Sunday, August 30, 2015

ලංකාවෙන් Coca-cola සමාගමට රුපියල් බිලියනයක දඩයක්

කර්මාන්ත ශාලාවලින් සිදුවන පරිසර දුෂණය අද වන විට ලෝකය පුරාම විශාල ගැටළුවක් වෙලා. ලෝකයේ සංවර්ධිත රටවල නම් මෙවන් පරිසර දුෂණයන් වැලැක්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වය මීට හාත්පසින්ම වෙනස්. බොහෝවිට කර්මාන්ත ශාලා වලින් සිදුවන පරිසර දුෂණයන් කිසිදු අවදානයක් නොලබාම සැඟවී යනවා. මහා පරිමාණ සමාගම් මගින් සිදුවන මෙවන් පරිසර විනාශයන් ඔවුන් තම මුදලේ බලයෙන් සඟවා ගන්නට ඉතා සුක්ෂම ලෙස කටයුතු කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල නීති රීති වල ඇති අඩුලුහුඩු කම් වලින් ප්‍රයෝජනය ලබමින් ඔවුන් එම රටවල් වලින් ඉමහත් ලාබයක් උපයන්නේ එම රටවල් වල පරිසරය හෝ එම රටවල මිනිසුන් ගැන කිසිදු තැකීමක් නොකරමින්

පසුගිය දිනක අපේ රටෙත් මෙවන් විශාල පරිසර දුෂණයක් සිදුවුනා. මේ සිදුවීම සිදුවුනේ බියගම පිහිටුවා ඇති Coca-cola කර්මාන්ත ශාලාවෙනුයි. Coca-cola කර්මාන්ත ශාලාවෙන් කිසියම් ද්‍රව්‍යක් කැළණි ගඟට එකතු වීම නිසා කැළණි ගඟේ ජලය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමට අපවිත්‍ර වුනා. මේ නිසා කොළඹ නගරයේ පානිය ජාල සැපයුම විටින් විට අඩාල කිරීමටත් සිදුව තිබෙනවා. කර්මාන්ත ශාලාවක භාවිත වූ ජලය නැවතත් ජාල මුලාශ්‍රයකට මුදාහරින්නේ නම් ඊට ප්‍රථම එම ජලය මනුෂ්‍ය පරිභෝජනය සඳහා සුදුසු වන ආකාරයට පිරිසිදු කල යුතු වෙනවා. එමෙන්ම මේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් නිරීක්ෂණය කලයුත්තක්. මේ සියලු ක්‍රියාදාමයන් නිසියාකාරව සිදුවෙන්නේ නැත්නම් එම කර්මත්න ශාලාව පවත්වාගෙන යාම සඳහා නිකුත් කොට තිබෙන පාරිසරික බලපත්‍රය අවලංගු කෙරෙනවා.

මේ සිද්දිය සම්බන්දව Coca-cola Sri Lanka සමගම පවසා තිබෙන්නේ මෙය භූගත ඩිසල් නලයක ඇතිවූ කාන්දුවක් නිසා සිදුවුන ජල අපවිත්‍ර වීමක් බවයි. නමුත් මෙතරම් විශාල ජල අපවිත්‍ර වීමක් වනතෙක් ඩිසල් කාන්දුවීමක් සොයාගැනීමට නොහැකි නම් එම කර්මාන්ත ශාලාවේ සැකැස්ම සහ නඩත්තුව ගැන මතුවන්නේ විශාල ගැටළුවක්. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවකදී අදාල කර්මාන්තශාලාව මගින් නියමිත අංශ දැනුවත් කිරීම කල යුතුයි එවිට ඔවුන්ට මේ අපිරිසිදු ජලය මහජනයා වෙත ළඟාවීම වැලක්වීමට අවශ්‍ය පියවර ගත හැකි වෙනවා. Coca-cola Sri Lanka සමගම මේ පියවරයන් අනුගමනය කළේදැයි යන්න විමසා බැලිය යුතු වෙනවා.

ජාතික ජල සැපයුම් මණ්ඩලයට අනුව නම් ඔවුන් උදැසන 7 ට පමණ ඔවුන්ගේ අඹතලේ පිහිටි ජල පවිත්‍රාගාරයේ ටැංකි මත තෙල් වැනි ද්‍රව්‍යයක් පාවෙමින් තිබෙනු නිරීක්ෂණය කර ඇති අතර ඉන් පසුව ඔවුන් අඹතලේ ජල පවිත්‍රාගාරය වසා දමා එම තෙල් වැනි ද්‍රව්‍ය පිරිසිදු කිරීමට කටයුතු කර තිබෙනවා. මේ තෙල් වැනි ද්‍රව්‍ය නිසා පවිත්‍රාගාරයේ පෙරහන් වලටද යම් හානියක් වන්නට ඇතැයි සැක කෙරෙනවා. තවද කැළණි ගඟේ රැඳී තිබු අපවිත්‍ර ජලය ඉවත් කිරීම සඳහා ලක්‍ෂපාන ජලාශයෙන් ජලය නිකුත් කිරීමටද සිදුව තිබෙනවා.

Coca-cola Sri Lanka සමගම පවසන පරිදි සිදුව ඇත්තේ ඩිසල් කාන්දුවීමක් ද නැත්නම් වෙනත් අහිතකර රසනයනික ද්‍රවයක් දැයි යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ සඳහා අදාල ජල සාම්පල් ඉන්දියාවට යවා ඇති බවත් වාර්තාවෙනවා. දැනට වාර්තාවෙන අන්දමට Coca-cola Sri Lanka සමාගමේ පාරිසරික බලපත්‍රය අවලංගු කොට තිබෙනවා. එමෙන්ම ඔවුන්ට රුපියල් බිලියන 1 ක දඩයක් නියම කොට ඇතිබවත් වාර්තාවෙනවා.

ජලය යනු මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් ගෙන් ප්‍රධානම කරුණක්. අපිට ජලය නැතිව ජීවත්වීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. නමුත් Coca-cola Sri Lanka වැනි විශාල සමාගම් කැළණි ගඟ වැනි ප්‍රධාන ජල මුලාශ්‍ර මෙලෙස අපවිත්‍ර කිරීම කිසිසේත්ම එකඟ විය නොහැකි කාරණයක්. මේ සිදිය පිළිබඳව ලැබෙන අවධානය ඉතා අල්ප වීමද බරපතල කාරණයක් මෙය මෙවන් සමාගම් වලට මෙවන් ක්‍රියාවන් නැවත නැවත කිරීම සඳහා අනුබල ලබාදීමක්. පිරිසිදු පානිය ජලය ලබාගැනීමට නොහැකිවීම එක් අවස්ථාවක අපේ රටේම විශාල ගැටළුවක් බවට පරිවර්තනය වුනා අවසානයේ එය එවකට පැවති රජය බලයෙන් පහවීමට තරම් විශාල සිද්දියක් බවට පත්වුනා. නමුත් මේ සිද්දිය ට ලැබී තිබෙන්නේ ඉතා අල්ප වූ අවධානයක්. කිසියම් පාර්ශවයක් සිතා මතා මේ සිද්දිය ප්‍රසිද්ද වීම වළකාලීම සඳහා ක්‍රියාකරනවද යන්න අවධානය යොමුකළ යුතු කාරණයක්.

තාක්ෂනය යනු අපගේ ජිවිත වඩාත් හොඳ ආකාරයට පවත්වාගෙන යාමට ඉවහල්කරගත යුත්තක් මිස එය අප ජිවත් වන මේ ලෝකය විනාශ කිරීම සඳහා යොදාගත යුතක් නොවෙයි. තාවකාලික ලාබයන් බලාපොරොත්තුවෙන් මහාපරිමාණ සමාගම් සිදුකරණ මෙවන් පාරිසරික විනාශයන් තරයේම හෙළාදකිය යුතු වන අතර මෙවන් සමාගම් වලට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කලයුතු බව අපගේ අදහසයි. මන්ද අවසානයේදී අප උපයන ලාභයන්ගේ ප්‍රතිලාබ ලැබීම සඳහා අපට ජීවත්වීමට පරිසරයක් ඉතිරිව තිබිය යුතු නිසාවෙනි.

Source : http://nation.lk/

Saturday, August 29, 2015

මහමැතිවරණයෙන් පසු මොකද වෙන්නෙ? (Audio)

Pubudu Jayagoda
මහ මැතිවරණෙ මොකද වුනේ ?

මහින්ද පරාදයිද ?

ජාතික ආණ්ඩුව යන්නේ කොහේටද ?

පෙරටුගාමී එකට මොකද වුනේ ?ජවිපෙට මොකද වුනේ ?

ආචාර්ය මධ්‍යම පාන්තික විද්වත්තු කලේ මොනවද ?

හෙට වම නැත්තටම නැති වෙයිද ? චන්ද කෙරුවාව වැඩක් තියෙනවද ?

එකී මෙකි බොහෝ ප්‍රශ්න බොහෝ දෙනෙක්ගේ හිත් වල එලියට නොකිව්වත් වැඩ කරනවා. ඉතින් ඒ ගැන පුබුදු ජයගොඩ දක්වපු අදහස්.


හඬපටයට සවන්දෙන්න,




බාගතකිරීමට,

Download MP3 file (19 mb)

Monday, August 17, 2015

ජවිපෙ ව්‍යාජ හෘදසාක්ෂිය මාට්ටු


පසුගිය දිනක සමාජවාදී ශිෂ්‍ය සංගමය ලිපියක් නිකුත් කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැදවුම්කරු සහෝදරයා වෙත චෝදනා කර සිටියේ ජවිපෙ අපකීර්තියට පත්කරමින් ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මුද්‍රණය කර බෙදාහැර ඇති බවටයි. මෙම ප්‍රකාශය අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සහෝදරයා තරයේ ප්‍රතික්ෂේප කළ අතර හැකිනම් මෙලෙස ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් බෙදා නොහැරී බව සහ අඩුම තරමින් නිවැරදි ප්‍රකාශනය කුමක්ද යන්න ජනතාවට පෙන්වා දෙන ලෙස ප්‍රසිද්ධියේ අභියෝග කරන ලදි. එයට පිළිතුරු ලෙස විජිත හේරත් මහතා යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් ලබා දෙමින් කියා සිටියේ මෙය පක්ෂයේ ජනතා ආකර්ෂණය දරා ගත නොහැකිව සිදු කරන ලද අවලාදයක් පමණක් බවය. 


පහතින් දක්වා ඇත්තේ මෙහි යථාර්තයයි.



JVP IUSF



මෙහි වම් පසින් දක්වා ඇත්තේ අ.වි.ශි.බ.ම. මගින් බෙදාහරින ලදැයි පවසන ප්‍රකාශනයෙහි 23 වන සහ අවසාන පිටුවයි. දකුණු පසින් ජවිපෙ විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයෙහි 23 සහ අවසාන පිටුව දක්වා ඇත. මෙම අවසාන පිටු දෙකෙහිම 23 වන පිටුවෙන් උපුටා ගැනීමක් දක්වා ඇත. නමුත් දකුණු පස දක්වා ඇති ජවිපෙ ප්‍රසිද්ධ ප්‍රකාශනයෙහි එවැන්නක් සදහන්ව නොමැති අතර එම උපුටා ගැනීම වම පස ඇති ප්‍රකාශනයෙහි 23 පිටුවේ සදහන් වී ඇත. මෙයින් පෙනී යන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේදී කැදවුම්කරු සහෝදරයා සකස් කළැයි කියන ප්‍රකාශනයෙන් උපුටා ගැනීමක් සිදු කල ඇති බවය...

මෙහි නිවැරදිභාවය පිළිබද සොයා බැලීමට මෙම ප්‍රකාශන දෙකම පහතින් භාගත කරගත හැක.

Download Documents

Sunday, August 16, 2015

වමේ කුජීතකම් අස්සේ ධනේෂ්වරයට ජැක් ගසන හෘද සාක්ෂිය

JVP Sri Lanka
හෘද සාක්ෂිය යන්න ඒක පුද්ගල චිත්ත සංථානගත විඥානවාදී නැඹුරුවක් විනා එය සමාජමය බද්ධතාවයක පිළිබිඹුවක් නොවේ. මන්ද හෘද සාක්ෂියේ ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව පවතින්නකි. එකී පරාදීන මානසිකත්වයක් බුහුවිධ සටන් පාඨයක් ලෙස උපයෝගී කරගන්නා සමාජමය බලවේගයක් වන්නේද එය පරාදීන බවේ හෝ ගෝත්‍රික දහරාවේ පතුලේම කිදා බැස ඇති පිළිබිඹුවක් විනා අන් යමක්ද නොවන්නේය.

එකගින් මෙකී ගෝත්‍රික වචන හරුපය කර පින්නාගෙන මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ජවිපෙ නම් දේශපාලන ව්‍යාපාරය තම දේශප්‍රේමීත්වය නැවත වරක් ලොවට හඬ ගා පවසන්නේ දේශයේ හෘද සාක්ෂිය තමා වශයෙන් හදුන්වාගනිමිනි.

දේශප්‍රේමීත්වය හරහා ජාතිවාදය පෝෂණය කිරීමට දායක වූ ජවිපෙ පසුකාලීනව තමන් දේශප්‍රේමීත්වය යන්න ජාතිවාදී හැඩයක් ගත්තේ යැයි කිසියම් තැනක ස්වයං විවේචනාත්මකව දැක තිබිනි. එහෙත් ස්වයං විවේචන යන්න ජවිපෙ නැමැති සුළු ධනේෂ්වර මානසිකත්වයෙන් පෝෂිත සංවිධානයකට විටින් විට තම අරමුණ භක්ෂණය කිරීම සදහා දුන් එක් මනෝවිකාරික තල්ලුවක්ද විය. එය මනාව ඔප්පු කරනු ලැබූ වාර ගණන ලක්ෂ ගණනින් වුවත් සමාජගතව එකී නිරුවත පෙන්වූ වාරයන් අල්පය. 

ජාතිවාදය නිරන්තරයෙන් පවතිනුයේ දේශප්‍රේමය සමගය. එසේ නොවන්නේය යන්න පැවසීමට යම් ඉඩක් ඇත්තේ ධනේෂ්වර ගොහොරුවේ එරී සිටින ව්‍යාජවාදීන්ට මිස අන්කවරෙකුට හෝ නොවේ. 

දැන් කරලිය සූදානම්ව ඇත්තේ වාම නැඹුරුවකින් යුතු පක්ෂයක සාමාජිකයින් පාර්ලිමෙන්තු යැවීමට නොව දූෂිතයින්ගෙන් ධනේෂ්වර පාලන තන්ත්‍රය ආරක්ෂා කරමින් එයට නව පන්නරයක් ලබා දෙන ධනේෂ්වරය සුරකින එය සෝදා පිසදා පිරිසිදු කරන වාග් සංග්‍රාමිකයින් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ගත කිරීමටය.

ජවිපෙ මෙය හොදින් දන්නා අතරම ඒ සදහා වන අනේකවිධ විජ්ජාවක් කරලිගත කිරීමට ඔවුන් නිරත්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ සදහා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර සුළු වශයෙන් වැය වූ රුපියල් ගණන කෝටි 60කට වැඩි වනවා විනා අඩුවන්නේ නැත. 

ලෙනින් සටහන් කොට තැබූ පරිදි ඔබට මඩ ගොහොරුවට යන්න ඕනෑ නම් යන්න එහෙත් අපේ දෑත් අත්හරින්න යන්නට ලාංකික ජවිපෙ නැමැති ධනේෂ්වර උපනතියට පැවසීමට ඇත්තේ ද අපි වම ගැන සිහින දකිමින් මේ වනවිටත් ලංකාවේ පවතින වාම යැයි කියාගන්න මායාකාරී විකාරරූපීන්ගෙන් මීදී සිටියදී, අපේ දෑත් සිඹීමට හෝ ඇල්ලීමට මඩ ගොහොරුවේ කරවටක් එරී සිටින නුඹලාට ඉඩ නොදෙන බවය.

අපි සුදනො නොවන බව පැවසීමට ඕනෑ තරම් කරුණු කාරණා නුඹලාගේ දෑකැති මිටි ඉවත දැමූ සීනුව පමණක් පච්චා කෙටූ ශරීර කූඩු අස්සේ ඇති බව දනිමු. එහෙත් වාම වශයෙන් හදුන්වන වචනාර්ථය ද අසලක නැති පාරාජික මානසිකවාදීන්ට පැවසිය යුතුව ඇත්තේ නුඹ සිටගත තැන යහපත් බව පමණි.

එනම් මෙතෙක් රට පාලනය කළ ධනේෂ්වරත් නොවන ආසියාතික ගෝත්‍රික කණ්ඩායම් දෙකක් මැද එකී හරුපයන්ට සරිපදමට සරිලන තවත් එක් ගෝත්‍රික කණ්ඩායමක් එක්වීම හා එකී ස්ථානය සලකුණු කර ගැනීම යහපත් බවය. එබැවින් මින් මතු පෙර සිදුනොකළ එහෙත් වචනයක්ට පමණක් සීමා වූ සමාජවාදය ගොඩනැගීම යන වචන පවා භාවිතයෙන් මින් මතු ඉවත්කිරීම අනිවාර්යයක් කොට ගත යුතු බවය.

එය යාන්ත්‍රික මානසික තරවටුවක් ලෙස ගන්නේ නම් ගැටලුවක් නොවන්නේ අපගේ සිහිනය දැකීමට තවමත් රැය දිගු බැවිනි. 

ජවිපෙ වශීකෘත වූ සහසක් හිතෛෂීන් මෙවර ඡන්දය භාවිතා කිරීම වැලැක්වීම මෙම සටහනෙහි අරමුණ නොවුනත් ගෝත්‍රගත දඩබල්ලන් නොයෙක් සමාජ ජාල පිටුමත වලිගය උස්සා සිදුකරමින් පවතින මල පහ කිරීම් තවත් ඉවසා නොසිටිය හැකි බැවින් සටහනක සේයා මාත්‍රාවක් පමණක් මෙලෙස සලකුණු කළබව පමණක් සටහන් කොට තබමි.

ඉතිං විමුක්තිකාමීත්වය ප්‍රහීනය කොටගත් කිලිටි වූ ධනේෂ්වර රෙදි පිළි සෝදා දෙන්නනි, ඔබට ජය !

තුසිත පතිරණ

රනිල්ගේ අාණ්ඩුවේ පොලිස්පති බලතල අනුර කුමාර දිසානායකට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක දූෂණ විරෝධී ව්‍යාපාරයේ කස කාරයාය. ඔහු මහින්ද රාජපක්ෂගේ දූෂිත පාලනය දැඩි ලෙස විවේනයට ලක් කරන්නෙකි. මහින්ද රාජපක්ෂගේ අාණ්ඩුවේ අැමැති ජොන්ස්ටන්ගේ ඒතනෝල් ජාවාරමද දැඩි ලෙස විවේචනය කළේය.

ඒ වගේම හිටපු රාජ්‍ය අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒල්.ටී.ටී.ඊ නායක කේ.පී.ව හුරතල් කිරීම ගැනද මුලින්ම කතා කළේ ඔහුය. අලි පැටව් ජාවාරම ගැනද අනුර කුමාර කතා කළේය. අැත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක කතා නොකළ මාතෘකාවක් නැති තරම්ය. 

මේ නිසාම රටේ ජනතාව ඔහුව 'අැත්ත' දූෂණ විරෝධියෙක් ලෙස සලකන්නට පටන් ගත්තේය.

අනුර කුමාර අැත්ත දූෂණ විරෝධියෙක්ද?

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස වැඩ පටන් ගත්තේ "වංචා හා දූෂණ විමර්ශනය සදහා ඒකකයක් ස්ථාපිත" කිරීමෙන්ය.

2015 ජනවාරි මස 21 වැනිදා පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව "වංචා හා දූෂණ විමර්ශනය සදහා ඒකකයක් " නිල ලෙසම පිහිටු වීය. ඊට අදාළ ගැසට් පත‍්‍රයේ දිනය 2015 ජනවාරි 29 දාතමින්ය.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ස්ථාපිත කරනු ලැබූ දූෂණ විරෝධී කමිටුව කොටස් තුනකින් යුක්තය.මූලික කමිටුව, අනුකමිටුව සහ ක්ෂණික ප‍්‍රතිචාර කමිටුව වශයෙන්ය.

මූලික කමිටුව සහ අනුකමිටුව මගින් ලබා දෙන තොරතුරු මත දූෂිතයන් සහ ජාවාරම් කරුවන්ව වටලෑම, අත් අඩංගුවට ගැනීම, නඩු පැවැරීම සහ ඔවුන්ට රටින් පැනීම වැලැක්වීමේ වගකීම පැවැරී තිබුණේ අනුර කුමාර දිසානායකටය. 

මෙම ගැසට් පත‍්‍රයට අනුව අනුර කුමාර දිසානායක 2015 ජනවාරි 29දා සිට ආණ්ඩුවේ නිල හවුල් කරුවෙක් විය.

අගමැතිවරයා අනුර කුමාර දිසානායකට ලබාදුන් බලතල කීපයක්
දූෂිතයන් සහ ජාවාරම් කරුවන්ව වැටලීම්, අත්අඩංගුවට ගැනීම්, ප‍්‍රශ්න කිරීම්, අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය
විමර්ශන අවසන් වන තෙක් සැක කරුවන් රටින් පිට වීම වලක්වා ගැනීමේ බලය
විදෙස්ගත සැක කරුවන් ගෙන්වා ගැනීමේ බලය
අනුරගේ මෙහෙයුම් කාර්යාලය, අරලියගහ මන්දිරයේ නිල් බලකාය මෙහෙයුම් ගොඩනැගිල්ල
තෝරාගත් රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක්
තෝරාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (ඒ.එස්.පී. ශානි අබේසේකරගේ නායකත්වයෙන්)
නීතිඥවරුන් (නීතිපති යටතේ)
මූල්‍ය විගණන විශේෂඥයින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරකවරුන් 
අැති තරම් වාහන
දුරකථන හා කාර්ය මණ්ඩලය 

අනුර කුමාර දිසානායකට රනිල් වික‍්‍රමසිංහ අාණ්ඩුවත් සමග තිබුණු මෙම නිල සම්බන්ධතාවය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව දනිත්ද? ජවිපෙ සාමාජිකයන්ට ඒ පිළිබදව අවබෝධයක් තිබේද?

මේ කිසිවක් ගැන ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයාට අවබෝධයක් නැති බව නම් පැහැදිලිය. අනුර කුමාර දිසානායක පක්ෂයට හොරා දැනටමත් ඒක්සත් ජාතික පක්ෂය සමග දීගෙක ගොස් අවසන්ය.

නිල බල තල අනුව අනුර කුමාර දිසානායක කළ යුතු වැඩ සටහන්

1.කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. අත්අඩංගුවට ගැනීම

2.එල්.ටී.ටී.ඊ. ය වෙතින් අත්පත් කරගන්නා ලද රත‍්‍රන් සොයා ගැනීමට වෙනම විමර්ශන ඒකකයක් පිහිටු වීම

3.ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියෙකු කොළඹට ගෙන ඒම පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම

4.මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳව සොයා බැලීමේ වෙනම විමර්ශන ඒකකයක්

5.මහා පරිමාණ දූෂිතයන් හා ජාවාරම්කරුවන් අවම වශයෙන් 15 දෙනෙකු අත් අඩංගුවට ගැනීම

6.අලි පැටවුන් නීති විරෝධිව ගෙන යාම සහ හමුදා කදවුරු වලට ගෙනවිත් දැමීම පිළිබඳව සොයා බැලීම

7.ජනාධිපති මැතිවරණ සමයේ බෙදා හැරීම සඳහා ගෙනැවිත් දැනට ගබඩා කර ඇති භාණ්ඩ සොයා බලා ඒවා හෙළිදරව් කිරීම

8.ඉඩම්,චංචල හා නිශ්චල දේපල දූෂිත ලෙස අත්පත් කර ගැනීම පිළිබඳව සොයා බලා ඒවා හෙළිදරව් කිරීම

9.සේවක අර්ථ සාධක අරමුදල, කොටස් වෙළදපොල වංචා දූෂණ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීම

10.වාස් ගුණවර්ධන දන්නා තොරතුරු 129 ප‍්‍රකාශයක් ලෙස ලබා ගැනීම
සත්‍ය වශෙයන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක රනිල් වික‍්‍රමසිංහ අාණ්ඩුවේ පොලිස්පති වරයා විය. ඒ දූෂණ විරෝධී පොලීසියේය. මෙම බලතල යොදා ගෙන දින සීය අවසන් වීමට පෙර හෝ පසුව හෝ ඉහත සදහන් කාරණා අතරින් කීයක් අනුර කුමාර දිසානායක විසින් ඉටු කොට තිබේද?
ඉහත සදහන් කාරණා ඉටු නොවුණු බව රටම දනී. අනුර කුමාර දිසානායක දූෂිතයන්ට ඒරෙහිව රටට 'දැනෙන' යමක් නොකළ බවත් පැහැදිලිය. ඒ අැයි?

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටින්නේ ජවිපෙ වත්මන් නායකයෝ ජාවාරම් කරුවන්ගේ පැටිකිරිය හෙළිදරව් කිරීම නතර කර අැති බවයි. ඒ ජාවාරම් කරුවන්ගේ සල්ලි කුට්ටි ජවිපෙ 'නායකයන්ගේ' කටේ හිර වී අැති නිසා බවත් අමරසිංහ මහතා කියා සිටී.