Tuesday, April 29, 2014

සජිත්, මැරිච්ච තාත්තා රාජපක්ෂලාට වික්කාද?

සජිත් එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයකු ගැන කතා කර තිබිණ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් රට වටේ ගොස් ඔහු ජයග්‍රහණය කරවන බව සජිත් කියා තිබිණ. 2012 සම්මේලනය අමතා සජිත් කළ කතාවද මෙයමය.

එදා මෙදා අතරතුර සජිත් මාධ්‍ය හරහා මෙන්ම මාතරදී ගුටි කෑ පා ගමන සංවිධානය කර රනිල්ට දිනන්න බැරිය කීය. එසේම නායකත්ව මණ්ඩලය පිහිටුවූ පසුව සජිත් කරු ජයසූරිය අරභයාද මේ කතාවම කිහිප තැනක කියා තිබිණ. සජිත්ගේ මේ නොගැළපෙන පරස්පර කතා තුළ ඇත්තේ කයිවාරු සහ උපන් ගෙහි කුහකකම පමණකි. ඒ නිසා එ.ජා.ප.යේ කිසිවකු මේවා ගණන් නොගනි. ඊට හේතු දෙකකි. පළමුවැන්න සජිත් ප්‍රේමදාස යනු කිසි ගැඹුරක් නැති දේශපාලන කවටයකු නිසාය. දෙවැන්න ඔහු කවදාවත් තම ශක්තිය වෙනත් කිසිවකුගේ ජයග්‍රහණය පිණිස කැප නොකරන නිසාය. එපමණක් නොවේ සජිත් හම්බන්තොට පුණ්‍යාධාර හරහා ජනතාව එකතු කරනු මිස එ.ජා.ප.ය ව්‍යාප්ත කරන්නේ නැත. ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න එ.ජා.ප.යෙන් විසිවුණේ සජිත් නායකයා කරන්නට යාම නිසාය. සජිත් නැවත රනිල් විධායක ජනාධිපති කරනවා කීම තුළ ශිරාල් මෛත්‍රී දෙදෙනාගේ කැපවීම් කෙහෙල්වත්තේ පඩික්කම් කට ඔළුවේ හැලුවා වගේ වී හමාරය.

මෙවර පළාත් සභා මැතිවරණයට ශිරාල් සහ මෛත්‍රී එ.ජා.ප. නාම යෝජනා අපේක්ෂා කළහ. එහෙත් සජිත් ප්‍රේමදාස ඔවුන් දෙදෙනා වෙනුවෙන් පක්ෂය තුළ පෙනී සිටියේ නැත. එ.ජා.ප. ආරංචි මාර්ග අනුව සජිත් ඉල්ලීමක් කළා නම් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු වෙන්න ඉඩ තිබිණ. එදා මගහැර ගිය සජිත් ප්‍රේමදාස ...ඉල්ලීමක් කළා නම් ඔවුන්ට යම් සාධාරණයක් ඉටුවෙන්න ඉඩ තිබිණ. එදා මඟහැර ගිය සජිත් ප්‍රේමදාස කීවේ ශිරාල් මෛත්‍රී දෙදෙනාට නාම යෝජනා නොදීමෙන් එ.ජා.ප.ය තම කකුලෙන් ඇද්ද බවය. එහෙත් මේ දෙදෙනා හම්බන්තොටින් නාම යෝජනා ඉල්ලා තිබුණේ නැත. මේ කකුලෙන් ඇදීමේ කතාවට කන පුපුරණ උත්තරයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම සජිත්ට ලැබිණ. ඒ මෛත්‍රී ගුණරත්නගේ ගාල්ලේ තේ කෝප්ප සටන හෙළිවීමය. ඒ කතාව ඇසූ සජිත් කීවේ තමන් එවැනි තත්ත්වයක් දැන නොසිටි බවය. එසේ කළා නම් එය මෛත්‍රී ගුණරත්න පක්ෂයට ද්‍රෝහි වී ඇති බවය. එහෙත් සජිත්ගේ හවුල්කාර නාලිකා ගාල්ලේ කෝප්පයට නොමි‍ලේ ප්‍රචාරය ලබා දුන්නේ සජිත්ගේ ඉල්ලීමට නොවේද? සජිත් ගාල්ලේ කෝප්පය මෛත්‍රීගේ ඔළුවේම ගසා පාවා දෙන්නෙකු මිත්‍ර ද්‍රෝහියකු විය. සජිත් දිනවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශිරාල්, මෛත්‍රී දෙදෙනාට කුමක් කරනු ඇද්ද? සජිත් මේ හදන්නේ තව වරක් රනිල් පරදවා පක්ෂය උදුරා ගන්නටය. තම වාසියට මෙසේ හැසිරෙන නිසා සජිත් කරන කතා පෙළ ගස්වන විට ඔහුගේ සිහි බුද්ධිය ගැන ප්‍රශ්න මතුවේ.

එහෙත් මේ අලුත් ජනාධිපති අපේක්ෂක කතාව සජිත් අසිහියෙන් කළ එකක් නොවේ. එය ආණ්ඩුවේ පිල්ලියකි. ඒ කතාවෙන් බරපතළ කුමන්ත්‍රණයක් හෙළි දකී. එ.ජා.ප.ය මතු නොව රටේ සිවිල් සංවිධාන පවා ‍පොදු අපේක්ෂකයකු ගැන කතා කරමින් සිටී. සජිත් මේ කරන්නේ දැන දැන ඒ වෑයම අතරමං කිරීමය. මේ හෙළිවන්නේ දුලංජලි බේරා හැරියාට, සරත් ෆොන්සේකා හම්බන්තොටින් එලවා දැමුවාට කරන කෘතගුණ සැලකීමය. ‍පොදු අපේක්ෂකයා යනු මහින්දට දුෂ්කර අභියෝගයකි. ඒ හරහා ලංකා දේශපාලනය උඩු යටිකුරු කළ හැකි බව සජිත් දනී. එහෙත් තවම විපක්ෂයේ සිටින සජිත් ඒ ජයග්‍රහණය අඩපණ කරන්නට වලිකනු පෙනේ.

මතෛක් සජිත් කරමින් සිටියේ එ.ජා.ප.ය බේද කරවන ව්‍යාපෘතියකි. රනිල් ආණ්ඩුවට කඩේ යන බවද කරු පාවා දුන් බවද කියමින් සජිත් යන යන තැන කෑගසයි. සජිත් නායකත්ව මණ්ඩලය ක‍පෝති කිරීමට උගුල් අටවයි. ඊට අවශ්‍ය ගෙවීම් සහ ප්‍රසිද්ධිය ලබා දෙන්නේ ආණ්ඩුව මෙහෙයවන ප්‍රසිද්ධ චරිත කිහිපයකි. 2005 ජනාධිපති ඡන්දයේදී ප්‍රභාකරන් ලවා උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද අයිතියට වින කැට්ට කොන්ත්‍රාත්කාරයා ඉන් එකෙකි. 2005දී එ.ජා.ප.ය සමග රනිල් පැරදුණේ දකුණේ ඡන්ද නැතිව නොවේ. මහින්ද විරෝධී උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ප්‍රභාකරන් ලවා නතර කරවීමෙනි. ප්‍රභාකරන් එහෙම කළේ සල්ලි කුට්ටියකට මිස ඊළම තහවුරු කරන්නට නොවේ. ඒ නිසා එ.ජා.ප.ය පැරදුනි. එය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කළ කුමන්ත්‍රණයකි. සරත් ෆොන්සේකා 2012 මැයි 30 හෝ 31 දින උසාවි තීන්දුවකින් නිදහස් වී ගෙදර එන්න නියමිතව සිටියේය. එහෙත් මැයි 21 වෙනිදා සරත් ෆොන්සේකාගේ දෑත් බැඳ ගෝනියක දමා ගැට ගසා ගෙදර එව්වේ කවුද? එහි ප්‍රතිඵලය ලෙස තවමත් සරත් ෆොන්සේකාගේ විලංගු ගැලවී නැත.

ආණ්ඩුව වෙනුවෙන් සජිත් මෙහෙයවන්නේද අර හස්තය විසිනි. අරමුණ සජිත් ලවා විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ක‍පෝති කිරීමය. ඒ සඳහා කෙරෙන සාකච්ඡා බකල් කිරීමය. සජිත් රනිල් වික්‍රමසිංහට නැවත ජනාධිපති හීන පෙන්වමින් සිටියි. හෝ තමන් එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව කියයි. මේ හරහා සජිත් ‍පොදු අපේක්ෂකයකු වෙනුවෙන් කැපවී සිටින නායකත්ව මණ්ඩලය හා රනිල් අතර ආරවුලක් අපේක්ෂා කරයි. එසේම එ.ජා. පක්ෂ හා ‍පොදු විපක්ෂය අතර විරසකයක් හැදීමද සජිත් භාරගෙන සිටී. සජිත් පසුපස යන තලතාලා අලුවිහාරේලා බාකිර් මාකර්ලා මේ සැලැස්මට එකඟය. ඔවුන් ඒ වෙනුවෙන් පක්ෂයට එරෙහිව දිගටම කැරලි ගසමින් පෙරහර කරනු ඇත. සජිත්ගේ මේ ගුලිය රාජපක්ෂලා තවත් මුදලාලිලා කිහිප දෙනකු හරහා වෙනම රනිල්ට ගිල්ලවීමේ සැලසුම් කර ඇත. සජිත්ගේ බෙල්‍ලේ බැඳි මේ ලණුව අල්ලාගෙන සිටින්නේ සරත් ෆොන්සේකා පාවාදුන් ජුදාස්මය. මේ උත්සහය එ.ජා.ප.ය ගෝනියක දමා කට බැඳ මහින්ද රාජපක්ෂට විකිණීමටය. මේ කොන්ත්‍රාත්තුවක් නොවේ හුවමාරුවකි. කෘතගුණ සැලකීමකි. සජිත් ප්‍රේමදාස බෙදන සල්ලි කාගේදැයි ආණ්ඩුව නොවිමසීම වෙනුවෙනි. දුලාංජලී ප්‍රේමදාසගේ හොර සල්ලි සෝලිය එක් පැයකින් යට ගැසීම වෙනුවෙනි. ප්‍රේමදාස පවුල කෙරෙහි දැන් රාජපක්ෂලා මහා කරුණාව දක්වති. දේශපාලන සෙල්ලමෙන් පරාද වී සිටින රාජපක්ෂලාට විපක්ෂය දිය කිරීම හැර වෙන යමක් ඉතිරිව නැත. අර ජුදාස් ලවා කරවන්නේ ඒ මහා මෙහෙයුමය. හේතුව මෙවර ජිනීවා නාඩගම හෝ විදුලි පුටුව 2005 ගුණ්ඩුව තරමට වැඩ නොකළ නිසාය.


එපමණක් නොවේ ජනාධිපති මන්දිරය තුළ වසර සිය ගණනක් පුරා එකතු වූ පෞරාණික භාණ්ඩ එකී වට්ටෝරු ‍පොත්වල දැන් නැත. එකී පෞරාණික භාණ්ඩ අස්ථාන ගතවී ඇත්තේ 1988-1993 කාලයේය. දැන් ඒවා තිබූ තැන්වල නැත. එකී භාණ්ඩ සොරකම් කර ඇති බව ලංකාවම දන්නා රහසකි. ඒ අතරට ඓතිහාසික මුල්කිරිගල විහාර බිතු සිතුවම සොරකම් කොට විකිණීමද අයත්ය. ඒ චිත්‍රය රාජපක්ෂවරුන්ට අතිශයින් සංවේදී එකකි. ඒ චිත්‍රයේ සත්‍ය පිටපත ජයකොඩි කෙනෙකු විසින් වෙන්දේසියකදී සුද්දෙකුට විකුණා ඇත. අද ජනාධිපති මන්දිරයේ ඇත්තේ වංචනිකව සැකසූ ව්‍යාජ අනු රුවකි. එය මේ වනවිට එය මිලට ගත් සුද්දාගෙන් කටඋත්තරයක්ද ලබාගෙන අවසන්ය. ඒ විකිණීමට අදාළ රිසිට්පතේ සහතික පිටපත පවා බලධාරීන් අත පවතී. එවැනි තවත් කෞතුක භාණ්ඩ 18ක් අස්ථානගතවීම පිළිබඳ පැමිණිලි සහ විමර්ශන වාර්තා ‍පොලීසිය සතුව ඇත. මේ සකල හොරකම් වංචා ආණ්ඩුවේ සේප්පුවක දමා වසා ඇත. ඒ කෞතුක භාණ්ඩ සොරකම් එළියට ඇද ගන්නා වෙලාව තවම පැමිණ නැත. ඒවා යටපත් කර ඇත්තේ අර හොර සල්ලි ජාවාරම වැහුවා වාගේය. ඒ ඇයි? එ.ජා.ප.ය විනාශ කිරීමට සිරිකොතට වරින්වර යවන සුනඛ පිල්ලි වියරු වට්ටවන්නේත් බය කරන්නේත් ඒ සොරාගත් කෞතුක භාණ්ඩ වර්තා පෙන්වලාය. ඒ තොගයට එකතු වූ අලුත්ම මිනී අළු ගොට්ට අර හොර සල්ලි ජරමරයයි. සජිත් යූ.ඇන්.පී.යේ සිටිනා තාක් අලියා දිනන්නට බැරිය. මේ අවාසිදායක ‍ලේඛන හරහා ආණ්ඩුව ප්‍රේමදාසලා ලවා එ.ජා.ප.යට වින කටිති. රටේ ජන මතය අවුල් කරති.

2005 ජනාධිපති මැතිවරණය මහින්ද රාජපක්ෂගේ ආරම්භයයි. ඒ රනිල්ගේ දෙවන පරාජයයි. රනිල් 2001දී එ.ජා.ප.ය සමග ඡන්ද 4086026ක් ලැබිය. රනිල් 2004දී එ.ජා.ප.ය සමග ඡන්ද 3504200ක් ලැබිය. 2005දී රනිල් එ.ජා.ප.ය සමග එක් වසරක් තුළ වැඩි ඡන්ද දොළොස් ලක්ෂ දෙදහස් එකසිය දාසයක් ලබාගත්තේය. හෙවත් 2005දී එ.ජා.ප. ඡන්ද ප්‍රමාණය 4706366 දක්වා ඉහළ ගියේය. එදා එ.ජා.ප.යේ රනිල්ට වඩා මහින්ද රාජපක්ෂ ලබා ගත්තේ වැඩි ඡන්ද එක් ලක්ෂ අසූ දහස් හත්සිය අසූ හයකි. එදා මහින්ද දිනුවේ සර්ව ජන ඡන්ද බලයෙන් නොවේ. ප්‍රභාකරන්ගේ තුවක්කුවේ පිහිටෙනි. අර ජුදාස්ගේ මැදිහත් වීමෙනි. එදා එ.ජා.ප.ය සහ රනිල් පැරදුනේ මහින්දට නොවේ. ප්‍රභාකරන්ටය. ඒ අර ජුදාස් අද සජිත් මෙහෙයවන අතෙන් ප්‍රභාකරන් මෙහෙයවූ නිසාය. හෙවත් උතුරේ නැගෙනහිර ඡන්ද වැළකූ බැවිනි. ඉන්පසුව රාජපක්ෂවරු හැම මැතිවරණයකටම එක එක තුරුම්පු ගැට ගසා වාසි ලැබූහ. එහෙත් මෙවර ජිනීවා විදුලි පුටු ඡන්ද තුරුම්පු වැඩ කළේ නැත. ඒ වෙන එකක් නිසා නොවේ බල සම්පන්න විසකුරු නාගයන්ද කල්යාමේදී පුරුක් හැලී චුතවී යන න්‍යායට අනුවය. මේ සිද්ධ වන්නේ එයයි.

ආණ්ඩුවේ මේ තුරුම්පු කෙළියට ප්‍රත්‍යක්ෂ ඖෂධය ‍පොදු විපක්ෂයක එකමුතුවය. එය දැන් රටම තේරුම් ගෙන සිටිති. රාජපක්ෂලා ළඟ ඉතිරිව ඇත්තේ එකම ඡන්ද තුරුම්පුවද ඒ ‍පොදු විපක්ෂය දියකරගෙන හැරීමය. ‍පොදු අපේක්ෂකයා විනාශ කිරීමය. එ.ජා.ප.ය අඩපණ කිරීමය. ආණ්ඩුව ඒ සඳහා දැන් අර ජුදාස් හරහා සජිත් ප්‍රේමදාස මෙහෙයවමින් සිටිති. පන්දමක් අතින් ගත් සජිත්ගේ පින්තූරය ඒ ව්‍යාපාරයේ නිල ලාංඡනය වන්නේය. එහි අර්ථය හනුමා නැවත පන්දම ගෙන පැමිණ සිටී යන්නය. රනිල්ට දිනන්න බැරි නිසා පලයන් කී සජිත් දැන් රනිල් ජනාධිපති කරවන්න කතා කරන්නේ අසිහියෙන් නොවේ. සජිත් සහ දුලාංජලී රකින ආණ්ඩුවට වන්දි ගෙවීමටය.

සජිත්ගේ මේ ඉසව්වේදී රනිල්ට සදා වෛර කරන ශිරාල් මෛත්‍රී දෙදෙනා කුමක් කරයිද? රන්ජිත් මද්දුම බණ්ඩාරලා තලතා අතුකෝරාළලා කෙසේ ප්‍රතික්‍රියා දක්වාවිද? අළුවිහාරේලාත් සජිත්ලා මෙන් පියා නැති පවුලකි. ඒ නිසා කරන දේ සිතාගත හැකිය. එහෙත් මෙහි නම් නොකියවුන සජිත් සමග සිටින කවුරු කවුරුත් තමන් සිටින්නේ කා සමගදැයි සොයා බැලුවාට පාඩු නැත. දුලාංජලීගේ හොර සල්ලි සෝලිය සෙල්ලමක් නොවේ. සජිත් රටේ පන්සල්වලට බෙදන පනස් දාහ දෙන්නේ ප්‍රේමදාස යුගයේ බස් කාරයෙකි. ඒ ගැන වාදයක් නැත. එහෙත් හම්බන්තොට දුප්පතුන්ට බෙදන අය වැය නොපෙන්වන සල්ලිවල පාරිශුද්ධ භාවය ගැන දැනුවත් විය යුතුව ඇත. ඒ සල්ලි ලැබෙන්නේ කාගෙන්දැයි රටට හෙළි කරන ලෙස සජිත්ට බල කළ යුතුව ඇත. එ.ජා.ප. නායකත්වයටද මේ වගකීම පැවරී ඇත. ඒ ඇයි? තමා එ.ජා.ප.යේ භාරකාරයා බව සජිත් කියන නිසාය. එසේම ඒවා ලැබෙන්නේ දුලාංජලි හරහා නොවන බවට තහවුරු කරගත යුතු නිසාය. මේ සල්ලි වැඩිපුර බෙදෙන්නේ හම්බන්තොටය. ඒ රාජපක්ෂලාගේ ශක්තිය දිය කරවන්නටය. ඒත් පුදුමය නම් ඒ ගැන ආණ්ඩුව ඇස් පියාගෙන සිටීමය. සොයා නොබැලීමය. රටේ නීතිය අනුව කෙනෙකු වියදම් කරන හැටි ප්‍රශ්න කිරීමේ අයිතිය ආණ්ඩුවක වගකීමකි. වර්තමාන ආණ්ඩුව එකී වගකීම් වෙනත් බැඳියාවන් සමග ගළපාගෙනහෝ පටලාගෙන ඇති බව රටම දනී. ඒ බව ප්‍රේමදාස පවුල කෙරෙහි මෙන්ම බොදුබල සේනා සංවිධානය කෙරෙහි දක්වන බැඳියාවලින් තහවුරු වේ. හෙවත් ප්‍රේමදාස පවුලද වර්තමානයේ බොදුබල සේනා සංවිධානය මෙන් ආණ්ඩුවේ ව්‍යාපෘතියක් වී අවසානය. එබැවින් ප්‍රේමදාසලාට රාජ්‍ය ආරක්ෂාව ඇති තරම් පවතී. හේතුව රාජපක්ෂලාගේ එකම ගැලවුම ප්‍රේමදාස පවුල බවට පත්වී ඇති නිසාය.

තම වාසියට මොකාට හෝ කඩේ යන දේශපාලනඥයා තක්කඩියෙකි. පාලකයාගේ කරුණාව, අනුකම්පාව ලබන විපක්ෂ දේශපාලනඥයා බරපතළ උවදුරකි. ඔහුට පාවා දිය නොහැක්කෙක් නැත. සල්ලි බෙදා ඡන්දදායකයා අල්ලසෙන් රවටන දේශපාලනඥයාට මතයක් නැත. ආත්මයක් නැත. එවැන්නන්ගෙන් රටට ජාතියට පක්ෂයට පාක්ෂිකයාට රටේ ජනතාවට කිසිවක් අපේක්ෂා කළ නොහැකිය. අප්‍රකට මාර්ග වලින් උපයන රුපියල් සත බෙදීම දේශපාලන දුරාචාරයකි. ඒ අරමුදල් පිළිබඳ ලැබිම් බෙදීම් හා ඉතුරු වාර්තා ප්‍රසිද්ධ නොකිරීම වංචාවකි. අද රටේ පවත්නා මේ තත්ත්වය ගැන සජිත් ප්‍රේමදාස පිළිබඳ පවත්නා විවේචනය ඉතා නිරවුල් එකකි. සජිත් ප්‍රේමදාස ඊට වහා ප්‍රතික්‍රියා දැක්විය යුතුව ඇත.

ප්‍රේමදාස පවුල නැවත එවැනි තවත් බරපතළ ගිවිසුමකට මැදිව සිටිති. එහි නිර්මාතෘන් මේ ඉව කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත ජයග්‍රහණ දිය කර හරින්නටය. මේ ගිවිසුමට නමක් නැත. අත්සන් කළ ස්ථානයක් නැත. මතු දවසක එය ප්‍රේමදාසලා විහින් අටවාගෙන එ.ජා.ප.ය වැනසූ ගිනි කෙළිය කියා ඉතිහාසගත වනු ඇත. එය හරියටම බාබුගේ සෙල්ලම වාගේය. සජිත්ගේ අසරණ සරණ සේවා ඩොලර්ද ඩිනාර්ද ඩයස් ‍පෝරා සල්ලිද කියා දේශප්‍රේමීහු ලවා නොවිසමති. කිසි ගෝරියක් අදින්නේ හෝ නැත. මෙවර ෆොන්සේකාට හම්බන්තොටදී පමණක් වැට බැඳුනේ මේ සුහද අවබෝධතා ගිවිසුමේ කොන්දේසි නිසාය. කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව දුලාංජලි ගෙදර යැව්වේ ඒ නිසාදැයි සමහරු විමසති. මෙහෙම රැකෙන උදවිය සිටින්නේ චූන් එකේ විය හැකිය. ඒ සතුට සජිත් එ.ජා.ප. නායකයා වූ දවසට අවසන්ය. ඉන්පසුව නෝ මර්සිය. තොග පිටින් පරණ පව් එ.ජා.ප.ය පිටින් යවනවා නියතය. එදාට රනිල්ට දිනන්න බැරිය කී එ.ජා.ප.යේ සජිත් ප්‍රේමදාස යුගය නිදන් හෑරිලි බිලි පූජා හොර සල්ලි වංචා කතා පිරුණ දේශපාලන කාල බෝම්බයකට බිලි වෙනවාය. සජිත්ලාගේ මේ ගහන ගේම් යූ.ඇන්.පී.යේ අවසානය බව කවුරු කවුරුත් තේරුම් ගත්තාට දෝසයක් නැත. ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රේමදාස විනාස කළ එ.ජා.ප.ය කනිෂ්ඨ ප්‍රේමදාසට භාරදිය යුතු නැත.

මෙවර හම්බන්තොට මැයි දිනය පවත්වා එජාපය ඔසවන්නට ගිය යෝධ පියවර විනාශ කළේ සජිත්ය. ඒ තම පියාගේ මරණය ඉදිරියට දමලාය. ඒ කියන්නේ මැරිච්ච තාත්තා රාජපක්ෂලාට වික්කා කියන එකය.


නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න.
උපුටා ගැනීම - ලක්බිම

1 comment:

  1. එජාප ආණ්ඩුවක් පැරදවිය හැක්කේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් බලවේගයකට පමණක් වන අතර , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් ගෙදර යැවිය හැක්කේ එජාපය පෙරටු කරගත් බලවේගයකට පමණි, මෙහිදි විශේෂයෙන් සිහිපත් කල යුතුවන්නේ වර්තමාන එජාපයේ නායකත්ව වෙනසක් සමගින්ම වු එජාපය මුල් කොට ගත් සන්ධානයකට පමණක් රාජපක්ෂ ආන්ඩුව පෙරලිය හැකි බවයි, පොදු අපේක්ෂක කතිකාව දෙස විමසීමේදි සැලකිය යුතු වන්නේ පොදු අපේක්ෂකයෙකුට මෙරට ජනාධිපතිවරණයක් ජය ගත හැකිනම් එවන් අයෙකුට රනිල් වික්‍රමසිංහ සහය දැක්වීමට ඉදිරිපත් වේද යන්නයි ??????
    නැත, කිසිදිනක මේරට ජනපතිවරණයක් පොදු අපේක්ෂකයෙකුට ජය ගත නොහැක, මෙයයි පරම සත්‍ය,
    පොදු අපේක්ෂකයෙක් යනු දුර්වල බංකොලොත් දේශපාලන පක්ෂ (ජවිපේ, ෆොන්සේකා,පෙරටු ගාමීන්,දෙමල ජාතික සංධානය ) හා දුර්වල පුද්ගලයන්ට (එ කියන්නේ ජනපතිවරණයකට ඉදිරිපත් වෙන්න බය රනිල් වික්‍රමසිංහ වැන්නවුන්ට ) සිය ජාමේ බෙරා ගත හැකි මගක් පමණි

    ReplyDelete