Tuesday, April 8, 2014

මේක මොත්ත දේශපාලනයක් - කුමාර් ගුණරත්නම්

Premakumar Gunaratnam
අපේ රටේ ජනප‍්‍රිය පක්ෂවලත් වමේ කියා ගත්බොහෝ පක්ෂවලත් වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ මනුෂ්‍යත්වය දුර්වල කර ගත්තු වාසියට කටයුතු කරන පිරිසක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ‘ඉරිදා ලංකාදීපයට’ ප‍්‍රකාශ කළේය. ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින ඒ මහතා පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී රටට යවනු ලැබූ පසුව මෙතෙක් යළි පැමිණියේ නැත. දුරකතනයෙන් පැවති සාකච්ඡාවේදී ඉරිදා ලංකාදීප ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ කීය.

ප‍්‍රශ්නය - පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළත මත ගැටුම් බොහොමයිලු. පක්ෂය භේද භින්න වෙලා කියනවා. ඒක ඇත්තක්ද?

පිළිතුර - මත ගැටුම් හා සංවාද අතර වෙනසක් තිබෙනවා. අපේ පක්ෂය තුළ යහපත් සංවාද සංස්කෘතියක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටිනවා. අපේ පක්ෂය ගොඩනැගෙන්නේ ම ව්‍යාජ ලෙස ගොඩනඟා ගත් කැරිස්මැටික නායකත්වයක් මත නොවෙයි. අපි විශ්වාසය තබන්නේ සංවාදය, සාමූහිකත්වය හා එතුළින් ගොඩනැගෙන සංවිධානය මත. අපි පසු කර ගෙන ආ ගමනේදී, ඉපැරණි හා පැරණි වමේ ව්‍යාපාරයන් තුළ පවා දේශපාලන-සංවිධාන සම්ප‍්‍රදාය බවට පත්ව තිබුනේ සහ තිබෙන්නේ අධිකාරීවාදී නායකයකු හෝ නායකයින් අතලොස්සක් සහ ඒ වටා සිටින අවංක ප‍්‍රාර්ථනාවන්ගෙන් පිරුණු සාමාජිකත්වය, අන්ධ භක්තික අනුගාමිකයන් බවට පෙරලීමේ සැකැස්මක්. අපි පැරණි වමේ ව්‍යාපාරය තුළ සිදු කරන ලද අරගලයේ එක් ප‍්‍රධාන අරමුණක් තමයි නිර්මාණශීලී හා විචාරශීලී සාමාජිකත්වයක් අප තුළින්ම ගොඩනගාගැනීම. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි සජීවී, හිතන-මතන, විචාරශීලි මිනිස්සු ඉන්න පක්ෂයක් හදමින් සිටිනවා. අපෙන් සිද්ධ වුනු වැරදි ජනතාවට කියලයි අපේ ගමන ඇරඹුවේ, හෙටත් ඒක එහෙමයි. පක්ෂයේ සාමාජිකත්වයට විතරක් නොවෙයි, මේ රටේ පීඩිත බහු ජනතාවට තමන්ගේ වූ ව්‍යාපාරයක් කියන හැඟීම දැනවෙන භාවිතාවක් ඔස්සේ තමයි අපේ ගමන සැලසුම් වෙලා තියෙන්නේ. අපේ රටේ ජනප‍්‍රිය පක්ෂවලත් වමේ කියාගත්තු බොහෝ පක්ෂවලත් වැඩි ප‍්‍රමානයක් ඉන්නේ මනුෂ්‍යත්වය දුර්වල කරගත්තු වාසි ලුහුබඳින්නන්. ඒවායේ මිනිස්සු හොයාගන්න ටිකක් අමාරුයි. ඒක පුද්ගල වැරැද්දක් නොවෙයි, එහෙම වෙලා තියෙන්නේ ධනේෂ්වර දේශපාලනයේ පටු ආත්මාර්ථකාමීත්වය මුළු සමාජයම වෙලාගෙන තිබෙන නිසයි. නිවැරදි වමේ දේශපාලනයේ පදනම වෙන්න ඕනේ සාමූහිකත්වය හා මිනිස් සාරය ඉහලට එසවීම. හැබැයි එවැනි සම්ප‍්‍රදායන් නිර්මාණය කරන අභියෝගය අපිට භාරගන්න වුනේම, අපේ කැමැත්තට, අපිට අවශ්‍යම විදියට නොවෙයි, අපි බලාපොරොත්තු නොවුනු වේලාවක, හදිසි තත්ත්වයන් යටතේ. එවැනි තත්ත්වයක් යටතේ අරඹපු මේ ගමනට විවිධ බාධාවන් එනවා. මේ ගමන් මාර්ගය තුළ ඉදිරියට යාම අභියෝගාත්මකයි, ඒ වගේම සරල, පහසු, ඒක රේඛීය බවක් නෑ, ඒත් මහා දරාගැනීම් සහ පෞරුෂයන් ඉල්ලා සිටින නිවැරදි මාවත මෙය පමණයි. පරණ පාරෙ යනකොට කරදර අඩුයි, මොකද පස්සෙන් යන්න විතරනේ තියෙන්නේ. ඒත් අපිට එහෙම බෑ විතරක් නොවෙයි, අපිට එහෙම ඕනෙත් නැහැ. දේශපාලන සංවාද හුදු බුද්ධිමය කතිකාවක් විතරක් නොවෙයි හැඟීම් එක්කත් සම්බන්ද වෙනවා. මොකද ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවයක්. නමුත් ඒවා බාධාවන් කර නොගෙන සංවාදයේ බුද්ධිමය සාරය උරාගන්න අපි සමත් වෙන්න ඕනෑ. හුදකලා පුද්ගලයින් වෙනුවට මුළු පද්ධතියම ඉහළට ඔසවාලන සංවාද සංස්කෘතියක් නිර්මාණය කිරීම අභියෝගයක්. මේ අභියෝග දැක අපි පසුබසින්නේ නැහැ. පොදු ජනතාවගේ ජයග‍්‍රහණයේ මාවත රැඳී තිබෙන්නේ වමේ ව්‍යාපාරය තුළ එවැනි නව සම්ප‍්‍රදායන් ගොඩනැගීම තුළ පමණයි. අභියෝග ගැන කියනවානම් නම් අපි ඉන්නේ, මිනිසාට ජයගත නොහැකි අභියෝග නැති බවට වූ පූර්ණ විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන්.

ප‍්‍රශ්නය - දැන් මේ රටේ ජනතාව ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටිනවා. වැඩි කළ විදුලි බිල අඩු කර තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට විදුලි බිලේ සැර වැදිලා නැද්ද?

පිළිතුර - ඔබේ ප‍්‍රශ්නය ගැන අපට තියෙන්නේ වෙනත් අදහසක්. ආණ්ඩුව වැඩි කළ විදුලි බිල අඩු කළේ නෑ. ඒ අය කලේ, 40%ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් පනවා එයින් 25%ක් කපා හැරීම පමණයි. මාසෙකට ඒකක 60දක්වා වන ගාස්තුවම ඒකක 61සිට 66දක්වා අය කරන බව කීවාට එය බලපවත්වන්නේ වසරකට තුන්වරක් පමණයි. ඒ සහනය දෙන්නේත් නිවසේ උත්සවයක් තිබූ බව තහවුරු කළොත් පමණයි. ආණ්ඩුව හැම විටම කරන්නේ මේක. යමක් 20%කින් වැඩි කරන්න අවශ්‍ය වුණාම 50%කින් වැඩි කරනවා. පසුව සහන දෙනවා කියලා දෙවන වටදේී 30%ක් අඩු කර අවශ්‍ය ඇත්ත මට්ටම වන 20%ට ගේනවා. සාමාන්‍ය ජනතාව මේකට කියන්නේ ‘මොත්ත දේශපාලනය’ කියලා. මේ විදුලි ගාස්තු වැඩි කිරීම පැහැදිලිවම ජනතාවගේ බඩට ගැසීමක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජනතාවට වදින හැම පහරක්ම තදින්ම දැනෙනවා. හැබැයි, ජනතාවට දැනෙන පීඩාව පිළිබඳ හැඟීම විතරක් අපෙන් ප‍්‍රකාශ වීම ප‍්‍රමාණවත් නැහැ, ඔවුන්ට සැබෑ හා කල්පවත්නා ජයග‍්‍රහණ ලබාගන්නා සිතීමත් ඔවුන් තුළ ඇති කළ යුතුයි. මොකද ටික දවසකට පස්සේ මේවා සාමාන්‍යකරණය වෙනවා. බිලට අනුව මිනිස්සු හැඩ ගැහෙනවා. මේ ආණ්ඩු, මේ ක‍්‍රමය, පිරිහෙන කොට, ඒ අයගේ ප‍්‍රශ්න වැඩි වෙනකොට බර පටවන්නේ සාමාන්‍ය අහිංසක ජනතාව මත. මේක ලංකාවේ විතරක් නොවෙයි, මුළු ලෝකෙටම පොදු අත්දැකීමක්. ඒ නිසා නැති බැරි අය මත පැටවෙන බර අඩු කරගැනීමට අපි සටන් කරන්න ඕන. මොකද ඒ සටන් අරගල ඇතුලේ ජීවත්වෙන්නේ නැතිව සැබෑ ජනතා ජයග‍්‍රහණයේ මාවත පෙන්නන්න අමාරුයි. මේ විදියට විදුලි ගාස්තු වැඩි වීම මේ සමස්ත අර්බුදයේම එක් ප‍්‍රතිඵලයක් පමණයි. තවත් මෙවැනි ප‍්‍රතිඵල ඉදිරියේදී එන්නට නියමිතයි. තව තවත් ප‍්‍රහාරයන් ජනතාවට එරෙහිව ගැනීමට නියමිතයි. විදුලිය විතරක් නොවෙයි, ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ අර්බුදය පමණක් නොවෙයි, මිනිසුන්ගේ මිනිසත්කම නැතිකිරීමේ ඛේදවාවචකයටත් එරෙහිව ගැලවීම තිබෙන්නේ පුළුල් ජනතා ක‍්‍රියාකාරීත්වයක් මත පමණයි. ඒක, විදුලිය ප‍්‍රශ්නෙ පාවිච්චි කරලා ආණ්ඩුවක් හදාගන්න හරි, පාර්ලිමේන්තුවෙ මංත‍්‍රීකමක් දිනා ගැනීම වගේ අරමුනකට පටු නොවන සටනක් වෙන්න ඕනෑ. වාමාංශික ව්‍යාපාරයට ජනතාව වෙනුවට ආදේශ වෙන්න බෑ. හැබැයි ඔවුන් හා බැඳුනු සජීවී ක‍්‍රියාකාරීත්වයකින් පමණයි ඔවුන්ට සැබෑ ජයග‍්‍රහණ ලබා දෙන ගමන අරඹන්න පුළුවන්. ඔවුන් තුළ නායකත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. ජනතාව විචාරශීලි නොවුණොත්, සමාජය සක‍්‍රිය නොවුණොත් මේ ප‍්‍රශ්නය දිගටම එනවා. එක් හෝ තවත් ආකාරයකින් විදුලි සැර වදිනවා. අපි ඒ තත්වය වෙනස් කරන්න සමාජයට මැදිහත් වෙනවා.

ප‍්‍රශ්නය - රටට මානව හිමිකම් චෝදනා එල්ල වී තිබෙනවා. ඒක සාධාරණද?

පිළිතුර - රටට කියන්නේ මේ රටේ ජීවත්වන පීඩිත බහුජනතාවට නොවෙයි, ආණ්ඩුවට. මොකද ආණ්ඩුවයි, මේ ආණ්ඩුව විසින් පරිහානියට පත්කරලා තියෙන රටයි, ජනතාවයි අපි වෙන් කර ගන්න ඕනෑ. ඔව්, ආණ්ඩුවට එරෙහිව එල්ල වන චෝදනා වලට පැහැදිලි පදනමක් තිබෙනවා. හේතුව, දෙමළ ජනතාවට පමණක් නොවෙයි, අද වනවිට සමස්ථ ලාංකීය ජනතාවට මානව හිමිකම් හා අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පවා අහිමි වී තිබෙන බව ඉතා පැහැදිළි සත්‍යයක් නිසා. නමුත් මේ චෝදනා ඉදිරිපත් කරන අයගේ අරමුණ හා දේශපාලන න්‍යාය පත‍්‍රයන් පිළිබඳවත් අපි අනිවාර්යෙන්ම විමසිලිමත් වියයුතුයි. කවුරු,මොන අරමුනු සඳහා ඉදිරිපත් කළත් චෝදනාවල අඩංගු හරය බැහැර වන්නේ නැහැ. හැබැයි අපි තදින්ම විශ්වාස කරනවා, මේ ප‍්‍රශ්නයට විසඳුම තිබෙන්නේ අධිරාජ්‍යවාදීන් ඉදිරිපත් කරන පිළියම්වල නොවෙයි, සැබෑ ජනතා ක‍්‍රියාකාරීත්වයක් මතයි. සමහරු මේ චෝදනා ඉදිරිපත් කරන්නේ සැඟවුණු න්‍යාය පත‍්‍රයන් සහිතවයි. තවත් සමහර කොටස් මේ චෝදනා ඉදිරිපත් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව යුරෝපයේ වැඩුනු ප‍්‍රබුද්ධ සම්ප‍්‍රදායක ඉවකින් මිස ඇත්තටම ප‍්‍රශ්නය විසඳීම පිළිබඳව වූ අවබෝධයකින් නොවෙයි. ඒ අය මේ ප‍්‍රශ්න කතා කරන්නේ වතාවතක් වගේ පුරුද්දට. ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමේදී වෙනත් බලවේග මත විශ්වාසය තබනවා වෙනුවට අපි විශ්වාසය තබන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් පීඩිත ජනතාවගේ ඒකාබද්ධ ක‍්‍රියාකාරීත්වයක් තුළ පමණයි. මේක අසීරුයි, ඒත් ඇත්ත විසඳුම් හොයාගන්න නම් මේ හැර අන් මාවතක් නැහැ.

ප‍්‍රශ්නය - උතුරේ පළාත් සභා මැතිවරණයක් පවත්වන්න රජය සූදානමින් ඉන්නවා. විමල් වීරවංශ ඇමතිවරයා, ජාතික හෙළ උරුමය වැනි පාර්ශ්ව ඊට විරෝධය දක්වා තිබෙනවා. ඔබ මොකද කියන්නේ?

අපි එකඟ වුණත් නැතත් පළාත් සභා කියන්නේ පවතින ව්‍යූහයක්. ඒ ව්‍යූහයට දකුණේ ජනතාවට සහභාගිවීමට ඉඩ ප‍්‍රස්තා තිබියදී, උතුරේ ජනයාට ඒ ඉඩ අහිමි කිරීම අපට පිළිගන්න බෑ. මේ මැතිවරණවලින් ජනතාවගේ මතය අව්‍යාජව හා නිවැරදිව නිරූපණය වන බවක් අපි සිතන්නේ නෑ. ඒත් උතුරේ ජනයාට මේ මැතිවරණ තුළ තමන්ගේ අයිතිය ප‍්‍රකාශයට පත් කිරීමේ ඉඩ ලබා දිය යුතුයි. අපි පළාත් සභා නිශ්ඵලයි, ජාතික ගැටළුවට එයින් විසඳුමක් නොලැබෙන බව අවස්තා ගණනාවකදී ප‍්‍රකාශ කොට තිබෙනවා. එහෙත්, ඔබ කියූ පාර්ශ්ව ඒක කියන්නේ අපි කියන අර්ථයෙන් නොවෙයි. පටු ජාතිවාදී පදනමෙන්. ස්වයං-විනාශකාරී, ජනතාව බෙදන, දුර්වල කරන, බෙලහීනත්වයට හා අවමානයට ඇදදමන ජාතිවාදයේ පදනමින්. ඔය ඇතැම් පාර්ශ්ව පළාත් සභා නිශ්ඵලයි කියන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයේ විනාශකාරීත්වය හිස් මුදුණෙන් පිළි අරගෙන. පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍යයේ අග‍්‍රස්ථය වශයෙන් සළකමින්. මේක ඒ අයගේ ප‍්‍රශ්නයකටත් වඩා දැන් තිබෙන දේශපාලන තත්තවයේ පරාවර්තනයක්. ආණ්ඩුව නම් වෙලාවක තර්ටීන් ප්ලස් කියනවා, ආයෙත් පළාත් සභා එපා කියනවා, ඒ කියන්නේ, එක එක කණ්ඩායම් වලට අනුව කළමණාකරණයේ සෙල්ලම ගෙනියනවා.

ප‍්‍රශ්නය - දෙමළ ඩයස්පෝරාව බොහොම බලවත් ස්වරූපයක් පෙන්නුම් කරනවා. ශ‍්‍රි ලංකාව ඒ බලවේගයට මුහුණ දිය යුත්තේ කෙසේද?

පිළිතුර - අපි හිතන්නේ ඔබ ඇසූ ප‍්‍රශ්නය නිවැරදි නැහැ. ඩයස්පේරාව කියන්නේ විවිධ හේතු මත විදේශගත වූ මේ රටේම පුරවැසියන්. විදෙස්ගත දෙමළ ජනප‍්‍රජාව ගත්තොත් ඔවුන්ට රටින් පිටවන තත්වයක් නිර්මාණය කළේ මේ රටේ ජාතිවාදී දේශපාලනය විසින්. දෙමළ ඩයස්පෝරාව තුළ සිංහල ඩයස්පෝරාව වගේම, විවිධ දේශපාලන අදහස් දරන කොටස් ඉන්නවා. සිංහල ඩයස්පෝරාවේ වගේම දෙමළ ඩයස්පෝරාව තුළත් දක්ෂිණාංශික ජාතිවාදී බලවේගයන් ඉන්නවා. මෙම බලවේගයන් ගේ දේශපාලන ප‍්‍රවේශයට වූ පාදක වූ හේතු සාධක ගැන අපට විග‍්‍රහයක් තිබෙනවා. එම දේශපාලන ප‍්‍රවණතාවයන් එවැනි ප‍්‍රතිගාමීත්වයකට යාම නැවැත්වීමට නම් රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරක්ෂිත කළ යුතුයි. සිංහළ, දෙමළ, මුස්ලිම් සියලු ජාතික ප‍්‍රජාවන්ට සම අයිතිය ස්ථාපිත විය යුතුයි. ඒ හැර අන් කවර මාර්ගයකදී වුවත් සිදු වන්නේ අන්තවාදයක් පෝෂණය වීම පමණයි. විදෙස්ගත ලාංකීය ප‍්‍රජාව තුළ එවැනි අන්තවාදයන්ට තල්ලුවීමට එරෙහි දේශපාලන අරගලය අවුළුවාලීමට අප පැහැදිලි ආරම්භයක් ගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔබට තවම උපන් රටට ඇවිත් නිදහසේ හැසිරෙන්න පුළුවන් වාතාවරණයක් නැද්ද?

පිළිතුර - රටේ වාතාවරණය ගැනත්, සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරැකෙන මට්ටම ගැනත් ජනතාවට අවබෝධයක් ඇතැයි මම හිතනවා. මම රටෙන් පිටවුනා නෙවෙයිනේ. අපි ජාත්‍යන්තරවාදීන් හැටියට ඕනෑම රටක ජනතාව සමඟ එක්වී දේශපාලනය කරන්න ඉන්න තැන බාධාවක් නෑ. අනෙක් අතට දැනටත් දුෂ්කරතා මධ්‍යයේ වුවත් පක්ෂයේ සහෝදරවරුන් සමග දෛනිකව සම්බන්ද වෙමින් තමයි දේශපාලනය කරන්නේ. ඒත් පක්ෂයේ සහෝදරවරු අතර, මම දන්නා සමාජයක් සමග මේ සියලු දුෂ්කරතාවලට සජීවීව එකට සිට මුහුණ දෙන්න තිබුණා නම් මම වඩා කැමතියි. කෙසේ වෙතත් මම දේශපාලනය කරන තැන හා ආකාරය තීරණය කළ යුත්තේ පක්ෂයයි.

ප‍්‍රශ්නය - පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මැතිවරණයකට මුහුණ දීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර - ස්ථිරවම පුළුවන්. අපි මැතිවරණවලට තරග කිරීම තීරණය කරන්නේ අපේ හැකියාව මත නොවෙයි. මැතිවරණ ගැන අපට පුළුල් විග‍්‍රහයක් තිබෙනවා. මැතිවරණ ක‍්‍රමයම සැකසිලා තිබෙන්නේ ජනතාවගේ ස්වේච්ඡා කැමැත්ත ප‍්‍රකාශයට පත් කරන ආකාරයෙන් නොවෙයි. නමුත් මැතිවරණ වේදිකාව හෝ ඊනියා නියෝජිත ආයතන හෝ ජනතා නියෝජිතයින් හෝ ජනතාව වෙත අධ්‍යාපනය ගෙනයාමේ තවත් මාධ්‍යයක් ලෙස අප කිසිසේත්ම බැහැර කරන්නේ නෑ. ඒත් මේ ආණ්ඩු, මේ ක‍්‍රමය, දේශපාලනය කරන්නේ පාර්ලිමේන්තු ඇතුලේ පමණක් නොවන නිසා, අපේ දේශපාලනයත් මැතිවරණවලට පමණක් සීමාවන්නේ නැහැ. මැතිවරණවාදී නොවී මේක කරන්නේ කොහොමද කියන අභ්‍යාසය අප ඉදිරියේ තිබෙන අභියෝගයක්. ඒත් මැතිවරණයකදී ආණ්ඩුවට ඇති න්‍යාය පත‍්‍රය කුමක්ද?, ආණ්ඩුව විවිධ මැතිවරණයන් විවිධ වකවානුවල කැඳවන්නේ කුමන අරමුණෙන්ද, මෙහිදී සමාජයට ලැබෙන ජයග‍්‍රහණ මොනවාද, යන්න ගැන අපි සිතනවා. ආණ්ඩුවේ මර උගුල් ලෙස පැමිණෙන මැතිවරණවලට බෙල්ල නැමීම තුළ වෙන්නේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීමටම බාධා වෙන එක. අපි හිතන්නේ සුළුවෙන් හෝ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් දිගු කාලීන ජනතා ජයග‍්‍රහණයන්ට අවශ්‍ය ලෙස භාවිත කළ යුත්තේ එම අරමුණ ජනතාව වෙත තහවුරු කරමිනුයි.

ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර - දැන් පොදු අපේක්ෂකයාගේ කතාව විලාසිතාවක් වෙලා, පොදු අපේක්ෂකයෝම දුසිමක් විතර ඉන්නවා. දැන් පොදු අපේක්ෂක කතාව ඉදිරියට එන්නේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට ගැසීමේ හා ජනතා අරගල කඩාකප්පල් කිරීමේ ප‍්‍රයත්නයක් විදියට. පවතින පාලන තන්ත‍්‍රය පරාජය කිරීමේ දැවෙන අවශ්‍යතාවක් තිබෙන බව අපි පිළිගන්නවා. මේක මුළුමනින්ම ව්‍යසනකාරීත්වයක්. ඒත් ඒක පරාජය කර තවත් එවැනි පාලනයක් ගෙන ඒමට අටවන උගුල්වල කොටස්කරුවන් වීමට අප සූදානම් නෑ. අපේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමහර වෙනස්කම් සිදුවීම හෝ නොවීම තීරණය වෙයි. ජනතාව සකී‍්‍රය කිරීම හා ඔවුන් සංවිධානය කිරීම අතහැර පොදු අපේක්ෂක සංවාදයට ජනතාව ඇදදැමීමට අපි සූදානම් නෑ. අනෙක විධායක ජනාධිපති ධූරය සම්බන්දයෙන් පැහැදිලි අදහසක් අප පක්ෂය සතුව තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ ජනප‍්‍රිය කතිකාවන්ට බැහැරින් සැබෑ ජයග‍්‍රහණයේ මාර්ගයක් ජනතාවට හෙළි පෙහෙළි කර දීමේ අරගයට දායක වෙමින් සිටිනවා.

සාකච්ඡා කළේ - දයාසීලි ලියනගේ
(2013.05.19 ඉරිදා ලංකාදීප)

0 comments:

Post a Comment