Tuesday, April 22, 2014

මේ ඇහෙන්නේ පැසිස්ට් තාලයේ දේශපාලනයේ මර ලතෝනිය - බාහු

පසුගිය වකවානුව තුළ අපි ක‍්‍රියාත්මක වුනේ පැසිස්ට් තාලේ ප‍්‍රබල සතුරෙකුට විරුද්ධවයි. නීතිය ඉක්මවා යන දේශපාලන බලපෑම් හැම තැනින්ම මතුවුනා. ඒවාට මුහුන දෙන්නට ලිබරල් ධනපති බලය සමගින් එකතුවෙන්න සිද්ධවුනා. එය අවශ්‍යම සටන් උපායක්. ඒ තුළින් බලයට පත්වී සමාජය තුළ ක‍්‍රියාත්මක වුනු පාදඩ මැරකල්ලි වලට වගේම ජාතිවාදී ක‍්‍රියාකාරීත්වයටත් මුහුනදෙන්න සිදුවුනා. රාජ්‍ය ත‍්‍රස්තවාදයට එහා යන පැසිස්ට් තාලේ මර්ධනයක් එල්ලවුනේ සිංහල සුළු ධනේෂ්වරයට මැර බලයක් ලෙස යෙදීම සඳහායි. එයට මූලික වුනේ බොදුබල සේනා වගේ සංවිධාන . ආකාරගත සංවිධාන වලට වඩා ආකාරගත නොවූ සංවිධානයන් සෑම පෙදෙසකටම විවිද බලපෑම් එල්ලකරමින් නීතිය, යුක්තිය ඉක්මවා වැඩ සිදුකලා ඒවා නිවැරදි කිරීමට කළ උත්සහය යට ගැහුනා. මෙවැනි පරිසරයක් තුළ ලිබරල් වාදීන් අත තිබූ සම්පත් හා බලය සමග එකතුවී අරගල වලට යොමුවීම ඉතාම නිවරදි ක‍්‍රියාදාමයක්. ඒ තුළින් කම්කරු පංති සටන් වල සිට උතුරේ සටන් දක්වා ක‍්‍රියාත්මක කිරීමට අපට ඉඩ ලැබුනා. විදුලි ගාස්තු වැඩිකිරීමට විරුද්ධ සටන තුළත් අධ්‍යාපන කප්පාදුවට විරුද්ධව ගොඩනගපු සටන තුළත් ලිබරල් වාදීන් සමග ඇතිකරගත් එකගතාවයන් විශාල ලෙස ප‍්‍රයෝජනවත් වුනා. වෘත්තීය සමිති සටන්වලට විපක්‍ෂයේ විරෝධය පිටුබලය ලබාදුන්නා.

ඒත් මේ විදියට අරගලය රට පුරා විහිදී ගිය අරගල මාලාවක් ලෙසට පවත්වාගේන යාමට අපට හැකිවුනත්, ඒ තුළ වමේ අනන්‍යය තාවය යට යෑම වලක්වන්න බැරිවුනා. එය වලක්වන්න ලේසි නෑ. ජනතාව පොදු සතුරාට විරුද්ධව සටනට එක්වීමෙන් නිතැතින් යන්නේ හැමෝම එක්වන ඡන්ද සටනක් දෙසටයි. එය බිඳගෙන සටන් රැල්ලක් ආවොත් මිසක මෙවැනි පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තිබෙන රටක එක ඡන්ද පෙරමුණක සිහිනයක් මතුවීම ස්වභාවිකයි. මේ අනුව නිර්ධනයන් පවා බලන්නේ වමේ අයත් පොදු පෙරමුණකින් ඡුන්දය ඉල්ලා බලයට පත්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව, වැඩ කරන ජනතාවට වැඩකරාවි කියලයි. මේ සිහිනය හැම විටම බොඳ වුනත් ඒ ගැන නැවතත් කල්පනාකිරීම ගැන පුදුම වියයුතු නැහැ. ඒ අනුව වෙනම තරඟ කරන අපට ඡන්දය නොලැබීම ගැන කණගාටුවෙන්න දෙයක් නෑ. එකට සටන් නොකර හූමිටි තියල රතු කොඩිය වෙනම වැනුව අයට ඡන්දය දෙන්න ජනතාව පෙළඹෙනව. වෙනම තරඟ කිරීමට සූදානම්වී සටන්වලට පොදුවේ අවතීරන නොවී සිටි උදවියට ඡන්දය වැඩිවීම ගැන ඒ විදියට බැළුවම කළබල වියයුතු නැහැ. ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදය සඳහා අරගලයේදී ජාතික ප‍්‍රශ්නය විගේෂ තැනක් ගත්තා වුනත් අනෙක් ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී සටන් රැල්ලටත් නායකත්වය දුන්නේ විපක්‍ෂයේ විරෝධයයි. රතුපස්වල සිද්ධි වාචිකය, ඉදිරියට ගියෙත් විපක්‍ෂයේ විරෝධයේ ක‍්‍රියාපටිපාටිය නිසයි. ධීවර ප‍්‍රශ්නය, ඉඩම් ප‍්‍රශ්නය, අධ්‍යාපන අර්බුධය, ජල ප‍්‍රශ්නය, නීතියේ බිඳවැටීම, මේ ආදී ප‍්‍රධාන ප‍්‍රජාත‍්‍රන්තවාදී තලයේ දියත්කල සටන්වලටත් මැදිහත්වුනේ විපක්‍ෂයේ විරෝධයයි. එමෙන්ම අධ්‍යාපනයට 6% වෙන්කිරීම සඳහාවූ සටනටත් බරදුනේ විපක්‍ෂයේ විරෝධයයි. වාර කීපයක් ලිප්ටන් වටරවුම පිරී ඉතිරී ගියා. මේ අනුව බැළුවහම මේ පැසිස්ට්තාලේ පාලකගේ බලයේ කොන්ද කැඩෙන තැන දක්වා සටන ගෙනගියේ විපක්‍ෂයේ විරෝධයේ දේශපාලන එක්සත් කම උඩයි. එයින් ලොකු බලයක් එළිපිටට ආවේ නැතිවුනත් ඒකාබද්ධ සටන්වලට හැමෝම සහයෝගයෙන් ඇවිත් තිබුන. ආණ්ඩුවට පොදු ප‍්‍රහාරයක් එයින් එල්ලවුනා. ආණ්ඩුවේ බලය බිඳවැටුනේ මේ විදියට විපක්‍ෂයේ එකමුතුවත් සමගි බලවේගයත් කටයුතු කල නිසයි.

2009 සිට 2014 දක්වා කාලය තුළින් ඒක් දේශපාලන වකවානුවක් පෙන්නුම් කරනව. ඒ තමා ආණ්ඩුව පැසිස්ට් තාලේ පාලන කාලය. ඒ කාලය තුළ නීතිය බල්ලට ගියා. පාදඩ කොටස් සමාජයේ ඉහලට ආවා. ජාවාරම් කාරයෝ අළුත් ධනපති පැළැන්තියක් බිහිකලා. කෙටි කාලයට යුක්තිය, සාධාරණය වෙනුවට පැසිස්ට් තාලයේ බලය හැම තැනම රජ පුටුවටගියා. ඒත් මේ මැතිවරණය තුළ හෙලිවුනා, ජනතාව මේ බලයේ පදනමින් ඉවත් වෙනබව. පැසිස්ට් තාලයේ පාලනය ජනතා බලය පෙලගස්වල ගෙනයන දේශපාලන වැඩ පිළිවෙලක් මිසක නිකම්ම හමුදා පොළිස් බලයක් නෙමෙයි. එම පැසිස්ට් බලයේ කොන්ද කැඩිල වැටෙනව කියල පෙනෙනකොටම දැන් ආණ්ඩුව හදන්නේ ජාතිවාදය අවුස්සා අළුතින් ජාතිවාදී රැල්ලක් ඇතිකරන්නට. දෙමළ කොටින් අළුතින් ප‍්‍රතිසංවිධානය වීම ගැන ගාලගෝට්ටියක් ඇති කරල තියෙන්නෙත් මේ විදියට සිංහල ජනතාව ආණ්ඩුව වටා පෙල ගස්සා ගැනීමට මිසක වෙන මොහොකටවත් නොවෙයි. ඇත්තටම තමන්ගේ හාම්පුතුන් වන ගෝලීය බලවතුන්ගේ ඉල්ලීම් වලටත් පයින්ගසමින් ආණ්ඩුව පැසිස්ට් තාලයේ බලය උඩ රැදීසිටියේ, ඒ විදිහට කාලයක් ගෙනියන්නට පුළුවන් කියල හිතිලයි. එයින් දෙමළ ජනතාවට විශාල හිරිහැරයක් දිගටම විඳින්න සිද්ධවුනා. මෙවැනි තත්ත්වයක් ත‍්‍රස්තවාදයට තරුණයන් යොමුකරන්නට පුළුවන්. ඒත් පසුබැසීමට ඉඩක් නැති පොලවක ගරිල්ලා අරගලයක් ගෙනියන්න බෑ. එය විශාල ජන ඝාතනයකට දොර අරින්නට පුළුවන් බව දෙමළ සටන තුළම ඔප්පු වුනා. ඒ නිසා නැවත සටන් මගට දෙමළ ජනතාව එනවනම් විද්‍යාත්මක ලෙසට අවි ආයුධ වෙනස් වෙලා තියෙන පරිසරයක් තුළ බියකරු න්‍යෂ්ටික යුද්ධයක් වගේ දෙයකට තමා ඉඩ තියෙන්නේ. අඩුතරමේ ඉන්දියාව තුළවත් මූල කඳවුරක් ඇතිකරගන්නේ නැතිව දෙමළ සටනක් උතුරේ පමණක් ඇතිවෙයි කියල හිතන්න බෑ. ඒ අනුව ආණ්ඩුවේ ගාලගෝට්ටිය තම පැසිස්ට් තාලේ දේශපාලනය බිඳවැටීම නවත්වාගැනීම සඳහා කරන සන්දර්ශනයක් හැටියටයි පිළිගන්න වෙන්නේ.

මේ ඇහෙන්නේ පැසිස්ට් තාලයේ දේශපාලනයේ මර ලතෝනිය කියලයි මන් නම් දකින්න්. සිංහල බෞද්ධ වීරත්වය උඩ ගොඩනගපු බහුබූත අට්ටාලය, දැන් පල්ල ගිය මල්ලක් වගෙයි. කොටි ගැන බොරු ගෝෂාවක් තුළින් එය යලි සිංහාසනයට ගෙනියන්න අමාරුයි. මොකද දැන් ජනතාවට තේරෙනව මේ ඬඬසිංහල බෞද්ධඬඬ ඝෝෂාව තුළ සිදුවුනේ අයිතීන්, ආදායම්, සම්පත් හා සුභසාදන කප්පාදුව විතරයි කියල. ඇතිඑකා ලොකු මහත්වුනා නැතිඑකා නැතිභංග වුනා. ඒ අනුව ඉදිරි කාලය තුළ ජනතාව විකල්ප මගක් දෙසට යොමුවෙනව. ඒ උඩ වමට සිදුවෙනව වමේ විසඳුම් ජනතාවට ඉදිරිපත් කරමින් සමාජයේ නායකත්වය ඉල්ලා සිටීමට. ඒ විසඳුම් ගැන යටි තලයේ සෑහෙන සාකච්ඡුා එහා මෙහා යනව. ජනතා විමුක්ති පෙරමුණටත්, ෆොන්සේකා මැතිදුන්ටත් ඒ කතිකාවන් තුළ තැනක් ලැබිල නැහැ එය උඩ තලයට ගෙන එන එක අද තිබෙන අවශ්‍යතාවයක්. පොදු සටන ඉදිරිට යන අතර සැබෑ විකල්පයක් ජනතාවට හදුන්වා දිය යුතුයි.

-නිනව්ව-
2014 අපේ‍්‍රල් 15
ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

0 comments:

Post a Comment