Tuesday, April 8, 2014

මැයි දිනය එක ගෙයි කෑමක්ද?

ලංකාවේ පමණක් නොව බොහෝ රටවල වාමාංශික ව්‍යාපාරයන් ‘මැයි දිනය’ වැඩ කරන ජනයාගේ දිනය ලෙස සලකා මහ ඉහළින් සමරනු අපට දැක්ක හැකිය. මෙම මැයි දින සමරු හරහා ‘ප‍්‍රදර්ශනය වන’ කම්කරුවන්ගේ බලය ධනපති ආණ්ඩු සමඟ කේවල් කිරීමට, ඒ සඳහා ඉතා සීමිත පරිමාවක් තුළ කම්කරුවන්ගේ එක්සත් භාවය රඳවා තබා ගැනීමට මෙන්ම පාක්ෂිකයන්ගේ උද්යෝගය රඳවා තබා ගැනීමට හැර නිර්ධන පන්ති රාජ්‍ය බලය ලබා ගැනීමේ දිශාවට හා පන්ති අසමානතාව අහෝසි කිරීමේ දිශාවට මෙහෙයවීම පිළිබඳව ලංකාවේ අපට නම් උදාහරණ නැති තරම්ය. එබැවින්ම නූතන කම්කරු පරම්පරාවලට මැයි දිනය අදාළ වන්නේ හුදු රජයේ නිවාඩු දින ලෙසින් පමණි.‘පැරණි හා නව’ වමේ ව්‍යපාරවල තුළ දේශපාලන හැසිරීම විසින් මෙසේ කම්කරු දිනය නූතනම කම්කරු ප‍්‍රජාවන් හමුවේ හුදු නිවාඩු දිනයකට ඌනනය කර හමාරය. එබැවින් නූතන කම්කරු පන්ති ව්‍යාපාරයන් මැයි දිනය කෙරෙහි තමන්ගේ ආකල්ප නිර්ණය කර ගැනීම පාදා ගත යුත්තේ කොහෙන්ද? එනම් කම්කරු පාන්තික දේශපාලනය යන්න යළි අවධාරණය කර ගැනීමෙන් යැයි අපි විශ්වාස කරමු. කම්කරු පන්තිය යන්නම හඳුනා ගත නොහැකි තරමට ව්‍යුහීය වෙනස්කම්වලට ලක්ව ඇති වර්තමානයේ තවත් මැයි දිනයක් අබියස කම්කරු පන්ති දේශපාලනය යන්න සාකච්ඡුාවට ලක් කිරීම මෙම ලිපියේ අරමුණයි. 

වැටුප් සඳහා ගෙන යන කම්කරුවන්ගේ අරගල පිළිබඳ මෑත කාලීන දේශපාලන කතිකාව තුළ යම් ආකාරයක සාකච්ඡුාවට ලක් වූ බව අපට නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ
වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් කම්කරුවන් සවිඥානික දේශපාලන අරගලයේ පැත්තට නොව පඩි වැඩි කරගැනීමේ ආර්ථික අරගලයේ දිශාවට පෙළ ගැස්වීමේ තත්වයක් තුළ, ඉන් පසු කතිකාව තුළ කම්කරුවන්ගේ වැටුප් සඳහා අරගලය පිළිබඳ වාම ව්‍යාපාරයේ ආකල්පය යම් සාධනීය නොවූ හා අසුබවාදී ආකල්පයක් විය. එහෙත් ඒ පිළිබඳ මාක්ස් පවසා සිටින්නේ කුමක්ද? ”ප‍්‍රාග්ධනයේ මංකොල්ලකාරී ව්‍යාප්තියට විරුද්ධව සටන් කිරීමට ප‍්‍රතික්ෂේප කිරීම හා තම තාවකාලික යහපතක් සඳහා ඉඳහිට ඇති වන තත්වයන් ප‍්‍රයෝජනයට ගැනීමත් කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කළ යුතුද? කම්කරුවෝ මෙලෙස ක‍්‍රියා කළෝ නම් කිසිදු ගැලවීමක් නැති අන්ත දරිද්‍රතාවට පත් දුගී ජනතාවක් බවට ඔවුහු පත් වනු ඇත්තාහ. වැඩි වැටුප් සඳහා කම්කරුවන් ගෙන යන අරගලය මුළු මහත් වැටුප් ශ‍්‍රමය සමඟ අඛණ්ඩ ලෙස එකට වෙළී පවතින බවත් වැටුප් වැඩි කර ගැනීම සඳහා කම්කරුවන් ගෙන යන අරගලවලින් 99%ක් ම ශ‍්‍රමයෙහි වටිනාකමෙහි පවතින වැටුප එලෙසම තබා ගැනීමට දරන ආයාසයක් බවත් ශ‍්‍රමයේ මිල සඳහා ධනපතියන්ට විරුද්ධව කම්කරුවන්ට සටන් කිරීමට සිදු වී ඇත්තේ ඔවුන්ට තමන් භාණ්ඩ ලෙස විකිණීමට බල කෙරී තිබෙන තත්වය නිසා බවද මම පෙන්වා දුන්නෙමියි සිතමි.” (කාල් මාක්ස් - වැටුප් මිල සහ ලාභය 69-70 පිටු* 

එසේ නම් කම්කරුවා සංවිධානය කිරීමේ මූල බීජය ඇත්තේ කම්කරුවා ‘අන්ත දරිද්‍රතාවට පත් දුගී ජනතාවක් බවට පත් වීමේ’ ඉරණමට එරෙහිව සිදු කරන අරගලය තුළ බව පැහැදිලිය. එබැවින් කම්කරු පන්ති දේශපාලනයේ දී කම්කරුවා ස්වකීය ශ‍්‍රමයේ වටිනාකමෙහි පවතින වැටුප එලෙසින්ම තබා ගැනීමට දරන ආයාසය මඟ හැර යා නොහැකිය. එනම් වෘත්තීය සටන මඟ හැර යා නොහැකිය. එහෙත් ලංකාවේ වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය තුළ දක්නට ලැබෙන සුලබ අත්දැකීම වූයේ වැඩි වැටුප් හා අඩු පැය ගණන සඳහා සිදු කරන වෘත්තීය සටන නිෂ්ඨාවක් නොව උපාය මාර්ගයක් බව අමතකව යෑමයි. 

‘‘වැඩි වැටුප් සහ අඩු පැය සඳහා අරගලය දැන් කර ගෙන යන පරිදි වෘත්තීය සමිතිවල සමස්ත ක‍්‍රියාකාරීත්වයේම නිෂ්ඨාවක් නොව, උපාය මාර්ගයක් බව, ඉතා අවශ්‍ය හා බලගතු උපාය මාර්ගයක් බව, එහෙත් වඩාත් උසස් අරමුණක් දෙසට යොමු වූ, එනම් වැටුප් ශ‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම දෙසට යොමු වූ උපාය මාර්ගවලින් එකක් බව අමතක කිරීමයි.’’ 
(කාල් මාක්ස් - වැටුප් ශ‍්‍රමය 23 පිටුව)

එබැවින් වැටුප් සඳහා කරන වෘත්තීය අරගලය හැම විටම ‘‘ප‍්‍රතිසංස්කරණවාදය හා ළඟින් බැඳී ඇති’’ බව පැහැදිලිය. එබැවින් කම්කරුවා හුදු වැටුප් සඳහා කරන අරගලයටම ගාල් නොවී ක‍්‍රම විරෝධී අරගලයක් වෙත කැඳවීමේ දී වැටුප් අරගල හා ක‍්‍රම විරෝධී අරගලයන්ගේ සමපාතනය සොයාගත යුත්තේ කොතැනද? එනම් එංගල්ස් පවසා ඇති පරිදි ‘‘කම්කරුවා අන්ත දරිද්‍රතාවට පත් දුගී ජනතාවක් බවට පත්වීමේ ඉරණමට එරෙහිව’’ සිදු කරන ජීවිතය උදෙසා වන අරගලයක් තුළය. එනම් ශ‍්‍රම කාලය දිග්ගැස්සවීම හා ශ‍්‍රම සූක්ෂ්මතාව හරහා දිනෙන් දින වැඩි කරන කම්කරුවා මත හෙළනු ලබන පීඩනයට එරෙහිව, වැඩ දිනය කෙටි කර ගැනීමට කම්කරුවා කරනු ලබන අරගලය තුළ ධනේශ්වර වැඩ දිනය කෙටි කර ගැනීමට ඔහු කරන අරගලය තුළට හා දවසේ ඉතිරි කාලය ඔහුගේ විඥාතභාවය, අවබෝධය, සංස්කෘතිය වර්ධනය කර ගැනීමට යොමු කර ගැනීම තුළය. 

කම්කරු පන්ති දේශපාලනයේ දී වැඩ දිනය කෙටි කර ගැනීම, වැටුප් සඳහා අරගලය මෙන්ම මානව සංහතියේ විශිෂ්ටතම ඵල අත්පත් කර ගැනීමේ අරගලයට ද කම්කරුවා නොඑළඹෙන්නේ නම් ධනේශ්වර ක‍්‍රමය විසින් ඔහු මත හෙළා ඇති ද්‍රව්‍යමය විලංගුවෙන් හෝ විඥානමයවිලංගුවලින් ගැලවීමට පන්තියක් ලෙස හෝ අසමත් වනු ඇත. වැඩ දිනය කෙටි කර ගැනීමට ඔහු කරන අරගලය වඩාත් ඵලදායී අරගලයක් වනුයේ ඔහුගේ දවසේ ඉතිරි පැය ගණන රූපවාහිනී චැනලයක් හෝ එෆ්.එම්. නාලිකාවක් මඟින් ඔහු මත වැගිරීමට නියමිත දහසක් මතවාදී මිථ්‍යාවලින් අවරසික කලා රසාස්වාදනයෙන් ගැලවීමට කම්කරුවා සමත් වන්නේ නම් පමණි.

මහේෂ් කුමාර

0 comments:

Post a Comment