Thursday, April 24, 2014

ආගම් ගැටුම් වාරණයට පොලිස් ඒකකයක්

විවිධ ආගමිකයන් සහ විවිධ ආගමික කණ්ඩායම් අතර ඇති වෙන සහ මතුවට ඇති විය හැකි මතභේද ආරවුල් සහ ගැටුම්කාරී තත්වයන් විමර්ශනය කොට සමථයකට පත් කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා එම තීරණය ප්‍රකාශයට පත් කළේ, බ්‍රහස්පතින්දා කොළඹදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසුණ අවස්ථාවේ. අලුතින් පිහිටුවනු ලබන පොලිස් ඒකකය ක්‍රියාත්මක වන්නේ ආගමික කටයුතු භාර අමාත්‍යංශය යටතේ බවත් ප්‍රකාශයට පත් කෙරුණි. ආගමික ගැටුම්කාරී තත්වයන් විසඳීමට නව පොලිස් ඒකකයක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය ගැන බීබීසි සංදේශය විමසීමක් කළ විට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමර නායක කියා සිටියේ, මෙය වෙනම පොලිසියක් නොව පොලිස් ඒකකයක් පිහිටුවීමක් පමණක් වන බවයි.

“දැනටමත් එවැනි පොලිස් ඒකක ක්‍රියාත්මක වෙනවා. ‘වරාය පොලිසිය’ එවැන්නක්. එය පොලිස් දෙපාර්තමේන්තුවට අයිති එහෙත් අදාළ ආයතනයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ඒකකයක්” ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ප්‍රකාශ කරයි.

ඇතැම් ආගමික කණ්ඩායම් පසුගිය දිනවල ප්‍රචණ්ඩ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, කිසිවකුට නීතිය අතට ගැනීමට ඉඩ නොතබන බව කියා සිටි බවයි ,මොහාන් සමරනායක වැඩිදුරටත් සඳහන් කළේ.
බොදු බල සේනා

ආගමික ගැටුම් නිරාකරණය සඳහා නව පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන්, බොදු බල සේනා සංවිධානයේ ප්‍රතිචාරය දන ගැනීමට එහි මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් සංදේශය විමසීමක් කළ විට උන්වහන්සේ සඳහන් , එය තම සංවිධානය විසින් කලක් තිස්සේ ඉදිරිපත් කරමින් තිබුණ ඉල්ලීමක් ඉටු වීමක් බවයි.

රාජ්‍ය නොවන සංවිධාන හරහා රට තුළ සිදු කෙරෙමින් පවතින ආගමික සංහාරයට විසඳුමක් වශයෙන් මෙවැනි පියවරක් ගනු ලැබීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරයාට තුති පළ කරන බවත් මහලේකම් ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

“බොදු බල සේනා සංවිධානය ආක්‍රමණකාරී නැහැ. එය හමුදාවක් නොවෙයි. ඒත් අපි යම් යම් තැන්වලට ගිහින් සාකච්ඡා වල නිරත වුනා. ඒ මාර්ගයෙන් රටේ වගකිව යුත්තන්ගේ ඇස් ඇරවීමට” ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.
මුස්ලිම් ප්‍රතිචාරය

ආගමික ගැටුම්කාරී තත්වයන් වැළක්වීමේ අරමුණින් නව පොලිස් ඒකකයක් පිහිටුවීමේ තීන්දුව ගැන ජනාධිපති නීතිඥ එම්.සුහායර් කියා සිටියේ, අද ශ්‍රී ලංකාවේ ආගමික ගැට‍ළුවක් නැතත්, ඇතැම් කණ්ඩායම් විසින් ගැට‍ළු සහගත තත්වයන් නිර්මාණය කරන බවයි.

“ අදාළ ප්‍රශ්න පාලනයට සෑහෙන තරම් නීති රීති දැනටත් රටේ තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක කළ හොත් ගැට‍ළු වළක්වන්න පුළුවන්. ඒ සඳහා නව පොලිසි පිහිටුවීමක් අනවශ්‍ය බව මගේ අදහසයි” ජනාධිපති නීතිඥ එම්.සුහායර් කියා සිටියි. පවතින නීතිය ක්‍රියාවට නැංවීම සඳහා පොලිසියට සහ නීතිපතිවරයාට අවශ්‍ය තරම් බලතල ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙයි.

0 comments:

Post a Comment