Wednesday, April 23, 2014

ආණ්ඩුව හිතුවක්කාරයි, පුළුවන් නම් පෙරළන්න - මල්වතු මහා නාහිමියෝ බොදුබල සේනාවට කියති

“මේ රට පත්වී ඇති තත්ත්වය පිළිබඳව අප වගකිවයුත්තන්ට කරුණු කාරණා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඒ අය ඒවා පිළිගන්නේ නැහැ. මම පත්තරේක දුටුවා ඔබ වහන්සේ කියලා තියනවා, ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරළන්නත් බොදු බලසේනා සංවිධානයට පුලුවන් කියලා. පුළුවන් නම් මොකක් හරි කරන්න” යැයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ බොදු බලසේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පවසා ඇත. මහ නාහිමියන් මේ බව පවසා ඇත්තේ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රමුඛ එම සංවිධානයේ හිමිවරුන් පිරිසක් බදාදා (23) දින මල්වතු පාර්ශවයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියන් මෙසේද කීහ. “අද මේ රටේ ඇතැම් භික්ෂූන් වහන්සේලා භික්ෂු ගරුත්වය නැති වන ආකාරයට කටයුතු කරනවා. රට තුළ සිදුවන අකටයුතුකම් පිළිබඳව රජය නිසි පියවර නොගන්නා නිසා අද මහා සංඝරත්නයට පාරට බහින්න සිදුවෙලා තියෙනවා. අද මේ රජයේ කොතෙක් මැති ඇමැතිවරුන් හිටියත් ඒ අය මේවාට ක්‍රියාත්මක වන්නේ නෑ. රාජ්‍ය නිලධාරින් කියා පිරිසක් සිටිනවා. ඒ අයත් එහෙමයි. නමුත්මේ තත්ත්වය ගැන ඉතා කණගාටුයි.”

“භික්ෂූන් වහන්සේලා මේ රටේ හැසිරෙන ආකාරය දැකලා බොහෝ අය අපට දොස් කියනවා. බොහෝ අය අපට චෝදනා කරනවා. නමුත් අද සමහර භික්ෂූන් වහන්සේලාට මේ ආකාරයට කටයුතු කරන්න සිදුවෙලා තියෙන්නෙ රජයේ මැති ඇමැතිවරුන් හා නිලධාරීන්ගේ දුර්වලතා නිසයි. අප යම්, යම් අවස්ථාවල මේ ගැන කීවත් ඒ අය ඒවා පිළිගන්නේ නැතැ”යි මල්වතු මහා නාහිමියෝ සඳහන් කළහ. 

කෙසේ නමුත් බොදු බල සේනා සංවිධානය පසුගියදා පැවැසූවේ තමන්ට මේ ආණ්ඩුව පෙ‍රැළීමේ හැකියාව පවතින නමුත් එසේ කිරීමට හීනෙන්වත් නොසිතන බවයි.

0 comments:

Post a Comment