Friday, April 4, 2014

71 අරගලය මතකයට නගන දයා සහෝදරයා

මැතිනියගේ රජයට එරෙහිව නැගී සිටින ප්‍රධාන සතුරා ජවිපෙ බව ඔවුන්ට හැඟිණි. තව තවත් ලෙඩේ උඩු දුවන්නට පෙර ප්‍රතිකාර කිරීම සුදුසු යෑයි සිතූ එවකට රජයේ ප්‍රධානීහු රජයට එරෙහිව නැඟී සිටින ප්‍රධාන හතුරා වන ජනතා විමුක්‌ති පෙරමුණ මර්දනය කරන්න යෑයි ආරක්‍ෂක අංශවලට නියෝග කළහ. ජවිපෙ ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට ඒ අනුව ආරක්‍ෂක අංශ විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය. ජවිපෙට එළව එළවා පහරදුන්නේය. ජවිපෙ විප්ලවවාදී පක්‍ෂයක්‌ ලෙස අප්‍රේල් මස 05 වැනිදා උදෑසන ප්‍රථම වරට වැල්ලවත්ත පොලිසියට පහරදී ආයුධ අතට ගැනීමට තීරණය කර තිබුණද, අවසානයේ ඒ තීරණය වෙනස්‌ කරමින් වැල්ලවාය පොලිසියට ජවිපෙ පළමු වෙඩි මුරය මුදාහැරියේය.

"ඒ දවස්‌වල පොලිසිවලට පහර දුන්නේ නොම්බර 12 තුවක්‌කු කිහිපයකින්. කෑගල්ලේ පොලිසියට රතිඤaCදා පත්තු කරලා විසි කළාම පොලිස්‌ රාළහාමිලා පණ එපා කියලා දිව්වලු. එදා කෑගල්ල පොලිසියේ තුවක්‌කු සේරම අපේ සහෝදරවරු අරගෙන තිබුණා. එදා තමයි (අප්‍රේල් 08 වැනිදා) රට පුරාම ඇඳිරි නිතීය දාලා ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන්ට දිසාපති කාර්යාල, පන්සල්වලට ගිහින් පොලිසියට භාර වෙන්න කියලා මැතිනිය හෙලිකොප්ටර්වලින් පත්‍රිකා බෙදුවේ. ඒත් අපේ සාමාජිකයෝ පොලිසියට භාර වුණේ නැහැ. ඊට පස්‌සේ තමයි මැතිනිය ටයර් සෑය ගෙනාවේ. අපේ සහෝදරවරුන්ව පණ පිටින් ටයර් දමා පිච්චුවා. තවත් සාමාජිකයන්ව වධකාගාරවල තියාගෙන දස වධ දුන්නා. බද්දේගම කමලබන්දු සහෝදරයාගේ දකුණු අත විදුලි කියතකින් කපන කොට ඒ සහෝදරයා මෙහෙම කිව්වාලු."

"ලාංකීය විප්ලවය දිනේවා! ජනතා විමුක්‌ති පෙරමුණ දිනේවා! මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ්‌ඩුවක්‌ ඇති වේවා!" 

ඒ එක්‌ සහෝදරයකුගේ ඉල්ලීමක්‌ විතරයි. මේ වගේ සහෝදරවරු විසිදාහක්‌ විතර එදා කෲර විදිහට ඝාතනය කළා. යටියන්තොට ඇන්තනී සහෝදරයා විදුලි කියතකින් පපුව පළා කකුල් දෙක කපන්න කලින් ඒ සහෝදරයත් පොලිසියෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක්‌ කර තිබුණා.

"මාව මරන්න ඉස්‌සෙල්ලා ඉතිහාසයට එකතු කරන්න කවියක්‌ කියන්න ඉඩ දෙන්න"

කාකි කෝට්‌ ඇඳගත්තු පොලිස්‌ නිලධාරීන් අතර මිනිස්‌කම තිබුණු පොලිස්‌ නිලධාරියෙක්‌ "දැන් අපි උඹව කොහොමත් මරනවා. අපට දැනගන්නත් එක්‌ක උඹේ කවිය කියපන්" කියලා ඒ සහෝදරයාගේ අවසන් ඉල්ලීමට අවසර දීලා තිබුණා.

ඔබ මියගිය සොහොන මත්තේ පුදන්නට
නෙක විසිතුරු මල් මාලා නැත අපට
ඇත්තේ සටන් කාමය නිති අවදි කොට
පුද දෙමි සොහොයුරාණෙනි ඔබගේ විරුනමට

යටියන්තොට සහෝදරයා ඒ කවිය කිව්වට පස්‌සේ ඔහුගේ බඩ කපා, අත් දෙක කපා යටියන්තොට නගරයට ගෙනත් ටයර් දමා ගිනි තියලා තිබුණා.

කෑගල්ලේ කණ්‌ණාඩි අබේ සහෝදරයාගේ මල්ලිව අත්අඩංගුවට ගෙන ඝාතනය කරන්න හදනකොට ඒ සහෝදරයා මෙහෙම කියලා තිබුණා. 

"තොපි මරන මරන කෙනෙක්‌ පාසා, තොපි පලන පලන පලුවක්‌ පාසා, තොපි අපව විනාශ කළත් අපි නඟපු හඬ කවදා හෝ මේ රටේ රතු ආණ්‌ඩුවක්‌ ගොඩනඟනවා."

0 comments:

Post a Comment