Tuesday, April 8, 2014

අවිචාර අවධියක් පසු කරන මොහොතක

රටක අවිචාර අවධියක් පසු කරන විට බල්ලෝ සිනා සෙති. මී හරක් රජවෙති. කොටියෝ සිල් ගනිති. සිංහයෝ සිඟා කති. බුරුවො රස්සාවල් කරති....

ප්‍රවීණ නාට්‍ය වේදී ආර්. ආර් . සමරකෝන්ගේ " ඩිංගි අම්මා " නාට්යේ එක්තරා දෙබසක එසේ සඳහන් විය. එම දෙබසටම මුළු නාට්‍යම පාලක ගර්හිතයන් ගේ කතුරට හසු විය. නාට්‍ය මෙන්ම ඔහු සමාජය වෙත මුදා හල ආවේගය ද මදකට නතර වන්නට ඇත. . එහෙත් ඉහතකී සත්‍ය වාරණයෙන් සමාප්ත කල නොහැකි විය.

සමාජ විද්‍යාත්මක හරයෙන් ගත් විට අප පිවිස සිටින්නේ නිදහසට වැට බඳින භීම සමයකටය. ලෝක ඉතිහාසය පුරාම මෙවැනි අරාජික සමයන් පසු කර ඇත. එහෙත් වෙනස ඇත්තේ මේ ගඳගසන සමාජ රටාව අතික්‍රමණය කිරීමට පසුබට වන මිනිසුන් ගේ වර්ධනයක් අප රට තුල බිහිවීම පමණි. නමුත් යුගය ඉල්ලා සිටින වෙනසද එයයි.

රටක ප්‍රජාතන්ත්‍ර වාදය අහෝසි වන විට නිදහස් මතධාරීන්, ජනතාවාදී ක්‍රියාකරුවන් , ඇතුළු ප්‍රගතිශීලී පිල බලහත්කාරයෙන් නිහඬ කරණ බව ඉතිහාසයේ සිදුවීම් වලින් පෙනේ. මෙම තත්වයන් ඇතිවීමට මුලික වන්නේ පාලකයන්ට තව දුරටත් සිය පාලනය ගෙන යාමට නොහැකිවීම , සිය පැරණි ක්‍රමයට ජීවත් වීමට නොහැකිවීම යන විෂය මුල වටපිටාව මැද දුර්වල රාජ්‍යන් බිඳවැටීම තුලිනි. . හිට්ලර් , මුසලෝනි, මාකෝස්, බොනපාට් වැන්නන් ලොව තුල බිහි වන්නේ එකී වටපිටාව මැදය.

එහෙත් අප ගත කරන වර්තමාන යුගයේ ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් තත්වයකි. මෙය හිට්ලර්ගේ ඒකාධිපතිත්වයක් හෝ ධනේශ්වර ආඥාදායකත්වයක් බිහිවීමක් නොවේ. එය එසේ නොවන්නේ ආවර්ධිත ධනේශ්වර රාජ්‍යක , බටහිර ණය මත හිලව් වන පරාධීන ආර්ථිකයක් මැද , ඊටත් වඩා කොදෙව් මානසිකත්වයක් හිසමත දරා සිටින , වැඩවසම් රජ මානසිකත්වයකින් ඔද්දල් වූ පාලිතයන් පිරිසක් අපව පාලනය කරන බැවිනි. මෙයට යෙදිය හැකි කෙටිම හා සුදුසුම නාමය " අවිචාර සමය" යි.

ඉතිහාසයේ මෙවැනි අවිචාරවත් අවදීන් අභිබවා ජනතාවගේ පරමාර්ථ දිනවීමට මිනිසුන් විවිධාකාරයෙන් සටනට අවතීර්ණ විය. කළා කරුවන් , ලේඛකයන් , නිර්මාණ කරුවන් , වාමාංශික දේශපපාලන ක්‍රියාකරුවන් මානව හිතවාදීන් ඒ අතර ප්‍රමුඛතානයක් ගනී. 1934 දී ජර්මනියේ බලයට පත් හිට්ලර් ලක්ෂ ගණන් මිනිසුන් මරාදමමින් , ජනතාව සිරකඳවුරු තුලට ගාල් කළේය. නමුත් මේ සියලු සැහැසිකම් හමුවේ බ්‍රෙෂ්ට් ගේ කවිද, ජුලියස් පුචික්ගේ පන්හිඳ ද , චාලි චැප්ලින්ගේ සිනමා පටද ඊට එරෙහිව මහා හඬක් නැගුවේය. මේ සියලු උත්සාහයන් තුල ජනතාවගේ මතය අවුළුවා ලීමටඔවුන් සමත් විය.

1966 ආහාර හිඟය, විරැකියාව වැනි අතිදුෂ්කර තත්වයන් ප්‍රයෝජනයට ගෙන නයිජීරියානු රජය පෙරලා අති අමානුෂික හමුදා පාලනයක් . එරට බිහිවිය. සියල්ල දෙස උදාසීනව , අපේක්ශාභංගත්වයෙන් බලා සිටි නිද්‍රාශීලී ජනතාව අවධිකිරීමේ යුග මෙහෙවර අප්‍රිකාව තුල බිහිවූ ශ්‍රේෂ්ට ලේඛකයෙකු වූ චිනුවා අචබේ වැනි සාහිත්යධරයන් නොපැකිලිව බාරගන්නා ලදී. මෙම භීම සමය අතික්‍රමණය කරන්නේ කෙලෙසක දැයි ඔහු ජනතාවට සිය ලේඛන කලාව ඔස්සේ කියාදුන්නේය.

රුසියානු වැඩවසම් පාලකයන්ගේ සපත්ත්වට පෑගී , ඉරිතැලුණු ජන ජීවිතය අවධිකිරීමට මැක්සිම් ගෝර්කි වැනි ජනතාවාදී කළා කරුවන් බිහි විය. ජනතාව අන්ධානුකාරයෙන් රැවටී සිටි , දේවත්වයෙන් සමාජයේ යතාර්ථය වසාසිටි අඳුරු තිමිර පටල බිඳදමමින් ජනතාවගේ බුද්දියට සිය පන්හිඳෙන් පහර දුන්නේය. ජනතාව අවධිවිය. තමන් පෙළමින් සිටි සමාජ පීඩනය පෙරලා නව යුගයක් බිහි කළේය. 
සිය දේශපාලන ගමන් මග තුල අවම සදාචාරය හෝ නොරකින , තම පුද්ගලික සිතැඟියාවන් වෙනුවෙන්ම පමණක් පෙනී සිටින මිනිසුන් විසින් පාලනය කරන රටක ඉතිහාසයේ ශ්‍රේෂ්ටත්වය සුරැකීමට පෙරට පැමිණි මිනිසුන් "තමන් දරන මතය ඉදිරියේ සිංහ ධෙනුවකටත් වඩා නිර්භීත වීම නුවනක්කාරවීම , අනලස්වීම , කළුගලක් සේ සිත දැඩි කරගැනීම අතිශයින්ම වැදගත්ය " යනුවෙන් වරෙක නිදහස් සටන්කාමික් එලෙස සටහනක් තැබුවේ මතු පරපුරද ඒ මග ගැනීමට ඌනපුරණයක් දෙමිනි.

අයිරිෂ් ජාතික වොයිනික් " ඇටමැස්සා " නම් අනභිබවනීය කෘතිය තුල එවකට ඉතාලියේ පැවති අවිචාර සමයට එරෙහිව මෙසේ ලීවේය
. " මම දන්නා භයානකම අවිය සමච්චලයෙන් හෙලා දැකීම . ජේසු නිකායකයන් හාස්‍යජනක කොට්ටාශයක් බව මිනිස්සුන්ට පෙන්වන්න අපි සමර්ථ වුනොත් ඔවුන්ට ඔවුන්ගේ උරුමයන්ට ඔවුන්ගේ අභිමානයට මිනිසුන් ලවා හිනස්සවන්න අපිට පුළුවන්. එවිට අපි ලේ හැලීමකින් තොරව ජය ගන්නවා. "

සමාජය ඉදිරියට තල්ලු කිරීමට නම් යහපත් දැක්මක් සහිත බුද්දිමය සංවාදයක් බිහිවිය යුතුයි. හුදු ඕලාරික ,බොළඳ මතවාදයන් සාහිත්‍ය, සිනමාව, කලාව හා සියලු මාද්යන්ගෙන් හතු පිපෙන්නාක් මෙන් බිහිවන මෙවන් යුගයක ඊට එරෙහිව දේශමාමක, සැබෑ හැගීමක් ඇතී මිනිසුන් නොබියව පෙරට ආ යුතුය. නිදහස් චින්තනය සුරකිමින් ජනතාවට සත්‍යයේ පිහිටා සිය මතය ඉදිරියට ගත යුතුය. පාලකයන්ට ආවැඩීම යනු රටක චින්තනය මොට කිරීමත්, අනාගතය අඳුරින් අඳුරට පත්කිරීමත්ය. පාලකයන් යනු කවුරුදැයි කල හොඳම නිර්වචනයෙන් මේ ලිපිය අවසන් කරමු.

" ඔහු නරියෙකු සේ පැමිණෙනු ඇත. සිංහයෙකු ලෙස පාලනය කරනු ඇත. බල්ලෙකු ලෙස මියයනු ඇත "

---පාන් සහ වයින් -----

0 comments:

Post a Comment