල් වෙනසක් කරන ලෙසත්
2. මැයි දිනයට උචිත සටන් පාඨ ඉදිරිපත් කරන ලෙසත්ය

ඒ සඳහා පලමු කොටම පහත පියවර ගත යුතුය,
1. තුන්වන විප්ලවීය ජාත්‍යන්තරය ගොඩ නැගීමට සෑම ආකාරයකින්ම මහන්සි වීම
2. එක් එක් රටේ අරමුණු ජාත්‍යන්තර නිර්ධන පංති ව්‍යාපාරයේ පොදු අරමුණු වෙනුවෙන් ද පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වය නිර්ධන පංති අරගලයේ අරමුණු වෙනුවන් ද යටත් කිරීම

මෙම වකවානුවේ ප‍්‍රධාන මැයි දින සටන් පාඨ වන්නේ,
1. තුන්වන ජාත්‍යන්තරය
2. නිර්ධන පංති ආඥාදායකත්වය
3. ලෝක සෝවියට් ජනරජය
4. සමාජවාදී විප්ලවය යන සටන් පාඨයෝය.

ලියොන් ට්‍රොට්ස්කි 1918 මැයි 01
Original Source from - lankaviews.com

0 comments:

Post a Comment