Monday, April 14, 2014

මිනිසුන් සහ මිනීමරුවන්ගේ අවුරුදු සුභ පැතුම්.


මේ ලිපියේ මාතෘකාව ලෙස මීට පෙර තෝරාගෙන තිබුනේ "ආවා..ආවා...ආවා..." යන්නය. ඊට හේතුව සාම වසරකම අලුත් අවුරුද්දට අප සියලු දෙනාගේම ජංගම දුරකථන වලට එන කෙටි පණිවිඩයක් හේතුවෙනි. එය ලැබුණු විට බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාරය ආවා...ආවා...ආවා... යන්නය. එම කෙටි පණිවිඩය මෙසේයි.


Oba Samata Suba Aluth Auruddak Wewa!
Ungal Anaivarakkum Puththanda Nalvalthukkal!
Wish You All a Very Happy New Year!
President Mahinda Rajapaksa

මේ පණිවිඩය එනතුරු අද බොහෝ දෙනා බලා සිටින්නේ එය විහිලුවට ගැනීමටය. මෙරට ජනතාවට අසුබ කරනා පුද්ගලයාම අවසානයේ අලුත් අවුරුද්ද සුබ වන්නට යැයි කෙටි පණිවිඩ එවීම විහිළුවක් නොවන්නේ කාටද?

ලොක්කා එසේ කරද්දී පොඩ්ඩො ද එයම සිදු කිරීම එහි හාස්‍ය වැඩි දියුණු වන්නකි. ඒ රජරට සරසවි සිසුන්ට පන්ති තහනම් ලබා දීමට මුල් වූ පරිපාලනය නිලධාරීන්ට ඒවා ඉවත් කරගැනීමට බෝධි පුජා වලට සහභාගී වීමය. 

ඉහත මාතෘකාව වෙනස් කල යුතු යැයි තීරණයට ආවේ අද උදෑසන අට්ටාලය මතදීය. ගෙවල් වල යන්නට බැරිව සිටියදී කාටත් පෙර පාන්දරම අපගේ බඩගින්න නිව්වේ ඉස්සරහ කඩේ මිනිසුන් දෙදෙනාය. පාන්දර 6.30 ට පමණ අපට බත්, පරිප්පු සම්බෝල සහ වැව් මාළු ව්‍යංජන ගෙන එන්නේ ඒ දෙපල පාන්දරට අවදිවන්නට ඇත. ඔවුනට වුවමනා වුයේ නොනගතයට පෙර අපගේ බඩගින්න නිවා දැමීමය. නොනගතය අපට අදාළ නොවුවද ඔවුන් අප ගැන බොහෝ සිතා තිබිණ.

කිරිබත්,කැවුම්, කොකිස් බත් ව්‍යංජන වලින් අපට අඩුවක් නොවීය. තේ කඩේ පුංචි දියණිය අපේ ඔන්චිල්ලාවට පැන ගත්තාය. පොඩි වුන් දෙදෙනෙකු කැවිලි පිඟානක් ගෙන පාර පැන අප සමඟ තත්පර කිහිපයක් සුරතල් විය. තරමක් ඈත නිවසක අප වෙනුවෙන් බතක් ඉදී තිබිණ. ඇතැමෙක් උදේ එන්නට සිටියත් විවිධ වැඩ නිසා එන්නට පමා වූ බව කිවේ ඔවුන් අප දෙස ඉතා ඕනෑකමින් බලා සිටින බව නොවන්නේද? මිහින්තලේ පල්ලිය පියතුමන් වෙනත් ගමනක් යන අතරතුර නතර වී අප සමඟ කතා බහ කලේ අවුරුද්දට අප මෙතනින් වන්නට ඇතැයි සිතාගෙනය.

නමුත් අප රැදී සිටීම ඔහුගේ සතුටට හේතු වී තිබිණ. අපගේ දිරිය අගය කරන බව ඔහු පැවසීය.
විශ්වවිද්‍යාලයේ ආදරණීය සහෝදර සහෝදරියන් ද , විශ්වවිද්‍යාල ආදී සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුද අප බලන්නට පැමිණීම සතුටට කාරණයකි. අපට සංග්‍රහ කල ඇතැමුන් ගැන කියන්නට අපට නොහැකිය. මන්ද රජරට පරිපාලනය යානු මනුස්සකම අහලකටවත් නොගත් අමනුස්ස පිරිසකි.

සිසුන්ට පන්ති තහනම් සේම සේවකයන්ට වැඩ තහනම් කිරීමද ඔවුන්ගේ විනෝදාංශයකි. 
නමුත් ඔබ සියලු දෙනා මෙතනට ගෙන ආ ආහාර වලට් වඩා ඔබගේ මනුස්සකම රැඳී සිනහවන් අප උර ගත්තෙමු. සටන් කිරීමට අපට තවදුරටත් දහිරිය සැපයු ඒ සිනාවන් අප සිත් තුල සදාකල් රැඳෙනු ඇත. 
මිනීමරා, මිනිස් ජීවිත වලට අසුබ ගෙන එන උන්ම ජීවිත සුබ වන්නැයි කෙටි පණිවිඩ එවද්දී, ජිවිතයේ කිසි දිනක අප හා වචනයක් හෝ කතා නොකළ මිනිසුන් අප පිලිබඳ අප්‍රමාණ සෙනෙහසකින් සිටි බව දැනගන්නට ලැබීම අපට දිරිය සපයා ඇත.

ජනාධිපතිතුමනි,මුග්ධ පාලකයිනි තේ කඩේ පුංචි දියණියගෙන්, ඉස්සරහ කඩේ නිහඬ මිනිසාගෙනුත් නුඹලාට ඕනෑ තරම් මනුස්සකම ඉගෙන ගත හැකිය. අපට උපාධිය අහිමි කිරීමට නුබලාට ගත වන්නේ විනාඩි කිහිපයකි. නමුත් මේ මිනිසුන් අපට අහිමි කිරීමට නුඹලාට කිසිම දිනෙක නොහැකි වනු ඇත....

0 comments:

Post a Comment