Friday, April 11, 2014

එල්ටීටීඊ සැකකරුවන්ගේ ඝාතන ගැටලු සහගතයි

ත්‍රස්තවාදී කටයුතු යළි ආරම්භ කිරීමේ ක්‍රියාවලියක් ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සාක්ෂි ඇත්නම් සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ඕනෑම රජයකට අවස්ථාව ඇති නමුත් වෙඩි තැබීම්වලින් පුද්ගලයන් මිය යාම සම්බන්ධයෙන් ගැට‍ළු මතු කෙරෙන බව ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු පවසයි.

මෙය ත්‍රස්තවාදයට පමණක් සම්බන්ධ ගැටලුවක් පමණක් නොව වෙනත් ප්‍රදේශවල දී පවා දකින්නට ලැබෙන බවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසියට හෝ යුද හමුදාවට හෝ බාධා පැමිණ වූ අවස්ථාවල දී වෙඩි තැබීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වූ බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරන බවත් ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු සඳහන් කරයි.

අවශ්‍යම වුවහොත් පුද්ගලයන්ට ජීවිත හානි සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට ඉඩ කඩ පවතින බවයි ඔහු කියා සිටින්නේ.

උතුරේ හෝ දකුණේ දේශපාලන නැගිටීම් ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි නමුත් උතුරේ අද පවතින දැඩි ආරක්ෂක විධි විධාන මැද එවැන්නකට ඇති ඉඩකඩ ඉතාමත්ම සීමිත බවත් ඔහු පෙන්වාදෙයි.

පදවිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කොටුවූ එල්ටීටීඊ සාමාජිකයන් බවට සැක කෙරෙන සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන තිදෙනා හමුදාවට වෙඩි තැබීමෙන් අනතුරුව යුද හමුදාව එල්ල කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පවසයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වීමෙන් අනතුරුව උතුරු ප්‍රදේශයේ ඇති වූ පළමු ගැටුම ලෙස මෙය වාර්තා වෙයි.

‘එල්ටීටීඊය යළි හිස එසවීමට දරන කිසිදු උත්සාහයක් අනුමත නොකරන ප්‍රදේශවාසීන්ගෙන් නොකඩවා ලැබුණු තොරතුරු මෙම පරීක්ෂණ සඳහා විශාල පිටුවහලක් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

ඒ අනුව සැකකරුවන් සිටි ප්‍රදේශය වටලා ඇති අතර ඔවුන් පලා යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් ඇතිවූ බව බලධාරීහු පවසති.

සැබවින්ම සිදු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, මීට දින කිහිපයකට ඉහතදී ගෝපි අත් අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ බවක් දෙමළ පුවත්පතක් වාර්තා කොට තිබූ බවද ප්‍රකාශ කරයි.

(බීබීසී ඇසුරෙනි)

0 comments:

Post a Comment