Friday, April 11, 2014

ආයේ එක්සත් ජාතික පක්‍ෂයට කිසි සහයෝගයක් දෙන්නේ නෑ - වික්‍රමබාහු

මින් මතුවට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමඟි බලවේගයට කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදීමට නව සම සමාජ පක්‍ෂය තීරණය කර ඇත. නව සම සමාජ පක්‍ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවැසීය. නව සම සමාජ පක්‍ෂය විසින් ගනු ලැබූ තීරණය මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දී තිබේ.

දිගින් දිගටම පොදු විපක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් නව සම සමාජ පක්‍ෂය දියාරු වී ඇති බව ආචාර්ය කරුණාරත්න මහතා කීවේය. එහෙයින් පක්‍ෂය නැවත ශක්තිමත් කරගන්නා තුරු හා නැවත නිසි ලෙස සංවිධානය කරගන්නා තුරු පොදු විපක්‍ෂයේ කිසිදු වැඩසටහනකට හෝ පොදු කටයුත්තකට හෝ සහභාගි නොවීමට නව සම සමාජ පක්‍ෂය තීරණය කර ඇත.

නව සම සමාජ පක්‍ෂය පොදු විපක්‍ෂය සමඟ කළ ගනුදෙනුවේදී අවසානයේ සිය පක්‍ෂයට මැතිවරණවලදී සාධාරණය ඉෂ්ට නොවූ බව පැවැසූ ආචාර්ය කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

සමඟි බලවේගයේ විපක්‍ෂ දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සමඟ වැඩ කිරීම හේතුවෙන් මැතිවරණවලදී අපිට සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා ඉදිරියේදී අපි පක්‍ෂය ශක්තිමත් කරගන්නා තුරු විපක්‍ෂයේ කිසිදු පොදු වැඩකට සහභාගි වන්නේ නැහැ.

එක්සත් ජාතික පක්‍ෂයේ හෝ සමඟි බලවේගයේ වැඩසටහන්වලටත් අපි සහාය දෙන්නේ නැහැ. ජනතාව අපෙන් ඈත් වෙලා. එහෙත් රටේ හදිසි, ප්‍රබල දේශපාලන සිදුවීමකදී විපක්‍ෂයට සහාය දීම ගැන අපි සලකා බලනවා.'

0 comments:

Post a Comment