Saturday, April 12, 2014

අවසන් සටන ගැන මාලිංග හෙළිකරයි

Lasith Malinga
වසර 18කට පසුව ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යන්තර පරිපාලනයේ ඇති ගැටලු සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිවී තිබේ.

1996 වසරෙන් පසුව ලබා ගත් මේ විස්සයි-20 ලෝක කුසලානය අතරතුර මතුවූ ගැටලු, නායකත්වයේ වෙනස්කම් සහ කණ්ඩායම මෙරටට පැමිණි පසු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් ආයතනය විවේචනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ අදහස් පළ කෙළේය.

ගියේ උපනායකයා විදියට ආවේ නායකයා විදියට නේද? යන අදහස මාලිංග ඉදිරිපිට තැබූ විට.. 'අවසන් පූර්ව තරගයෙන් පසු තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරියත්, තේරීම් කමිටුවේ නිලධාරීනුත්, පුහුණුකරු හා කණ්ඩායමේ කළමනාකරුත් අවසන් තරගයේදී නායකත්වයට මාව තෝරාගෙන ඇති බව මට දැනුම් දුන්නා' යනුවෙන් පවසා එතැනින් නිහඬ වූයේ නැත. "මම වසර 6ක් පමණ අයි.පී.එල්. තරග ක්‍රීඩා කරලා තියෙනවා, විස්සයි-20 තරග විශාල ප්‍රමාණයකට සහභාගි වෙලා තියෙනවා.

ඒ අත්දැකීමත් එක්ක මට වුවමනා වෙලා තිබුණා අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විවිධ දස්කම් අවසන් තරගයට යොදාගන්න. මේ නිසා අවසන් තරගයට පෙර දින රාත්‍රියේ සියලු පන්දු යවන්නන් සමඟ සාකච්ඡා කරන්න තීරණය කළා. ඒ නිසා එක් එක් පන්දු යවන්නන් මගේ කාමරයට කැඳවලා ඔවුන්ගේ හැකියාවන් කොහොමද අවසන් තරගයට යොදාගන්නේ කියලා සාකච්ඡා කළා. එහෙම කළාම තමයි ඔවුන්ගේ මානසිකත්වය හැදෙන්නේ. මම ඒ කරපු දේ සාර්ථක වුණා කියලා හිතනවා" යනුවෙන් ලසිත් මාලිංග පිළිසඳරට එසේ එක්වුණේය.

"පිතිකරුවන්ට මට විශේෂයෙන්ම කියන්න ඕනකමක් තිබුණේ නැහැ. විශාල අත්දැකීම් සහිත පිතිකරුවන් ගොඩක් හිටියා. චන්දිමාල්ට වැඩිය ළහිරු තිරිමාන්න ලකුණු අතර හිටියා. පොඩි ප්‍රශ්නයකට තිබුණේ කුමාර් අයියා ලකුණු අතර නැති එකයි. ඒත් මම කුමාර් අයියට කිව්වා කුමාර් අයියෙ ලකුණු ගැහුවත් නැතත් මට ප්‍රශ්නයක් නැහැ ඕවර 20 මට බැට් කරලා දෙන්න, අපි මැච් එක දිනනවා කියලා. ඒ දේ සාර්ථක වුණා. මහේල අයියත්, කුමාර් අයියත් එයාලගේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා මට උදවු කළා. තිසර පෙරේරාට මම කිව්වා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ පන්දු යවන්නාගේ දක්‍ෂතාව අපට අදාළ නැහැ. ඔයා ඊට වඩා වේගයෙන් පන්දුවට පහර දෙන නිසා කුමන ස්ථානයකින් පන්දුවට පහර දෙන්න ගියත් අත දිග හැරලා ගහන්න කියලා. නායකයෝ හතර දෙනෙක් කණ්ඩායමේ හිටියා. නායකයකු හැටියට මම බලාපොරොත්තු වුණ සියලු දේවල් මට ලැබුණා. ඒ හැම කෙනෙක්ම මට සහයෝගය දැක්වුවා. ඒකයි මම හැමවෙලාම කියන්නේ මේ ජයග්‍රහණය වාසනාවට ලැබුණ දෙයක් නෙවි, සැලසුම් ඇතිව ලැබූ ජයග්‍රහණයක් කියලා"පිටියේදී ඉන්දියන් ක්‍රීඩකයන් අපේ ක්‍රීඩකයන් අපහසුතාවට ලක්වන විදියේ ප්‍රකාශ කළාද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් නායකයා,

"ශ්‍රී ලාංකිකයන් වීම ගැන අපි හරිම වාසනාවන්තයි. පසුගිය කාලයේ විවිධ චෝදනා අපට එල්ල කළා. අපි මුදලට ක්‍රීඩා කරනවා කිව්වා, අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ කිව්වා. ඉතින් ඔය හැම දෙයක්ම අහලා, අපට අමුතුවෙන්ම මනස හදාගන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා ඉන්දියන් ක්‍රීඩකයන් මොනවා කිව්වත් අපට ප්‍රශ්නයක් වුණෙත් නැහැ, එහෙම ඔවුන් මොනවත් කිව්වෙත් නැහැ. තරගයෙන් පසුවටවත් එහෙම වචන හුවමාරු වීම් වුණේ නැහැ. ලයින් එකෙන් ඇතුළේ විතරයි අපි තරගයක් තියාගන්නේ. ලයින් එකෙන් පිටදී අපි හොඳ යාළුවෝ"

ඇතැම් අය කියනවා ඔබ වාසනාවන්තයි කියලා. තවත් අය කියනවා ඔබ දක්‍ෂයි කියලා. ඔබ හිතන්නේ මේ හැම දෙයක්ම ලැබුණේ ඔබේ වාසනාවන්තකමටද? දක්‍ෂකමටද?

මම වාසනාව කියන දේ පිළිගන්නේ නැහැ. 2012 විස්සයි-20 නායකත්වයෙන් මහේල ජයවර්ධන අයින් වෙන කොට මැතිව්ස් කැප්ටන් කරලා මම උපනායකයා වෙලා හිටියා. ඒක වසරකට ක්‍රිකට් ආයතනයෙන් පත් කරපු එකක්. මැතිව්ස්ගේ නායකත්වය යටතේ අපි තරග දෙකක් ඕස්ට්‍රේලියාවේදී ජයග්‍රහණය කළා. එතකොටත් අපි අංක එකේ ටී 20 කණ්ඩායම. ලංකාවට ආවට පස්සෙ ඇන්ජිලෝ මැතිව්ස් විස්සයි-20 නායකත්වයෙන් ඉවත් කරලා ටෙස්ට් හා එක්දින දෙකේ නායකයා කරලා විස්සයි-20 නායකත්වයට චන්දිමාල් ගෙනාවා. මම උපනායකත්වයේ ඉන්නකොට චන්දිමාල් නායකත්වයට ගෙනාව හේතුව මම දන්නෙ නැහැ. විස්සයි-20 වල මම ලබපු අත්දැකීම්, මගේ දක්‍ෂතා නිසා මම හිතන්නේ මම කැප්ටන් කළා පරක්කු වැඩියි කියලා. ඒ නිසයි මම නිතරම කියන්නේ මම වාසනාවට වඩා දක්‍ෂතාවෙන් ආපු ක්‍රීඩකයෙක් කියලා. වාසනාව තිබුණා නම් මීට කලින් මට ගොඩක් දේවල් ලැබෙන්න තිබුණා. ඒ කිසි දෙයක් ලැබිලා නැහැ. මම අයි.පී.එල්. ගියෙත් මගේ දක්‍ෂතාව නිසයි.

ඉදිරියටත් නායකත්වය ලැබුණොත් බාරගන්නවද?ඔව්. මම තරගාවලියට යන කොට උපනායකයා. දිනේෂ් චන්දිමාල් වසර එකහමාරක් විස්සයි-20 නායකයා වෙලා හිටියා. අවාසනාවට ඔහුට එංගලන්ත තරගයෙන් තරග තහනමක් ආවා. මේ නිසා ඊට පස්සේ මාව නායකත්වයට පත්කළා. ඊට පස්සේ තීරණය කරලා තිබුණා දිනේෂ් චන්දිමාල්ව අයින් කරලා දිගටම මාව නායකත්වයේ තියන්න. ඉතින් මම හිතන්නේ මින් ඉදිරියට විස්සයි-20 නායකයා මම කියලා. ඔවුන් මට කිව්වොත් ඔබට වඩා ළාබාල ක්‍රීඩකයෙක් නායකත්වය සඳහා බලනවා කියලා නායකත්වය බාරදීලා මම යනවා. මම නායකත්වය හඹා ගිය ක්‍රීඩකයෙක් නෙවෙයි. මම ක්‍රීඩා කරන්නේ, ක්‍රීඩා කෙළේ රට වෙනුවෙනුයි. මගේ ජයග්‍රහණය සම්බන්ධව යාළුවො කතා කළා. මම ගැන දන්නේ මගේ යාළුවො විතරයි. කවුරුත් මගේ දක්‍ෂතාව දිහා නෙවී බැලුවේ. මම කොණ්ඩේ පාට කරපු ඒවා. මම කරාබු දාන ඒවායින් තමයි මිනිස්සු මාව මැන්නේ. මට පහුගිය කාලෙදී චෝදනා එල්ල වුණා මම සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නෙවෙයි කියලා. මම ඒවට දුක් වෙන්නේ නැහැ.

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු මුලින්ම කතා කෙළේ කවුද?මගේ පුහුණුකරු චම්පක සර් තමයි මට මුලින්ම කතා කෙළේ. වසර 10-11ක් එයා මාත් එක්ක ක්‍රීඩකයෙක් විදියටත්, පුහුණුකරුවකු විදියටත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි, අනූෂ සමරනායක මහත්මයත් ගොඩක් සතුටුයි මගේ නායකත්වයෙන් ලෝක කුසලානයක් දිනාගැනීම සම්බන්ධව. මමත්, නුවන් කුලසේකරත් කණ්ඩායමේ සිටියදී ලෝක කුසලානයක් දිනාගැනීමේ සිහිනය තමයි චම්පක සර්ගේ එකම බලාපොරොත්තුව වුණේ. නුවන් තමයි අවසන් තරගයේ උපනායකයා වුණේ. ඉතින් ඒක ඉටු වුණා. තරගයෙන් පස්සේ චම්පක සර් මට කතා කළා. ගොඩක් කියන්න හම්බ වුණේ නැහැ සතුට වැඩිකමට ඒ අයට ඇඬුණා. ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනකොට තමන්ගේ පුතා කණ්ඩායමේ නායකයා වීම ගැන අම්මයි තාත්තටත් ලොකු සතුටක් තියෙනවා.

කවදා හෝ ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ?කවදහරි ක්‍රිකට් පරිපාලනයට මගේ දැනුමෙන් වැඩක් ගන්න ඕන කියලා මට කිව්වොත් ඕනෑම අවස්ථාවක සතුටින් ඒ දේ බාරගෙන කියලා දෙනවා. හැබැයි මම ටෙක්නිකල් පැත්තෙන් නෙවෙයි කෝච් කෙනෙක් වෙනවා නම් වෙන්නේ ටැක්ටිකල් පැත්තෙනුයි.

පවුලේ විස්තර සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මාලිංග, මගේ පවුලේ අම්මයි, තාත්තයි, අයියයි මල්ලියි තමයි ඉන්නේ. මම දැන් මැරිකරලා බිරියගේ නම ටාන්යා, මට දුවකුයි, පුතකුයි ඉන්නවා. සෑම තරගයක් අවසානයේම මම ඔවුන් එක්ක ඉන්න ආසයි. අපි හැමදේම බැලන්ස් කරගෙන පවුල් ජීවිතය ගෙනියනවා.

මාලිංග කියන්නේ හොඳට ඩ්රින්ක්ස් ගන්න කෙනෙක් කියන කට කතාව සම්බන්ධයෙන්ද විමසා සිටි අවස්ථාවේදී ඔහු සිනාසෙමින් එයට මෙසේ පිළිතුරු දුන්නේය.
"මම කලින් කිව්වා වගේ බොහෝ දෙනෙක් මාව මැනලා ඉන්නේ බාහිර පෙනීමෙන්. ඕනෑම කෙනකුට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ඒත් මම ඔය කිසිවක් මගේ ජීවිත කාලෙටම පාවිච්චි කරලා නැහැ. ඒ ගැන මගේ ළඟින් ඉන්න අය දන්නවා. මගේ හිතත් දන්නවා' යැයි පවසද්දී ඔහුටත්, අපටත් සමුගැනීමට කාලය එළැඹී තිබිණි.

විචිත්‍ර වීරසිංහ.

0 comments:

Post a Comment