Thursday, April 24, 2014

පිස්තෝලයක් වගේ එකක් අතේ තිබුණා

එතකොට එරාජ් ප්‍රනාන්දු චණ්ඩියෙක්.....?
අපොයි නෑ. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී සුදුසු පරිදි ක්‍රියා කරනවා මිසක් චණ්ඩිකම් කරන්නේ නෑ.

ඒ කියන්නේ පිස්තෝල පෙන්වන්නේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්....?
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිනිස් නිදහස වෙනුවෙන් මම හැමදාම පෙනී හිටියා. ඒකට පිස්තෝල ඕනෙ නෑ.

හැබැයි යූඇන්පී මන්ත්‍රිවරු මත්තල, හම්බන්තොට ආපු දවසේ පිස්තෝලයක් අතේ තිබුණා...?

නෑ.

එතකොට මෙච්චර මේ තියෙන ෆොටෝ බොරු.....?
මම එහෙම කියන්නේ නෑ. ඕවා මාධ්‍යවලින් හදන කතානේ.

මොනවද මේ ඔබේ අතේ තිබුණු පිස්තෝලෙ ගැන කියන පරස්පර කතා....?
මෙහෙමයි මම පිස්තෝලයක් ගෙනාවේ නෑ. ඒක මම දැනුත් පැහැදිලිව කියනවා.

එතකොට මේ කතා ඔක්කොම බොරු....?

ඔව්. මම ඔය ඔක්කොම ප්‍රතික්‍ෂේප කරනවා.

එහෙනම් සෙල්ලම් පිස්තෝලයක් ඒක කියලා නාගත්තෙ ඇයි....?

සෙල්ලම් පිස්තෝලයක් වගේ එකක් වරායේ ගේට්ටුව ළඟ හිටපු කෙනකුගේ අතේ තිබුණා. මම ඒක ගත්තා බලන්න. එච්චරයි.

එයාව අඳුරනවද....?
ඔව්. දැනුත් මාත් එක්ක ඉන්නවා.

එහෙනම් හොඳ යාළුවෙක් වෙන්න ඇති.....?

නෑ. මම එයාව තියාගෙන ඉන්නේ මේක එයාගෙන් ගත්තේ කියලා කියන්න.

එයා මොනවද කරන්නේ, නම මොකක්ද...?

ඒක මම පොලිසියට කියන්නම්.

එතකොට හම්බන්තොට කට්ටියගේ ඉණේ නිතරම සෙල්ලම් පිස්තෝල තියෙනවා.....?
ඔව්. ඔය ළමයින්ට ගෙනයන ඒවා. අවුරුදු කාලේ උත්සවවලට ගත්ත ඒවා, කුරුල්ලන්ට වෙඩි තියන ඒවා, වතුර විදින ඒවා තියෙනවා.

හරියටම කියන්න, මේක ඔය ජාතිවලින් කොයි ජාතියටද අයිති......?
මේක වතුර විදින එකක් නම් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් එකක්. බැලූ බැල්මට පේන්නේ කුරුල්ලන්ට වෙඩි තියන එකක් වගේ. බලපත්‍ර අවශ්‍ය නැති එකක්.

හැමෝටම වෙඩි තියන්න, හම්බන්තොට ඔච්චරටම කුරුල්ලෝ ඉන්නවද.....?

අපෝ ඕනෙතරම් ඉන්නවා.

ඔබතුමාත් එහෙනම් කුරුල්ලන්ට වෙඩි තියනවා ඇති....?
අපෝ නෑ. මම කුරුල්ලන්ට බොහොම ආදරෙයි.

ගෙදරවත් ඒ ජාතියේ පිස්තෝලයක් නැතිව ඇති එහෙනම්....?

නෑ. නෑ.

එතකොට ඔය සිද්ධිය වෙනකොට මුහුදේ නනා හිටියේ....?
ඔව්. හම්බන්තොට පැරැණි නගරය පැත්තේ. වරායෙන් අනෙක් පැත්තේ.

නාන්න සෑහෙන සෙනඟක් එක්ක යන්නෙ නේද....?
කොහොමටත් නිවාඩු දවස්වලට එතැන දෙ-තුන් සීයක් නානවා.

ඇයි අම්බලන්තොට පොලිසියට පැන්නේ, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමාද ඇත්තටම යන්න කිව්වේ.....?
මේක මේ විපක්‍ෂය පටලවගෙන තියෙන්නේ. මේකට නාමල් මන්ත්‍රිතුමා සම්බන්ධ නෑ. එතුමා අපිට කියලා තියෙන්නේ හම්බන්තොට යම් සිද්ධියක් වුණොත් මැදිහත්වෙන්න, හොයලා බලන්න කියලා. මම වරායට ගියෙත් ඒකයි. අම්බලන්තොට පොලිසියට ගියෙත් ඒකයි.

ඒ වුණාට ඔබට නීතිය අතට ගන්න අයිතියක් නෑනේ.....?
මම එහෙම කළේ නෑ. හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි කසුන්ට පිහියෙන් ඇනලා තිබුණා ගැටුමක් බේරන්න ගිය වෙලාවේ. මම මේ ගැන බලන්න යනකොට මන්ත්‍රිවරයාට පිහියෙන් ඇනපු අය පොලිසිය ඉස්සරහ හිටියා.

ඔබ ඔවුන්ට ගහන්න ගියා....?

නෑ. මම කිව්වේ ඔවුන්ට විරුද්ධව රාජකාරිය කරන්න ඕනෙ කියලා.

ඇයි, පොලිසිය ඒගොල්ලන්ගේ පැත්ත ගත්තද....?
රාජකාරිය කරන්න ප්‍රමාද වුණා.

බොරු කියන්න ඕනෙ නෑ. පොලිසිය ඉස්සරහා ඔබ ගැටුමක් ඇතිකරගත්තා....?
මෙහෙමයි, එතැන හිටපු බීමත් කෙනෙක් මගේ බෙල්ලෙන් ඇල්ලුවා. ඒ ගොල්ලෝ රා තැබෑරුම් කරන කට්ටියක්. ඊට පස්සේ මගේ කට්ටිය ඒගොල්ලෝ තල්ලු කරලා දාලා එන්න ආවා.

එච්චරයි.....?
ඔව්.

ඔබතුමාට මාර ඉවසීමක්නේ තියෙන්නේ. බෙල්ලෙන් අල්ලලත් අතහැරලා දැම්මා. බොහොම හොඳයි.....?

මම එහෙම තමයි. මට ගැටුම් අවශ්‍ය නෑ.

මොකක්ද මේ ඔබ අජිත් පී. පෙරේරා මන්ත්‍රිතුමාව මරණයෙන් බේරගත්තා කියන කතාව....?

මෙහෙමයි, 2008 විතර එයා බොරු ආරංචියකට මම ළඟට ඇවිත් කිව්වා බණ්ඩාරගම ප්‍රසන්න අමරසේකර මාව ඝාතනය කරන්න ඉන්නවා බේරගන්න කියලා.

ඇයි ඒ.....?

බණ්ඩාරගම යූඇන්පී සම සංවිධායක ධුරය එයාට දුන්නු හින්දා කියලයි කිව්වේ.

ඉතින් මොකක්ද කළේ.....?

මම ඒ වෙලාවෙම ප්‍රසන්නට කෝල් එකක් අරගෙන ඇහුවා, මොකක්ද මේ ප්‍රශ්නෙ කියලා. එයා කිව්වා පිස්සුද මම යූඇන්පී එකෙනුත් අයින් වෙනවා කියලා.

ඔබ ඔහොම කිව්වට අජිත් පී. පෙරේරා කියන්නේ ඔය බොරු කියලා.....?
එයාට ඒවා අමතකද මම දන්නේ නෑ. එයා මරදානට ආවේ වසන්ත කියලා මගේ තව යාළුවෙක් එක්ක.

නියමයිනේ. හම්බන්තොට හිටියට එරාජ් කොළඹත් වැඩකාරයෙක්....?ප්‍රසන්න මගේ යාළුවනේ. ඒකයි එහෙම වුණේ.

මම කිව්වේ යාළුකම් කොහොම වුණත් ලොකු - ලොක්කන්ගෙන් ජීවිත බේරාගන්න තරම් එරාජ්ට පවර්ස් තියෙනවා.....?ඔව්. හයිය තියෙනවා. මම දේශපාලනේට ආවේ විජය කුමාරණතුංග මහත්තයාගේ ශ්‍රී ලංකා මහජන ප‍ෙක්‍ෂන්. අපිට සම්බන්ධකම් තියෙනවා. අපි සඳලුතලවලින් බැහැලා දේශපාලනයට ආවේ නෑ අජිත් පෙරේරලා වගේ.

ඉතින් ඔය ඔක්කොම බොරු නම් අපහාස නඩු දාන්න පුළුවන්නේ....?

ඕනෙ නෑ. මම සිල් අරගෙනනේ ඉන්නේ.

පිස්තෝලත් අරගෙන සිලුත් අරගෙන බොහොම හොඳයි....?

මම එහෙම තමයි. දැන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරනවා. විපක්‍ෂය මේ ගමන නවත්තන්න, එල්.ටී.ටී.ඊ. බළල් අත් එක්ක එකතුවෙලා විළි ලැජ්ජාවක් නැතිව මාධ්‍ය සන්දර්ශන කරනවා. අපි තවම ඒවා දිහා බලාගෙන ඉවසගෙන ඉන්නවා.

කුරුල්ලන්ට වෙඩි තියන්න පිස්තෝල ගත්තේ එහෙම ඉවසන නිසා වෙන්න ඇති.....?

ඕක යූඇන්පී මන්ත්‍රිවරුනේ කියන්නේ. ඕනෙ කෙනකුට කැමැති විදියකට හිතාගන්න පුළුවන්.
එතකොට එරාජ්, නලින් බණ්ඩාර මන්ත්‍රිතුමත් එක්ක කැසිනෝ ගහලා තියෙනවලු නේද.....?

ඒක ඔය සමහර මාධ්‍යවලින් මගේ ප්‍රකාශය විකෘති කරලා දාපු එකක්නේ.

මොකක්ද එහෙනම් ඇත්ත.....?

නලින් බණ්ඩාර මට ඉස්සෙල්ලම හම්බවුණේ කැසිනෝ සමාජ ශාලාවකදී. එතකොට එයා මන්ත්‍රි නෙවෙයි.

එරාජ් හැමදාම කැසිනෝ ගහන්න යනවද.......?

මම බය නෑ කියන්න. රාත්‍රි සමාජ ශාලා, කැසිනෝ ශාලාවලට මම යනවා. හැබැයි කැසිනෝ ගහන්න නෙවෙයි.
එහෙනම්.....?

මම පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක් පවත්වාගෙන යනවා. නගරාධිපති වෙන්න කලින් කොළඹ නගරයේ තිබුණු රාත්‍රි සමාජ ශාලා දාහතක ආරක්‍ෂාව භාරව කටයුතු කළේ මම.

ඔබට ලොකු ආදායමකුත් ඇති.....?

ඒ දවස්වල තිබුණා.

කොහොමද ඕක පටන්ගත්තේ, කොයි කාලෙද......?

2006 අවුරුද්දේ මගේ හමුදාවේ යාළුවෝ ටිකක් එක්ක.

ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව බලයට ආවට පස්සේ......?

ඔව්.

ආණ්ඩුව ආපු ගමන් ලැයිෂන් ගත්තා.....?

එහෙම නෙවෙයි. හමුදාවේ ඔෆිසර් කෙනෙක් දාලා ඕනෙම වෙලාවක ලැයිෂන් එක ගන්න පුළුවන්.

එතකොට මේක තියෙන්නේ ඔබේ නමට නෙවෙයි.....?

නෑ. මගේ ඉස්කෝලේ හිටපු මේජර් කෙනෙක්ගේ නමට.

බොහොම හොඳයි. එරාජ්ගේ මාසික ආදායම කීයක් විතර වෙනවද.....?

සත පහක්වත් නෑ. මගේ බිරිය සහ යාළුවෝ තමයි බිස්නස් අරන් යන්නේ.

හැම දේශපාලනඥයාම එහෙම තමයි. පවුලේ ආදායම කීයද එතකොට......?

මම නම් ඒක හරියටම දන්නේ නෑ.

ආ...... ආ...... සමාජ සේවය විතරයි......?

ඔව්.

කොහොමද ඡන්දේ ඉල්ලන්න ආවේ.....?
මම උපතින්ම දේශපාලන පවුලක. මගේ තාත්තා කොමියුනිස්ට් පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා. අම්මගේ මල්ලි පාර්ලිමේන්තුවේ හිටියා. මට කතානායකතුමාත්, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමත් කිව්වා නගර සභාවට එන්න කියලා.

එහෙනම් ඒ දෙන්නා කියන දේවල් වෙන්ඩ ඇති කරන්නේ. සාමාන්‍ය ක්‍රමවේදය ඒකනේ.....?
එහෙම කරන්නේ නෑ. හැබැයි මම ඒගොල්ලෝ වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා.

හරි. ඔය වරායේ සිද්ධියට අදාළව පොලිසිය ඔබෙන් ප්‍රශ්න කළාද....?
පොලිසියෙන් එන්න කිව්වා. මම තවම යන්නේ නැතිව එහෙට මෙහෙට කට්ටි පැන - පැන ඉන්නවා.

ඇයි ඒ.....?
මට මේ දවස්වල වෙන වැඩ වගයක් තියෙනවා.

මොනවද ඔච්චරටම වැදගත් වැඩ.....?
දැන් මේ මහින්ද අමරවීර ඇමැතිතුමාගේ අම්මගේ මරණෙ වැඩ තියෙනවා. නගර සභාවේ අවුරුදු උත්සවේ වැඩ තියෙනවා.

ඒ කියන්නේ පොලිසියට යන්න තව සෑහෙන කල් යයි.....?
බ්‍රහස්පතින්දා විතර යන්නයි ඉන්නේ.

සාමාන්‍ය මනුස්සයකුට ඔහොම වුණා නම් සොරි තමයි නේද.....?
ඔය ඕනෙ තරම් මිනිස්සු මිනී මරලත් හැංගිලා ඉන්නේ.

ඒ කියන්නේ මෙතැනත් වැරැද්දක් තියෙනවා කියලා ඔබ පිළිගන්නවා.....?
නෑ. මෙතැන වැරැද්දක් වෙලා නෑ. පිස්තෝලයක් වගේ එකක් අතේ තිබුණා. එච්චරයි.

එහෙනම් පොලිසියෙන් කට්ටි පනින්නේ.....?
මේ වැඩ ටික කරගන්න ඕනේ. ඒකයි.

ඔය යන තැන්වලදී ඕනේ තරම් පොලිසිය හම්බවෙනවනේ. අනෙක ගෙදරට ඇවිල්ලත් ඔබෙන් කට උත්තරයක් ගන්න පුළුවන්නේ. ඒ මොකුත් සිද්ධ වුණේ නැද්ද....?
ගෙදරට දෙ-තුන් පාරක් ඇවිල්ලා තිබුණා. මම ගෙදර ගියේ නෑනේ.

-ශාලික විමලසේන-

0 comments:

Post a Comment