Saturday, May 17, 2014

මෝඩිගේ ජයග්‍රහණය, දකුණු ආසියාව අඳුරු කලාපයක් කරාවී - වාසු

ඉන්දීය මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්‌ෂයේ ජයග්‍රහණය දකුණු ආසියානු කලාපයට අඳුරු දසාවක්‌ උදාකරනු ඇතැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා පවසයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන ඇමැතිවරයා එහි මෙසේද සඳහන් කර ඇත.

එක්‌ අතකින් රට අභ්‍යන්තරයේ සිවිල් කෝලාහාල ඇතිවන තත්ත්වයක්‌ උද්ගත විය හැක. දෙවනුව අසල්වාසීන් සමග ආරවුල් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. එමෙන්ම චීනය සමග ඇති ආතතියේ සබඳතාවයද වැඩිවනු ඇත.

මෝඩි පිටුපස ඇති බලවේග රාෂ්ශ්‍රීය ස්‌වං සේවක සභාව නමැති උග්‍ර ආගම්වාදී ජාතිවාදී සංවිධානයක්‌වීම මීට හේතුවයි. ගාන්ධිතුමාගේ සමාදානයට නොකැමැතිව එතුමා මරා දැමීමද මෙම සංවිධානය විසින් කළ බව පළවේ.

භාරතීය ජනතා ජයග්‍රහණය අධිරාජ්‍යවාදීන්ගේ සතුටටද ඉන්දියාවේ මහා ධනපති පන්තියේ අරමුණ සාක්‌ෂාත් වීමටද හේතුවන බව පෙනේ.

ශ්‍රී ලංකාව සමග ඇති සබඳතාවයන් ද නරක අතකට පරිවර්තනය වීමට මෙම ජයග්‍රහණය ඉවහල් වීමේ ඉඩ කඩ ඇත. ඊට පසුබිම් වනු ඇත්තේ චීනය සම්බන්ධව මෝඩිගේ රජය දරන ආකල්පයයි. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනාගතයට මෝඩිගේ රජයෙන් අනුග්‍රහයක්‌ හෝ පුනර්ජීවනයක්‌ ලැබෙනු ඇතැයි සිතීම උගහටය.

එහෙත් වයිකෝ වැනි නායකයන්ගෙන් යුත් එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධාන මෝඩිගේ සන්ධානයට ඇතුළත් වන හෙයින් එහි බලපෑම් කොතරම් දැයි තක්‌සේරු කිරීම මේ අවස්‌ථාවේ අපහසුය.

0 comments:

Post a Comment