Friday, April 4, 2014

රෝහණ විජේවීර අදටත් වලංගුද ?

මෙරට දේශපාලන ගමන් මග දෙස බලන විට මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන චරිත කිහිපයක් හමුවේ. . ඒ අතරින් ඇන්.එම්. පෙරේරා , දොස්තර වික්‍රමසිංහ, කොල්වින් ආර්.ද සිල්වා, පිලිප් ගුණවර්ධන වැනි චරිත කැපී පෙනේ. 

මේ සියලු දේශපාලන චරිත එක්තරා කාලයක රටේ ජන විඥානය සසල කල මිනිසුන්ය. එහෙත් නිවැරදි පන්ති දැක්ම වෙනුවට තම තමන්ගේ සුඛවිවරණය උදෙසා තම දේශපාලන ව්‍යාපාරය උකස් කර පක්ෂය මෙන්ම පන්තියද අරමුණක් නැති දේශපාලන මඩ ගොහොරුවක් වූ ධනපති සභාග ඉදිරියේ අකර්මන්‍ය ද කළේය. එවිට ලාංකීය දේශපාලන බිමට වමේ රික්තකය බිහිවිය. පීඩිත පව්ල් පසුබිමකින් පැවත එන රෝහණ විජේවීර නම් තරුණයෙකු එකී රික්තකය පිරවීමට, සිය වෛද්‍ය උපාධිය දනින් වැටී ලබා ගන්නවා වෙනුවට පැරණි වමෙන් ගිලිහුණු වමේ රතු ධජය සුරතට ගත්තේය.

1970 වන විට නැවතත් ලාංකීය භූමියට වමේ නැවුම් සුවඳ දැනුනි. රෝහණ විජේවීර බිහිවීමත් සමගම සමසමාජ -කොමියුනිස්ට් පක්ෂ හරහා අකර්මන්‍ය වී තිබුණු වාම ප්‍රවාහය නැවත අලුගසා නැගී සිටියේය. පීඩිත පන්තිය රැවටු පැරණි වම ප්‍රතික්ෂේප විය. එපමණක් නොව පැරණි වමේ නායකයන් අභිබවා නව නායකත්වයක්ද වමට උරුම කර දුන්නේය.

කුණුවී දිරාපත්වන ධනවාදය වෙනුවට සමානාත්මතාවය , සාධාරණය රජයන සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ පළමු වෙඩිහඬ 1971 අප්‍රේල් 05 වන දින හමා ගියේ ලාංකීය පීඩිත පන්තියට නව බලාපොරොත්තු එක් කරමිනි. දස දහස් ගණන් තරුණ තරුණියන් ඉච්චාභාන්ගත්වයට පත්කර, අරාජිකත්වය මුළුමහත් සමාජයම වසමින් , වතු පාලකයන් විසින් කම්කරු පන්තිය පාගමින් , රදල වලව් තුලින් රටේ සියලු තීන්දු තීරණ ගැනීම් තිබුණු තත්වයක එදා රට පැවතුනි. එයට එරෙහිව අභීතව ජනතාව පෙළ ගැස්වීමට හැකි වුයේ විජේවීර නම් අසහාය මිනිසාට පමණි.

71 ජනතා නැගිටීම අසාර්ථක විය. දහස් ගණනක් වීර සටන්කාමීන් මරු මුවට පත් විය. තවත් බොහෝ පිරිසක් සිරදඬුවම් වින්දේය. 13 වන විත්තිකරුවූ රෝහණ විජේවීර සහෝදරයා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් විය. විත්ති කරුවන් 24 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අන් සියල්ලන්ම අන්ත දක්ෂිනාන්ශීක කඳවුරේ සුරතලුන් බවට පත් විය. ඔහු අතහැර ගිය කිසි වෙකුට ඔහු පසු කර යා නොහැකි වීම ඉතා සුවිශේෂී කරුණකි.බොහෝ අය නව දේශපාලන ප්‍රවාහයන් ආරම්භ කලේ විජේවීර පරාජය කිරීමට මිස ගඳ ගසන දේශපාලනය වෙනසක් කිරීමට නොවේ. නමුදු කිසිවෙකු ඔහු අභිබැවීමට අසමත් විය. ඔහුගේ දැක්ම ඉදිරියේ සියලු අවස්ථාවාදී වම්මු පරාජයට පත් විය.

රෝහණ විජේවීර යනු වමේ සියලු දේශපාලන නායකයන් අභිබවාගිය විදග්ධ දේශපාලන පෞරශයකි .ඔහුගේ ව්‍යාපාරය තුල බිහි වූ සාමාජිකත්වය විශිෂ්ට කැපකිරීම් වලින් ලාංකීය දේශපාලනය වෙනස් කලේය.එවකට තාක්ෂනය අද මෙන් නොදියුණු යුගයක එක රැයකින් මුළු රටපුරාම එකම පෝස්ටරය ඇලවීමට සමත් වීම සංවිධානයේ ඇතී විසිරුණු අන්තර් සම්බන්දතාවයට කදිම නිදසුනකි. අවසානයේදී විජේවීර සහෝදරයා වසර ගණනාවක සිර ජීවිතයෙන් නිදහස් කිරීමට ධනපති පාලකයන්ට සිදු විය. විජේවීර සහෝදරයා නැවතත් ලාංකීය දේශපාලන භුමිය මත දෙපයින් නැගී සිටි යේය. දෑස ඉදිරිපිට පෙනෙන අයුක්ති සහගත පාලනය, පීඩනය, දුගී බව , තමන්ට කිසි සේත්ම හිස එසවීමට නොදෙන කුරිරු ධනේශ්වර ක්‍රමය තුල පෑගුනු , සමාජ සාධාරණත්වය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත් ජනතාව ඔහු හා එක්විය.

විප්ලවවාදී ප්‍රවාහයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලු අවස්තාවක් ලෙස 1982 ජනාධිපතිවරණය හැඳින් විය හැක.එහිදී චන්ද 273428 ක් ලබා ගනිමින් පැරණි වම දේශපාලන කුණු බක්කියට ඇද දැමීය. රටේ තුන් වන බලවේගය බවට ජනතා විමුක්ති පෙරමුණ පත් විය. රෝහණ විජේවීරයන්ගේ උදාර නායකත්වයෙන් නිර්ධන පන්තියේ දැවැන්ත පිබිදීමක් සිදුවන බව වටහා ගත් "යැංකි ඩිකී "නොහොත් ජේ.ආර් . 83 කළු ජුලිය දඩමීමා කරගනිමින් ජ.වී.පෙ. තහනම් කළේය .ඉන් පසු විජේවීර තහනම් දේශපාලනයට බලහත්කාරයෙන් ඇද දැමීය.

ජ.වී.පෙ. තහනම ඉවත්කිරීමට පක්ෂයක් ලෙස නොගත් උත්සහයක් නැත. එවකට රටේ සෑම සියලු පාලමක්ම, බෝක්කුවක්ම සැරසුනේ " ජ.වී.පෙ. තහනම ඉවත් කරනු" යනුවෙනි. තහනම් දේශපාලනය මැද වුවද ඔහු රටේ ජාතික ප්‍රශ්නය අමතක නොකළේය. ඒ වෙනුවෙන් කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් නොකළ ශ්‍රේෂ්ට දේශපාලන තිසීසයක් වූ "දෙමල ඊලාම් අරගලයට විසදුම කුමක්ද "කෘතිය රචනා කළේය. ඉන් පසු එළබෙන්නේ මෙරට අවසන් ආක්‍රමණිකයා වූ ඉන්දීය රජයට එරෙහිව අධිරාජ්‍යවාදී සටන දියත් කිරීමය. එවිට තහනම් දේශපාලනය තුලදීද රට වෙනුවෙන් එකී අති දුෂ්කර කර්තව්‍යට උර දීමට විජේවීර ඇතුළු පක්ෂය දෙවරක් සිතා බැලුවේ නැත.

ධනපති පන්තියේ සංහාරය දියත් විය. දේශයට පෙම් කල සුවහසක් ජනී ජනයා මහා මග දැවී ගියේය. බොහෝ අය මහා වීරත්වයක් පෙන්වමින් තම පන්තිය වෙනුවෙන් දිවි පිදීය. ඒ අතර රෝහණ විජේවීර සහෝදරයාද ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් අපෙන් සදාකාලිකව වෙන් විය. ඔහු අත්අඩංගුවට පත් වීමෙන් පසු 1989 නොවැම්බර් 13 වන දින පණපිටින් ඔහු දවා අළු කිරීමට ප්‍රේමදාස -රන්ජන් විජේරත්න සුසංයෝගය එක තීන්දුවකට එළඹුණි. ධනේශ්වර පන්තියේ පොදු සතුරා එලෙසින් මරාදැමීය.

ලිපියේ මුඛය පරමාර්ථය වූ විජේවීර අදටත් ගැලපෙනවාද යන්න ප්‍රශ්නය නැවත මතු කරමු. වර්තමානය වන විට සමාජවාදී කඳවුර ධනවාදී න්‍යායන්ට අනුව සහමුලින්ම බිඳ වැටී ඇත. තවත් ධනේශ්වර විශාරදයන් වෙළුම් සිය ගණනක් ලියමින් සමාජවාදී ක්‍රමය අහෝසි වී ඇති බවත් ලිබරල්වාදය ලොවේ නුතන විසඳුම බවත් ප්‍රකාශ කල අවස්තාවන් බොහෝ ඇත. ලංකාවේ නම් ධනේශ්වර ඇබ්බැට්ටයන් කිවේ " මැච් එක ඉවරයි" කියාය.

තතු එසේ තිබියදී මුළු මහත් ලෝකයේත් , ලාංකීය ජනසමාජය තුලත් පෙරටත් වඩා සුරාකෑම, අයුක්තිසහගත බව , දරිද්‍රතාවය, සුදුස්සාට සුදුසු තැන නොලැබීම, , ආදී දහසක් පීඩනයන්ට සිර කර ඇත. එහි දෛනික වර්ධනයක් පමණක් දැකිය හැක. රෝහණ විජේවීර හා ඔහු ගොඩනැගු දේශපාලන ව්‍යාපාරය එරෙහි වුයේ මෙකී කරුණු උදෙසාය. ඔහුගේ දේශපාලනය එරෙහි වුයේ ධනවාදයේ කෘරතර සුරාකෑමට එරෙහිවය. ඔහු එරෙහි වුයේ ලාංකීය අන්තොනමතික සුළුතර වලව් පාලනයට එරෙහිවය. ඒ සියල්ලක්ම අදටත් පෙරටත් වඩා වර්ධනය වී මුළු මහත් සමාජයම වෙලා ඇත. ඒ සියල්ල එලෙසම පැවතියදී විජේවීර පමණක් දවා හළු කිරීමෙන් පලක් නැත. ඔහුගේ දේශපාලන මගපෙන්වීම ලාංකීය දේශපාලනයට පමණක් නොව ලොව පුරා ධනවාදයෙන් බැටකන සකල පීඩිත ලෝකයටම පොදුය. ඔහු කිස් දිනක පැරදිය නොහැකි වමේ නායකයෙකි.

0 comments:

Post a Comment