Sunday, August 16, 2015

වමේ කුජීතකම් අස්සේ ධනේෂ්වරයට ජැක් ගසන හෘද සාක්ෂිය

JVP Sri Lanka
හෘද සාක්ෂිය යන්න ඒක පුද්ගල චිත්ත සංථානගත විඥානවාදී නැඹුරුවක් විනා එය සමාජමය බද්ධතාවයක පිළිබිඹුවක් නොවේ. මන්ද හෘද සාක්ෂියේ ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ව පවතින්නකි. එකී පරාදීන මානසිකත්වයක් බුහුවිධ සටන් පාඨයක් ලෙස උපයෝගී කරගන්නා සමාජමය බලවේගයක් වන්නේද එය පරාදීන බවේ හෝ ගෝත්‍රික දහරාවේ පතුලේම කිදා බැස ඇති පිළිබිඹුවක් විනා අන් යමක්ද නොවන්නේය.

එකගින් මෙකී ගෝත්‍රික වචන හරුපය කර පින්නාගෙන මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ජවිපෙ නම් දේශපාලන ව්‍යාපාරය තම දේශප්‍රේමීත්වය නැවත වරක් ලොවට හඬ ගා පවසන්නේ දේශයේ හෘද සාක්ෂිය තමා වශයෙන් හදුන්වාගනිමිනි.

දේශප්‍රේමීත්වය හරහා ජාතිවාදය පෝෂණය කිරීමට දායක වූ ජවිපෙ පසුකාලීනව තමන් දේශප්‍රේමීත්වය යන්න ජාතිවාදී හැඩයක් ගත්තේ යැයි කිසියම් තැනක ස්වයං විවේචනාත්මකව දැක තිබිනි. එහෙත් ස්වයං විවේචන යන්න ජවිපෙ නැමැති සුළු ධනේෂ්වර මානසිකත්වයෙන් පෝෂිත සංවිධානයකට විටින් විට තම අරමුණ භක්ෂණය කිරීම සදහා දුන් එක් මනෝවිකාරික තල්ලුවක්ද විය. එය මනාව ඔප්පු කරනු ලැබූ වාර ගණන ලක්ෂ ගණනින් වුවත් සමාජගතව එකී නිරුවත පෙන්වූ වාරයන් අල්පය. 

ජාතිවාදය නිරන්තරයෙන් පවතිනුයේ දේශප්‍රේමය සමගය. එසේ නොවන්නේය යන්න පැවසීමට යම් ඉඩක් ඇත්තේ ධනේෂ්වර ගොහොරුවේ එරී සිටින ව්‍යාජවාදීන්ට මිස අන්කවරෙකුට හෝ නොවේ. 

දැන් කරලිය සූදානම්ව ඇත්තේ වාම නැඹුරුවකින් යුතු පක්ෂයක සාමාජිකයින් පාර්ලිමෙන්තු යැවීමට නොව දූෂිතයින්ගෙන් ධනේෂ්වර පාලන තන්ත්‍රය ආරක්ෂා කරමින් එයට නව පන්නරයක් ලබා දෙන ධනේෂ්වරය සුරකින එය සෝදා පිසදා පිරිසිදු කරන වාග් සංග්‍රාමිකයින් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ගත කිරීමටය.

ජවිපෙ මෙය හොදින් දන්නා අතරම ඒ සදහා වන අනේකවිධ විජ්ජාවක් කරලිගත කිරීමට ඔවුන් නිරත්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ සදහා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර සුළු වශයෙන් වැය වූ රුපියල් ගණන කෝටි 60කට වැඩි වනවා විනා අඩුවන්නේ නැත. 

ලෙනින් සටහන් කොට තැබූ පරිදි ඔබට මඩ ගොහොරුවට යන්න ඕනෑ නම් යන්න එහෙත් අපේ දෑත් අත්හරින්න යන්නට ලාංකික ජවිපෙ නැමැති ධනේෂ්වර උපනතියට පැවසීමට ඇත්තේ ද අපි වම ගැන සිහින දකිමින් මේ වනවිටත් ලංකාවේ පවතින වාම යැයි කියාගන්න මායාකාරී විකාරරූපීන්ගෙන් මීදී සිටියදී, අපේ දෑත් සිඹීමට හෝ ඇල්ලීමට මඩ ගොහොරුවේ කරවටක් එරී සිටින නුඹලාට ඉඩ නොදෙන බවය.

අපි සුදනො නොවන බව පැවසීමට ඕනෑ තරම් කරුණු කාරණා නුඹලාගේ දෑකැති මිටි ඉවත දැමූ සීනුව පමණක් පච්චා කෙටූ ශරීර කූඩු අස්සේ ඇති බව දනිමු. එහෙත් වාම වශයෙන් හදුන්වන වචනාර්ථය ද අසලක නැති පාරාජික මානසිකවාදීන්ට පැවසිය යුතුව ඇත්තේ නුඹ සිටගත තැන යහපත් බව පමණි.

එනම් මෙතෙක් රට පාලනය කළ ධනේෂ්වරත් නොවන ආසියාතික ගෝත්‍රික කණ්ඩායම් දෙකක් මැද එකී හරුපයන්ට සරිපදමට සරිලන තවත් එක් ගෝත්‍රික කණ්ඩායමක් එක්වීම හා එකී ස්ථානය සලකුණු කර ගැනීම යහපත් බවය. එබැවින් මින් මතු පෙර සිදුනොකළ එහෙත් වචනයක්ට පමණක් සීමා වූ සමාජවාදය ගොඩනැගීම යන වචන පවා භාවිතයෙන් මින් මතු ඉවත්කිරීම අනිවාර්යයක් කොට ගත යුතු බවය.

එය යාන්ත්‍රික මානසික තරවටුවක් ලෙස ගන්නේ නම් ගැටලුවක් නොවන්නේ අපගේ සිහිනය දැකීමට තවමත් රැය දිගු බැවිනි. 

ජවිපෙ වශීකෘත වූ සහසක් හිතෛෂීන් මෙවර ඡන්දය භාවිතා කිරීම වැලැක්වීම මෙම සටහනෙහි අරමුණ නොවුනත් ගෝත්‍රගත දඩබල්ලන් නොයෙක් සමාජ ජාල පිටුමත වලිගය උස්සා සිදුකරමින් පවතින මල පහ කිරීම් තවත් ඉවසා නොසිටිය හැකි බැවින් සටහනක සේයා මාත්‍රාවක් පමණක් මෙලෙස සලකුණු කළබව පමණක් සටහන් කොට තබමි.

ඉතිං විමුක්තිකාමීත්වය ප්‍රහීනය කොටගත් කිලිටි වූ ධනේෂ්වර රෙදි පිළි සෝදා දෙන්නනි, ඔබට ජය !

තුසිත පතිරණ

0 comments:

Post a Comment