Sunday, May 18, 2014

ජවිපෙ - සෝභිත හිමි හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ සහ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සමග අද (18) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජ.වි.පෙ. මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනය පහත පළවේ.

"පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (18) උදේ 09.00ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා සහ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගි විය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිට අමතරව නීතිඥ කි‍්‍රෂාන්ත වැලිඅමුණ, නීතිඥ නිමල් පුංචිහේවා, ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න ඇතුලු පිරිසක් සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය නියෝජනය කරමින් සහභාගි වූහ.

මෙම සාකච්ඡාවේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් සකස් කළ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ 17වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට අදාල යෝජනා සාකච්ඡා කළ අතර ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයකදී මෙම යෝජනා මත පදනම්ව ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබඳවද අවධානය යොමුකරන ලදී.

මෙම යෝජනාවලට අදාලවම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අත්‍යාවශ්‍ය බවත් ඒ සමගම රට හමුවේ ඇති ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයට විසඳුම් සඳහා විකල්ප ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වන සමාජ පරිවර්තනයක අවශ්‍යතාවය සමඟ බැඳුනු පොදු වැඩපිළිවෙලක වුවමනාවද ඇති බව ජ.වි.පෙ. අවධාරණය කරන ලදී. පසුගිය පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලය විසින්ද එවැනි විකල්ප වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දී ඇති බව ජ.වි.පෙ. නියෝජිතයින් විසින් අවධාරණය කරන ලදී.

රටේ ඇතිවන කාලීන දේශපාලන වෙනස්කම් අනුව ඉදිරිපත්වී ඇති යෝජනා ගැන ඉදිරියේදී තව දුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය තීරණය කරන ලදී."

0 comments:

Post a Comment