Thursday, April 3, 2014

ධනේශ්වර පන්තියට එල්ල කල පළමු වෙඩි මුරය. අප්‍රේල් අරගලය වේ...!

ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රවාහය තුල සුවිශේෂී කඩඉමක් ලෙස අයිතිහාසික අප්‍රේල් නැගිටීම හැඳින් වීම සාධාරණ අර්ථ දැක්වීමක් ලෙස මා දකිමි. දහස් සංඛායත විරුවන් ගේ රුධිර ගංගාවන්ගෙන් පෙඟී ගිය එම අරගලය , මෙරට පසුගාමී ධනේශ්වර පන්තියට එල්ලකළ ඍජු අභියෝගය මෙන්ම එසේ අභියෝග කල හැකි බවට මතු පරපුරට දුන් ශ්‍රේෂ්ඨ ආදර්ශයද වේ. 

එම අරගලයට වඩා සාධනීය විවේචනයක් අවැසි වුවද ධනපති පන්තියත් ඔවුන්ගේ අතවැසි දේශපාලන විචාරකයිනුත්, අරගලය පාවාදී ධනපති වලව් තුලට රිංගා පන්තිය පාවාදුන් ද්‍රෝහීන්ගේ බේගල් වලින් පිරුණු පොත් පත් සිය ගණනකින් එහි උදාරත්වය කෙළසා දැමුවේය. ඔවුන්ගේ ගර්හිත "නිර්වචනය " වුයේ " එක් රැයකින් බලය ලබා ගැනීමට සිදු කල දඩි බිඩි තරුණ කෝලාහලයක් " බවයි.

එම අරගලය වෙනුවෙන් වඩා සාධාරණ විවේචනයක් අප දකින්නේ මැගසින් බන්ධනාගාරයේ අඳුරු සිර මැදිරියක සිට අප සදාදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා ලිවූ " අප මරා දැමුවද අප නැගු හඬ සදා නොමියනු ඇත " කෘතිය තුලිනි. මිනි මුතු යට යමින් ගොම රිටි මතුවන ලාංකීය දේශපාලනය තුල අප්‍රේල් අරගලයට වටිනාකමක් එක් නොවන බව අපි දන්නෙමු. එහෙත් අප සත්‍ය නීරස වුවද එය රස විඳිය යුතුමය. 1971 අප්‍රේල් නැගිටීම යනු 1965 දී මෙරට රෝපණය කල සැබෑ වමේ ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන් මග මෙන්ම නිර්ධන පන්තියේ අභිලාශයන් මර්ධනය කිරීමට ධනපති රාජ්‍ය තන්ත්‍රය හා ඔවුන්ගේ මිතුරන් වූ සමසමාජ, කොමියුනිස්ට් නායකයින්ගේ සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියට එරෙහිව තම ආත්මාරක්ෂාවට නිර්ධනයින්ගෙන් මතු වූ ප්‍රතික්‍රියාවකි. ධනපති මර්ධනය ඉදිරියේ සාධාරණ දේශපාලනය අතහැර පලා යනවාද, දනින් වැටී උන් ඉදිරියේ යටත් වනවාද නැතහොත් සටන් වැදී තම පන්තියේ අයිතීන් වෙනුවෙන් දිවි පුදනවාද යන්න ඔවුන් ගේ හිස මත පතිත කල දැවැන්ත ප්‍රශ්නාර්ථය විය. දනින් වැටීම වෙනුවට සටන් බිම ඔවුන් තෝරාගත්තේ කුමන අඩුපාඩුකම් මත වුවද එහි සාරය තුල ගැබ් වුයේ අති ශ්‍රේෂ්ඨත්වයකි.මෙය ධනේශ්වර ශ්‍රීලංකා දේශපාලනයේ පළමු නිර්ධන පන්තියේ නැගිටීම බව අප අමතක නොකරමු.

අප්‍රේල් විරුවන් දිවි පුදා මේ බංකොලොත් භාවයට තල්ලු කර ඇතී සමාජයට පෙන් වුයේ දිරාපත් වී ඇතී පවුල් දේශපාලනය තුලට සිරවී ඇතී අප මාතෘභූමිය පසුගාමී ආර්ථික දේශපාලන රටාවෙන් මුදවා , වඩා සාධාරණ වූ උසස් සමාජයක් , සැමට සම අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි වඩා සාධාරණ ලෝකයක් උදා කිරීමට නම් උකටලී නොවී මේ ජනපීඩක පාලකයන්ට එරෙහිව මුනිවත වෙනුවට සටන තෝරාගත යුතු බවය, 
" එකී අරගලයට නායකත්වය දුන් රෝහණ විජේවීර සහෝදරයා මරණ වරෙන්තුව තම සන්තකයේ තබා ගනිමින් සිර අඩස්සියේ සිටින විට මෙසේ අඟුරු කැටයකින් මැගසින් බන්ධනාගාරයේ සිර කුටියක ලීවේය.

" ජනතාවනි මම ඔබට ප්‍රේම කරන්නෙමි "

" ඔව් වැඩ කරන පන්ති ජනතාවනි මම ඔබට ප්‍රේම කරමි. නිරාහාරයෙන් පසුවන වැරහිලි හැඳ ගත් ජනතාවනි , මම ඔබට ප්‍රේම කරමි. යුක්තිය හා සාධාරණත්වය අහිමි වී ඇතී සකල දේශවාසී ජනතාවනි ජනතාවනි , මම ඔබට ප්‍රේම කරමි ,ජනතාව කෙරෙහි ඇතී ප්‍රේමය නිසා මම විප්ලවවාදියෙකු වුනෙමි. ඒ නිසා අද මෙලෙස බලාපොරොත්තු නොවූ අයුරින් අවසන් ගමන් යන්නෙමි. "

එකී පරමාර්ථය ඇතිව බොහෝ විප්ලවවාදීන් තම මරණය කිසිදු පැකිලීමකින් තොරව තෝරාගන්නා ලදී. සදාචාරාත්මක වැහිරීම වෙනුවට ඉතා භක්තිමත්ව මරණය තම පන්තියේ විජයග්‍රහණය වෙනුවෙන් තෝරාගත් අප්‍රේල් විරුවනි, ඔබට විප්ලවීය ආචාරය,...!!!

0 comments:

Post a Comment