Wednesday, April 30, 2014

ජයග්‍රහණයට ඇති එකම මාවත නොනවතින අරගලයයි ...!

වහල් හිමි සමාජයේ වහල් හිමියා නිරන්තර බියකින් පසු වුනේය. කුමන මොහොතක හෝ වහලුන් අඳුරු ඉරණම් යුගය බිඳ දමමින් අපට එරෙහිව කැරලි ගසනු ඇති බවට තිබු බියෙනි. ඒ ශාපලත් නිහඬතාවය එදා ස්පාටකස් ඇතුළු නිර්භීත වහලුන් විසින් බිඳ දැමීය. ඉන් පසුව නැවතත් ධනවාදයේ අසත්‍යට එරෙහිව සත්‍යවාදයේ පණිවිඩය ගෙන ආ මොහොතක් ලෙස 1886 ඔක්තෝබර් 7,8,9 දින පවතී ඓතිහාසික ඉලිනොයිස් අධිකරණයේ පවතී නඩුව හැඳින් විය හැක. 

1886 මැයි පළමු වනදා චිකාගෝ නුවර හෙමාකට් චතුරශ්‍රයට එක් වූ වීර කම්කරු ජනතාව දවස මුළුල්ලේම කරගෙන යනු ලැබූ සුරාකෑමට එරෙහිව තම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වැඩ වැරීය. තම ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරක් වෙනුවට ධනපති පාලකයන්ගේ වෙඩි උණ්ඩ දස අතේ මුදා හරිමින් චතුරශ්‍රය ලේ වලින් සිතුවම් කළේය. ඉන් අනතුරුව එයට නායකත්වය දුන් ඔගස්ටස් ස්පයිස් ඇතුළු නායකත්වය අත්අඩංගුවට ගෙන ඉලිනොයිස් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. පළමු නඩු දිනයේදී ඔහු විනිසුරන් ඉදිරියේ සිය කතාව පටන් ගත්තේ මෙසේය .

" මගේ සාක්ෂිය ඔබේ චෝදනාවයි "

" විනිශ්චයකාරතුමනි , මම මේ උසාවියේ කරුණු දක්වන්නේ එක් පන්තියක නියෝජිතයෙක් ලෙස අනෙක් පන්තියේ නියෝජිතයන්ටය. අදින් වසර 500 කට පෙර මෙවැනිම අවස්තාවකදී ඉතාලි ජාතික වැනීසියානුවෙකු වූ ඩොජේ ෆාහිරි ඔබලාගේ නීතිය ඉදිරියේ කල කියමනකින් මම ද ආරම්භ කරමි. " මගේ ශාක්ෂිය ඔබේ චෝදනාවයි " 

විනිසුරනි, ඔබට අනුව මා කල " අපරාධයේ " හේතුව ඔබේම ඉතිහාසයයි. පැය 16 ක වැඩ දිනයක් වෙනුවට , දරුවන් හා කාන්තාවන් මන්දපෝෂණයෙන් , වහල් භාවයෙන් මුදවා ගෙන පැය 8 ක වැඩ දිනයක් වෙනුවෙන් සටන් කිරීම එම අපරාධය නම් , එහි හේතුව ඔබ මිස , මිය යමින් තිබෙන , යලි කිසිදා ගොඩ ගත නොහැකි , කෘර ක්‍රමයක් වන ධනපති ක්‍රමය පවත්වා ගෙන යන ඔබ මිස අන් කවරෙක්ද ? 

විනිශ්චයකාරතුමනි, ඉහතින් දැක වුයේ මගේ අදහස්ය . ඒවා මගේ ජීවිතයේ කොටස්ය. ඒවා ඇඳුම් ගලවා ඉවත් කරන්නාක් මෙන් ගලවා දැමිය නොහැක. එසේ හැකි වුවත් මම එසේ නොකරමි. දිනෙන් දිනවැඩි වැඩියෙන් සමාජය තුල තහවුරු වෙමින් පවතින අදහස් , අප කිහිප දෙනෙකු එල්ලුම් ගස් යැවීමෙන් විනාශ කර දැමිය හැකි යයි ඔබ සිතන්නේ නම් , සත්‍ය කතා කිරීමේ වරදට මිනිසුන් කිහිප දෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දෙන්නේ නම් , සත්‍ය ප්‍රකාශ කිරීමේ වරදට දෙන වන්දිය මරණය නම් , ආඩම්බරයෙන් හා නිර්භීත ලෙස එම මිල අධික වන්දිය ගෙවීමට මම ඇතුළු මගේ මිතුරන් සුදානම් ..!!විනිසුරනි ඔබේ වධකයන්ට කතා කරන්න ...!!!

" සත්‍යය සොක්‍රටීස් , ක්‍රිස්තුස් , ජියාඩිනෝ, බෘනෝ, ජෑන් හස්, ගැලිලියෝ මගින් කුරුසයේ තබා ඇණ ගැසූ මුත් , ඔවුන් තවමත් ජීවමානය,. ඔවුන් මෙන්ම සත්‍ය වෙනුවෙන් දිවි දුන් මිනිසුන්ගේ හමුදාව සුවිශාල වන අතර ඔවුන් තැනු ,මාවත විශාලය. අපිදු එමග යාමට සුදානම් ...ඔබගේ අනීතික දඬුවම වහාම අප වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න . එයට මුහුණ දෙමු. !"

පසුව නඩුවට ඉදිරිපත් වූ වීර කම්කරු නායකයින් සියල්ලම එල්ලා මරා දැමිය. මේ ඔවුන්ගේ චායාරුපයයි.

අද ලොව පුරා ජනයා පැය අටක වැඩ මුරයක් භුක්ති විඳීමට ඔගස්ටස් ස්පයිස් වැනි විරුවන් පැය 16 කට වඩා කඹුරමින් , පීඩාවිඳිමින් සිටි යුගයට එරෙහිව කැරලි ගැසීය. හේමාකට් විරුවන් ගැන දන්නා අයද නොදන්නා සේ මේ සියලු අයිතීන් භුක්ති විඳින අතර ඔවුන්ගේ දිවා විවේකයේදී එම මාවත සමච්චලයට ලක් කරන අවස්ථාවන්ද දැකිය හැක. තවකෙක් පැය අටට අමතරව වැඩ කරමින් " අතිකාල " ලබන්නේද හේමාකට් චතුරශ්‍රයේදී ලෝකයේ කම්කරු ජනතාව වෙනුවෙන් දීවී පිදු විරුවන්ගේ නාමයෙන් බව හිතාමතාම අමතක කරති. එදා චිකාගෝ නගරයේ ගලා ගිය රක්ත වර්ණ ලේ දහරින් සිතුවම් වූ ලෝහිත ධජය සියලු කම්කරුජනයා සිය දෑතට ගත යුතුය. හෙට දින අභිමානවත් මැයි දිනය සමගියෙන්, එකාමෙන් , බේධ දුරලා ධනපති ක්‍රමයට එරෙහිව ගොඩනැගෙන විකල්ප බලය බවට පත් වන්න . එම දුෂිත ක්‍රමයට තිත තැබීමට එක් වන්න..! නිර්ධන පන්තියේ සමගිය යනු ධනපති ක්‍රමයේ මලගමයි ..!

0 comments:

Post a Comment