Friday, May 2, 2014

මැයි දිනයට පසු

මෙවරත් සාමාන්‍ය ලෙසම තවත් මැයි දිනයක් අහවර විය. මෙවර මැයි දිනය ගැන කම්කරුවා සහ පීඩිතයා ගැන යමක් ලියන්නට අප අදහස් කරන්නේ ඇත්තටම කම්කරු දිනය මේ වන විට පීඩිතයන් ගේ දිනයක් බවට පත්ව ඇති බැවිනි. ලංකාවේ බහුතරයක් පවුල් සම්බන්ධකම් මේ වන විටත් අවුල් ජංජාලයක් බවට පත්ව ඇත. මෑතකදී නීතිඥවරුන් පිරිසක් විසින් විහිලුවට අලුත් සංගමක් පිහිටුවා ගත යුතු බවට යෝජනාවක් ගෙනාවෝය. මේ සංගමයේ ප්‍රධාන අරමුණ බිරින්දෑවරුන් ගෙන් අසාධාරණයට පත් ස්වාමිපුරුෂයන් ගේ එකමුවක් ලෙස එය පිහිටුවීමය. බිරින්දෑවරුන් ගේ සිදුවන අසාධාරණය ලෙස මේ අය සළකන්නේ ලිංගික සම්බන්ධකම් බිරින්දෑවරුන් විසින් දිගින් දිගටම ප්‍රතික්ශේප කිරීමයි. ඒ නිසා එකී ලිංගික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නේ කෙසේද යන්න සහ බිරින්දෑවරුන් දිගින් දිගටම ලිංගික සම්බන්ධකම් ප්‍රතික්ශේප කරන්නේ ඇයිද යන්න පිළිබදව විශේෂයෙන් සාකච්ඡා කිරීම ඔවුන් ගේ අරමුණයි. බැලූ බැල්මටම මෙය විහිලුවක් වුවත් මේ විහිලුවේ ඛේචජනක හාස්‍යය වන්නේ මෙය යථාර්ථය සමග වඩාත් සමපාත වීමයි.

මේ වන විටත් ඩයලොග්,මොබිටෙල්,මාස්හොල්ඩින්ස්,අබාන්ස්, වැනි ආයතන වල සේවය කරන පිරිමින් ගෙන් බහුතරයක් විවාහයෙන් පිටත විකල්ප සම්බන්ධකම් ඇතිකර ගෙන තිබෙනවා හෝ ඒ ආකාරයෙන් සම්බන්ධකම් පටන් ගන්නට සිහින දකිමින් සිටියි. මේ නිසා ඇත්තටම පවුල් ජීවිතය කියන්නේ මේ බහුතරයකට ළමයින් නිසා එකට ජීවත් වන සංකල්පයක් පමණක් වී ඇත.

ඒ අර්ථයෙන් ගත් කළ මේ යුගයේ කම්කරුවන් වන මේ නව කම්කරු පංතියේ පීඩිතයන් ‍ගේ දෛනික ජීවිතය ඒ අයටම දරා ගැනීමට අපහසු ක්ෂිතිමය අත්කදැකීමක් බවට පත්ව ඇත. ලංකාව ගූගල් වලින් සෙක්ස් සොයා පළමු තැනට එන්නේ සහ ෆෙස්බුක් වල පිරිමින් දකින දකින ගැහැණියට ලිංගික ආරාධනා කරන්නේ සත්‍ය ජීවිතයේ ඇත්තටම මේ අයට සෙකස් ලයිෆ් එකක් කියා දෙයක් නැති බැවැනි.

කොළඹ කැම්බල් පිටියට,හයිඩ් පිටියට,රත්නම් පිටියට එක්කාසු වන කම්කරුවන් ගේ සත්‍ය ජීවිතයේ ප්‍රධාන ගැටලුව වන්නේ තමන් ජීවත් වන ධනවාදී සමාජය පිළිබද ගැටලුවක් නොව තම පවුල් ජීවිතය පිළිබද ගැටලුවකි. හේගල් ගේ දර්ශණය අවශ්‍ය වන්නේ ඇයිද කියා අපෙන් අසන අයට හේගල් ගේ පවුල,සිවිල් සමාජය සහ රාජ්‍ය පිළිබද න්‍යාය මගින් හැර මේ නව තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු බව දන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් නොතේරුන,පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තේරුම් ගන්නට තවමත් අපහසු,අනෙක් වාමාංශික පක්ෂ සිය කතිකාවෙන් බැහැර කල පශ්චාත්-මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය අනාගත වාමාංශික දේශපාලනයේ හැරවුම් ලක්ෂය බව අවබෝධ කර නොගෙන කෙතරම් මැයි රැළි සංවිධානය කළත් මනුෂ්‍ය ජීවිතය ධනවාදය තුළ මුහුණ දී සිටින සැබෑ අර්බුදය විසදන්නට නම් නොහැකි බව පැහැදිලිය. වාමාංශික කන්‍යභාවය රැක ගන්නට රතු කම්ස අදින,කොන්ඩය සහ රැවුල වවන සහෝදරවරුන්ට දෛනික ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්ණ අගහරු ලොවෙන් එන ප්‍රශ්ණ යැයි සිතන්නට පුලුවන් වුනත් ඒවා විසදා ගන්නට බැරිව ඉන්නට සිදු වන්නේ හිසේ අත බැදගෙනය. මැයි දිනයට කටුස්සොත් රතු පාටයි නම් සම්මන්ත්‍රණයේ දී දීප්ති විසින් කළ දේශණය සාම්ප්‍රදායික මැයි දින දේශණයන් අභියෝගයට ලක් කළ නිසා එම දේශණය සම්බන්ධයෙන් විවිධ අය ලියූ ලේඛණ තුලින් ගම්‍යමාන වන්නේ දීප්ති මුහුණ දෙන ගැටලුවක් නොව තමන්ම අත්විදින ගැටළුය.

යථාර්ථය තුළ දීප්ති තමන් ගේ අනෙකා බවට පත්කර ගත් බහුතරයකට දීප්ති සමග විසදා ගන්නට ඇත්තේ පුද්ගලික ප්‍රශ්ණය. තමන් ගේ සිතට නැගෙන මනෝ විකාර දේශපාලන ගැටලු ලෙස ඉදිරිපත් කරන අයගේ ඇත්ත ජීවිතය තුල ඔවුන් ධනවාදය සමග දක්වන සම්බන්ධය ඔප්පු කර පෙන්වන්ට අවශ්‍ය තරම් දෑ අපට ඉදිරිපත් කරන්නට පුලුවන. අනුර දිසානක ගේ දේශපාලන භාවිතාව ප්‍රශ්ණ කරනවාට වඩා ඔහුගේ ලිංගික ජීවිතය ප්‍රශ්ණ කළ අය පසුගිය කාලයේ අනන්තවත් සොයා ගන්නට පුලුවන් විය. තමන් අත් විදින ගැටලු අනෙකා මත ප්‍රක්ශේපණය කර තමන් ගේම ජීවිතය අනෙකා ගේ ජීවිතය හරහා නරඹන පීඩිතයන් දිනෙන් දින ඉහළ යන සමාජයක මැයි දිනය ගැන අපට අනාගතයේ දී නැවත සිතන්නට සිදුවනු ඇත.


0 comments:

Post a Comment