Wednesday, April 23, 2014

ගිලෙන නැවෙන් වමේ මීයෝ පනින හැඩ

ආණ්ඩුවේ කොටස්කාර පැ‍රැණි වාමාංශික පක්ෂ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාවට නැංවීම,විශ්‍රාමික පාරි‍තෝෂිතය බැංකුවට හැරවීම වලක්වාලීම ඇතුළු යෝජනා 12ක ලියැවිල්ලක් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පක්ෂය මෙම ලියැවිල්ල සකස්කොට ඇත.

මෙහිදී රාජ්‍ය අංශයේ අවම වැ‍ටුප රුපියල් 30,000ක් දක්වා වැඩි කර ගැනීම පෞද්ගලික අංශයේ අවම වැ‍ටුප රු.15,000 වැඩි කර ගැනීම වතුකම්කරු අවම දෛනික වැ‍ටුප රු.700 දක්වා වැඩිකර ගැනීම , දින 30ට විදුලි ඒකක 1-60 දක්වා ගාස්තුව පෙර තිබු මිලට ලබා ගැනීම අත්‍යවශ ආහාර සලාකයක් සහන මිලට ලබා ගැනීම, මර්දන ක්‍රියාදාමය නැවැත්වීම, ගොවිජන ධීවර සහන් නොනවත්තා ලබා ගැනීම, මහපොළ ශිෂ්‍යත්වය වැඩි කර ගැනීම, අධ්‍යාපන සෞඛ්‍ය හා මඟී ප්‍රවාහන ගැටළු සඳහා රජයේ වැඩි ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම ද මෙම ඉල්ලීම් අතර වේ.

මේ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ වැඩකරන ජනතාවගේ ඉල්ලීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුකිරීම සඳහා මෙම පියවර ගත් බවය. මෙමගින් ජනාධිපතිවරයාට හා ඔහුගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට දැඩි බලපෑමක් කළ යුතු බව ඔහුගේ අදහසය.

ඒ කෙසේ නමුත් මේ වන විට ආණ්ඩුව මුහුණ පා තිබෙන අර්බූදය මෙම ලියවිල්ලෙන් පැහැදිලි වන බව දේශපාලන විචරකයෝ සඳහන් කරති. විවිධ එකිනෙකට පරස්පර මතවාද දරණ දේශපාලන කණ්ඩායම් වල අශුද්ධ එකතුවක් වන වත්මන් ආණ්ඩුව එම පරස්පරතා සහිතව යා හැකි උපරීමයට මේ වන ගමන් කොට ඇති බවත් කැසිනෝ පනත නීතිගත කිරීමට ගන්න උත්සාහය තුළ ආණ්ඩුවේ දෙදරීම තවදුරටත් තිව්‍ර වනු ඇති බවට ඔවුන් අනාවැකි පළ කරති.

එමෙන්ම පසුගියදා වාර්තා වුයේ ආණ්ඩුවේ කොටස්කාර වමේ පක්ෂ හිටපු ජනාධිපතිනිය හා රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිළ වශයෙන් සාකච්ඡාවටයක් පැවැත්වීමට සූදානම් වන බවය. හිටපු ජනාධිපතිනිය මීළඟ ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බවටද මත පළවෙමින් තිබෙන අතරතුර පැ‍රැණි වමේ පක්ෂවල නව ක්‍රියා මාර්ග නුදුරු ආණ්ඩු පෙරළියක පෙර නිමිති වියහැකි බවටද දේශපාන විචාරක මත පළව තිබේ.

0 comments:

Post a Comment