Tuesday, April 8, 2014

ක්‍රිකට් ලේකම්ගේ ප්‍රකාශ වගකීම් විරහිතයි - මහේල

කුමාර් සංගක්කාර සහ තමා විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ සම්බන්ධයෙන් පළ කළ ප්‍රතිචාරය පිළිබඳව කණගාටු වන බව කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.

බංග්ලාදේශයේදී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මෙය තමාගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලානය බව සඳහන් කළා විනා මාධ්‍ය කැඳවා සමු ගැනීමක් නිවේදනය නොකළ බව මහේල ජයවර්ධන අවධාරණය කළේය.

එම අදහස් අනුමත කළ කුමාර් සංගක්කාර කියා සිටියේ, මෙය තමන්ගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලානය බව පමණක් දි අයිලන්ඩ් පුවත්පත කළ විමසීමකදී තමන් සඳහන් කළ බවයි.

ඉන් අනතුරුව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හමු වී කරුණු පහදාදීමට අවස්තාව ලැබුණු බවයි, සංගක්කාර කියා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාවයද සමඟ යලි දිවයිනට පැමිණි අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු ඔවුන් පිළි ගැනීමට මඟ දෙපස රැස් වී සිටියහ.

කටුනායක ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් ඇමතීමෙන් අනතුරුව ඔවුන් විවෘත බස් රථයකින් කොළඹ බලා පැමිණෙන විට ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා ධජ වනමින් ප්‍රීතිඝෝෂා නගමින් සිටියහ.

කොළඹ බලා පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ ශ්‍රී ලංකා කණ්ඩායම, දැඩි වර්ෂාව මධ්‍යයේ ගාලු මුවදොර පිටියේ රැඳී සිටි දස දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් හමු වූ බව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් පවසයි.

විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයන් වෙතට ලඟා වීමට උත්සාහ කිරීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය පළ වී තිබුණු බවත් ඔහු වාර්තා කරයි.

0 comments:

Post a Comment