Thursday, April 24, 2014

කැසිනෝ පණතින් ආණ්ඩුව දෙදරයි

කැසිනෝ පනත් යනුවෙන් ප්‍රසිද්ධියට පත් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදන තුනට කිසිම ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. එම ගැසට් නිවේදන තුන මේ මස 24 වැනිදා (බ්‍රහස්පතින්දා) සහ 25 වැනිදා (සිකුරාදා) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය. රජය කුමන ආකාරයකින් කැසිනෝ පනත් ගෙන ඒමට කටයුතු කළත්, ඒ සඳහා සහයෝගයක් නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි මහතා පැවැසීය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විවාදයටද සහභාගි නොවන බව ඒ මහතා කීවේය.

සුරාව, සූදුව කිසි විටෙකත් අනුමත නොකරන තම පක්‍ෂය, එවැනි පනත් ගෙන ඒමෙන් රටට සිදුවන විනාශයෙහි පංගුකාරයන් වීමට අකැමැති බවත් හසන් අලි මහතා අවධාරණය කෙළේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බැවින් මෙවැනි පනත් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ඇති බව සිය පක්‍ෂයේ විශ්වාසය යැයිද හසන් අලි මහතා පැවැසීය.
ගැසට් නිවේදන තුනටම අදාළ සංශෝධනයක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර ඇත.

ගැසට් නිවේදන පිළිබඳ විවාදයට සිය පක්‍ෂය සහභාගි වන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නාගරික මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා පැවැසීය. එම ගැසට් නිවේදනවලින් කැසිනෝ ව්‍යාපෘතියකට අදාළ කරුණක් සඳහන් වන්නේ නැති හෙයින් විවාදයට සහභාගි වන බව හේ වැඩිදුරටත් කීය.

ක්‍රමෝපායන සංවර්ධන ව්‍යාපෘති පනතේ නීත්‍යනුකූලව සූදු ඔට්ටු ඇල්ලීමේ පහසුකම් නැති නමුත් අනාගතයේදී එම ව්‍යාපෘතීන් සඳහා එය යොදා ගැනීමට ඉඩක් ඇතිදැයි සැකයක් පැනනඟින බැවින් එවැනි ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බවත් ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ සූදුව ව්‍යාප්ත කරලීමට එරෙහිව තුන් නිකායේම මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් හා සියලු ගිහි සංවිධාන ගෙන ගිය ජාතික මතය ජයග්‍රහණය කර ඇති බවත්, නමුත් තම පක්ෂය මෙම ව්‍යාපෘතියේ ඉදිරිය පිළිබඳ විමසිලි සහගතව ක්‍රියාකරන බවත් එම පක්ෂයේ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේදී ලබන 24 වැනිදා විවාදයට ලක්කිරීමට නියමිත ක්‍රමෝපායන සංවර්ධන ව්‍යාපෘති පනතට අදාළ ගැසට් නිවේදන පිළිබඳ එම පක්ෂයේ මතය නිවේදනයක් සහිතව නිකුත් කරමින් වර්ණසිංහ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ නොමැතිව හෝටල් සංකීර්ණ ඉදිකිරීම සඳහා ඉදිරිපත් කෙරුණු ගැසට් පත්‍ර තුන හා තවත් ක්‍රමෝපායන සංවර්ධන පනත් කෙටුම්පත් දෙකක් ලබන 24-25 දෙදින පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව ඇත.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත් ඉදිරිපත්වුණු අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය තුළත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත සිවිල් සමාජයේත් ක්‍රමෝපායන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කැසිනෝ ප්‍රවර්ධනය කිරීමට එරෙහිව ජනමතයක් ගොඩනැඟීමටත් එම පනත් කෙටුම්පතින් සූදු ඔට්ටු හා කැසිනෝ ඉවත් කිරීමටත්, තීරණාත්මක මැදිහත්වීමක් අප පක්ෂය විසින් කරනු ලැබීය.

ඒ අනුව 2008 අංක 18 දරන ක්‍රමෝපායන සංවර්ධන ව්‍යෘපෘති පනතේ 3 (2) උප වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කළ "වෝටර් ප්‍රෙන්ට් ප්‍රොපර්ටීස්" (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමද "ලේක් ලෙෂර් හෝල්ඩින්ග් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමටද අදාළ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලයට 2013/12/17 දින ඉදිරිපත් කරන ලදී. මෙයට පෙර ඉහත කී ව්‍යාපෘති සඳහා වූ බදු සහන ප්‍රකාශයට පත් කළ 2013/09/23 දරන ගැසට් නිවේදනය 2013/09/03 දා අවලංගු කෙරිණි. පළමු ගැසට් නිවේදනය මඟින් ඉහත කී ව්‍යාපෘති හඳුන්වා තිබුණේ සුඛෝපභෝගී කාමරවලින් සමන්විත හෝටලයකින්ද සම්මේලන මධ්‍යස්ථානයකින්ද සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින්ද අලංකාර භෝජනශාලා හා ඒ හා සම්බන්ධ වෙනත් හවුල් ක්‍රියාකාරකම්වලට පහසුකම් ඇති සියලු අංග උපාංග සහිත විස්තීරණ නිකේතනයක් ලෙසය. තවද ඒවාට ලබාදෙන සෙසු බදු සහන අතර සූදු හා ඔට්ටු ඇල්ලීමේ පනතට අදාළ බදු පිළිබඳ ඉහත (2013/09/23) දරන ගැසට් නිවේදනයේ සඳහන් විය.

පසුගිය අගෝස්තු මාසයේ විටින් විට ඉදිරිපත් කරන ලද ඉහත කී ව්‍යාපෘතීන් දෙකට ජාතික හෙළ උරුමය එරෙහි වූයේ ඒවා හැඳින්වීමේදී සූදු හා ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන ලෙස එකී යෝධ ව්‍යාපෘති සඳහා ක්‍රමෝපායික සහන ලබාදීම නිසාය. සුරාව හා සූදුව යනු සමාජය තුළින් ඉවත් කළ යුතු අධෛර්ය කළ යුතු නීති බන්ධන මඟින් සීමා කළ යුතු ආර්ථිකයට, සමාජයට හා සංස්කෘතියට හානිකර ක්‍රියාවන්ගෙන් යුතු ඒවා බව අපගේ ස්ථාවරයයි.

2013/12/17 ඉදිරිපත් කර ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ නව කැබිනට් සංදේශය හා යෝජිත ගැසට් නිවේදනයට අනුව ඉහත කී ව්‍යාපෘතීන් හඳුන්වා ඇත්තේ "නවීන සාප්පු සංකීර්ණයකින් සහ උසස් ස්ථරයේ නිවාස සංකීර්ණයකින් සහ කාර්යාලයීය/සේවා සැපයීමේ ස්ථාන සඳහා ඉඩ පහසුකම් ඇතුළුව විස්තීරණ අධි සුඛෝපභෝගී සංචාරක නිකේතන ලෙසය. තවද ඔට්ටු හා සූදු පනත යටතේ කිසිදු බද්දක් හා සහනයක් ප්‍රකාශයට පත් කර නැත. එමඟින් පෙනී යන්නේ ක්‍රමෝපායික පනත යටතේ 2013/12/17 දින පනත කැබිනට් පත්‍රිකා මඟින්ද එයට පෙරද හඳුන්වා දුන් හෝටල්, නිවාස, කාර්යාල සහිත විස්තීර්ණ ව්‍යාපෘතිවලින් ඉහත ආන්දෝලනයට ලක්වූ ව්‍යාපෘති දෙක වෙනස් බවය.

විවාදයට සහභාගි වී අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කරුණු සලකා බලා ඊට ජාතික නිදහස් පෙරමුණේ තීරණය ප්‍රකාශයට පත් කරන බවද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතා සඳහන් කෙළේය.

කැසිනෝ සූදුවට අදාළව කලින් ගෙන ආ පනත්වලට තම පක්‍ෂය විරුද්ධ වූ බවත් ඒ අනුව එම පනත සංශෝධනය කිරීමට කටයුතු කළ බවත් හෙතෙම කීය.

ක්‍රමඋපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අලුතින් ඉදිරිපත් කරන ගැසට් නිවේදනයට කැසිනෝ අදාළ නොමැති බවත්, එය වෙනත් ආයෝජනයක් සඳහා ගෙන එන්නක් බවත්, ඔහු සඳහන් කෙළේය.

ක්‍රම උපාය සංවර්ධන පනත යටතේ කැසිනෝවලට බදු සහන ලබාදී නොමැති බව කී ඒ මහතා මේ සම්බන්ධයෙන් විවිධ සැක සංකා මතු වුවද මෙම විවාදයෙන් පසුව තම පක්‍ෂයේ ස්ථාවර මතය ප්‍රකාශ කරනා බවද මුසම්මිල් මහතා වැඩිදුරටත් කීය.

කැසිනෝ පනත් යනුවෙන් ප්‍රචලිත වූ ගැසට් නිවේදන තුන 2013 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී එල්ල වූ විවිධ චෝදනා හේතුවෙන් එම වසරේම ඔක්තෝබර් 30 වැනිදා පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා විසින් එම ගැසට් නිවේදන ඉල්ලා අස්කර ගන්නා ලදී.

අනතුරුව සංශෝධිත ගැසට් නිවේදන තුන මේ වසරේ ජනවාරි 30 වැනිදා නිකුත් කරනු ලැබීය.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති වශයෙන් හඳුනාගෙන ඇති කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ නවීන සාප්පු සංකීර්ණයකින් හා උසස් ස්තරයේ නිවාස සංකීර්ණයකින් සහ කාර්යාලයීය ඉඩ පහසුකම් සේවා සැපැයීමේ ස්ථාන සඳහා ඉඩ පහසුකම්ද ඇතුළුව කාමර 500කින් යුතු විස්තිරණ අධි සුඛෝපභෝගී සංචාරක නිකේතන පහසුකම් සහිත ව්‍යාපෘතිය මේ ගැසට් නිවේදන තුනෙන් එකකි.

දෙවැනි ව්‍යාපෘතිය කොළඹ 02 ග්ලේන් වීදියේ සහ විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන නවීන සාප්පු සංකීර්ණයක් හා උසස් ස්ථරයේ නිවාස සංකීර්ණයකින් හා කාර්යාල සේවා සැපයුම් මධ්‍යස්ථාන සඳහා ඉඩ පහසුකම් සහිත අධි සුඛෝපභෝගී සංචාරක නිකේතනයකි.

තුන්වැනි ගැසට් නිවේදනයෙහි දැක්වෙන්නේ නවීන සාප්පු සංකීර්ණයකින් හා උසස් ස්තරයේ නිවාස සංකීර්ණයකින් සහ කාර්යාලයීය ඉඩපහසුකම් සේවා සැපයුම් ස්ථාන සඳහා ඉඩපහසුකම්ද ඇතුළුව කාමර 400කින් යුත් විස්තීරණ අධි සුඛෝපභෝගී සංචාරක නිකේතන පහසුකම් සහිතව කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ ඉදිකර ක්‍රියාත්මක කරන්නකි.

අධි සුඛෝපභෝගී සංචාරක නිකේතන පහසුකම් සහ ඊට අනුෂාංගික පහසුකම්ද සහිතව මේ ව්‍යාපෘති තුනම ක්‍රියාත්මක කරන බව ගැසට් නිවේදන තුනෙහිම සඳහන් වීම විශේෂත්වයකි.

අනුෂාංගික පහසුකම් මොනවාද යන වග ගැසට් නිවේදන තුනෙහි දක්වා නැති බැව් දේශපාලන අංශවල කතාබහට ලක්වී ඇත.

0 comments:

Post a Comment