Thursday, April 10, 2014

පද්මසිරි ත්‍රිමාවිතාන වෙනුවට ඩෙං ෂියා ඕ පෙං

socialism in china
ජනතා විමුක්ති පෙරමුනු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති දිනපතා පුවත්පතක් සමග කල සංවාදයක සටහන ලංකා‍ටෲත් වෙබ් අඩවියේ පසුගියදා පල කොට තිබුනි. පෞද්ගලික සෞඛ්‍ය සේවාවලට අවසර දීම ගැන ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරන අතර රජයේ නියාමනයට යටත්ව පෞද්ගලික සෞඛ්‍යය සේවා තිබීමේ වරදක් නැතැයි මන්ත්‍රීවරයා පිලිතුරු දෙයි. පෞද්ගලික සෞඛ්‍ය සේවා හොදයි නම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නරක් වෙන්න විදිහක් නෑ නේදැයි ඉක්බිති මාධ්‍යවේදියා විමසයි. හදුන්නෙත්තිගේ පිලිතුර මෙසේය. " සෞඛ්‍ය පහසුකම් සැපයීම රජයේ වියදමින් කල යුතුයි. අධ්‍යාපනයත් එහෙමයි. හැබැයි ඉන් පිටස්තරව පෞද්ගලිකව එය කරගැනීමේ හැකියාව ඇති යමෙක් ඉන්නවා නම් ඔවුන්ගේ නිදහසට බාධා කිරීමේ අයිතියක් අපට නෑ"

අපි දැන් මොහොතකට සුනිල් හදුන්නෙත්තිගේ තැනට උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක ආදේශ 

“පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා - කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙයකි. 80 දශකයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටනේ ප්‍රභල සංකේතයකි. එවකට රජය විසින් තිරශ්චීනව මරා දමන ලදී‘‘

කරමු. ඔහු කියන දේත් හදුන්නෙත්ති කියන දේත් අතර එතරම් වෙනසක් නැත. රාජ්‍ය අධ්‍යාපනය පවත්වා ගෙන යාම සහ ඊට සමගාමීව පෞද්ගලික අධ්‍යාපනයට අවසර දීම. එම පෞද්ගලික අධ්‍යාපනය නියාමනයට යටත් කිරීම. රජයේ පිලිවෙත සහ ජවිපෙ පිලිවෙත වෙනස් වන්නේ කොතැනදීද?

හදුන්නෙත්ති මන්ත්‍රීවරයා අදාල සම්මුඛ සාකච්ඡාවේ චීනය සමාජවාදී රාජ්‍යයක් ලෙස හදුන්වා දෙයි. චීන ආන්ඩුව සිය අර්ථ ක්‍රමය හදුන්වන නිල නම " චීන ලක්ෂන සහිත සමාජවාදය" යන්නයි. චීන ලක්ෂන සහිත සමාජවාදයේ ඇති "චීන ලක්ෂනය" නම් එය එහෙම් පිටින්ම ධනවාදී ආර්ථික පිලිවෙතක් වීමයි. රාජ්‍යයේ මැදිහත්වීම සහිත උග්‍ර ධනේශ්වර ආර්ථිකයක් චීනයේ මේ මොහොතේ පවතී. ඩෙංග් ෂියා ඕ පෙන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරන වලින් පසු නව ධනපති පංතියක් චීනය තුල බිහිවී සිටී. කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑ‍මේ සිට ධනවාදී සමාජයක දක්නට ලැබෙන සියලු ලක්ෂන චීනයේ පවතින අතර චීන ආර්ථික පිලිවෙතත් සමාජ සමානත්මතාවය සහ වැඩකරන ජනතාවගේ දේශපාලන ආධිපත්‍යය යෝජනා කරන මාක්සියානු සමාජවාදයත් අතර මොනම සම්බන්ධයක්වත් නැත. බටහිර ලෝකයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික රාමුව වෙනුවට කොමියුනිස්ට් පක්ෂය විසින් නඩත්තු කරන දරදඩු දේශපාලන රාමුවක් විසින් චීන ධනවාදය සදහා ආරක්ෂාව සපයනු ලැබේ. එය චීන ලක්ෂන සහිත සමාජවාදයක් නොව චීන ලක්ෂන සහිත ධනවාදයකි.

ලංකා වානිජ මන්ඩලය සමග ජනතා විමුක්ති පෙරමුනේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා

චීනය 'සමාජවාදය' යන වචනය නඩත්තු කරන්නේ එරට වැඩකරන ජනතාව ඇතුලු පීඩිත කොටස් වල සහයෝගය පාලන තන්ත්‍රය වෙත රදවා ගැනීම සදහාය. ජවිපෙ මනා ලෙස චීන ආභාෂය උකහාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. පලාත් සභා මැතිවරනය සහ ඉදිරියට ඒමට නියමිත මැතිවරන වලදී ජවිපෙ ඉලක්කයක් වී ඇත්තේ නාගරික මැද පංතියේ සහයෝගය තමා වෙත දිනා ගැනීමයි. මෙම නාගරික මැද පංතිය සංඛ්‍යාත්මකව සාපේක්ෂව කුඩා වුවද මතවාදී තලයේදී මෙහි බලපෑම සැලකිය යුතු තරමින් විශාලය. උදාහරනයක් ලෙස ලංකාවේ ටෙලිවිෂන් අවකාශය සැලකිය යුතු ප්‍රමානයකින් භ්‍රමනය වන්නේ මෙම මැද පංතියේ වටිනාකම්, ඇබ්බැහිකම් හා රුචි අරුචිකම් වටාය. ජවිපෙ විසින් පසුගිය කාලයක් පුරා පවත්වා ගෙන ආ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය වැනි දේවල් මෙම මැද පංතියේ රුචි අරුචිකම් සමග පෑහෙන්නේ නැත. පද්මසිරි ත්‍රිමාවිතාන නියෝජනය කල උරුමය සහ ජවිපෙ මැද පංතික ඡන්ද ඉලක්කය අතර පරස්පරය පැන නගින්නේ මෙතැනදීය.

මෙහිදී කිසිදු දෙගිඩියාවකින් තොරව සිය මුල් පිලිවෙත අත් හැරීමට ජවිපෙ පසුබට නොවේ. සිංහල ජාතිය ගැන ජනප්‍රිය අදහස සමග සන්ධානගත වීමේදී 2000-2009 කාලය තුල ජවිපෙ පෙන්නුම් කලේ මේ ප්‍රවේශයමය. එනම් මැතිවරන ඉලක්ක උඩ මුල් ප්‍රතිපත්ති අත් හැරීමයි.

අධ්‍යාපන පෞද්ගලිකකරනය පිලිබද විවාදය පදනම් වන්නේ හුදෙක් තැනෙක දෙකක පුද්ගලික සරසවියක් දෙකක් ඇරීම පිලිබද ප්‍රශ්නයක් මත නොව අධ්‍යාපනය වෙලද භාන්ඩයක්ද?සමාජ අයිතියක්ද? යන මූලධාර්මික ප්‍රශ්නය මතය. අධ්‍යාපනය වෙලද භාන්ඩයක් ලෙස පිලිගැනීම සියලු දේ වෙලදභාන්ඩකරනය කරමින් සිටින නව ලිබරල් ධනවාදයේ තර්කනයට යටත් වීමකි. එය සමාජ අයිතියක් ලෙස සලකා ඒ සදහා දේශපාලනය කිරීම එම තර්කනය සමග අභිමුඛ වීමකි.ජවිපෙ නව ලිබරල් ධනවාදයේ තර්කනයට යටත් වීම සංකේතාත්මක ලෙස පෙන්නුම් කරන ලස්සන උදාහරනයක් වූයේ පසුගිය දිනෙක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔවුන් ලංකා වානිජ මන්ඩලය වෙත පිලිගැන්වීමේ සිදුවීමයි. ලංකාවේ වෙලද ධනපතීන්ගේ සංගමය සමග සිනාමුසුව අතට අත හුවමාරු කරගන්නා 'සමාජවාදය' කවර වර්ගයේ සමාජවාදයක් වනු ඇද්ද? ජවිපෙ 'නවීන සමාජවාදී' තේමාවේ 'නවීන' කොටස තමා අධිපති දේශපාලන ප්‍රවාහය සමග සම්මුතිගත වනු මිස එය ඉක්මවා යාමට සූදානම් නොවන බව හගවන සලකුනකි. 'සමාජවාදය' කොටස දියුනු න්‍යායික අදහසකින් නොවූවත් තමා සමග භක්තියෙන් රැදී සිටින සමාජවාදය නමැති වචනයට ආදරය කරන බැතිමත් සාමාජිකයින් සනසාලීම සදහා වන මස් කට්ටකි. මෙම මස්කටු දේශපාලනය සමීප වෙනුර-ත්‍රිමා ගිය පාරට නොව ඩෙං ෂියා ඕ පෙන් ගිය පාරටය.

චීනයේ වත්මන් සමාජවාදය

2 comments: