Tuesday, April 8, 2014

පුටිං, ලෙනින් ලෙස දැකීමේ වරද හා ක්‍රිමියාවෙන් ආතල් ගැනීම

Vladimir Vladimirovich Putin
යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියානු අර්ධද්වීපය මේ වන විට ජනමත විචාරණයක් පවත්වා රුසියාවට ඇදා ගෙන අවසන්ය. දැන් ඓතිහාසික සමාජවාදී රාජ්‍යයක් විසින් අත්පත් කර ගත් මේ රට සම්බන්ධයෙන් ලංකාවේ පෞරාණික මාක්ස්වාදීන් හා සමාජවාදී පක්ෂයන් තම සමාජිකයන්ට රුසියාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් දෑ පාරම් බෑමට පටන් ගෙන ඇත. ඔවුන් රුසියානු ජනාධිපති පුටිං විසින් සිදුකළ මෙම යුක්රේන ආක්‍රමණය දැක ඇත්තේ ක්‍රිමියානු ජනතාව සමාජවාදී රුසියාවට ඇදා ගැනීමක් ලෙසය.

එහෙත් දශක ගණනාවක කාලයේ පසින් යට කළ රුසියාවේ සමාජවාදය දැනුදු තිබෙන්නේ යැයි උපකල්පනයක සිටීම කොතරම් පොට වරද්දා ගැනීමක්ද යන්න නොකිව යුතු මනාය මිහයිල් ගොර්බොචොව් ගේ පාලනයෙන් අනතුරුව සමාජවාදය යන්න සහමුළින්ම ධනපති කුවේරයන් ඉදිරියේ නිරුවත් කළ අතර ඊට ද පෙර සිට පස්යට ගැසූ සමාජවාදී ආකල්පයක් හා සංස්කෘතින් වචනාර්ථයෙන්ද මිහිදන් කිරීමට පියවර ගත්තේය.

දැන් රුසියාවේ පාලකයා ව්ලැද්මිර් පුටිංය. ඔහු වෙනත් ආකාරයක ධනේෂ්වර පාලකයෙකි. හේ නංගී පෙන්නා අක්කා දෙන ජාතියේ ධනේෂ්වර නායකයෙකි. සමාජවාදී ධූපයන්ගෙන් තම නාසය ආග්‍රාහනය කරන්නේ යැයි අගවමින් සමාජවාදය වේසකමේ යැවීමට තරම් ඔහු සමර්ථයෙකි. මෙවැනි තත්වයක පවතින ධනේෂ්වර රුසියාව එහි අධිරාජ්‍යවාදී ගොඩනැගීමක් සදහා වන ක්‍රියාකාරීත්වයේදී අනුගමනය කරන මෙවැනි නරුමකම් දැක ආතල් ගැනීමට තරම් ලංකාවේ වාමවාදී පාර්ශවයන් නැඹුරුවීමම එහි අභාවාකයේ අරුමය දනවන්නක්ද වේ.

මේ සදහා හොදම උදාහරණය වන්නේ ලංකාවේ වාමේ නායකයින් චීනය සමාජවාදී තලයේ ලා සිදුකරන වන්දනාමාන කිරීමය. චීනය ද එහි සමාජවාදී භාවිතාව මිහිදන් කළ තවක් ධනේෂ්වර රාජ්‍යයකි. දැන් එය ධනේෂ්වර ආර්ථිකය ඕනෑවටත් වඩා ශුද්ධාත්මය බවට පත් කොටගත් රාජ්‍යයකි. එහෙත් වාමවාදී ලාංකේය ව්‍යාපාරයන් චීනයේ සිදුවන ආර්ථික විපර්යාස යටින් සමාජවාදී සංස්කෘතීන් ඉහලට ඔසවා තබන්නේ ය යන ආකල්පයේ සිට එහි සංචාරයන් හා අධ්‍යාපනික හැදෑරීම් සදහා යුහුසුළු වන හා වූ වාර අපමණය.

මෙහිලා පැවසිය යුතු එක් දෙයක් ඇත. එනම් චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කොට ධනේෂ්වර චීන අධිරාජ්‍යය ගොඩනැගීමේ ගත් සමාජවාදී මෝඩ චූන් එක රුසියාව ගෙන යන තම ආසන්නයේ වූ රටවල් යටත්කොට ගෙන රුසියානු ධනේෂ්වර අධිරාජ්‍යය ගොඩනැගීමේදීද විදීම අරුමයක් නොවන බවය.

සමාජවාදය එහි පෘතුල බව විදහා පෑමට රුසියාව එක්සේසත් කොට ලෙනින් විසින් කළ සමාජවාදී විප්ලවය පුටිං වැනි නරුමයන් විසින් අවභාවිතාවේ යෙදවීමෙන් ගැනීම මොන තරම් නරුම වන්නේද යන්න හා ලංකාවේ වමේ ව්‍යාපාරයේ තත්වය උරගා බැලෙන්නක්ද වන බව මෙහිදා පැවසිය යුතු සත්‍යය වන්නේය.

එබැවින් ලංකාවේ වාම ව්‍යාපාරය ලෝක දේශපාලනයේ ඉතිහාසගත කරුණු හා වර්තමානික කියවීම් හරියාකාරව කියවා ගන්නා තෙක් ඔවුන්ට ස්ථිර පැවැත්මක් හෝ ලංකාවේ වමක් ගොඩනැගීමට නොහැකි වන බව පමණක් සටහන් කොට තබමු. ඒ මන්ද යත් ධනේෂ්වරය හරියාකාරව කියවා නොගන්නා තෙක් ඔබට වමක් සම්බන්ධ සංකල්පගත මනෝරාජිකයක් හෝ ගොඩනගා ගැනීමට නොහැකි වන බැවිනි.

අයි. ප්‍රියංගනී

0 comments:

Post a Comment