Friday, June 27, 2014

අපේ දැක්ම - ජවිපෙ නව ප‍්‍රතිපත්ති මාලාව දෙස හැරී බැලීමක්

1971 දී ජවිපෙ අරමුණු වෙනුවෙන් ඉදිරිපත් වූ මිනිසුන්ට සිය අරමුණු පිළිබඳව වූ ලිඛිත ප‍්‍රතිපත්ති මාලාවක් නොවීය. ඒ පිළිබඳ අපි යමක් සොයාගත යුත්තේ ඒ වකවානුවේ සිදු කරනු ලැබූ පන්ති සාකච්ඡුා, දේශන ආදියේ දී ඉදිරිපත් කරන ලද කාරණා හා පක්ෂයේ නිල ප‍්‍රකාශනවල ලියැවී ඇති දේ අනුවය. එදා වූ වැඩපිළිවෙළ පිළිබඳ වැඩිමනත් විස්තර දැන සිටියා වූ පුද්ගලයා වන්නේ විජේවීර සහෝදරයාය. බලයට පැමිණි පසු ක‍්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳව වූ සටහනක් ඔහුට ඔහුගේම මොළයේ තිබෙන්නට ඇත. එහෙත් එය ලිඛිතව අපට සොයාගත නොහැක. 

ජවිපෙ වැඩපිළිවෙළක් පිළිබඳව අපට කතා කළ හැක්කේ 71 මර්දනයෙන් පසුවය. එය උපත ලබා පෝෂණය වූයේ හිරගෙදර දීය. 71 මර්දනයේ දී සිරගත කරනු ලැබූ හා තවදුරටත් ජවිපෙ අරමුණු හා බැඳී සිටි පිරිස් විසින් එය සම්පාදනය කළේය. හිරගෙදර දුෂ්කර තත්වයන් යටතේ එකිනෙකා අතර සංවාදයෙන් පසුව එය තාවකාලික මධ්‍යම කාරක සභාව මඟින් පිළිගනු ලැබීමෙන් අනතුරුව නිල ලියැවිල්ලක් බවට පත් විය. එහෙත් එය සිරගෙදර තුළ සිටිය දී විවෘත තලයට නාවේය. එය තේරුම් ගත හැක. මන්ද ඇතිව තිබූ මර්දනයයි. එහෙත් ජේ.ආර්. බලයට පැමිණ, අයුවි කොමිසම් සභා පනත, ඉවත් කිරීමෙන් පසුව විවෘත තලයට පැමිණි ජවිපෙ ප‍්‍රසිද්ධ තලයේ දේශපාලන කටයුතු ඇරඹුවේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නොබෝ දිනකින්ම ජවිපෙ වැඩපිළිවෙළ රට හමුවේ තැබීමට හැකියාව ලැබුණේය. එහෙත් එය වැඩපිළිවෙළ නමින් නොව ‘විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය’ නමින් එළියට ආවේය. ඒ සඳහා සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාව පැමිණි හෙයින් ජවිපෙ රහසිගත සමුළුවක්, නියෝජිත සමුළුවක් කුරුණෑගල ඕමාරගොල්ලේ දී කැඳවන ලදී. එය ජවිපෙ පළමු සම්මේලනය මෙන්ම ජවිපෙ අභ්‍යන්තර පක්ෂයේ නොමැතිනම් බොල්ෂෙවික් පක්ෂයේ පළමු සමුළුව විය. ප‍්‍රථම මෙන්ම බොල්ෂෙවික් පක්ෂයේ සමුළුවේ දී එම පක්ෂයේ නිල වැඩපිළිවෙළ ලෙස ඉදිරිපත් වූ ලියැවිල්ල ඒකමතිකව සභා සම්මත වීමෙන් පක්ෂයට නිල වැඩපිළිවෙළක් ලැබුණේය. මෙලෙස එතෙක් ජවිපෙට විශාල අඩුවක්ව තිබූ වැඩපිළිවෙළක වුවමනාව සම්පූර්ණ කළේය. එහෙත් පළමුව මෙය එළියට ආයේ ‘පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය’ යන නමින් යුතුවය. එය ‘ජවිපෙ විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය’ නමින් 1977 පළමු මුද්‍රණයෙන් ජනතාව අතරට පැමිණියේය. මෙම ලියවිල්ල සකස් කළේ, පිළිගැනීමට ලක් කළේ එදා 71 කැරැුල්ලේ කොටස්කරුවන්ය. විජේවීර සහෝදරයා ප‍්‍රමුඛ විප්ලවවාදීන්ය. ඒ නිසා එහි සැබෑ අයිතිය ඇත්තේ එය ගොඩනැඟීමට ජීවිත දුන් පරපුරටය. එය හුදු පොරොන්දු මාලාවක් නොව මේ රටේ සමාජවාදී පරිවර්තනයක් ඇති කිරීම සඳහා වන වැඩපිළිවෙළකි. සංක‍්‍රමණීය වැඩපිළිවෙළකි. අදට ද එහි වලංගුභාවය එලෙසින්ම පවතින බව අපට නම් නිසැකය. 1977 සිට අද වන විට, 2014 වන විට දශක හතරකට ආසන්න කාලයක් සමාජය ඉදිරියට ගමන් කර ඇති බව සත්‍යයකි. ලෝකය බොහෝ දුර ගමන් කර ඇති බව සත්‍යයකි. ඒ නිසා වෙනස් වූ තත්වයන්ට අනුව යම් යම් වෙනස් වීම් අවශ්‍ය බව ඇත්තය. එහෙත් එය හරයෙන් යල්පැන ගොස් නැත. එහි දී ඉදිරිපත් කරන ලද යෝජනා තුළින් අද ද මේ රටේ සමාජවාදය ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබිණි. 

මෙය මැතිවරණ ප‍්‍රකාශයක් නොවන්නේය. ධනපති මැතිවරණවල දී ඒ ඒ පක්ෂ සිය ජයග‍්‍රහණය අරමුණු කර ජනතාව වෙත කැරට් කෑලි විසි කරති. බොරු පොරොන්දු දෙති. ඒ සඳහා විවිධාකාර ලියවිලි ඉදිරිපත් කරති. ඒවායින් සිය සුදුසුකම කියා පාති. එහෙත් බලයට පත් වහාම ඒ පොරොන්දු පත‍්‍ර අමතක කර දමති. ඊට හාත්පසින්ම වෙනස් වූ වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක කරති. එහෙත් විප්ලවවාදී පක්ෂයකට එසේ කළ නොහැක. ඔවුනට ස්ථිරසාර ප‍්‍රතිපත්ති තිබිය යුතුය. ඔවුන්ගේ වැඩපිළිවෙළ ප‍්‍රධාන මූලධර්ම මත පදනම් විය යුතුය. එම පක්ෂය මාක්ස්වාදී පක්ෂයක් නම් එහි මූලික ඉගැන්වීම්වලින් පිටපැනිය නොහැකිය. දැන් ප‍්‍රශ්නය ඇත්තේ මෙතැනය. ජවිපෙ මෙතෙක් පවත්වාගෙන ආ සිය උපායමාර්ගික වැඩපිළිවෙළ වෙනුවට තව එකක් ඉදිරිපත් කර තිබේ. 1977 සිට 2014 දක්වා දශක හතරකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ යම් හෝ වමේකමක් තිබුණේ නම් දැන් ජවිපෙ පරණ වමේ පක්ෂයක තරමට පල්ලම් බැස ඇත්තේය. විප්ලවය හා එයට තවත් ගනුදෙනුවක් නැත්තේය. නිර්ධන පාන්තික විප්ලවය ඉක්මනින් එන්නේ නැත. ඒ සඳහා වෙහෙසීම දුෂ්කරය. විවිධ කටුක දුක් කන්දරාවක් ඒ සඳහා විඳීමට ඊට සිදු වේ. දැන් ඇඟ නොතැලී, වෙහෙස නොවී, දුක් නොවිඳම සමාජවාදයේ නාමයෙන් ධනවාදය තුළ ම කරක් ගැසිය හැක. නව නායකත්වය යටතේ නව ප‍්‍රතිපත්ති මාලාව යටතේ යන්නට යන්නේ අන්න ඒ ගමනය. මේ රටේ නිර්ධන පන්තියට, අව්‍යාජ මාක්ස්වාදීන්ට, විප්ලවවාදීන්ට සුවිශේෂ කාර්ය භාරයක් පැවැරී ඇත්තේ දැන්ය. 

අපේ දැක්ම නම් වූ එම ප‍්‍රතිපත්ති මාලාව උස්සාගෙන මහානායක හාමුදුරුවන්, පූජකයන්, පූසාරීන් හමුවෙනවා අපි දුටුවෙමු. වාණිජ මණ්ඩලයේ ලොක්කන්, කලාකාරයන්, ඊනියා විද්වතුන්, මාධ්‍යවේදීන් හමුවෙනවා අපි දුටුවෙමු. දැන් සියල්ලන්ටම සතුටුය. හාමුදුරුවරු පිරිත් පැන් ඉසින්නේය. පිරිත් නූල් ගැට ගසන්නේය. සෙත් පතන්නේය. ඒ සඳහා පිරිකර සමඟ ප‍්‍රතිපත්ති පූජා කරන්නේය. දේව ගැතියන් දේවාශිර්වාදය පිරිනමන්නේය. පූසාරීන් සුවඳ දුම් අල්ලන්නේය. දැන් ඉතින් ජවිපෙ නායකයන්ට හරි ජොලිය. ධනපති ලිබරල්වාදීන් ඒ ප‍්‍රතිපත්ති අගය කරන්නේය. ධනපති මාධ්‍යවේදීන් මෙය උඩ දමන්නේය. තමන්ට ද පිළිගත හැකි වැඩපිළිවෙළක් නව නායකයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ගුණ ගායනා කරන්නේය. මේ උදවිය මේ තරම් උදම් අනන්නේ ඇයි? එහි රහස ඇත්තේ වෙන කොතැනකවත් නොවේ. තවදුරටත් මේ ධනපති මජර ක‍්‍රමයට එරෙහිව ජවිපෙ නොයන බැවින්මය. තමන්ට එකඟ විය හැකි මෙවන් වැඩපිළිවෙළක් හඳුන්වා දීම පිළිබඳව ගෝලීය ප‍්‍රාග්ධනයට ද සතුටු විය හැක. මන්ද? පසුගිය සියවසේ ආසියාකරයේ දැවැන්ත කැරැුලි දෙකකට නායකත්වය සැපැයූ ව්‍යාපාරයක් එම මාවතින් මිදී ඉවතට ගමන් කොට සිය ගමන් මඟට තවදුරටත් අවහිර නොවී සිටීමට පිළිණ දී ඇති බැවිනි. 

ඇතැම් විටෙක, මේක මැතිවරණයකට ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් මිස ජවිපෙ අභ්‍යන්තර පක්ෂයේ වැඩපිළිවෙළ නොවන බව ඔවුන් කියනු ඇත. එහෙත් එය එසේ විය නොහැක. මන්ද, ඒ ඒ අවස්ථාව අනුව විවිධාකාරයේ යෝජනා විවිධ අවස්ථාවල දී ජවිපෙ විසින් යෝජනා කරගෙන ඇතත් ඒ කිසි විටෙක වැඩපිළිවෙළට අත තිබ්බේ නැත. ප‍්‍රතිපත්ති මාලාවට අත තිබ්බේ නැත. මෙවර සිදු කර ඇත්තේ එවැන්නක් නොව, පැරණි වැඩපිළිවෙළ ඉවත් කොට අලූත් එකක් ඒ වෙනුවෙන් ආදේශ කිරීමය. එය හඳුන්වා දී ඇත්තේම ‘ජවිපෙ ජාතික මහ සමුළුව විසින් සම්මත කරන ලද ප‍්‍රතිපත්ති මාලාව’ වශයෙනි. පැරැුණි ප‍්‍රතිපත්ති මාලාව ගැන මෙහි කිසිවක් සඳහන් නොවූවද එයට හාත්පසින්ම වෙනස් එකක් හඳුන්වා දී තිබේ. එය පැහැදිලිවම පැරැුණි එක අභිබවා යාමකි. පැරැුන්න යටපත් කොට අලූත් එකක් ඉදිරියට ඒමකි. විස්තාපනය කිරීමකි. 

අප මෙහි දී සලකා බලන්නේ මෙහි සඳහන් සියලූම වගන්ති වාක්‍ය ගැන නොව කිහිපයක් ගැනය. අත්‍යවශ්‍ය ප‍්‍රතිපත්ති කිහිපයක් ගැනය. ඒවා ඒ තරම් වැදගත් බැවිනි. සමස්ථයක් ලෙස කියන්නේ නම් මේ ප‍්‍රතිපත්ති මාලාව හා මාක්ස්වාදය අතර කිසිම සම්බන්ධයක් ඇත්තේ නැත. මුළුමනින්ම එය මාක්ස්වාදයට පටහැනිය. එය හා විප්ලවය අතර ඊට කිසිදු ඇයි හොඳයියක් ඇත්තේ නැත. අපේ අධ්‍යයනයේ දී මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ දෙකම ගෙන සසඳා බැලිය යුතු වන හෙයින් දීර්ඝ නමුත් උපුටා ගැනීම්වලට යාමට අපට සිදුව ඇත. වෙහෙසකර වුවද අන් මඟක් ඇත්තේ නැත. 

ජවිපෙ නායකයන් බොහෝ විට කියමින් සිටින්නේ තමන් සමාජවාදී සමාජයක් ගොඩනැඟීම අරමුණු කර ගත්, ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්, ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ බවය. ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති මාලාවේ එය දැක්වෙන්නේ ‘නවීන සමාජවාදී’ සමාජයක් ගොඩනැඟීම ලෙසය. එසේම ‘නවීන සමාජවාදී’ සමාජය යන්න විශේෂිත කළු අකුරින් ද දක්වා ඇත. මේ සියලූ කාරණා සලකා බලන කල තේරුම් යන්නේ ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති මාලාව සමාජවාදී සමාජයක් ගොඩනැඟීම ඉලක්ක කරගත් ප‍්‍රතිපත්ති මාලාවක් බවය. දැන් ප‍්‍රශ්නය පැන නඟින්නේ මෙලෙසය. තිබූ ප‍්‍රතිපත්ති මාලාව නැත්නම් විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් හඳුන්වා දුන් ප‍්‍රතිපත්ති මාලාව යල් පැනලා ද යන්නය. එය අදට නොගැලපේ ද යන්නය. සමහර වෙනස්කම්වලට යටත්ව එකී වැඩපිළිවෙළ අදට ද එකසේ වලංගු බව කාරණා අධ්‍යයනය කරන විට පැහැදිලි වේ. ‘අපේ දැක්ම’ එසේ මෙසේ ප‍්‍රතිපත්ති මාලාවක් නොව ‘නවීන සමාජවාදී’ සමාජයක පදනම හඳුන්වා දෙන නිසා එය මුල් ප‍්‍රකාශනයට කෙතෙක් දුරට එකඟ ද නැතිනම් විරුද්ධ ද යන්න සොයා බැලීම වටී. අලූත් නායකයාට අලූත් වැඩක් එපායැ. ඒ නිසා ‘නවීන සමාජවාදී’ සමාජයක වැඩපිළිවෙළ මෙදා හඳුන්වා දී ඇත. 

මෙම ප‍්‍රතිපත්ති මාලාව ගැන අපූරු සඳහනක් මෙහි තුන්වැනි පිටුවේ සඳහන් වේ. ‘‘එබැවින් ජවිපෙ අප රටට ඇවැසි ජනතාවාදී පාලනයක් ලෙස දකින්නේ, අප රට අනාගතයට ගෙන යා හැකි, මිනිසකු විසින් මිනිසකු සූරා නොකන, ජාතියක් විසින් කවර ජාතියක් පීඩාවට පත් නොකරන, ආර්ථික සමෘද්ධියෙන් උසස් මිනිස් සමාජයක්, එනම් නවීන සමාජවාදී සමාජයක් ගොඩනැඟීම ඉලක්ක කර ගනිමින්, ඒ සඳහා පූර්ව පදනම සකස් කරන ජනතාවාදී පාලනයකි.’’ මෙම වගන්තිය අනුව නම් මෙම වැඩපිළිවෙළ ‘නවීන සමාජවාදී සමාජයක්’ ගොඩනැඟීම උදෙසා නොවේ. ඒ සඳහා පදනම් සකස් කිරීමටය. එහෙත් ඊට පසුව යෙදෙන කරුණු කාරණා සමාජවාදී සමාජයක පදනම් ලෙස කියැවේ. මේක හරිම ප‍්‍රතිවිරෝධීය. දැන් ප‍්‍රශ්න කිහිපයක් පැන නඟී. එක, ‘නවීන සමාජවාදී’ පාලනයක් සඳහා තත්වයන් මෝරා නැද්ද? ඒ නිසා තත්වයන් මෝරන තුරු අමතර පාලන අවධියක් ගෙවිය යුතුද? දෙක, එවන් තත්වයක් නම් තියෙන්නේ මුලින් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තත්වයන් මේරීමට පෙර ඉදිරිපත් කරන ලද නොමේරූ ලියවිල්ලක්ද? ඊළඟට මාක්ස්වාදයට අනුව ඊනියා ජනතාවාදී පාලන ක‍්‍රම පවතීද? නැතිනම් පන්ති පාලනයක් පවතීද? 

සමාජවාදී සමාජයකට තත්වයන් මෝරා නැති නිසා වෙනත් සමාජ අවධියක් ගතකොට දෙවැනුව සමාජවාදයට යා හැකි යැයි කියන්නේ නම් එය අන් කිසිවක් නොවේ. ස්ටැලින්වාදය, මාවෝවාදය දක්වා පල්ලම් බැසීමය. එනම් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය දක්වා පල්ලම් බැසීමය. තවදුරටත් කියන්නේ නම් පන්ති අතරේ ආඥාදායකත්වය දක්වා පල්ලම් බැසීමය. එනම් ධනපතියන්ගේ, මධ්‍යම පන්තියේ අර්ධ නිර්ධනීන්ගේ, නිර්ධනීන්ගේ මනෝ විකාර පාලනයක් කරා ගමන් කිරීමය. යෝජිත වැඩපිළිවෙළ තුළ සමාජවාදය ගොඩනැඟීම සඳහා ධනපති පන්තියට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් යෝජනා නොකරයි. ඔවුන්ගේ දේපළ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී. ඔවුන්ගේ ලාභය උපරිම කරගැනීම වෙනුවෙන් පෙනී සිටින අතරම ඔවුන් සඳහා බදු සහන ද නිර්ලෝභීව ප‍්‍රධානය කරයි. එය පසුව සාකච්ඡුා කරමු. 

වත්මන් යෝජනාව මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිනම් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නොවේ නම් එය අනිවාර්යෙන්ම ධනපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීමේ, එය ශුද්ධ පවිත‍්‍ර කිරීමේ, එය වඩාත් මානුෂික කිරීමේ ප‍්‍රතිගාමී උත්සාහයකි. ¥ෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන්, දුරාචාරයෙන්, සූරාකෑමෙන්, පීඩනයෙන් තොර ධනවාදයක් ඇත්තේ නැත. එහෙත් මෙම වැඩපිළිවෙළින් යෝජනා කරන්නේ පිරිසිදු ධනවාදයක් නම් ජවිපෙටත් දෙයියන්ගේම පිහිටය. ප‍්‍රතිපත්ති මාලාව තුළ පෙනී යන ප‍්‍රධාන කරුණ නම් එසේ ධනවාදය පිරිපහදු කොට ජනතා සේවය සඳහා යොදවා ගැනීමේ වෑයමය. 

ජනතාවාදී පාලන ක‍්‍රම ගැන කතා කිරීම මහා විහිළුවකි. මන්ද? ඉතිහාසයේ එවැනි පාලන ක‍්‍රම පැවතියේ නැත. පවතින්නේ ද නැත. ජනතාව පන්තීන්වලට බෙදී සිටිති. දේපළ හිමි පන්තිය සමාජයේ අධිපති පන්තිය වෙමින් පාලක පන්තිය ද වේ. ඔවුන් සිය පන්ති පාලනය පවත්වා ගෙන යාම උදෙසා සියලූ මර්දනකාරී ආයතන භාවිත කරයි. රාජ්‍ය බලය මෙහෙයවයි. එසේම සියලූ ප‍්‍රචාරක මාධ්‍යයන්ගේ හිමිකාරීත්වය දරමින් මතවාදී ආධිපත්‍යය ද අත්පත් කර ගනී. එසේම එය සාතිශය සූරාකෑමට බඳුන් වූ ජනයාට එරෙහිව යොදවයි. මෙසේ බලන විට ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ පන්ති පාලනයකි. පවත්වාගෙන ඇත්තේ පන්ති ආඥා දායකත්වයකි. එකී බලය අනෙක් පන්තීන් සමඟ බෙදා හදාගෙන සිය පන්ති පාලනය ගෙන ගොස් නැත. ඒ නිසා ජනතාවාදී පාලනක‍්‍රම යන්න විකාරයකි, වංචාවකි, මුලාවකි. එය ජනතාව මුලා කිරීම සඳහා ධනපතියන් යොදා ගන්නා වචනයකි. එය විප්ලවවාදී යයි කියාගන්නා පක්ෂයකට කිසිසේත් උචිත නොවන යෙදුමකි. කොපමණ ‘ජනතාවාදි’ කීවද කිසිම පන්ති පාලනයක් ජනතාවාදී නොවේ. 

අපි දැන් යෝජිත නවීන සමාජවාදයේ හැඩරුව මඳක් හඳුනා ගනිමු. ‘නවීන සමාජවාදී’ සමාජයක් ගැන කතා කරන වැඩපිළිවෙළේ, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති නිර්මාක්ස්වාදී ස්වභාවය, ප‍්‍රතිගාමී ස්වභාවය හඳුනා ගැනීම සඳහා අප කළ යුතු වන්නේ එක් දෙයකි. එනම් ජවිපෙ විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කියවා ගැනීමය. රාජ්‍ය ව්‍යුහය පිළිබඳව විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන්ව ඇති කරුණු දෙස මඳක් යොමු වෙමු. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රතිපත්ති අංක එකේ සිට විසිතුන දක්වා වන ප‍්‍රකාශිත කරුණුවලින් එය රාජ්‍ය ව්‍යුහයේ ස්වභාවය පිළිබඳව කියා පායි. එය මේ සමඟ උපුටා දක්වන අතරම නවීන සමාජවාදී වැඩ පිළිවෙළක් යෝජනා කරන අපේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඒ පිළිබඳව සඳහන් කර ඇති කාරණා ඊළඟට උපුටා දක්වමි. 

(උපුටනය 1, උපුටනය 2) - 6 (1-7) දක්වා පසුපිට 
ධනවාදයේ සිට මිනිසාට ගමන් කළ හැක්කේ කොමියුනිස්ට්වාදයටය. එහෙත් කොමියුනිස්ට්වාදයේ ඉහළ අවධිය කරා එකවර යාමට නොහැක. ඒ සඳහා පරිවර්තන අවධියක් අවශ්‍ය බව මාක්ස්වාදයේ ආදීතමයන් කියා සිටියේය. එම පරිවර්තන අවධිය අන් කිසිවක් නොව කොමියුනිස්ට්වාදයේ පහළ අවධිය වන සමාජවාදයයි. එම කාල පරිච්ෙඡ්දය කොමියුනිස්ට්වාදයේ ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික පදනම් ගොඩනඟන අවධියයි. ඒ කියන්නේ මිනිසාට ධනවාදයේ සිට එක්වරම පැනිය හැකි පිම්ම වන්නේ සමාජවාදය සඳහා වන පිම්මයි. මිනිසකු විසින් මිනිසකු සූරාකෑම අහෝසි කරන, පෞද්ගලික දේපළ ක‍්‍රමය අවලංගු කරන, ජාතියක් විසින් ජාතියක් පීඩාවට පත්කරන ක‍්‍රමය අහෝසි කරන කාලයයි. එසේම සෑම මිනිසකුම සිය හැකියාව අනුව හා වැඩ කරන ප‍්‍රමාණය අනුව ලබා ගන්නා කාලයයි. 

මෙම කටයුත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා නිර්ධන පන්තිය ප‍්‍රමුඛ පීඩිත පන්තීන් වෙත රාජ්‍ය බලය අවශ්‍ය වන්නේය. එම කාලය නිර්ධන පන්ති ආඥාදායකත්වයේ කාල පරිච්ෙඡ්දයක් වන බව මාක්ස්වාදය පෙන්වා දුන්නේය. එනම් පීඩිත පන්තීන්, විශේෂයෙන්ම නිර්ධන පන්තිය දේශපාලන බලය අභ්‍යාස කරන යුගයක් උවමනා බවය. කම්කරු, ගොවිකරු ආණ්ඩුවක් අවශ්‍ය බවය. සමාජය තුළ කම්කරු පාලනයක් අවශ්‍ය බවය. 

ඒ සඳහා ධනපතීන් විසින් සිය සූරාකෑමේ හා පීඩනයට පත් කිරීමේ අවයවය ලෙස මෙතෙක් පාවිච්චි කරන ලද ධනේශ්වර මර්ධනකාරී ආයතන තවදුරටත් පරිහරණය කළ නොහැකි බව මාක්ස්වාදය පෙන්වා දී ඇත. එනම් පැරැුණි සන්නද්ධ හමුදාවන්, පොලිසිය, උසාවිය, හිරගෙවල්, දෘෂ්ටිවාදී ආයතනයන් එලෙසින්ම නිර්ධන පන්තියට සිය සූරාකෑමෙන් මිදීම සඳහා පරිහරණය කළ නොහැක්කේය. ඒ සඳහා නව මර්ධනකාරී ආයතන පද්ධතියක් නිර්ධන පන්තියට අවශ්‍ය වන්නේය. එය ඉටු කරන කාර්ය කුමක්ද යන්න 1871 පැරිස් කොමියුනයේදීත් රාජ්‍ය ව්‍යුහය සම්බන්ධයෙන් ‘අපේ දැක්ම’ කියන්නේ කුමක් දැයි සොයා බලමු. කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නයේ දී ‘අපේ දැක්ම’ සමාජ ප‍්‍රජාන්ත‍්‍රවාදය කරා කොතෙක් දුරට පල්ලම් බැස ඇත්දැයි අපට තේරුම් ගැනීම ඉතාමත් පහසුය.

01 රාජ්‍ය ව්‍යුහය 
ශ‍්‍රී ලාංකේය සිහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුලූ සියලූ පොදු ජනතාවගේ නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය සුරැුකෙන ආකාරයේ රාජ්‍ය බලයක් හා රාජ්‍ය ක‍්‍රියාකාරීත්වයක් ස්ථාපිත කෙරේ. ඒ අනුව පවතින රාජ්‍ය බලය හා රාජ්‍ය ක‍්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීම උදෙසා පහත සඳහන් ක‍්‍රියාමාර්ග ගන්නවා ඇත. 

රාජ්‍ය බලය 
පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතාව ඉදිරිපත් කරන යෝජනා හා අදහස් සැලකිල්ලට ගෙන කෙටුම්පත් කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මඟින් සම්මත කෙරේ. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් 
x ජනතා පරමාධිපත්‍යය සහතික කෙරේ.
x විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරේ. 
x පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ස්ථාපිත කෙරේ. 
x පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකට සීමා කෙරෙන අතර එම නිල කාලය අවසන් වීමෙන් පසුව තෙමසක් ඉක්ම යාමට පෙර මහ මැතිවරණයක් පැවැත් වේ. 
x ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන ජනමාධ්‍ය කොමිසම හා ස්වාධීන අධිකරණ සේවා කොමිසම ස්ථාපිත කෙරෙන අතර එම කොමිසම් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කෙරේ. 
x පක්ෂය මාරු කරන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කෙරේ. 
x ඇමැති මණ්ඩලය 25කට සීමා කෙරේ.
x ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුලූ මර්දනකාරී අණ පනත් අහෝසි කෙරේ. 
x පළාත් සභා වෙනුවට ජනතා සභා පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරේ. 

රාජ්‍ය ක‍්‍රියාකාරීත්වය
ජාතික ප‍්‍රතිපත්ති හා සැලැසුම් සකස් කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති හා සැලැසුම් සභාවක් පිහිටුවනු ලබන අතර එයට දේශපාලකයන්ගෙන් ද විෂයන් හා වෘත්තීන් පිළිබඳ විශේෂඥයන්ගෙන් ද උපදෙස් ලබා ගැනීමට කටයුතු කෙරේ. 

x රාජ්‍ය ආයතන ඇතුලූ මහජනතාවට සේවා සපයන ආයතනවලින් ජනතා සේවය නිසි නිවැරැුදිව ඉටු නොවන අවස්ථාවල දී ඒ පිළිබඳව වහා පරීක්ෂා කර, පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා වන සේ සාධාරණය ඉටු කිරීමට විශේෂ පරීක්ෂණ ආයතනයක් ස්ථාපිත කෙරේ.
(අපේ දැක්ම පිටුව 4-5)

මෙම යෝජනා කිසිවක් රාජ්‍ය බලයේ වෙනසක් අපේක්ෂා නොකරයි. හුදු ආණ්ඩු මාරුවකට අත වනයි. කිසිදු ධනපතියකු මේ ඊනියා සමාජවාදී වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ නැත. ජවිපෙ මෙවැන්නක් ඉදිරිපත් කිරීම ගැන ඔවුන්ගේ ජය ගොස ඇසෙන්නේ ඒ හෙයිනි. 1917 රුසියානු මහා විප්ලවයේදීත් ඔප්පුකර පෙන්වීය. එසේ නිර්ධන පාන්තික ආඥාදායකත්වයේ අවධියක අවශ්‍යතාවය ගැන විජේවීර සහෝදරයා ප‍්‍රමුඛ 71 මිනිසුන්ට කිසිම අවිශ්වාසයක්, දෙගිඩියාවක්, විචිකිච්චාවක් තිබුණේ නැත. එම අවශ්‍යතාවය එළිපිටම පිළිගත්තේය. එසේ පිළිගත්තා පමණක් නොව සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඉහළින්ම ලියා ද තැබීමට කටයුතු කළේය. ඒ අනුව රාජ්‍ය ව්‍යුහය පිළිබඳව වන පළමු ප‍්‍රතිපත්තියේ දී පළමු වාක්‍යයට එය එකතු කිරීමට අමතක කළේ නැත. ඒ අනුව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පළමු වගන්තිය මෙසේ විය. ‘නිර්ධන පන්ති රාජ්‍ය බලය ස්ථාපිත කරනු ලැබේ’ මාක්ස්වාදින් සිය ප‍්‍රතිපත්ති කිසි විටෙකත් කෙසේවත් ප‍්‍රසිද්ධියේ කියා සිටීමෙන් වළකින්නේ නැත. එකී ප‍්‍රතිපත්තිවලට සතුරා බියෙන් වෙව්ලූවද එය එසේමය. අනෙක් අතට එළියට එකක් කියා පිටට වෙන එකක් කියන්නේ ද නැත. එසේ වන්නේ නම් එය දෙබිඩි කාර්යයකි. ප‍්‍රශ්නය මතුවන්නේ දැන්ය. ඒ අපේ දැක්ම කියවූ විටය. එම ප‍්‍රතිපත්ති මාලාවේ කිසිදු තැනක එදා විජේවීර සහෝදරයා ප‍්‍රමුඛ 71 විප්ලවවාදීන් විසින් ලියා තැබූ රාජ්‍ය ව්‍යුහය පිළිබඳ වූ කිසිදු වගන්තියක් ඇතුළත් කර නැත. සමාජවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවටත් එය මහජන අනුමැතියෙන් සම්මත කර ගන්නා බවටත් සමාජවාදී ජන රජයක් පිහිටුවන බවටත් ජනතාව මර්දනය කිරීමේ සන්නද්ධ සේවා අහෝසි කරන බවටත් ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළ සෑම තරුණ තරුණියකටම සන්නද්ධ පුහුණුව දෙන බවටත් මුළු ජනතාව සන්නද්ධ කරන බවටත් ජනතාවගේ ස්වෙච්ඡුා සමාජ සේවයක් පවත්වාගෙන යන බවටත් පැරැුණි ධනපති නීති ක‍්‍රමය අහෝසි කරන බවටත් පැරැුණි පාලන ක‍්‍රමය වෙනස් කර කම්කරු පාලනයක් ස්ථාපිත කරන බවටත් ආදී වශයෙන් වන බොහෝ ප‍්‍රතිපත්තීන් විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දී ඉදිරිපත් කරන ලදී. එහෙත් ඒ එකදු ප‍්‍රතිපත්තියක් සමඟ නව නායකයන්ගේ ‘නවීන සමාජවාදී’ සමාජය සඳහා වන ප‍්‍රකාශයේ දී හැරීමටවත් බැරිය. 

අපේ දැක්මේ ප‍්‍රතිපත්ති කෙසේවත් නිර්ධන පන්ති සමාජවාදී සමාජයක් ඉදිකිරීම සඳහා ඉලක්ක කර ගත් එකක් නොවේ. ඒ සියල්ලම පැරැුණි ප‍්‍රතිපත්ති අත්හළ බවට ධනපතීන්ට දෙන සහතිකයකි. ඒවා ධනපති ක‍්‍රමය පෙරළා දැමීම ඉලක්ක කර, සූරාකෑම අහෝසි කර දැමීම ඉලක්ක කර නැත. ඒ වෙනුවට ධනපති ක‍්‍රමය හැඩ වැඩ දමා නඩත්තු කිරීමේ වගකීම පවරා ගැනීමකි. ධනපතියන් සතුටුකර තබා ගැනීමට වෑයමකි. ධනපතීන් සමඟ එකගෙයි කෑමට මඟ පාදා ගැනීමකි. ධනපතීන් මෙම ‘අපේ දැක්ම’ අනුමත කරන්නේ, එයට අවශ්‍ය ප‍්‍රචාරය දෙන්නේ, එය උඩ දමන්නේ ඊට ‘තමන්ටත් එකඟ විය හැකි’ යැයි කියන්නේ හේතුවක් ඇතුවය. ඒ ඔවුන්ගේ සූරාකන ක‍්‍රමයට කෙස් රොදක හානියක් සිදු නොවන බැවිනි. නිර්ධන පන්තී රාජ්‍ය බලය, නිර්ධන පන්තී ආඥාදායකත්වය අත්හැර දැමීම තරම් සතුටක් ධනපති පන්තියට තවත් වෙද්ද? 

ධනපති රාජ්‍යයේ නිලධාරීවාදී ආයතන පද්ධතිය, ධනපති පොලිසිය, ධනපති අධිකරණ පද්ධතිය ස්වාධීන කර පවත්වා ගැනීමට එය යෝජනා කරයි. මේ ආයතන එකක් හෝ ස්වාධීන ආයතනද? නැත කිසි සේත් නැත. ඒවා ධනපති ක‍්‍රමයේ උවමනාවෙන්, බලපෑමෙන්, පාලනයෙන්, තොරව නොපතිනවා පමණක් නොව එසේ ස්වාධීනව පැවැතී ද නැත. මොවුන් මාක්ස්වාදය පිළිගත් සමයේ සිය අධ්‍යාපන කඳවුරුවල දී නම් ඒවා ධනපති ආයතන ලෙස පිළිගත් බව ඇත්තය. එහෙත් දැන් මාක්ස්වාදය අතර ලිබරල්වාදය වැළඳගෙන ඇති තත්වයක් යටතේ කෙසේවත් එසේ පිළිගැනීමට ඉඩක් නැති බව පැහැදිලිය. 

පසුගිය කාලයේ කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ධීවරයන්ගේ, ශිෂ්‍යයන්ගේ පොදු මහජනයාගේ ඉල්ලීම්, උද්ඝෝෂණ, පෙළපාලි, විරෝධතා මැඩලීම සඳහා නොවේද මේ ඊනියා ස්වාධීන ආයතන ක‍්‍රියාකළේ? නිලධාරීන් ජනතාව මැඩලූවේ නැතිද? අධිකරණය ගොවියන්ට, කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, ධීවරයන්ට එරෙහිව තීන්දු තීරණ දුන්නේ නැතිද? සාධාරණ හා යුක්තිගරුක අරගල පොඩිපට්ටම් කිරීමට හමුදා පොලිසි ක‍්‍රියා නොකළේද? ජනතාවගේ ඉල ඇට කැඩුවේ නැද්ද? කඳුළු ගෑස් ගැහුවේ නැද්ද? ඔළු පැලූවේ නැද්ද? පැහැරගෙන ගියේ නැද්ද? මරා දැමුවේ නැද්ද? අතුරුදන් කළේ නැද්ද? මේ සියලූම ආයතන ධනපති පන්තියේ අතකොලූ වුණා විනා කිසිසේත්ම ජනතාව ඉදිරියේ ස්වාධීන ආයතන වූයේ නැත. ඒ නිසා මේ ආයතන පිරිපහදු කොට, තෙල්, ග‍්‍රීස් දමා නිර්ධන පන්තියට සිය පන්ති අවශ්‍යතාවන් සඳහා පාවිච්චි කළ නොහැක. ඒවා කඩා බිඳ දමා අලූත් එකක් සෑදීම අනිවාර්යය. එයයි යුගයේ අවශ්‍යතාවය. එයට පණ පොවනවා විනා එය පිරිසිදු කිරීමට පෙනී සිටීම, ඒ සඳහා ප‍්‍රතිපත්ති සකස් කිරීම විකාරයකි. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ එක් තැනක සඳහන් වන්නේ පොලිසියට ඇති පීඩාකාරී වටපිටාව අහෝසි කරන බවය. එහෙත් ඇත්තෙන්ම කළ යුත්තේ පොලිසියෙන් ජනතාවට වන පීඩනය අහෝසි කිරීමය. 

මෙම ආයතන පන්ති පදනමින්, පන්ති දෘෂ්ටි කෝණයෙන් හඳුනා ගැනීමට ‘නවීන සමාජවාදී’ නායකයන් අසමත්ව ඇති බව පැහැදිලිය. 

නිර්ධන පාන්තික රාජ්‍ය බලය ගොඩනැඟීමෙන් තොරව පැරැුණි හෝ නවීන සමාජවාදයක් ගොඩනැඟිය නොහැක. 

දැන් අපි ආර්ථික ක්ෂේත‍්‍රයේ සිදු කළ යුතු යැයි පැරැුණි බොල්ෂෙවික්වාදීන් කල්පනා කළ දේ හඳුනා ගනිමු. ඒ සඳහා විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයම හුවා දැක්වීම ප‍්‍රමාණවත්ය. (උපුටනය)
නිර්ධන පන්තික රාජ්‍ය බලය ලබා ඊළඟ කාර්යය නම් ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියයි. යෝජිත සමාජවාදී ආර්ථික ක‍්‍රමයේ ප‍්‍රධාන පදනම ලෙස සලකනු ලැබුවේ පොදු දේපළ ක‍්‍රමයයි. ඒ සඳහා පෞද්ගලික දේපළ පොදු දේපළ දක්වා පරිවර්තනය කරන බව නොපැකිලිව නොබියව සඳහන් කරයි. ධනපතීන් සතු ව්‍යාපාර සමාගම්, පතල්, මෝල්, ඉඩම්, මූල්‍ය ආයතන කිසිදු වන්දි ගෙවීමකින් තොරව නිර්ධන පන්ති රජය යටතට පත්කර ගන්නා බව පවසයි. එසේම සියලූම අධිරාජ්‍යවාදීන් සතු දේපළ ද කිසිදු වන්දි ගෙවීමකින් තොරව පවරා ගන්නා බව ලියා තබයි. ආර්ථික ක්ෂේත‍්‍රය තුළ සිදු කරනු ලබන තවත් බොහෝ ප‍්‍රතිසංස්කරණයන් එහි දී විග‍්‍රහ කරයි. 

සමාජවාදී ක‍්‍රමයක් ගොඩනැඟිය හැක්කේ පොදු දේපළ මඟින් පුද්ගල දේපළ පළවා හැරීමෙනි. එමඟින් පමණක්මය. එසේම සාමූහික සහ සමුපකාරික දේපළ ද ගොඩනැඟීම අත්‍යවශ්‍යය. සියලූ ධන සම්පත් මාර්ග පොදු දේපළක් බවට පත් කළ සමාජයක සැබෑ සාමානත්මතාවය සමාජයේ පතුලෙන්ම පැන නඟින්නේය. මෙතෙක් කල් සියලූ දේපළවලින් පළවා හරිනු ලැබූ පන්තිය ඒවායේ සැබෑ උරුමකරුවා බවට පත්වීමෙන් තොරව ගොඩනැඟිය හැකි සමාජවාදයක් නැත. එසේම මේ සියලූම දේපළ, සමාජ ධන නිධාන, සම්පත් සැලැස්මානුකූල නිෂ්පාදනයකට ලක් කිරීම අවශ්‍යය. මේ ක‍්‍රියාවලිය තුළින් පමණක් මිනිසකු විසින් මිනිසකු සූරාකෑම අහෝසි කළ හැකි වනු ඇත. සමාජවාදයේ සැබෑ අරමුණ වන්නේ එයයි. 

එහෙත් ‘නවීන සමාජවාදයක්’ ගොඩනැඟීමට තැත් දරන නව නායක නඩය නොකරන්නේ ද එයයි. ඔවුන් ධනපතීන් හමුවේ වැඳ වැටෙයි. ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර රැුක දී පෝෂණය කරන බවට දිවුරුම් දෙයි. ඒවාට නිර්ධනීන් වෙතින් එල්ල විය හැකි මහා ප‍්‍රහාරයෙන් බේරා දෙන බවට සහතික දෙයි. ඒ මදිවාට සූරාකෑම යහතින් කරගෙන යාම සඳහා පළමුව අවුරුදු පහක බදු සහනයක් දීමට පොරොන්දු දෙයි.

කම්කරුවන්, ගොවියන් හා ශිල්පීන් බදුවලින් නිදහස් කරන බවත් පෞද්ගලික ව්‍යාපාරවල ලාභ දැඩි ලෙස සීමා කරන බවත් කියා සිටියේ 71 නායකයන්ය. ඒ වෙනුවට ධනපතියන් බදුවලින් නිදහස් කොට වැඩි වැඩියෙන් ලාභ ඉපදවීමට අවස්ථාව ඉඩකඩ ලබා දෙන බව නව නායකයෝ පවසති. පසුගිය දිනෙක මහරගම පැවැති රැුලියක දී එක් නායකයෙක් වැඩි ලාභ ඉපදවීමට සිය පාලනයක් යටතේ ඉඩ විවර කර දෙන බවට ප‍්‍රකාශ කළේලූ. අපූරුයි, හරිම අපූරුයි. මන්ද? මේ නායකයාට වැඩි ලාභ යනු වැඩි සූරාකෑම බව අමතකව ඇති හැටි. 

මේ අපූරු සමාජවාදී නායකයන් කම්කරු පන්තිය නැතිනම් නිර්ධන පන්තිය අමතක කර දමා ඇත. නවීන හෝ පැරැුණි හෝ සමාජවාදයක් ගොඩනැඟීමට නම් නිර්ධන පන්තිය පදනම් කර ගත යුතුය. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඒ සඳහා තමන් සිදු කිරීමට බලාපොරොත්තු වන ප‍්‍රතිසංස්කරණයන් එළිදැක්විය යුතුය. එය පැරැුණි විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දී අපූරුවට සිදු කර ඇත. එහෙත් කරුමයක මහත. මේ ‘නවීන සමාජවාදීන්ට’ කම්කරු පන්තිය අමතකව ඇත. එහි කිසිදු සඳහනක් ඒ ගැන නැත. අඩුම ගාණේ වැඩ වර්ජනය කරන්නට ඇති අයිතිය ගැන නැතිනම් වෘත්තීය සමිතියක් ගොඩනැඟීමට ඇති අයිතිය ගැන මේ කිසිවක් ගැන කිසිවක් සඳහන්ව නැත. කම්කරුවන් අමතක කර දමා, ඈත් කර දමා ගොඩනඟන සමාජවාදය කුමනාකාරයේ එකක් විය හැකිද? මෙම ‘නවීන සමාජවාදී’ ලියැවිල්ලේ කම්කරුවන් ගැන කිසිවක් සඳහන් නොවූවද ධනපතියන් ගැන, ගොවියන් ගැන, ශිල්පීන් ගැන සුළු පරිමාණ නිෂ්පාදකයන් ගැන, ඔවුනට දෙන සහන ගැන ඇති තරම් ලියා ඇත. මේ කියන සමාජවාදයට දැන් කිසිවකු බිය විය යුතු නැත. සූරාකන්නන්ට මීටත් වඩා තවත් සහතිකයක් කුමටද? මේ මෑතක්වන තුරුම ජවිපෙ කීවේ, ලීවේ කම්කරුවන් ගැනය. දැන් ඒකත් අමතක කර දමා ඇත. එය එසේ මෙසේ තැනකදී නොව සිය වැඩපිළිවෙළේ දීය. සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දීය. 

සෞඛ්‍ය පිළිබඳව ද අපූරු ස්ථාවරයක් ගෙන ඇත. එයද සළකා බැලීම වටී. (10-1)
ගොවියන්ට සහන දීම හොඳය. එහෙත් ගොවියන් නිරතුරුවම ධනවාදය උත්පාදනය කරයි. ගොවි දේපළ ක‍්‍රමයෙන් සාමූහික හා සමුපකාරික දේපළක් බවට පත් කිරීම ගැන කිසිවක් සඳහන්ව නැත. 

අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන විසින් ලබාගෙන ඇති දැවැන්ත ණය කන්දරාව අහෝසි කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් සමඟ සාකච්ඡුා පවත්වන බව කියයි. සාකච්ඡුා හැර අන් විසඳුමක් ඇත්තේ නැත. ඔන්න කරනවා නම් ක‍්‍රස්ත්‍රෝ කරපු ජාතියේ වැඩක් කර සිය විප්ලවවාදීත්වය ඔප්පු කරන්නට වෙලාවක්. ගොවිණය ගැන පැරැුණි ප‍්‍රකාශයේ සඳහන්ව ඇත්තේ මෙසේය. ‘ගැමියා මුළුමනින්ම ණයගැති බවෙන් නිදහස් කරනු ලැබේ. මෙතෙක් පැවැති රජයටත් ඉඩම් හිමියටත් මුදල් පොලීකාරයන්ටත් ඇති කෘෂිකාර්මික කම්කරුවන්ගේ’ ශිල්පීන්ගේ හා දිළිඳු ගොවියන්ගේ ණය අහෝසි කරනු ලැබේ.’ යනුවෙනි. අද එය ද අමතකව ඇත. සන්ධාන රජයේ සිටිය දී ගොවි ණය අහෝසි කලා යැයි කෑ මොරදුන් ව්‍යාපාරයකට මේ වගේ යෝජනාවක් ඇතුළු කිරීමට නොහැකි වීම මහත් ඛේදයකි. එය තිබුණා නම් තව ඡුන්ද ටිකකට කේවල් කිරීමේ හැකියාව තිබුණි. 

පසුගිය දිනවල මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන උස්සාගෙන දිව්වේ පූජකයන් වෙතය. ඔවුන් එය මහත් ඉහළින් පිළිගත්තේය. එය ‘යසයි යසයි’ කීවේය. ආශිර්වාද කළේය. පැන් ඉස්සේය. එය විය යුතුය. ඇයි? ජවිපෙ පැරැුණි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වූයේ ආගම රාජ්‍ය පාලනයෙන් වෙන් කරන බවය. අධ්‍යාපනයෙන් එය බැහැර කරන බවය. විහාර දේවාලගම් අහෝසි කරන බවය. රාජකාරී ක‍්‍රමයේ ශේෂ ඉවත් කරන බවය. එහෙත් ‘නවීන සමාජවාදී’ ලියැවිල්ලේ මේ කිසිත් නැත. ඉතින් පිරිත් පැන් නොඉස කොහොමද? පිරිත් නූල් නොබැඳ කොහොමද? 

මෙහිදී පැන නඟින තවත් කරුණක් ඇත. ධනේශ්වර සංවර්ධනයේ පසුගාමී රටක් ලෙස විග‍්‍රහ කළ මෙරටෙහි පැරැුණි ආසියාතික නටබුන් ද තිබෙන බව කීවේය. එම නෂ්ඨාවශේෂ පිසදා හැරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් අනවශ්‍ය බවත් එය සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස විසඳිය හැකි බවත් එසේ කළ යුතු බවත් කීවේය. එහෙත් ‘නවීන සමාජවාදී’ සමාජයක් ගොඩනැඟීමට යන මේ ගමනේ දී ඒකද අමතකව තිබේ. ධනවාදය පිරිසිදු කිරීමට පැමිණි මොවුනට සිදුව ඇති අලකලංචියක් අවශ්‍යම දේ මඟ හැරී තිබේ. නැතිනම් අමතක කර තිබේ. විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සෞඛ්‍ය සේවය ගැන සඳහන් අනෙක් කරුණු අතර මෙසේ ද සඳහන් වේ. 42 (2* එම සේවාවන් සහමුලින්ම නොමිලයේ වනු ඇත. සෞඛ්‍යය සේවාවේ දී පෞද්ගලික අංශයක සහභාගීත්වයක් ගැන කිසිවක් එහි සඳහන්ව නැත. සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කොට ඇති මේ වකවානුවේ ජවිපෙ එය ඉහළින්ම පිළිගනියි. එය සඳහන් කර ඇත්තේ මෙසේය. ‘ජනතාවගේ සෞඛ්‍ය ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් සූරාකෑමට ඉඩ නොදෙන අතර ස්ව කැමැත්තෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවාවට යොමුවන පුද්ගලයන්ගේ අයිතියට ගරු කිරීමක් ලෙස එම අංශය පවත්වාගෙන යාමට ඉඩ ලැබුණ ද ඒවායින් ලබා දෙන සේවාවේ ගුණාත්මක බව පිළිබඳව රජයට සහතික විය හැකි ආකාරයේ අධීක්ෂණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කෙරේ’ යනුවෙනි. තේරෙන සිංහලෙන් කියන්නේ නම් පෞද්ගලික රෝහල් පවත්වාගෙන යාමට, චැනල් කරගෙන යාමට ඉඩ ලැබෙන බවය. හැබැයි ඒ පාලනයකට යටත්වය. ඉතින් නවලෝකලාට, ඩර්ඩන්ස්ලාට, ඇපලෝලාට, ආසිරිලාට මාර ජොලිය. මුදල් ඇත්නම් සෞඛ්‍ය අපි දෙන්නම්ය. මේ පෞද්ගලික වෛi සේවාව ගැන කියන විට අපේ මතකයට එන්නේ ත‍්‍රිමා විතාරණලාය. අතීත සටන් සගයන් අමතක කර දමා ඇති අයුරු. ඔය කියන ඊනියා පාලනය දැන් ද සිදුවන්නේය. ඒත් නැති එකා ලෙඩ දුකින් මිය යන්නේය. 

මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සෑම වගන්තියක් ගැනම අපට විවේචනයක් ඇතත් ඒ සියල්ල කතා කිරීම නිෂ්ඵලය. එවිට මෙය අනවශ්‍ය දිගක් අත්පත් කර ගන්නවා ඇත. ඒ නිසා තව එක් කරුණක් ගැන පමණක් කතා කරමු. මෙය අත්‍යවශ්‍යය. 
ජවිපෙ සිය ඉතිහාසය මුළුල්ලේම කියා සිටියේ අධිරාජ්‍ය විරෝධී අරගලයක් තුළින් සමාජවාදී විප්ලවයක් කිරීම ගැනය. එනම් ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදයට යන්නය. ඒ සඳහා සිය උපාය මාර්ගික වැඩපිළිවෙළ විදහා දැක්වෙන්නක් ලෙස සටන් පාඨකයක් ද හඳුන්වා දුන්නේය. 
‘‘අධිරාජ්‍යවාදයට විනාශය - ජනතාවට විමුක්තිය’’ 

‘‘ධනවාදයට විනාශය - සමාජවාදයට විජයග‍්‍රහණය’’ එම සටන් පාඨයයි. දැන් ලංකාවේ සමාජවාදී සමාජයක් ගොඩනැඟීම සඳහා ‘නවීන සමාජවාදී’ සමාජයක් ගොඩනැඟීම සඳහා ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ එවැනි අධිරාජ්‍ය විරෝධී කිසිදු පියවරක් ඇත්තේ නැත. පැරැුණි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දී නම්, අධිරාජ්‍යවාදීන් සතු සියලූ දේපළ වන්දි ගෙවීමකින් තොරව පවරා ගන්නා බව කීවේය. එහෙත් මෙම අවස්ථාවේ දී තමන්ගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ද සටන් පාඨය ද අමතකව ඇත. උපයෝගීතාවාදයට වැටුණාම සිදුවන පටලා ගැනිල්ල අන්න එහෙමය. 

මෙම ලියැවිල්ලේ හැටියට නම් මේ උදවියට උවමනා සමාජවාදයක් නැත. අවශ්‍යව ඇත්තේ ඊළඟ මැතිවරණයක දී තව ආසන කිහිපයක් වැඩි කර ගැනීමය. ඒ සඳහා ධනපතීන් තරහ කරගෙන බැරිය. ඔවුන් හොඳින් තබා ගත යුතුය. ධනපති මාධ්‍ය ආයතන පමණක් නොව මාධ්‍යවේදීන් ද හොඳින් නඩත්තු කළ යුතුය. මේ සියල්ලන්ටම පිළිගත හැකි අයුරින් ප‍්‍රතිපත්ති සකස් කළ යුතුය. එවිට ඔවුන්ගේ නොමද ආශිර්වාදය ලැබෙනවා නියතය. 

මේ තත්වයන්ට හැඩ ගැසීමට දරන වෑයමේ දී සිදු වන අකරතැබ්බයන්ය. එදාවේල උදෙසා දිගු ගමන අමතක කිරීමය. ඒ සඳහා මූලික ප‍්‍රතිපත්ති අත හැරීමය. මෙය ව්‍යාපාරයේ උන්නතිය අවංකව අපේක්ෂා කළත් එය අවංක අවස්ථාවාදය ලෙස ලෙනින් පැහැදිලි කළේය. මේ උදවිය ද අවංක අවස්ථාවාදයේ කර වටක් ගිලී සිටී. 

ලෙනින්ද නව ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ ධනවාදය කරා ආපසු පසු බැස්ස බවට තර්කයක් ගොඩනැංවිය හැක. අපි ඇත්ත වැඩපිළිවෙළ යටින් හංගා මතු පිටට වෙනත් එකක් ඉදිරිපත් කරනවා යැයි කිව හැක. එහෙත් එය මුසාවකි. ලෙනින්ට සාධාරණය ඉටුවීම පිණිස මෙය සටහන් කර තැබිය යුතුය. නව ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ කාල වකවානුවේ දී ලෙනින් සමාජවාදය අත්හලේද? 17 රතු ඔක්තෝබරය විසින් කම්කරුවන්, ගොවියන් අත තැබූ මහා පරිමාණ දේපළ හා රාජ්‍ය බලය අත්හලේද? නැත. කිසිසේත් නැත. ලෙනින් කම්කරු රාජ්‍ය බලය යටතේ ගොවිජන ක්ෂේත‍්‍රයේ බදු පිළිබඳ වෙනසකට ගියේය. එය තාවකාලික පියවරක් විය. 

මේ ලියැවිල්ල කිසිසේත්ම සමාජවාදය සඳහා වන වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරයි. එමඟින් හඳුන්වා දෙන සමාජවාදය කිසිසේත්ම සමාජවාදයක් නොව ධනවාදයමය. නැතිනම් සුළු ධනේශ්වර සමාජවාදයය. එයට නිර්ධන පන්තිය සමඟ කිසිදු බැදීමක් නැති ප‍්‍රතිගාමී ලියැවිල්ලකි. දැන් අවස්ථාව උදා වී ඇත්තේ විකල්පයකටය. විකල්ප වැඩපිළිවෙළකටය. විකල්ප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයකටය. කල්පයක් ගියද තවදුරටත් ජවිපෙට විකල්පය විය නොහැක. එය පිරවිය හැකි බලවේගය දැනටමත් උපත ලබා ඇත. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. එය ජවිපෙන් බිඳී වෙන්වී ආයේම ජවිපෙ තවදුරටත් විප්ලවය සඳහා, සමාජවාදී සමාජ විප්ලවය සඳහා පෙනී නොසිටින බව කියමිනි. දැනටමත් පෙසපය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ මේ හිඩැස පුරවනු ඇත. එහෙත් ඒ සඳහා එකී වැඩපිළිවෙළ තිබෙන තැනකින් එළියට ගෙන ජනතාව අතරට ගෙන ආ යුතුය. එය ජනතාවට පිළිගැන්විය යුතුය. එකී වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීම අරමුණු කරගත් උපක‍්‍රමික වැඩපිළිවෙළකට යාම යුගයේ කාර්ය භාරයයි. 

ජනරළ ඇසුරෙන්

0 comments:

Post a Comment