Friday, April 4, 2014

71 නැගිටීම හා පෙරටුගාමීත්වයේ පාඩම්

අපේ‍්‍රල් මාසය ආරම්භ වී තිබේ. නගරවල නැතත් ගම්වල රතු එරබදු පිපී තිබේ. කොවුල් නාද ද ඇසේ. සුපුරුදු පරිදි, අන් හැම වසරවල මෙන් වසන්තය ‘‘ඇවිත් යන්නට’’ පැමිණ තිබේ. ‘‘ඇවිත් යන’’ වසන්තය වෙනුවට සදාකාලික වසන්තයක් වෙනුවෙන් පැන නැගුනු අරගලයක 43 වන වසර අපි මෙවර සිහිපත් කරමු. පසුගියදා මවගේ සුසානනට බුහුමන් දැක්වීම සඳහා ලංකාවට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ලක් වූ ප‍්‍රවීණ දෙමළ කිවි ජෙයපාලන්ගේ කවියක 71 වසන්තය විස්තර කෙරෙන්නේ මෙලෙසය.

අරගලය පරාජයට පත් විය. එයට එහි අරමුණ කරා යා ගත නොහැකි විය. එහෙත් 71 අරගලය ලංකාවේ ඉතිහාසයෙහි සමාජවාදය උදෙසා පැන නැගුනු ප‍්‍රථම අරගලය විය. එය ඉතිහාසයට ඉතා වැදගත් පාඩම් රැසක් එක් කළේය. ලොව ප‍්‍රථම නිර්ධන පන්ති රාජ්‍ය බිහි කළ පැරිස් කොමියුනයේ අරගලය ගැන මාක්ස් දැරූ ස්ථාවරයද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ලෙනින් කියන පරිදි ප‍්‍රංශ ආණ්ඩුව පෙරලා දැමීමට දරනු ලබන ඕනෑම උත්සාහයක් පරාජය වනු ඇතැයිද, බලාපොරොත්තු සුන් වීමේ අඥාන කි‍්‍රයාවක් බවට එය පත්වනු ඇතැයිද මාක්ස් පෙර සිටම පවසා තිබිණි. එහෙත් අරගලය පැන නැගුනු පසු මාක්ස් ඉතාමත් උද්යෝගයෙන් යුතුව අරගලයට සුභ පැතූ අතර ‘‘දෙව්ලොව කැලඹූ කොමියුනාඞ්වරුන්ගේ වීරත්වය’’ ගැන පැවසුවේය. ඔහු අරගලය දුටුවේ වැඩපිළිවෙළවල් හා තර්ක සිය ගණනකට වඩා වැදගත් පන්තියේ ප‍්‍රායෝගික පියවරක් ලෙසය. ලෙනින් කියන පරිදි ප්ලෙහනොව් රුසියාවේ 1905 විප්ලවයේ පරාජය ගැන ‘‘ඔවුන් ආයුධ නොගත යුතුව තිබිණි’’ කීවාක් මෙන්, ‘‘අකල් ව්‍යාපාරයක්’’ ලෙස හෙළාදැක්කා මෙන් මාක්ස් පරාජිත විප්ලවය හෙළාදැක්කේ නැත. මාක්ස් කළේ අරගලයේ සාධනීය හා නිශේධනීය කරුණු විග‍්‍රහ කරමින් අරගලයේ ආලෝකය අනුව තම න්‍යාය යළිත් පරීක්ෂාවට භාජනය කිරීමයි.

71 අරගලයද අකල් අරගලයක් ලෙස, පුද්ගල හිතුවක්කාරකමක් ලෙස, අඥාන අතිධාවනකාරීත්වයක් ලෙස හෙළා දකින පණ්ඩිතමානී විචාරයන් සිය ගණනින් පුනරුච්ඡුාරණය කෙරෙන මොහොතක අප ඉන්නේ පැරිස් කොමියුනය ගැන මාක්ස් සිටි ස්ථාවරයේය. එමෙන්ම මෙතෙක් කල් සිදු වූ ආකාරයට හුදු වීරත්වය පමණක් අනුරාගයකින් අතිශයෝක්තියට නැගීමද ඉතිහාසයේ පාඩම් උකහා ගැනීමට බාධාවකි. අරගලය වැලඳ ගැනීමේ හෝ බැහැර කිරීමේ අන්තයන්ට නොගොස් ලංකාවේත් ලෝකයේමත් කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස එය අත්දැකීම් හා උපක‍්‍රමීය පාඩම් සාකච්ඡුාවට බඳුන් කළ යුතුය. අරගලය නොතකා හැරීමකට හෝ හුදු වීරත්වය සැමරීමකට සීමා නොකර අරගලය දේශපාලනික කියවිය යුතුය.

71 අරගලය වටහා ගැනීමේදී එය හුදු ඕපපාතික නැගිටීමක් ලෙස වියුක්තව තේරුම් ගැනීව වෙනුවට ඓතිහාසික ලෙසත් විෂයබද්්ධ ලෙසත් සංයුක්තවත් වටහා ගත යුතුය. එහිදී 71 අරගලය තුඩු දුන් සමාජ පසුබිම ජාත්‍යන්තර වහයෙන් මෙන්ම දේශීය වශයෙන්ද සාකච්ඡුා ඛළ යුතුය. 1970 දශකය එන්නේ 1940, 50, 60 දශක පසු කරමිනි. 1940 දශකය අවසන් වූයේ දෙවන ලෝක යුද්ධයේ විනාශකාරිත්වයත් සමගිිනි. ලෝකය නැවත බෙදාගැනීම සඳහා අධිරාජ්‍යවාදීන් අතර පැනනැගුනු යුද්ධය අවසන් වුයේ ලෝකය තුළ නව දේශපාලන සමතුලනයක් බිහි කරමිනි. බි‍්‍රතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් අබි බවමින් අමෙරිකා එක්සත් ජනපදය අධිරාජ්‍යවාදී කඳවුරේ ප‍්‍රමුඛයා වීමත් නැගෙනහිර යුරෝපීය රටවල සෝවියට් හිතවාදී පාලනයන් බිහිවීම සමග ලෝක සමාජවාදී කඳවුරක් බිහිවීමත් සිදුවූයේ ඊට සමගාමීවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව ආදී සංවිධාන බිහිවීමත් සමග පරිධියේ රටවල් මත ආධිපත්‍යය පවත්වාගෙන යාමේ වඩාත් සියුම් උපක‍්‍රම බිහිවූ අතර බොහෝ යටත්විජිතවල පාලනය දේශීය ධනේශ්වරයට පවරා දෙමින් නව යටත්විජිතවාදයක් කරළියට ආවේය. ඒ සමග ගෝලීය වශයෙන් ධනේශ්වරයේ උත්පාත සමයක් පැමිණි අතර එම උත්පාතය ධනේශ්වර දේශපාලන බලයද ශක්තිමත් කළේය. සමාජවාදයට පිළිතුරු ලෙස රාජ්‍ය කේන්ද්‍රිය සුබසාධන ධනවාදය උපක‍්‍රමිකව පෙරට ඒමත් සමග ධනේශ්වර රටවල දැවැන්ත සමාජ සුබසාධන සේවාවක් බිහිවිය. නමුත් 1960 දශකය ධනේශ්වර සංවර්ධනයේ හා රාජ්‍ය කේන්ද්‍රීය සුබසාධනයේ රැුල්ල බැස යන අවධියක් විය. උත්පාතයෙන් අනතුරුව ආ අර්බුදයේ වකවානුව තුළ පන්ති සටන යළි තියුණු විය. 1968 ප‍්‍රංශ ශිෂ්‍ය අරගල හරහා යුරෝපා වාමාංශයේ සිදුවූ පිබිදීම, කියුබානු විප්ලවය සමග ලතින් අමෙරිකානු විප්ලව රැල්ල, වියට්නාම් අරගලය කේන්ද්‍ර කරගෙන ඉන්දු-චීන කලාපයේ පන්ති සටන් තීව‍්‍ර වීම, අපි‍්‍රකානු මහාද්වීපය පුරා ජාතික විමුක්ති අරගල ශක්තිමත් වීම ආදී වශයෙන් වූ පුනරුදය ලංකාවට බලපෑ බව පිළිගත යුතුය. විශේෂයෙන් දේශීය ධනේශ්වරයට එරෙහි සන්නද්ධ අරගල ලොව පුරා විප්ලවීය නැගිටීම් වල පොදු සාධකයක් බවට පත්ව තිබිණි. 71 අරගලය පැන නගින්නේ මෙවැනි තත්වයක් තුළය.

ලංකාවේ ධනේශ්වර ක‍්‍රමයේ සිදු වූ වර්ධනයන්ද මීට සමාන්තර විය. 1940 දශකය අවසානයේ බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් දේශීය ධනේශ්වරයට පාලන බලය පවරා ලංකාවෙන් නික්ම යනවිට විදේශ විනිමය සංචිත ශක්තිමත් වී තිබිණි. ඉන් අනතුරුව පැමිණි කොරියානු යුද්ධය නිසා රබර් මිල ඉහළ ගිය අතර විශාල ධනයක් රට තුළට ඇදී ආවේය. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, ලංකා ගමනා ගමන මණ්ඩලය වැනි රජයේ මැදිහත් වීම සහිත ප‍්‍රවාහනය ආදී සමාජ සුබසාධන සේවාවන් වර්ධනය වන්නේ මෙම ආර්ථික ශක්තිය මතය. දිගුකාලීන පදනමක් නොමැතිව, කොරියන් යුද්ධය වැනි ක්ෂණික සිදුවීම් හරහා වර්ධනය වූ ආර්ථික ශක්තිය වැඩිකල් නොපැවතිණි. 1960 දශකය අග භාගය වන විට ආර්ථික අර්බුදය තියුණු වූ අතර සමාජ සුබසාධන කප්පාදුව, විරැුකියාව වර්ධනය වීම, ජීවන බර ඉහළ යාම වැනි බිඳ වැටීම් හරහා අපේක්ෂා භංගත්වයක් වර්ධනය වෙමින් තිබිණි. මේ අතර විකල්පයක් ලෙස නැගී සිටිය හැකිව තිබූ වමේ ව්‍යාපාරයද අභාවාචක අත්දැකීම් ලබමින් තිබිණි. 1950 දශකයේ සිටම වමේ පක්ෂ සභාගවාදයට ඇද වැටිණි. එයට තුන්වන ජාත්‍යන්තරයේදී යෝජනා වූ එක්සත් පෙරමුණු න්‍යාය වැනි ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ න්‍යායික පීලිපැනීම් මෙන්ම ලංකාවේදී මුහුණදුන් අභියෝගයන්ට මුහුණ දී ගත නොහැකි වීමද බලපෑවේය. ලංකාව වැනි පසුගාමී ධනේශ්වර රටවල පන්ති ධ‍්‍රැවීකරණය තියුණු නොවන අතර සුළු ධනේශ්වර බලපෑම ඉහළය. 1956 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදය, ආගම්වාදය මුසු කරගත් වාම හැඩයක්ද ගත් ජාතිකවාදයක් හරහා සුළු ධනේශ්වර අභිලාෂයන් ආමන්ත‍්‍රණය කළ අතර, සිය පදනම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වමේ ව්‍යාපාරය කළේ එකී අගතීන් සමග අරගල කිරීම නොව සුළු ධනේශ්වරය සමග සම්මුතිකාමීත්වයකට යාමය. මෙම සම්මුතිකාමීත්වය අවසානයේදී පන්ති සහයෝගීතාවදයේ ගොහොරුව දක්වා වම තල්ලූ කළේය. එහි උච්ඡුස්ථානය 1964 ඉල්ලීම් 21 ව්‍යාපාරයේ ඇද වැටීම විසින් තහවුරු කෙරිණි. 1965 දී නව වමේ දේශපාලන පක්ෂයක් බිහිකිරීම සඳහා පසුබිම සකස් වන්නේ ඒ තුළිනි. 71 අරගලය වනාහි එම එම පසුබිමේම දිගුවකි.

71 අරගලය ලංකාවේ ධනේශ්වර රාජ්‍ය බලය ඉලක්ක කරගත් ප‍්‍රථම පීඩිත නැගිටීම වුවත් එහි දුබලතා රාශියක් විය. අරගලය තුළ කම්කරු පන්තියේ සහභාගීත්වය හා නායකත්වය ඉතා අවම විය. අරගලයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ දුගී ගොවීන්. ග‍්‍රාඹීය පහළ සුළු ධනේශ්වරය, රැුකියාවිරහිත තරුණයන් වැනි ග‍්‍රාමීය පීඩිතයන් හා තරුණයන්ය. කම්කරු පන්තිය තුළ වමේ ව්‍යාපාරයට තිබූ පදනම් ශක්තිමත් වීම නිසා 1970 දශකය අවසන් වන විටත් කාර්මික කම්කරුවන්, වතු කම්කරුවන්, නාගරික පීඩිතයන් වැනි කොටස්වල පදනම තිබුණේ පැරණි වමේ ව්‍යාපාරයටය. අනෙක් අතට කම්කරුවන් තුළ විප්ලවීය ශක්‍යතා දුර්වල වී තිබූ අතර කම්කරුවන් තුළ මතවාදී ආධිපත්‍යය දරනු ලැබුවේ විප්ලවීය පරිවර්ථනයක් පිළිබඳ අදහස නොව ක‍්‍රමානුකූල ප‍්‍රතිසංස්කරණ හරහා අයිතීන් දිනාගැනීම පිළිබඳ මතවාදයයි. පැරණි වමේ දිරාපත්වීම ද හුදු නායකත්වයේ පාවාදීමකට ලඝු නොකළ යුතු අතර මෙම සංයුක්ත සන්දර්භය තුළ තේරුම් ගත යුතුය. මේ හේතු මත අරගලය පැතිර ගියේ ග‍්‍රාමීය පීඩිතයන් හා තරුණයන් අතරය. එය පැවැති සන්දර්භය තුළ වටහාගත යුතුවාක් මෙන්ම කම්කරු පන්ති පදනම් දුබලවීම නිසා අරගලයේ නිර්මාණය වූ දුබලතාද නිසි තක්සේරුවකට ලක් කළ යුතුය.

අනෙක් දුබලතාවය වූයේ පන්තියෙන්, පන්ති බලවේගයන්ගෙන් හුදෙකලා වූ රහසිගත සන්නද්ධ අරගලයක මුහුණුවර අතික‍්‍රමණය කිරීමට අසමත් වීමයි. පොදුවේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්බක වකවානුව තුළ බහුජන ව්‍යාපාරය ගොඩනැගීම, පන්ති බලවේග සංවිධානය කිරීම හා පක්ෂය පුළුල් පන්ති කොටස්වල විශ්වාසය දිනාගැනීම ආදියට අවධානය යොමු වූයේ අඩුවෙනි. එනිසාම අරගලයට පීඩිත පන්ති කොටස් සම්බන්ධ නොවිණි. අරගලය පක්ෂයේ අරගලයක් මිස පන්තියේ නැගී සිටීමක් බවට පත්වීමට අසමත් විය. ලෝකය තුළ සන්නද්ධ ව්‍යාපාර ලැබූ ජයග‍්‍රහණයන් පිළිබඳව තිබු අවි,ත්මක අනුරාගය එක් පසෙකින්ද, ලංකාවේ වමේ ව්‍යාපාරයේ පිරිහීමට අදාළ වෛෂයික හේතු ගැඹුරින් විග‍්‍රහ කර නොගෙන එය හුදු නායකත්වයේ පාවාදීමක් ලෙස විග‍්‍රහ කරගැනීම නිසා ඊට එරෙහි අනෙක් අන්තය කරා අවිඥානකව ගමන් කිරීම ද මීට හේතු විය. ප‍්‍රතිසංස්කරණවාදයට හා පන්ති සහයෝගීතාවාදයට එරෙහි විරෝධය ගමන් කළේ පුළුල් දේශපාලන විශ්ලේෂණයකට හා කොමියුනිස්ට් අරගල මාවත නිරවුල් කර ගැනීමකට නොව රැුඩිකල්වාදයකට හා විප්ලවීය නැගී සිටීමකටය. එහිදී පක්ෂයේ කාර්යභාරය අධිනිශ්චය වී පන්තිය සංවිධානය කිරීම අත හැරිණි. අරගලය පැන නැගීමේ ආසන්න හේතුව ධනපති පන්තියේ මර්දනය වුවද ඒ තුළ අඩුපාඩු සාධාරණීකරණය කළ නොහැකිය. පවතින තත්වය හා එය වෙනස් කිරීමේ කි‍්‍රයාවලිය අතර ඇති පරතරය පියවිය යුත්තේ වි,ත්මක දේශපාලන වැඩපිළිවෙළකින් වුවත් වි,ව අවශ්‍ය තැනට චිත්ත ධෛර්යය ආදේශ කිරීමේ දුබලතාවය අරගලය තුළ තිබිණි. තත්වයන් වෙනස් කිරීමේදී මිනිස් කි‍්‍රයාකාරීත්වය විශාල කාර්යභාරයක් ඉටුකරන මුත් හුදු මිනිස් කි‍්‍රයාකාරීත්වයට පමණක් අධිනිශ්චය වීමේ විඥානවාදී මුලයන් අරගලයේ පරාජයට බලපෑවේය.

බහුජන ව්‍යාපාරය ගොඩනැගීම තුළ පමණක් නොව පක්ෂය තුළද සැලකිය යුතු දුබලතා තිබිණි. ඒ වන විටත් පක්ෂය ගොඩනැගීම අරඹා ගෙවී ගොස් තිබුණේ වසර පහකට මදක් වැඩි කාලයකි. පක්ෂය දියුණු බොල්ෂෙවික් සම්ප‍්‍රදායක් තුළ දිගුකාලීනව පරීක්ෂාවට භාජනය වී නොතිබුණු අතර එහි ප‍්‍රතිඵලය වනුයේ කණ්ඩායම්වාදය ඇතුළු සංවිධාන අර්බුදයන්ය. අරගලයේ ආරම්භක මොහොත තීරණය කිරීමේදී මෙන්ම එහි පරාජයේදීද මෙම සංවිධාන අර්බුද නිශේධනාත්මක ප‍්‍රතිඵල ජනිත කළේය. අනෙත් අතට ලංකාවේ තිබෙන පසුගාමීත්වයෙන් නිදහස් වීමට හා ඊට එරෙහි තියුණු අරගලයක් කිරීමට පක්ෂය අසමත් විය. වීරත්වයේ හා ධෛර්යයේ අත්දැකීම් මෙන්ම පාවාදීමේ හා දුර්මුඛ වීමේ ලක්ෂණද අරගලය තුළ අන්තර්ගත වීමේ දේශපාලනය එයයි.

මෙම දුබලතා තිබියදී වුව අරගලයේදී සහෝදර සහෝදරියන් පක්ෂය සතු පෙරටුගාමී කාර්යභාරය සඳහා කළ මැදිහත්වීම සාකච්ඡුාවට බදුන් කළ යුතුය. අරගලය පැනනැගුනේ 1970 දී සමගි පෙරමුණු ආණ්ඩුව තුනෙන් දෙකක විශාල බහුතරයකින් පත්වී වසරක් ගෙවී යන විටය. ඒ වන විටත් ආණ්ඩුවේ ජනපි‍්‍රයතාව නොසිඳී පැවතිණි. ආණ්ඩුවේ දේශපාලන ගමන් මාර්ගය සමාජවාදය ලෙස නාමකරණය කෙරිණි. එහෙත් එම ජනපි‍්‍රයත්ව්‍ය තුළ සැඟව ඇති අර්බුදය හා පරිහානිය 71 පරම්පරාව වේලාසනින් ග‍්‍රහණය කර ගත්තේය. ඔවුන් වේලාසනින් අවදි වූ හා වේලාසනින් කි‍්‍රයාකාරීත්වය ඇරඹූ පරම්පරාවක් විය. රෝහණ විජේවීර සහෝදරයා මේ පිළිබඳ පැවසුවේ ‘‘වේලාසනින් අවදි වෙමු. අප වේලාසනින් අවදි වූ නිසා කලින් හිරු නොපායන මුත්, හිරු පායන මොහොතේදී අප කලින් අවදි වී සිටීම වැදගත් වනු ඇත’’ කියාය. සමාජයට පෙර තත්වයන් විග‍්‍රහ කර ගැනීම හා පන්තිය අවදි කිරීමේ ආරම්භක කාර්යභාරය ඉටුකිරීම තුළින් පක්ෂයට පෙරටුගාමී කාර්යභාරයක් තිබෙන බව ඔවුන් පිළිගත්තේය. තමන්ගේ කාර්යභාරය වනුයේ ඉතිහාසයේ නිරීක්ෂණයන් බවට පත්වීම නොව ඉතිහාසයට ඇතුළු වී එය වෙනස් කිරීම බවද ඔවුහු පිළිගත්හ. මේ වේලාසනින් අවදි වීම ආ අනෙක් අය අවදි කිරීම ඉහත සඳහන් කළ ජෙයපාලන්ගේ කවියේ සඳහන් වන්නේ මෙලෙසිනි.

‘‘මඩෙහි වධ විඳී ගොනුන් මෙන්
රුදුරු ඉරණම දනනු නොහැකැයි
සිතනවා මෙනි
‘සියලූ දේ වෙයි උපන් හැටියට’
කියා එලෙසින-පැරණි ගැමියන්
යටත් වූවෝ-එගැමි සිරිතට

උදාවූ ඒ වසත් දිනවල
තරුණ කම්කරු
අනෙක් සොයුරන්
අවදි කෙරුවෝ එක එකා මෙනි
දවල් නිදනා දනන් වෙනුවෙන්
රුදුරු දිගු ? ගනන් නොනිදා
නැවුම් හිරුකැන් වසං කර සිටි
මහා ගිරිකුළු ඉවත් කරලන
පරම රහසද කෙඳිරුවෝමය.’’

71 පරම්පරාව තමන්ට පෙරටුගාමී කාර්යභාරයක්, ආරම්භකයාගේ භූමිකාවක් ඇති බව විශ්වාස කළේය. පන්තියේ සාංසිද්ධික නැගිටීක් පිළිබඳ විශ්වාසය තබනු වෙනුවට මිනිසුන්ගේ සචේතනික හා සංවිධානාත්මක කි‍්‍රයාකාරීත්වයක් පිළිබද විශ්වාස කළේය. මිනිසුන් ඉතිහාසයේ අචේතනික අතකොලූවක් වන්නන් නොව ඉතිහාසය නිර්මාණය කිරීමේ ශක්‍යතාවය සහිත අය බව විශ්වාස කළහ. එහෙත් පෙරටුගාමී කාර්යභාරය යනු පන්තියේ සකි‍්‍රයතාවය නොතකා හැර පන්තියේ කටයුතු පක්ෂයට පවරා ගැනීම නොවේ. පෙරටුගාමී භූමිකාව යනු පන්තිය මත අණ පැනවීම හෝ පක්ෂයේ වැඩපිළිවෙළක් පන්තිය මත උත්තරාරෝපණය කිරීමද නොව. අනෙක් අතට පන්තියේ නැගිටීමක් ගැන විශ්වාසය තබමින් පක්ෂය හා පක්ෂයේ පෙරටුගාමී කාර්යභාරය නොතකා හැරීමද නොවේ. පක්ෂයත් පන්තියත් අතර ඇති සම්බන්ධයේ දයලෙක්තිකය පිළිබඳ පාඩම 71 අරගලය විසින් ඉගැන්වීය. අරගලය පුද්ගල හිතුවක්කාරකමක් ලෙස බැහැර කිරීම හෝ එහි වීරත්වය ගැන අනුරාගී, හැඟීම්බර ප‍්‍රකාශ නිකුත් කිරීම වෙනුවට අරගලයේ අත්දැකීම් තුළ ඇති ඓතිහාසික පාඩම් උකහා ගත යුතුය. මන්දයත්, අරගලය පරාජය කරනු ලැබුවද අරගලයේ අපේක්ෂාව හා අරගලයේ සටන් පාඨය පරාජය කරනු ලැබ නැති හෙයිනි. 71 පරම්පරාව තාප්ප මත ලියූ ඒ සටන් පාඨය අදද, වසර 43 කට පසුවද පීඩිතයා කෑ ගසා ඉල්ලන හෝ නිහඬව සිහින දකින අපේක්ෂාවයි. අපේක්ෂාව නොදැවී දැල්වෙයි. එය යථාර්ථයක් කළ හැක්කේ ඓතිහාසික අත්දැකීම්වල ආලෝකයෙන් න්‍යාය යළි යළිත් පරීක්ෂාවට භාජනය කිරීම තුළ පමණය.

‘‘හිටි ගමන් ඒ වසන්තය තුළ

වීදි අවුරා ප‍්‍රලය වූ

අවි හඬින් ගැමියෝ සසැලූණාහුය

දෙපස මං පෙත-රුහිරු මල් විය

අඳුරු පැහැගත් හැම ගමින් ගම

තරුණ හිරු දරුවෝ වැලලූනාහුය

අපේ මහිම වූ ගැබෙහි පතුලේම

කොවුල් ගී මැද

මගුල් පෙරහැර සේ ඇවිත්

බකුහු හැඬුමක තැවුල් ස්වර මැද

අවමගුල් පෙරහැරක් සේ

එය ගෙවී නිමවිය

71 වසන්තය...’’

‘‘සාධාරණ සමාජයක් - යුක්තිගරුන දේශයක් - නිවහල් මිනිසෙක් - අපේ පැතුම එයයි !’’

lankaviews.com

0 comments:

Post a Comment