Friday, April 25, 2014

රතු මිනිස් රතු එළියට ජය වේවා!!!!!

දෘෂ්ටිවාදීමය හා පුද්ගලවාදයන් තුලට පටු වී කණ්ඩනය වෙමින් ලංකා සමාජය සුනු විසිණු වී ඇති මොහොතක, එක් වීම නැමැති වචනයට අර්ථයක් ගෙන දීමට ගන්නා මෙම අසීරු තත්ත්වය සංකෙතීය ලෙස හෝ මල් පල ගැන්වීමේ අවස්ථාවක් ලෙස වාමාංශිකයන්ගේ පුනර්ජීවනය ගැන කොන්දේසි විරහිතව සතුටට පත්විය හැකිය. පවත්නා සමාජ ව්‍යවසනයට ක්ණික පිළියමක් ලෙස මෙම එක් වීම නිර්වචනය කර නොගත යුතු සේම, යම් ලෙසකින් අසාර්ථකත්වයකට පත් වුවද ඒ පිළිබඳව ද කණගාටු වීම හෝ කණස්සල්ලට පත් විය යුතු ද නැත. මන්ද ලාංකික සමාජයට විකල්ප ආදරයක් සොයා යන මිනිසුන්ගේ ආදර සම්බන්ධයක් වන බැවින් අප සැම මෙම සහයෝගීතාව තව තවත් ශක්තිමත් කරනු පිණිස සහයෝගය පල කළ යුතු වෙමු.

අතීත පාඩම් ඉගෙන ගනිමින් පළමුව පවත්නා සමාජ ක්‍රමය පිළිබඳව ද දෙවැනුව ලෝකය පිළිබඳව ද තෙවැනුව තමා පිළිබඳව ද ඇති දැක්ම පුළුල් කර ගනිමින් ඉතා කුඩාවට වුවද ඇති කළ යුතු වන්නේ විශ්වාසයයි. සමස්ථ සමාජයම අද වන විට තමාට හා අනෙකාට පාරාජිකා වී ඇති දේශපාලනික යථාර්ථයක් තුල නව මිනිසෙකුට, නව සමාජයකට, නැවුම් භූමියකට අවශ්‍යව ඇත්තේ විශ්වාසයේ වැස්සයි. මේඝ ගර්ජන, විජ්ජුලතාවන්ගෙන් ද අඳුරු වූ අහසකින් පොළවට පතිත වන්නේ බලාපොරොත්තුවේ වර්ෂාව නම්, විශ්වාසයේ නියඟයට හසුව බලාපොරොත්තුවේ බීජ පොළොව මතින් දළු ලැමට බලා සිටින වග සහතිකය.

එනිසා වමේ කතිකාව තව තවත් පුළුල් වෙමින්, පුළුල් කරමින් වළාකුළු වැස්ස ගෙන එන්නාක් මෙන් ද ධනවාදය ගැටුම් ගෙන එන්නාක් මෙන් ද විශ්වාසයේ වළාවන් ද වැසි ද බවට පත් වීමේ යුතුකම හා වගකීම වාමාංශික සැමගේම කර මතට පැමිණ ඇත.

මිනිසුන් මත පමණක් නොවන එහෙත් බුද්ධිමත් මිනිසුන් සහිත ක්‍රමයක් මත මිනිසුන් ක්‍රියාකරන දර්ශනමය වැඩ පිළිවෙලකට ආකෘතිගත වූ කෙටි දිගු හා ඉතා දිගු විශ්වාසදායක දැක්මකට ගමන් කරන්නට හැකියාව ඇත්නම් අනාගතයට සුන්දර සිහින දරා සිටිය හැකිය. උපදින්නාට ද ජීවත් වන්නාට ද මිය යන්නාට ද එම සිහිනයේ ප්‍රාණය සමාජගත කළ හැකි වනු ඇත.

මෙකල වනාහී අලුත් සංස්කෘතියක් ඉල්ලා සිටින කාලයකි. අලුත් සංස්කෘතියක් අස්වැද්දිය යුතු දේශයකි. එය කළ හැකි යැයි වචන හා කාච මතින් සිතුවම් කළ ද, හැට වසරක අත්දැකීම් තුලින් උරුම කර දී ඇත්තේ මායාවක් වූ සිනමා සිත්තමකි. පවුල බලය හා ධනය කරපින්නා ගත් චංචාකාරී දේශප්‍රේමීන්ට හෝ ඔවුන්ගේ කාසියේ අනෙක් පැත්ත වන්නා වූ විශ්‍රාම ගිය බල ලෝබීන්ට මෙම සමාජ ක්‍රමය මිනිසාට යහපත පිණිස වෙනස් කළ නොහැකි වනු ඇත. එය සිදු කිරීමට හැකි මිනිසුන් බවට නිර්මාණය විය යුතු අතර අපට එය කළ හැකි යැයි යන විශ්වාසය පමණක් නොව භාවිතාව ද ක්‍රියාවද පරිණාමයක් බවට පත් කර ගත යුතුය. ඒ සඳහා සංවාදය ද සාකච්ඡාව ද විවිධත්වය තුල ඒකකත්වය ඇති කර ගැනීමට ඉවහල් වන බව භෞතිකවාදී අපෝහකය තුලින් පමණක් නොව ශිෂ්ටසම්පන්න දේශපාලන භාවිතාවන්ගෙන් ද පාඩම් උගන්වනු ඇත.

ඉතා පුළුල් අවකාශයකට ප්‍රජාතන්ත්‍රීය භාවිතාව පරීක්ෂා කිරීමටත්, වෙට්ටු නැති ගේම් නැති අංචි නැති සබෑ උවමනාවක අයිතිකරුවන් නොවී කොටස්කරුවන් බවට පත් වෙමින් අද මෙන්ශේවික් එකතුව හෙට දින බොල්ශේවික් එකතුව දක්වා නිර්මාණය කර ගැනීමට පුද්ගල කණ්ඩායම් පක්ෂ හා ජත්‍යන්තර ප්‍රගතිශීලී බලවේගවලට විශ්වසනීය තැනක් නිර්මාණය කළ යුතුව ඇත. ඒ සඳහා ඔබ උත්සාහ දරා ඇති බව ඉතිහාසය විසින් නිදොස් කරනු ඇත. එසේම එම උත්සාහයේ සිහිනය යථාර්ථයක් වීමේ පදනම දමමින් ලංකා භූමියට ආදර්ශය සපයනු ඇති නම් නිසැකවම ඉතිහාසය වෙනස් කළ මිනිසුන්ගේ රන් පිළිමවලට වඩා නිදහසේ හුස්ම ගත හැකි සමාජයක දුක් විඳින ජනයාගේ විමුක්තිදායකයන් වීමේ ප්‍රාණ වායුව බවට පත් වනු ඇත්තේ අනාගතය වර්තමානයෙන් උපකල්පනය නොකිරීමෙනි. ඒ සඳහා කළ යුතු කැප කිරීම් නම් වචනවලට වඩා විශාල වනු ඇත.

මෙම නිමේෂය ඔබලාගේ පුංචි වුව ද විශාල ප්‍රයත්නයට සුභ පතනු ලබන්නේ සෙසු සැබෑ උවමනාව ඇති මිනිසුන්ට මේ සඳහා එක් වීමට වැඩ පිළිවෙලක් හා දර්ශනයක් ඇති විවෘත මන්දිරයක් වේවා යන සුභ සිහිනය සහිතවය.

උදය ආර්. තෙන්නකෝන්

0 comments:

Post a Comment