Thursday, May 1, 2014

ව්‍යවස්ථාවේ වචන වෙනස් කරලා මේ ක‍්‍රමය වෙනස් කරන්න බෑ - පුබුදු ජයගොඩ

කම්කරු දිනය ආරම්භ උනේ කම්කරුවන් විසින් කරපු සැමරු් දිනයක් විදිහට. පසුකාලීනව මේක සමරන්න දේශපාලන පක්ෂ සම්බන්ධ උනා. ධනපති දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි ධනපතියො පවා මැයි දිනය සමරන්න සම්බන්ධ වෙන්න ගත්තා. මේ නිසා අපිට දකින්න පුලූවන් ධනපතියො මැයි දවසට තමන්ගේ ආයතනයේ සේවකයො ගෙන්නල සුහද මැයි දිනය වගේ නම් දාල කම්කරු දිනය කරන හැටි. අනිත් අතට මේක පසුකාලීනව ප‍්‍රචාරණාත්මක සංදර්ශනයක් බවට පත් වුණා. පක්ෂ වල හයිය පෙන්වන තරඟයක් බවට මස් පිඩු සංදර්ශනයක් බවට මේක පත්වුණා. දේශපාලන පක්ෂ මේ විදිහට මේ දිනය සමරද්දී ඒක කම්කරුවන්ට හුදෙක් නිවාඩු දිනයක් බවට පත්වෙලා තියෙනවා. වැඩිපුර පැයක් නිදාගන්න, ගෙදර ළමයි එක්ක ඉන්න, රෙදි ටික හෝදගන්න ඒ දිනය පාවිච්චි කරනවා. 

අද රජයේ රූපවාහිනී සේවය වන ජාතික රූපවාහිනිය මැයි දිනය ගැන උදේ සංවාද වැඩසටහනක් පැවැත්වූවා. ඒකෙදි ඔවුන් කියනවා මැයි දිනය කියන්නේ ග‍්‍රීක යුගයේ මේ දෙවඟන සැමරීම සඳහා කරපු උත්සවයක්. ඒක බටහිර සංස්කෘතියේ අංගයක් ආදී වශයෙන් දේවල්. හේමාකට් සිදුවීම, කම්කරු මර්දනය ගැන වචනයක් ඒකෙදි කියැවුණේ නැහැ. ඒ වගේම එංගලන්තයේ මිනිස්සු මේ දිනය මධුපානෝත්සව සඳහා භාවිතා කළා කියලා ඒකෙ කිවුවා. අපිට අද හවස බොරැුල්ලට ගියාම බලාගන්න පුලූවන් ආණ්ඩුවේ මැයි රැුලිය ඉවර වෙලා ඒ අය මේක මධුපානෝත්සවයක් කරගෙන ඉන්න හැටි. කොහොම හරි මේ විදිහට මැයි දිනයේ ඉතිහාසය පවා විකෘති කරන්න ඒ අය ඉදිරිපත් වෙලා තියෙනවා.

මැයි දිනයේදී කම්කරුවෝ ගැන එක එක දේවල් පාලකයො කියනවා. ඒත් ඒ අය කරන දේ මැනගන්න පුලූවන් ඒ අය කියන දෙයින් නෙමෙයි කරන දෙයින්. පහුගිය අපේ‍්‍රල් මාසේ මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත්කරපු ආර්ථික වාර්තා අනුව ඒ අය බර තියලා තියෙනවා ශ‍්‍රමිකයන් අපනයනය කිරීමට. ඒ වගේම සංචාරක කර්මාන්තයට. ඇඟලූම් කර්මාන්තයට. මේ අංශ වර්ධනය කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා. ආර්ථික සංවර්ධනය ගැන මේ අය කථා කරන්නේ සමාගම් වල සංවර්ධනය පැත්තෙන් මිස වැඩ කරන ජනතාවගේ පැත්තෙන් නෙමෙයි. විදෙස් ගත ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම වැඩි කිරීම ගැන කථා කළාට ඒ ශ‍්‍රමිකයන්ගේ ජිවිත ගැන කිසිම අවධානයක් නැහැ. ඒ අය අයිතිවාසිකම් රහිත මිනිස්සු. අවම වැටුප්, වැඩ දිනයට අදාළ නීති - මේ මොනවත් නැහැ. නිදහස් වෙලද කලාප ගත්තමත් එහෙමයි. වෘත්තීය සමිති හැදීමේ අයිතියක් නැහැ. අපනයනය කරන ශ‍්‍රමිකයන් වැඩි කරනව කියන්නේ ඇණ ගහගෙන ලංකාවට එන ප‍්‍රමාණය වැඩි වෙනව කියන එක. ඇගලූම් කර්මාන්තයට වැඩියෙන් බර තියෙනව කියන්නෙ සූරාකෑම තවත් වැඩි කරනව කියන එක. මිනිස්සුන්ව මේ ක‍්‍රමය ඇතුලෙ මිනිස් ධූවිලි බවට පත්කරනවා. පාතාලය කියල නම් කරලා ඒ මිනිස්සුන්ව බැහැර කරනවා. ඒ අය තමන්ගේ බල උවමනා වලට පාවිච්චි කරනවා. අවශ්‍ය නැහැ කියල හිතුවම බුල්ඩෝසර් කරලා ඒ මිනිස්සු එලවනවා. 

නිෂ්පාදනයේදී ශ‍්‍රමිකයෝ සූරාකෑමට ලක්වෙනවා. ඒ විතරක් නෙමෙයි අද පරිභෝජනයේදීත් ඔවුන් කොල්ලකෑමට ලක්වෙනවා. ඇඩම් ස්මිත් වගේ සම්භාව්‍ය ධනේශ්වර ආර්ථික විද්‍යාඥයො වෙළදපොල සමාජය කියන වෙනම එකක් ගැන කථා කලා. ඒත් අද මුලූ සමාජයම එහෙම් පිටින්ම වෙළදපොලක්. ධනවාදය විසින් මිනිස්සුන්ට සිහින මවල දීල ඒ සිහින හඹා යන ගමනේදී ඒ අයව කොල්ල කෑමට ලක්කරනවා. පහුගිය දවස් වල වෙළඳ දැන්වීමක් තිබුණා එක්තරා චොක්ලට් වර්ගයක් ගැන. ඒකෙදි තිබුණෙ මාර්ග තදබදය වින්දනය කරන්න මාර්ග තදබදයට අහුවෙලා ඉන්න වෙලාවේ ඒ චොක්ලට් එක කන්න කියලා. අධික මාර්ග තදබදයක් ඇති කරල තියෙන්නෙත් මේ සමාජ ක‍්‍රමය. ඒ අර්බුදය අස්සේ කන්න චොක්ලටුත් විකුණනවා. 

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශාල හඩක් නගනවා අපිට ඇහෙනවා. ඇත්තටම මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල කියන ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලොකු සීමාවක් තියෙනවා. මුලින්ම කියන්න ඕනෙ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබෙන අයිතිවාසිකම් පවා ධනපති පංතිය බන්දේසියක තියලා දුන්නේ නැහැ. ඒව දිනාගත්තේ දුක්විදින පංතියේ මිනිස්සු ජීවිත පූජා කරලා කරපු අරගල හරහා. කොහොම හරි මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල කියන දේ අපේ පංතියේ මිනිස්සුන්ට අදාල වෙන විදිහෙ ප‍්‍රශ්නයක් තියෙනව. මාධ්‍ය නිදහස ගැන කථා කරනවා. මේ අය මාධ්‍ය නිදහස කියන්නේ රජයෙන් මාධ්‍ය අයිතිකාරයින්ට බලපෑම් කරන්න එපා කියන එකට. ඒත් මාධ්‍යවේදීන්ට ඇත්තටම තමන්ට හිතෙන දේ ලියන්න පුලූවන්ද? අයිතිකාරයින් උවමනා විදිහටයි ඒ අය ලියන්න ඕනෙ. ප‍්‍රාග්ධන බලය අයිතිකාරයෝ අතේ තියෙද්දී මාධ්‍යවේදීන්ට ඇත්ත නිදහසක් තියෙනවද? ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාව පුලූල් කරන්න ඕනෙ. නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අදහස ගේන්න ඕනෙ. මර්දනය නිකම් එන්නෙ නැහැ. රතුපස්වලදී මර්දනය ආවේ ඒ ජනතාව ප‍්‍රාග්ධනයේ උවමනාවන්ට විරුද්ධව සටන් කරපු නිසා. ශිෂ්‍යයින්ට මර්දනය එන්නේ ඒ අය නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ වලට විරුද්ධව අරගල කරන නිසා. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීම මේ සංවර්ධන මොඩලය එක්ක සම්බන්ධයි. පොදු අපේක්ෂකයෙක් දාල, ව්‍යව්‍යස්ථාවේ විධායක ජනාධිපති කියල ලියල තියන තැන් වල විධායක අගමැති කියල ලියලා මේක වෙනස් කරන්න බැහැ. 

ධනපති සමාජය පවතින්නේ සමාජය අදේශපාලනික කිරීමෙන්. තරුණ සමුලූ තරුණ පාර්ලිමේන්තු දාලා තරුණයින්ට දේශපාලනයට අවස්ථාව දෙනවා කියලා කියනව. ඒත් ලංකාවේ තරුණයින් සක‍්‍රීයවම දේශපාලනය කරන්නේ විශ්ව විද්‍යාල වල. ඒ තරුණයින්ට දේශපාලනය කරන්න කිසිම අවස්ථාවක් දෙන්නෙ නැහැ. පංති තහනම් කරනවා. අත්අඩංගුවට ගන්නවා. මරනවා.

සියලූම දේ විකුණන මේ සමාජය තුළ තවදුරටත් ජීවත් වෙන්න බැහැ. මේක වෙනස් කරන්න අවශ්‍යයයි. වෙනස් ජීවිතය් ඕනෑ. සමාජවාදී ජීවිතයක් ඕනෑ. ඒකට කම්කරු පංතිය මූලික කරගත්ත වැඩකරන ජනතාව පෙරමුණ අරගෙන සටන් කරන්න ඕනෙ. අපි ඒ නිසා කම්කැ පංතිය ගැන විශ්වාසය කරනවා. මැයි දිනයට හැමෝම පුරුද්දට කියනවා අපි කම්කරු පංතිය ගැන විශ්වාස කරනවා කියලා. ඒත් අපි ස්ථිර කරලා කියනව අපි ඒක අද දැන් විශ්වාසයෙන් කියන්නෙ අද මැයි දිනය නිසා නෙමෙයි ඒක අපේ ප‍්‍රතිපත්තිය වන නිසා. ලංකාවේ ලියාපදංචි කරපු දේශපාලන පක්ෂ හැටක් තියෙනවා. අපි ඒ අතර තවත් එක පක්ෂයක් නෙමෙයි. අපි ස්ථිරවම කියනවා අපි තමයි ලංකාවේ විප්ලවවාදී ව්‍යාපාරය. ඒ නිසා ගොඩ වැඩිකරගන්න අපිට අනිත් අය එක්ක තරගයක් නැහැ. අපිට දිගුකාලීන අරමුණක් තිබෙනවා. මේ සමාජය වෙනස් කරන්න දිගුකාලීන ඉලක්කයක් තිබෙනවා. අපි ඒ අරමුණ ඇතුලෙ වැඩ කරමින් ඉන්නවා

0 comments:

Post a Comment