Thursday, May 1, 2014

වමේ උන් තක්කඩීන් වෙලා - චමීර කොස්වත්ත

අද සමාජයේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තර විවිධ විදහට වර නැගෙනවා. මේ ප‍්‍රශ්නයට උත්තරය මොකක්ද? ඒක මහපොළොවේ භෞතික බලවේගයක් කරන්නේ කොහොමද? මේ ගැන කථා කරද්දී ඇති වෙන පලවෙනි ප‍්‍රශ්නය ඒ වගේ උත්තරයක් තියෙනවද නැද්ද කියන එක. ධනවාදයට අපිට කියනවා උත්තරයක් නැහැ ධනවාදය තමයි මානව සංහතියේ අවසාන සමාජ ක‍්‍රමය කියලා. මේක පෙරලන්න වෙනස් කරන්න බැහැ කියලා කියනවා. වමේ ඉතිහාසයේ සිදුවූ පරාජයනුත් මේ අදහස ඇති වෙන්න බලපාල තියෙනවා. ලංකාවේ වෘත්තිය සමිති ගුණසිංහගෙ කාලයේ ඉඳලා මැයි දිනය සමරනවා. වෘත්තීය සමිිතිවාදය, ධනපති සභාග වලට රිංගන එක, මැතිවරණවාදය ඇතුලෙ කම්කරු පංතිය මංමුලා වෙලා තියෙනවා. 

වෘත්තීය සමිති අද වැඩ කරන්නෙ කම්කරු නීතිය ඇතුලෙ. ඒක කරන එක ලේසියි. කම්කරුවන්ට සංවිධානය වෙන්න රජය සාමාජික ගාස්තු එකතු කරලා දෙනවා. සාමාජික සංඛ්‍යාව දාහකට වැඩි නම් පූර්ණකාලීනව වෘත්තීය සමිති නායකයෝ පඩි ගෙවලා නිදහස් කරනවා. පහුගිය දවස් වල දුම්රිය සේවකයින් අරගල කරද්දී පොලිසිය ඇවිත් ඔලූ පැලූවා. තක්කඩි වෘත්තීය සමිති නායකයෝ ඇවිත් රූපවාහිනී ඉස්සරහ කියනව ඒ සේවකයො බීල හිටියෙ කියල. ඇත්තටම කවුද බීල ඉන්නෙ කියල අපිට ටිකක් එහායින් තියෙන මැයි රැුලි පැත්තට ගියාම බලාගන්න පුලූවන්. අද බොහෝ කම්කරුවන්ට මැයි දිනයත් වැඩ කරන දිනයක්. ලංකාවේ විශාල පිරිසක් ඉන්නෙ අසංවිධිත අංශයේ කම්කරුවෝ. කොළඹ වට රවුම් මාර්ගයේ කම්කරුවෝ අදත් වැඩ. අර්ථ සාධක අරමුදල් වෘත්තීය සමිති මුකුත් ඒ අයට නැහැ. මෑන් පවර් සමාගම් විසින් ඒ කම්කරුවන්ව සූරාකනවා. ඒ අය තමන්ට අයිතියක් තියෙනව මේක නිවාඩු දිනයක් කියලාවත් දන්නෙ නැහැ. සමාජ වෙනසක් ගැන විශ්වාස කරන පිරිසක් අද මැයි දිනය සමරද්දී බහුතරයක් මැයි දිනය නිවාඩු දිනයක් විදිහට සලකලා ගෙවල් වලට වෙලා ඉන්නවා. රතුපස් වලදී වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තියපු ධනපති ආණ්ඩුවේම දේශපාලකයින්ට පහුගිය මැතිවරණයේදී ජනතාව ඡුන්දය දෙන හැටි අපි දැක්කා. ඒ දේශපාලකයින්ගේ කටවුට් ගහගෙන හිටියා. තමන්ගෙ අල්ලපු ගෙදර හිටපු මනුස්සයාව ඇවිත් එලවනකම් මුකුත් නොකර බලාගෙන ඉන්නවා. ඒ වගේ සමාජයක් වෙනස් කරන්න පුලූවන්ද? මේක තමයි අපිට ලැබිලා තියෙන්නෙ වෙනස් කරන්න. එහෙම වෙන්නෙ ඇයි? ඒක ඒ මිනිස්සුන්ගෙ ගැටලූවක්ද? වමේ ගැටලූවක්ද? මේක ඉස්සරහ මුකුත් කරන්න බැහැ කියල අපි නිකම් ඉන්නවද? ධනවාදය පෙරලලා වෙනස් සමාජයක් හදන්න පුලූවන් කියන විශ්වාසය විසින් තමයි අද අපිව මෙතනට ගෙනල්ලා තියෙන්නේ. මෙන්න මෙතැනදී අපි විශ්වාස කරනවා පංතියේ පක්ෂයට පුරෝගාමී කටයුත්තක් තියෙනවා. 

අද ධනවාදය පැතිරිලා. අද ධීවරයෝ නැහැ. ඉන්නෙ ධීවර මුදලාලිලයි. ධීවර කම්කරුවොයි. කම්කරුවො කුලියට මුහුදු යනවා. ගොවියො නැහැ කෘෂිකාර්මික කම්කරුවෝ ඉන්නවා. මේ රටේ හතර දිග් භාගෙ විසිරිලා ඉන්න කම්කරුවන්ව සංවිධානය කරන්න වම සූදානම් උනේ නැහැ. එවැනි පක්ෂ ප‍්‍රතිසංස්කරණවාදයේ සභාගවාදයේ ගොහොරුවට වැටුනු එක පුදුමයක් නෙමෙයි. මේ අයව සංවිධානය කරන්න මහන්සි වෙන්න තක්කඩි වෘත්තීය සමිති උත්සාහ නොකරන්නෙ ඇයි? ඒකට මහන්සි උනා කියලා මුට්ට කාසි ආණ්ඩුව ලව්වා කපා ගන්න බැහැ. ඒවට මහන්සි වෙන්න ඒ නිසා මේ අයට උවමනාවක් නැහැ.

අද ව්‍යාජ උත්තර වමේ නාමයෙන් නිර්මාණය වෙමින් තියෙනවා. නිෂ්පාදකයින් ලාභ නැහැ කම්කරුවන්ට වැටුප් නැහැ කියල කියනව. මේක හතරබීරි කථාවක්. නිෂ්පාදකයින්ට ලාභ වැඩි වෙන ගමන් කම්කරුවන්ට වැටුප් වැඩි වෙන්නෙ කොහොමද? මේක තේරෙන්නෙ නැද්ද වමේ කියල කියාගන්න මහත්වරුන්ට? මොකක්ද මේ කරන්න හදන්නෙ? මේ තමයි තක්කඩිකම. ධනපතියයි කම්කරුවයි සේරම එකට දාගන්න හදනවා. ඡුන්දය ගන්න තමයි හදන්නේ. මේ සේරටම මුල රාජපක්ෂගෙ බදු ප‍්‍රතිපත්තිය කියලා කියන්න උත්සාහ කරනවා. සූදු පනතට එක්සත් ජාතික පක්ෂයයි ජවිපෙයි හෙළ උරුමයයි කියපු කථා වල කීවද මේව ඇතුලෙ මිනිස් දුහුවිලි බවට පත්වෙන මිනිස්සුන්ට වෙන කථාව? සේරම ඒ ගැන කථා කළේ සදාචාරවාදී ජාතිවාදී ආගම්වාදී තැන්වලින්. 

මේ වෙලාවෙ පොදු අපේක්ෂකයෙක් ගෙනාවම සේරම හරියනව කියල කියනවා. දැන් ප‍්‍රශ්නය පොදු අපේක්ෂකයෙක් නැතිකමද? මිනිස්සු සියදිවි නසාගන්න එකට, ළමයි ගගට දාන එකට, අධ්‍යාපනය නැති එකට, ඉස්කෝල වැහෙන එකට ඉස්පිරිතාල වල බෙහෙත් නැති එකට පොදු අපේක්ෂකයෙක් ගෙනාව කියල උත්තර හම්බෙනවද? අපි අහනව පොදු අපේක්ෂකයාට පස්සෙ වෙන්නෙ මොනවද කියල. ඒක පිටිපස්සෙ තියෙන වැඩපිලිවෙල මොකක්ද. දැන් ආණ්ඩුව දුව දුව කරන එක හිටගෙන කරපු එක්සත් ජාතික පක්ෂය රෙදි ඇදගෙනද සූදු පනතට විරුද්ධ වෙන්නෙ? චින්තනය කියල අද මේ කරන්නේ යලි පුබුදමු ශ‍්‍රී ලංකා එක තමයි. 

අමාරුවෙන් හරි හරියට දෙපයින් නැගිටලා මේ රටේ වැඩ කරන ජනතාව සමග දැන් ඉස්සරහට යන්න යන්න ඕනෙ. මේ කථාව ජනතාව එක්ක බෙදාගන්න ඕනෙ. ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බැනර් එක යටතේ වෙන්න ඕනෙ කියල හීනමානයක් අපිට නැහැ. ඒකට සියලූම ප‍්‍රගතිශීලී බලවේග වමේ කොටස් එකතු වෙන්න ඕනෙ. ශිෂ්‍ය ගොවි කම්කරු සියලූ බලවේග එකතු කරගන්න ඕනෙ. මේ පණිවුඩය වැඩබිම් වලට ගොවිබිම් වලට විශ්ව විද්‍යාල වල ගෙනියමු. ධනවාදයට මුහුණ දෙන්න පුලූවන් පලා ගිහිල්ලා නෙමෙයි. දුෂ්කර අර්බුද ඉදිරියේ ඛේදවාචකය තමයි හොඳ මිනිස්සුන්ගේ නිහඩතාවය. එය වෙනස් කිරීමේ වගකීම අපට පැවරිලා තියෙනවා.

1 comment:

  1. SEP එකේ වැඩපිලිවෙල හදාරන්න. wsws.org සහ wsws.org/sinhala බලන්න. ස්තූතියි.

    ReplyDelete