Saturday, April 12, 2014

තම දේශපාලන අර්බුධ වසා ගැනීමට ජාතිවාදය වපුරමින් ආණ්ඩුව ගෙනයන කි‍්‍රයාමාර්ග වලට එරෙහිව පෙළ ගැසෙමු! - පෙසප

නැදුන්කර්නි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ.යේ ලංකාවේ නායකයා ලෙස සැලකෙන ගෝපි හා තවත් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම ගැන සිය ස්ථාවරය පැහැදිලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සම්පූර්ණ වශයෙන්ම පහතින් පළ වේ.

‘‘නැදුන්කර්නි ප‍්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ.යේ ලංකාවේ නායකයා ලෙස සැලකෙන ගෝපි හා තවත් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ බව ආණ්ඩුව එක්වරම නිවේදනය කරන ලදී. ඊට පෙර පොලිස්පතිවරයා විසින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක සිදු කළ මෙහෙයුම් මගින් 50කට අධික පිරිසක් ප‍්‍රශ්න කිරීම සඳහා සැක පිට අත්අඩංගුවට ගත් බවද නිවේදනය කළේය. එමෙන්ම ජිනීවා සාකච්ඡුා අතරතුර සංවිධාන 16ක් තහනම් කළ බවද ප‍්‍රකාශයට පත් විය. දිගින් දිගටම උතුරේ සිදුවන ධනේෂ්වර නීතියට පවා පටහැනි අත්අඩංගුවට ගැනීම් රදවා තබා ගැනීම් අඩංතේට්ටම් මෙම නීති විරෝධී ඝාතනයත් සමග කිසියම් ගූණාත්මක මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව පෙනීයයි.

මේ සිදුවීම් පෙළ දකින කෙනෙකුට එක් වරම හැඟී යන්නේ එල්.ටී.ටී.ඊ.ය යළි ක‍්‍රියාත්මක වන බවය. එමෙන්ම එවැනි ඕනෑම ප‍්‍රයත්නයක් වහා යටපත් කිරීමට ආණ්ඩුව ක‍්‍රියා කරන බවය. එහෙත් සත්‍ය ඊට වෙනස් බවද සිදුවීම් විසින් විසින් කියා පාන දේශපාලනය ඊට වෙනස් මඟක් ගන්නා බවද අපට ඉතා පැහැදිලිය. ආණ්ඩුවට ගණන් බැලීමට නොහැකි වූ ඡුන්ද ප‍්‍රතිඵලය විසින්ද ජිනීවා මතින් කඩා වැටී ඇති මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණ කොමිෂම විසින්ද ආණ්ඩුව මත පතිත වෙමින් ඇති අවදානමෙන් ගැලවීම ආණ්ඩුවේ හදිසි අරමුණ වී ඇත. දිගින් දිගටම ගොඩගැසෙන ආර්ථික දුෂ්කරතා ඉදිරියේ ආණ්ඩුවෙන් ඉවත් වෙමින් සිටින ජනයා ජාතිවාදය වපුරමින් ආණ්ඩුවේ තුරුලට වද්දා ගැනීමද ආණ්ඩුවේ අපේක්්ෂාවයි. මේ සියල්ල ඉදිරියේ නැවතත් එල්.ටී.ටී.ඊ.යක් ආණ්ඩුවට අවශ්‍යව තිබේ.

අනෙක් අතට උතුරේ ජනයා මත දිගින් දිගටම පතිත වන පීඩනයත් සිය විමුක්තිය පිළිබඳ පවත්නා හිස්තැනත් විසින් යළි යළිත් ජාතිවාදී පදනමින්ම සංවිධානය වීමට ඇති ඉඩකඩද කිසිවකුට බැහැර කළ හැක්කක් නොවේ. එහෙත් එබඳු ප‍්‍රයත්නයන් මගින් පීඩිත දෙමළ ජනතාවට විමුක්තිය උදා කර ගත හැකි යැයි අප විශ්වාස කරන්නේ ද නැත.

ඕනෑම අයකුට තමන් දරන මතවාදය වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය කිසිවකුටත් බැහැර කළ නොහැකි අතර එය ජාතිවාදී, ජාතිකවාදී හෝ බෙදුම්වාදී විය හැකිය. කෙතරම් දුෂ්කර වුවත් එවැනි මතවාද පරාජය කිරීමේ මාර්ගය වනුයේ ප‍්‍රචණ්ඩත්වය වැපිරීම නොවේ. ප‍්‍රචණ්ඩත්වය වැපිරීම මගින් අත්පත්කර ගත් විනාශයන් කවරේද යන්න අපි කවුරුත් ඉතා හොඳින් දනිමු. මෙහි වඩාත් බරපතල හා සාහසික වන්නේ ධනේෂ්වර රාජ්‍ය යන්ත‍්‍රණය යොදාගනිමින් ආණ්ඩුව ප‍්‍රචණ්ඩත්වය වැපිරීමයි. සිය අර්බුද පියමං කිරීමේ මාවතක් ලෙස ආණ්ඩුව තෝරන මෙවැනි ක‍්‍රියාමාර්ග හරහා නැවත නැවතත් සිදු වනුයේ සිංහල, දෙමළ, මුස්ලිම් පදනමින් ජනයා බෙදා වෙන් කරන ගෝත‍්‍රික දේශපාලනය යළි යළිත් කැඳවීම විනා අන් යමක් නොවේ. 

එබැවින් සියලූම ආකාරයේ ජාතිවාදයන්ට විරුද්ධවත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග ආපසු හැරවීම සඳහාත් ජනබලයක් ගොඩනැඟීම වෙනුවෙන් රොද බඳින ලෙස උතුරේත් දකුණේත් පීඩිත කොටස් වෙතින් අපි ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2014.04.12“

Source - www.lankaviews.com/sn

0 comments:

Post a Comment