Friday, April 11, 2014

ඇදහිලි කල්ලි (CULTS)


ඇදහිලි කල්ලිවල අනුගාමිකයන් ගමන් කළ හැකි මාරාන්තික අන්තයන් මොනවාදැයි අපි වසර පහළොවකට අඩු කාලයක් තුළ දෙවරක්ම දැක ඇත්තෙමු. 1978 ගයනාවේ වනාන්තරයක් තුළ, සයනයිඞ් මුසු කළ බීම පානය කිරීමෙන් සහ වෙඩි තබා ගැනීමෙන් මිය ගිය, ජිම් ජෝන්ස්ගේ, වර්ණවත් ඇඳුමින් සැරසුණු අනුගාමිකයින්ගේ රූප අපි සඟරාවල සහ රූපවාහිනියෙන් දුටුවෙමු. ජෝන්ස්ටවුන් හි අවසානය සැමරෙන සෑම අවස්ථාවකම අපට මෙම දර්ශන යළි යළිත් දිස්වේ. 1993 මුල් භාගයේ දී කොරේශ් ඇදහිලි කල්ලියේ වෙඩි තබාගැනීමත්, ඊට සති ගණනකට පසුව, ටෙක්සාස් තැන්නෙහි ගිනිගෙන දැවෙමින එය අවසන් වූ අයුරුත්, රූපවාහිනී ප‍්‍රවෘත්තිවල දැකිය හැකි විය. සියලූ මනුෂ්‍යයන් මානසික බලපෑම්වලට යටත් වීමේ අවදානම කෙතරම් දරා සිටින්නේ ද යන්න තේරුම් ගැනීමට තව ජෝන්ස්ටවුන්, වැකෝ වැනි සිදුවීම් කොපමණ ඇතිවිය යුතු ද? මෙම සිදුවීම් දෙක අතර කාලය තුළ නිසි උවටැන් අහිමි වීම නිසා ඇදහිලි කල්ලිවල දරුවන් සහ මව්වරුන් සියයකට ආසන්න ප‍්‍රමාණයක් ඉන්දියානාවේ දී මිය ගිය හ. එසේම, ඇදහිලි කල්ලි තුළ අපයෝජනයට ලක්වූ දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වාර්තා ගණනාවක් ඇත. උසාවි නඩු තුනක දී තමන්ව පැරදවූ නීතීඥයකු ඝාතනය කිරීමට කැලිෆෝනියාවේ එක් ඇදහිලි කල්ලියක් විසින් ඔහුගේ ලියුම් පෙට්ටිය තුළට විසකුරු සර්පයකු දමා තැබුණි. ඔරිගන් හි රාජ්නීශ් ඇදහිලි කල්ලිය ඩැලස් හි ජලනල පද්ධතියට වස දැමීමට උත්සාහ කළහ. වැස්කෝ සහ ජෙෆර්සන් ග‍්‍රාමවල නිලධාරීන් මෙම ඇදහිලි කල්ලිවලට විරුද්ධව එම ප‍්‍රාන්තයේ නීති ක‍්‍රියාත්මක කළ නිසා මෙම රාජ්නීශ් ඇදහිලි කල්ලිය ඔවුන්ට හිංසා කළහ. ප‍්‍රාන්ත නීති තමාට අදාළ නොවිය යුතු යයි ඔවුහු සිතූහ. සාමාන්‍ය පුරවැසියන්ව සිටි මෙම ඇදහිලි කල්ලිය සාමාජිකයන්ව, ඒවායේ නායකයන් විසින් ඝාතනය, සියදිවි නසා ගැනීම සහ වෙනත් හිංසාකාරී ක‍්‍රියා වෙත පොළඹවාගෙන ඇත.

1978 ගයනාවේ වනාන්තරයක් තුළ, සයනයිඞ් මුසු කළ බීම පානය කිරීමෙන් සහ වෙඩි තබා ගැනීමෙන් මිය ගිය, ජිම් ජෝන්ස්ගේ, වර්ණවත් ඇඳුමින් සැරසුණු අනුගාමිකයින්

සාමාන්‍ය සමාජය විසින් පහසුවෙන් හඳුනාගන්නා ඇදහිලි කල්ලි වූ කලි සිය විශාලත්වය, සිය සාහසික හැසිරීම් සහ ස්වයං-විනාශකාරී ප‍්‍රවණතාවයන් නිසා වඩා හොඳින් දෘශ්‍යමාන වන කණ්ඩායම් වේ. එහෙත් වඩා සූක්‍ෂම සහ විචක්‍ෂණශීලී වන, මේවා තරම්ම අධිෂ්ඨානශීලී සහ භයානක, තවත් කණ්ඩායම් ගණනාවක් දැකිය හැකි ය. ඔවුහු ඇමරිකා එක්සත් ජනපදය තුළ සහ ලෝකය පුරාම නව සාමාජිකයන් බඳවා ගනිමින්, සාර්ථක ලෙස වැඩෙමින්, බලය සහ ධනය වැඩිකරගනිමින් ක‍්‍රියාශීලී ලෙස කටයුතු කරති. මෙම කණ්ඩායම් සිතාමතාම කරන මානසික හැසිරවීම් හෝ සිතුවිලි ප‍්‍රතිසැකසුම් කි‍්‍රයාමාර්ග තුළින් තම සාමාජිකයන්ව සහ අනුගාමිකයන්ව සූරාකෑමට සහ අපයෝජනයට ලක් කරති. මේ මානසික හැසිරවීම්, සන්දර්භ සහ පසුබිම් ගණනාවක් තුළ යොදා ගත හැකි ය.

අපි මේ පොත තුළ ප‍්‍රධාන කණ්ඩායම් වර්ග දෙකක් ගැන සාකච්ඡා කරමු. මින් පළමුවැන්න නම් ආධුනිකයන් හෝ සාමාජිකයන් සංවිධිත මනෝවිද්‍යාත්මක සහ සමාජමය පෙළඹවීම් කි‍්‍රයාවලීන්ට ලක් කරන ඇදහිලි කල්ලි හා ඒ හා සමාන කණ්ඩායම් ය. මෙම මානසික සහ සමාජයීය පෙළඹවීමේ කි‍්‍රයාවලි සකස් කර ඇත්තේ ආකල්පය වෙනස්කම් ඇති කිරීමට සහ ආධුනිකයින් සහ සාමාජිකයන්ගේ ජීවිත මත පුදුම දනවනසුළු පාලනයක් ඇති කිරීමට ය. මේ ඇදහිලි කල්ලි තම සාමාජිකයන්ව රැවටීමට, හැසිරවීමට සහ සූරාකෑමට ලක්කරන අතරම, ඔවුන්ව හැකි තරම් කාලයක් ඇදහිලි කල්ලි තුළ රඳවා ගැනීමට උත්සාහ කරති.

Dr. Margaret Thaler Singer
(Dr. Singer is the author of the book “Cults In Our Midst,” which summarizes fifty years of work on the subject.)

දෙවැනි වර්ගය වන්නේ වාණිජමය ලෙස අලෙවි කරනු ලබන විශාල කණ්ඩායම්වලින් සෑදුණු දැනුවත්වීමේ පුහුණු වැඩසටහන්, වෙනත් ”ස්වයං-අභිවෘද්ධි” වැඩසටහන් සහ මනෝ විද්‍යාව පදනම් කරගත් විවිධ සංවිධාන වේ. මේවා තියුණු සම්බන්ධීකරණමය පෙළඹවීම් කි‍්‍රයාවලීන් භාවිතා කරන නමුත් සාමාන්‍යයෙන් නම් ගණුදෙණුකරුවන් දීර්ඝ කාලීන සාමාජිකත්වයට ඇතුල් කර නොගන්නා සංවිධාන වේ. ඔවුන් වඩා කැමති වන්නේ තමන්ව විශ්වාස කරන අය සාමාන්‍යයෙන් වසරක් හෝ දෙකක් පමණ තමන් සමඟ රැඳෙමින් වැඩි වැඩියෙන් තම පාඨමාලා මිළදී ගැනීම හෝ නව ගණුදෙණුකරුවනකැඳවාගෙන එනු දැකීම ය.

All destructive cults have personable, persuasive and often charismatic leaders, like David Koresh of the Branch Davidians.

මේ ආකාරයට, මේ දෙවර්ගයේම කණ්ඩායම් සිතුවිලි ප‍්‍රතිසැකසුම් කි‍්‍රයාමාර්ග අනුගමනය කරති. ඇදහිලි කල්ලි සහ සිතුවිලි ප‍්‍රතිසැකසුම් කරන කණ්ඩායම්වල නිර්මාතෘවරු බලහත්කාරී මානසික බලපෑම් සහ චර්යාත්මක පාලන ක‍්‍රම සහිත සම්බන්ධීකරණමය වැඩසටහන් මවති. එසේ කරනු ලබන්නේ විශාල විවිධත්වයකින් යුත් දර්ශනයන්, න්‍යායන් සහ භාවිතයන් වටා ගොඩනැගුණු පුද්ගල ආකල්ප වෙනස් කිරීමේ කි‍්‍රයාවලියක් සඳහා ඉතා පැරණි පෙළඹවීම් උපක‍්‍රම භාවිතා කරමිනි. තමාව අනුගමනය කිරීමට සහ තම ඉල්ලීම් ඉටුකරගැනීමට අන් අය පොළඹවා ගැනිම සඳහා පැකේජගත කරන ලද පෙළඹවීම් විධි ක‍්‍රම, උපක‍්‍රම සහ උපාය විධි සකසාගත යුතු බව මේ අති දක්‍ෂ මානසික හසුරුවන්නෝ දන්නා බවක් පෙනේ. මේ සියලූම කණ්ඩායම් ඇදහිලි කල්ලි ලෙස නිර්වචනය කළ නොහැකි වුව ද, ඔවුහු සියල්ලෝම අනුගාමිකයන් බඳවා ගැනීමට, වෙනස් කිරීමට සහ සූරා කෑමට සිතුවිලි ප‍්‍රතිසැකසුම් උපක‍්‍රම භාවිතා කරති. (සිතුවිලි ප‍්‍රතිසැකසුම් උපක‍්‍රම පිළිබඳ වඩා සවිස්තර සාකච්ඡාවක් තුන්වන පරිච්ඡ්දයේ ඇත)

අවන්හල්, ස්වයං-උපකාරක කණ්ඩායම්, ව්‍යාපාර පුහුණු වැඩමුළු, සශී‍්‍රකත්වයේ සමාජ, මනෝ චිකිත්සක සායන, සටන් කලා පුහුණු කේන්‍ද්‍ර, ආහාර පාලන සැලසුම්, විශ්ව විද්‍යාල කි‍්‍රයාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස්වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයක් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇත්දැයි ඔබ දන්නවා ද? බොහෝ දෙනා සිතන ආකාරයට, ඇදහිලි කල්ලි සහ සිතුවිලි ප‍්‍රතිසැකසුම් කි‍්‍රයාවලීන් යොදාගන්නා කණ්ඩායම් වියැකී යනවා වෙනුවට මහ වැස්සකට පසුව හතු පිපෙන්නාක් මෙන් පැතිරී ගොස් ඇත.

දැනට, ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් ඇදහිලි කල්ලි තුන්දහසත් පන්දහසත් අතර ප‍්‍රමාණයක් (කෙනෙකු ඇදහිලි කල්ලි නිර්වචනය කරන ආකාරය අනුව) ඇත. පසුගිය දශක දෙක තුළ මෙම කුමක් හෝ කණ්ඩායමක් තුළ, විවිධ කාල පරාස ගත කළ පුද්ගලයන් මිලියන විස්සක් පමණ විශාල සංඛ්‍යාවක් සිටිති. මේවායින් බලපෑම් එල්ල වන්නේ ඇදහිලි කල්ලි සාමාජිකයන්ට පමණක් නොවේ. තවත් මිලියන ගණනක් පවුල් සාමාජිකයන්, ඥතීන් සහ හිත මිතුරන් ඇදහිලි කල්ලියක සාමාජිකයකු වූ තම මිතුරාට හෝ ඥතියාට සිදුවුයේ කුමක්දැයි සිතමින් කනස්සළු වෙමින් ඇතැම්විට වසර ගණනක් ගත කරති.

ඇදහිලි කල්ලියක බඳවාගන්නෙකුගේ ප‍්‍රවේශයට ලක්වන සෑම කෙනෙක්ම එම කණ්ඩායමට බැඳෙන්නේ නැති අතර එසේ බැඳෙන හැම දෙනාම ද සදහටම එහි සිටින්නේත් නැත. එහෙත්, ඇදහිලි කල්ලිබරපතල පරීක්‍ෂණයකට ලක්කිරීමට සුදුසු සමාජ ප‍්‍රශ්නයක් ලෙස හඳුනාගැනීමට අවශ්‍ය තරම් ප‍්‍රමාණයක් පුද්ගලයන් ඇදහිලි කල්ලිවලට බැඳී ඒවා තුළ දීර්ඝ කාල පරිච්ෙඡ්දයන් ගෙවා දමති. මා මෙහිදී කතා කරන්නේ දාර්ශනික සංවාදයකින් හෝ රූපවාහිනී සංවාද වැඩසටහනකින් කරන හෙලිදරව්වකින් හෝ විසඳිය හැකි ප‍්‍රශ්නයක් ගැන නොවේ. ඇදහිලි කල්ලි විසින් එල්ල කරනු ලබන තර්ජනය මීට වඩා ගැඹුරු ය. මෙසේ මිනිසුන්ව හසුරුවන සහ සදාචාර විරෝධී ලෙස කි‍්‍රයාකරන කණ්ඩායම් සහ වැඩසටහන් අප සමාජයේ අහුමුළු තුළට පමණක් නොව ප‍්‍රධාන අංශ සහ ආයතන තුළට ද ව්‍යාප්ත වී ඇති ආකාරය අධ්‍යයනය තුළ අපට පෙනී යයි. මා කථාකරන්නේ පොදු ජන සෞඛ්‍යයට, මානසික සෞඛ්‍යයට, දේශපාලන බලයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසට සහ දැන් දැන් පෙනී යන පරිදි පාරිභෝගිකයන්ගේ ගැටළුවලට මෙම කණ්ඩායම් විසින් එල්ල කරන සැබෑ තර්ජනයන් පිළිබඳවයි.

1960 ගණන් සහ 1970 ගණන්වලදී මෙන් නොව, ඇදහිලි කල්ලි යනු තවදුරටත්, තම පරමාදර්ශ හඹායන සහ බලාපොරොත්තු කඩවූ ගැටවර වියේ දරුවන්ව නිරීක්ෂණය කරන දෙමව්පියන් පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවේ. 1980 ගණන් සහ 1990 ගණන් තුළ විවිධ වයස් කාණ්ඩ සහ විවිධ ආදායම් මට්ටම්වල සිටින පුද්ගලයින් ඇදහිලි කල්ලිවල වසඟයට ලක්වනු අප දැක ඇත. අතීතයේ දී ඇදහිලි කල්ලි විසින් සිය පදනම සකස් කරගත්තේ ඊනියා ආන්තික කණ්ඩායම්, එනම් සෑම පරම්පරාවකම, සමාජයට නොබැඳුණු හෝ අපේක්‍ෂා භංගත්වයට පත් වූ හෝ අසහනයට පත් වූ පුද්ගලයන්, තමන් වෙත ඇද ගැනීමෙනි. එහෙත් වර්තමානයේ දී ඇදහිලි කල්ලි තම එළඹුම් සහ පෙළඹවීමේ විධි ක‍්‍රම කෙතරම් වෘත්තීය මට්ටමකට රැගෙනවිත් ඇත් ද යත් ඔවුන් පැහැදිලි ලෙසම පරිවාරයේ සිට ප‍්‍රධාන ධාරාව කරා ගමන් කරමින් සිටියි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔබවයි.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ඇති විශාල ඇදහිලි කල්ලි ගණනාව අතර එක් කණ්ඩායමක හෝ ඇතැම්විට කණ්ඩායම් ගණනාවක සිටි පුද්ගලයන් 3000 ක් පමණ ද ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සිය ගණනක් සමඟ ද මා සම්මුඛ සාකච්ඡුා පවත්වා ඇත. වෙනත් ඉහල පාලන මට්ටම් සහිත කණ්ඩායම් තුළ විසූ පුද්ගලයන් සහ තමා ඇදහිලි කල්ලියක් තුළ සිටියේ නම් පාලනය කරනු ලබන ආකාරයට තනි පුද්ගලයෙකුගේ පාලනයට ලක් වූ පුද්ගලයන් (සාමාන්‍යයෙන් ස්ත‍්‍රීන්) ද පණස් වසරකට වැඩි කාලයක් පුරා කළ අධ්‍යයන, පර්යේෂණ සහ සායනික භාවිතා හරහා ලැබූ දැනුමෙන් ද මෙම ජීවන අත්දැකීමෙන් ද මට කිව හැක්කේ මෙයයි: මා විසින් ඇසිය යුතුව ඇති සියල්ල අසා ඇතැයි සිතූ විට, මට ඊටත් වඩා නරක කථාවක් අළුත් සාක්ෂි සමඟ අසන්නට ලැබේ.

මා මේ පොත තුළ පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සාමාන්‍ය පුරවැසියන් තමාගේ එදිනෙදා ජීවිත අත්හැර දමා, අමුතු සහ ආචාර විරෝධී කි‍්‍රයාවන්ගේ සිට ස්වයං විනාශකාරී ක‍්‍රියා සහ ඝාතන දක්වා විවිධ කටයුතු වෙත යොමුවන කණ්ඩායම්වල කොටස්කරුවන් බවට පත්වන්නේ කෙසේද යන්නයි. ඇදහිලි කල්ලි වල අමුතු භාවිතාවන්ගේ කෙලවරක් නැත. හෘදය සාක්‍ෂි විරෝධී චර්යාවන්හි යෙදීමට සහ තම අනුගාමිකයන් අපයෝජනයට ලක් කිරීමට ඇදහිලි කල්ලි නායකයන් සතුව ඇති හැකියාව අසීමිත බව පෙනේ. මනුෂ්‍ය සංජානනයෙන් ඔබ්බෙහි පවතින ශක්තියක් ඇදහිලි කල්ලි සාමාජිකයන් සතුව ඇති බව දැකිය හැකි ය. ඇදහිලි කල්ලිවලින් ඉවත් වන සාමාජිකයෝ, පැහැදිලිවම, තමාව සුව කර ගැනීමටත්, තම නිදහස නැවත ලබාගැනීමටත්, බියජනක අත්දැකීම්වලින් ධනාත්මක දේ උකහාගැනීමටත් නොසි`දුණු අධිෂ්ඨානයක් සහ අසීමිත ආත්ම ශක්තියක් පෙන්නුම් කරති. මට හමුවුණු සෑම පුද්ගලයෙකු සමඟම මට කළ හැක්කේ මේ නොසිඳෙන අධිෂ්ඨානය සහ ශක්තියට ආශක්තවීම සහ එය ඔසවා තැබීම පමණි.

කටු සටහන්
workingpps

0 comments:

Post a Comment