Friday, April 4, 2014

හම්බන්තොට සිහිනය අහවරද?

Namal Rajapaksa
මත්තල ගුවන් තොටුපොළ නොහදා ඒ මුදලෙන් හම්බන්තොට වැව් 10 ක් හැදුවානම් තවත් අවුරුදු සීයක් යනතුරු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ඒ ගැන රාජපක්ෂ නාමයට කළගුණ සලකන බවත් දෙවියන්ට වාගේ සැලකීමට ඉඩතිබූ බව' කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ඔහු නියෝජනය කරන තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශය තුල ආණ්ඩුවේ පසුබෑම පිළිබඳව ජේෂ්ඨ ඇමතිවරුන් කීප දෙනෙකු කළ විමසීමකදීය.

'මත්තල හැදුවේ නාමල්ලාගේ බලපෑමට. ළමයි කියන දෙයක් කරන්න ඕන තමයි. ඒත් ඊට වඩා රට ගැන ජනතාව ගැන හිතන්ඩ තිබුණා. මම මේ ගැන කිව්වාට ගණන් ගත්තෙ නෑ. මත්තල ගුවන්තොටුපොල හැදුව කියල මේ පලාතෙ කිසිම කෙනෙකුට හරි හමන් රැකියාවක් ලැබිලා නෑ. ආදායම් මාර්ගයක් ලැබිල නෑ. හම්බන්තොට විශාල සංවර්ධනයක් ඇතිවෙලා තියෙන බව ඇත්ත. ඒත් ඒකෙ ප්‍රතිලාභ අපේ ජනතාවට ලැබිලා නෑ. මේ පළාතෙ දැන් අපේ ගමේ මිනිස්සුන්ට වඩා ඉන්නෙ චීන්නු. උන් ඡන්දෙ දුන්නානම් අපි ගොඩ. ඒකෙන් වුනේ ආයිත් ජේවීපී එක ඔලුව උස්සපු එක. ඒක බරපතල කාරණයක්. ඉස්සරහට මේක ජනාධිපතිවරණයට කාරිය නරක ලෙස බලපාන්න පුළුවන්' යැයි කථානායකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කියමනක් වූයේ 'හම්බන්තොටට කිරි - රටට කැකිරි' යන්නයි. චීනයෙන් කෝටි ප්‍රකෝටි ගණන් ණයට මුදල් ගෙන ගොඩබිම හාරා ඉදිකළ වරායත් වනසතුන්ට ජීවත්වීමට තිබූ වනාන්තර එළිපෙහෙලි කර හැදූ මත්තල ගුවන්තොටුපොලත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට වඩා විශාල සම්මන්ත්‍රණ ශාලාවත් යුරෝපයට නොදෙවෙනි මහා මාර්ග පද්ධතියත් හේතුවෙන් හම්බන්තොට 'සුරපුරයක්' බවට මාධ්‍ය හරහා මවා පෑමක් සිදුවිය.

කෙසේ වුවද හම්බන්තොට ‘සුරපුරයක්' විමට පෙර එනම් 2009 පළාත් සභා මැතිවරණයේදී 66.95% ක ප්‍රතිශතයකින් එම මැතිවරණය ජයගත් සන්ධානයට හම්බන්තොට ‘සුරපුරයක්' වීමෙන් පසු ගිය සෙනසුරාදා පැවති මැතිවරණයේදී හම්බන්තොටට හිමිවී ඇත්තේ 57.42% කි. කෙසේ වුවද දකුණේ පළාත් සභා මැතිවරණය මෙහෙයවූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මැතිවරණයට පෙර පුවත්පත් සාකච්ඡා පවත්වමින් ස්ථිරවම පවසා සිටියේ එක්සත් ජනතා සන්ධානය හම්බන්තොට දිස්ත්‍රික්කයේදී 65% ට වඩා ජනවරමක් ලබා ගන්නා බවයි...

0 comments:

Post a Comment