Friday, March 6, 2015

ධනවාදය අපුල්ලන ජවිපෙ

ජනාධිපතිවරණය අවසන් විය. මහින්ද ගෙදර ගියේය. මෛත‍්‍රී ජනපති පුටුවට ගියේය. දැන් මෛත‍්‍රී යුගය ඇරඹී ඇත්තේය. යහපාලනය යහමින් කෙරෙන්නේය. දැහැමෙන් සෙමෙන් වැඬේ ඇරඹී ඇත්තේය.

මුලින්ම බලය තහවුරු කරගැනීම ඇරඹීය. හැබැයි එය දින සීයේ දින වකවානුවලටත් පෙරාතුවය. ඇමැතිකම් බෙදා දුන්නේය. එජාපයේ 49 න් 41 ක් ඇමැතිවරුය. සමහරුන්ට ලැබුණු ඒවා මදි යැයි කීවේය. නහයෙන් ඇඬුවේය. ඒත් හිත හදාගන්නා බව කීවේය. ඉහළ පුටුවලට නිලධාරීන් පත්කරන්නේය; කළේය. ඒ ගැන සමාජයේ විවේචනයක් එල්ල වුණේය. සෝමරත්නගේ පත්වීම ගැන කලාකරුවන් නහකුණු ගෑවේය. ජවිපෙ පෝස්ටර් ගැසුවේය. අදූෂිත නිලධාරීන් පත්කරන ලෙස දූෂිත ධනවාදයෙන් ඉල්ලා සිටියේය. දූෂිතයන්ට එරෙහිව පියවර නොගන්නේ නම් තමන් දින සියයට පෙරාතුවම ගෙදර යන බවට හෙළ උරුමයේ නායකයෝ අනතුරු ඇඟවූහ. තමන් මෛත‍්‍රී බලයට පත්කිරීමේ අරමුණ බොඳව ඇතැයි ආචාර්යවරු කියා සිටියේය.

ජවිපෙ ආණ්ඩුව ඇතුළට නොයන බව කීවේය. දින සීයේ ඇමැතිකම් තමන්ට වැඩක් නැතැයි කීවේය. ඒ දින සීයක් නිසාය. එක කන්නයක්වත් එක පාසැල් වාරයක්වත් නැති නිසාය. ඒවා කිහිපවාරයක් උනා නම් බඩු ෂුවර්ය. ඇමැතිකම් ගන්නවා නිසැකය. එහෙම කියා ඒ උදවිය මේ ආණ්ඩුවේ නැතිද? මොකද නැත්තෙ? ඒ උදවියත් මේ ආණ්ඩුවේ කොටස්කාරයන්ය. ඒ කොහොමද? ඒක වෙන්නේ මෙන්න මෙහෙමය. ආණ්ඩුවට අණ දෙන්නේ, මෙහෙයවන්නේ, වැඩ හදන්නේ, යෝජනා ගන්නේ ජාතික විධායක සභාවය. එය කියන විදියට අනුරගේ යෝජනාවක්ය. ජාතික විධායක සභාව පමණක් නොවේ, එහි වැඩපිළිවෙළ ද ඔහුගේ සහ සුමන්තිරන්ගේ යෝජනාවන්ය. ජවිපෙ ආණ්ඩුව කරන්නේ අන්න එහෙමය. මහින්ද රජකමට ගෙනත් පසුව කැබිනට්ටුවට නොගියේය. මෙදා මෛත‍්‍රී පුටුවට ගෙනත් කැබිනට්ටුවට නොගොස් ජාතික විධායක සභාවට ගියේය. ඒ නිසා ජවිපෙට වගකීමෙන් මිදෙන්නට බැරිය.

දැන් ජවිපෙ කරන්නේ කුමක්ද? හොරු අල්ලන එකය. වංචාකාරයන් දූෂිතයන් සොයා යන එකය. ඔවුන්ගේ ෆයිල් එළියට අදින එකය. වරෙක උසාවියටත් වරෙක අල්ලස් දූෂණ කොමිසමටත් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවටත් දුවන වැඬේය. මේවා දකින විදියට මෙහෙමත් දකිනවාය. ඒ කොහොමද? ඒ බෞද්ධයාට බුදුන්, දහම්, සඟුන්ය, තෙරුවනය. ජවිපෙ තෙරුවන කුමක්ද? පාර්ලිමේන්තුව, උසාවිය හා දූෂණ කොමිසමය. දැන් ඒ ගැන වන්දනා කරන එකට වඩා වැඩක් නැත. දැන් විප්ලවය නැත. සමාජවාදය නැත. ඒවා ගැන හීනෙන්වත් හඬක් ඇසෙන්නේ නැත. ඇසුනත් එය ඡුන්ද හඬ අස්සේ මැකී යන්නේය.

මහජන මුදල්, මහජන දේපළ කොල්ලකෑම හෙළිදරව් කරන එක හොඳය. හොරු අල්ලන එක හොඳය. නරක දේ ඒක නොවේ. ලෝකයේ තවත් ප‍්‍රධාන හොරකමක් ද තිබෙන බව අමතක කිරීමය. ඒ දහඩිය කොල්ලයය. නිර්ධනයාගේ සූරාකෑමය. දේශපාලන ආර්ථික විiාවෙන් කියනවා නම් අතිරික්ත වටිනාකම් සොරකමය. සූරාකෑමය. ඒක ධනවාදයේ ප‍්‍රධානම යාන්ත‍්‍රණයය. මෙය දුප්පත්කමේ හේතුවය. මූල්‍ය පෝසතාගේ පෝසත්කමේ උල්පතය. අතිරික්ත වටිනාකම හැටියට ධනපතියා සොරාගන්නේ නොගෙවූ ශ‍්‍රමයය. විජේවීර සහෝදරයා මේ පාඩම හොඳින් දැන සිටියේය. ඒ නිසා එය නැති කිරීම සඳහා ජවිපෙ ගොඩනැඟුවේය. ඒ කියන්නේ සමාජවාදය ගොඩනැඟීම සඳහා ජවිපෙ ගොඩනැඟුවේය. එහෙත් දැන් ජවිපෙට සිය නායකයත් ඔහුගේ ක‍්‍රියාවත් යන දෙකම අමතකව ඇති සැටියකි. ඉතින් මේ සොරකමයි මේ සොරකමෙන් උපයා සපයා ගත් පෞද්ගලික සූරාකන දේපළයි දෙකම අහෝසි කරන්නේ නැතිව පීඩිතයාට අත්වෙන සුගතියක් ඇත්තේ නැත.

ජවිපෙ දැන් දින සීයේ වැඩවල හොරු අල්ලන එකට වඩා දෙයක් කරන බවක් නොපෙනේ. ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විධායකය අහෝසි කිරීම, ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම වැනි දේවල්. කොහොමටත් එවැනි දේවල් ගැන වැඩසටහනේ දක්වා තිබූ පරිදි එක කමිටුවක්, යෝජනාවක්, අණපනතක් ඉදිරිපත් වුණේ නැත. එහෙත් එහි නොතිබූ බොහෝ දෑ දැනට සිදුවෙමින් තියෙන අයුරු දකින්ටත් අපූරුය. විධායකය අහෝසි කිරීමක් නොකරන බව දැන් ඒ පාර්ශ්වවලින්ම කියවෙන්නට පටන් ගෙන ඇත්තේය.

ඡුන්ද ක‍්‍රමය දින සියයෙන් වෙනස් කළ නොහැකි බව කියවෙමින් ඇත්තේය. ඊළඟ මහ ඡුන්දයත් පැරණි ක‍්‍රමයටම යැයි කියවෙමින් ඇත්තේය. බලාපුවාම අදත් දෙයක් නැත. වෙනසක් නැත. මුහුණු ද වෙනස් වී නැත. තිබුණු පරණ මුහුණුමය. ජරාම ජරා මුහුණුය. ඒක එහෙම නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනෙක් දේවල් ගැන කවර කතාද?

ජවිපෙට ආණ්ඩු බලය තිබෙන නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වටින්නේ නැත. පීඩිතයාගේ ඕනෑ එපාකම් ගැන කතා බහක් නැත. පසුගිය කාලයේ නිකරුණේ නිරපරාදේ මරා දැමූවන් ගැන කටේ පිට්ටුය. උතුරේ පීඩිතයාගේ පීඩනය ගැන ඒත් එහෙමමය. හිරගෙවල්වල දී මරා දැමූවන් ගැන වගේ වගක් නැත. යටත් පිරිසයෙන් මරා දැමූ තමන්ගේ නායකයාගේ ඝාතනය ගැනවත් සොයා බලාගැනීමට උවමනාවක් නැත. ලොකුව ඇත්තේ හොරකමය, දූෂණයය.

දූෂණය නැත්තේ කොහේද? ධනවාදයේ අනිවාර්ය අංගයක් වන එය, ධනවාදයේ අන්ත සුපිරි රාජ්‍යයන් හීදී එකසේ විහිදී පැතිරී ඔඩුදුවා ඇති බව දිනපතා වාර්තා නොකියන්නේද? එය අමෙරිකාවේ නැතිද? මහ බි‍්‍රතාන්‍යයේ නැතිද? ප‍්‍රංශයේ? ඕස්ටේ‍්‍රලියාවේ? නැත්තේ කොහේද? එය ධනවාදයේ නිසග ලකුණය. උපන් ලපයය. තමන්ගේ ගජ මිතුරු යැයි කියන කොමියුනිස්ට් පාලනයක් තිබෙනවා යැයි කියන චීනයේ දූෂණය නැතිද? මැති ඇමැතිවරු, නගරාධිපතිවරු වෙඩි තබා මරා දමන්නේ නැතිද? මෙයට තිත තැබිය හැක්කේ අන් මඟකින් නොවේ. ඒ ධනවාදය පෙරළා දැමීමෙන් පමණක්මය. ඒ නිසා ප‍්‍රධාන දිසාව, අවධානය එයට යෙදවිය යුතු නොවේද? ජවිපෙ මේ කරන්නේ ධනවාදය පිරිපහදු කරන වැඩය. සේවය කරන්නේ කාටද? ධනවාදයටය. එය රැුක ගැනීමටය.

මන්ද වැඩ කරන ජනතාවට කියන්නේ හොරුන්, මංකොල්ලකාරයන්, දූෂිතයන් නැති ධනවාදය සුන්දර එකක් වනු ඇති බවය. ධනවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරපුරක් මවනු ඇති බවය. ධනවාදය එය කරවටක් ගිලී ඇති තැවරී ඇති කුණු දහජරාවන්ගෙන් සෝදාගත් කළ ඉන් වැඩක් ගත හැකිය යන මතය ජනතාව තුළට කාවැද්දීම බරපතළ අපරාධයක් නොවන්නේද? ලෙනින් කීවේ කුමක්ද? ධනවාදය ගැන, එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය ඇතිකරලීම අපරාධයක් වන බවය. ධනවාදය සෝදා පිරිසිදු කරගෙන එය ජනතා අවශ්‍යතා සඳහා පාවිච්චි කළ නොහැකි සමාජ ක‍්‍රමයකි.

දැන් ජවිපෙ තවදුරටත් කියන්නේ මොකක්ද? හොරු, මංකොල්ලකාරයෝ, ¥ෂිතයෝ නැති ඊළඟ පාර්ලිමේන්තුවක් ගැනය. එයට ජවිපෙ බහුතරයක් යැවීම ගැනය. ඊළඟට 2020 පාර්ලිමේන්තුව තමන්ට බලය ලබා දී සමාජ ක‍්‍රමය වෙනස් කරන ලෙසය. අපූරුයි! කදිමයි! නියමයි! පුළුවන් නම් ඔන්න වැඬේ.

මේ වෙන මොකවත් නොවේ. ජනතාව නොමඟ ඇරීමය. ජනතාවට ධනවාදය ගැන විශ්වාසය ඇති කිරීමය. සමාජය වෙනස් කිරීම විස්සයි විස්ස තරගයක් නොවේ. එසේම විස්සයි විස්සේ දී එය කළ හැකි යැයි දින තීන්දු කළේ කවුද? සුමනදාසද? චන්ද්‍රසිරි බණ්ඩාරද? විප්ලවවාදී යැයි කියාගන්නා පක්ෂයකට ගිය කලක්?

පී.බී.දසනායක