Monday, June 16, 2014

ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම සහ ප‍්‍රතිපත්ති රාමුව: ‘දැක්මේ’ අභාවිතයක්

ආර්ථික ප‍්‍රගමනයේ ගාමක බලවේගය වන්නේ ‘මිනිස් තණ්හාව’ බව ධනවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව පිළිගනිති. ඒ ගැන, මගේ මීට පෙර ලිපියකට අදාළව ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’පාඨකයකු පොල්ලෙන් ගැහැව්වා වැනි සටහනක් තබා තිබුණි. සිත්ගන්නා සුළු එම අදහස මෙසේය:

”සෑම මනුෂ්‍යයකුටම මහන්සි වී වැඩ කිරීමෙන් පොහොසත් වීමට අයිතියක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නා තෙක්, එම පක්ෂය දේශපාලනයේ දී සාර්ථක නොවෙනු ඇත. වෙහෙස මහන්සියෙන් වැඩකිරීමෙන් සහ ශූර හැකියාව හරහා පොහොසත් වීමට කෙනෙකුට සහජ අයිතියක් ඇත. ඒ නිසා එසේ වෙහෙස මහන්සියෙන් වැඩකරන කෙනෙකුගේ ව්‍යාපාරික ලාභයට හෝ ඔහුගේ ශූරත්වයෙන් හැකියාවෙන් දියුණු වීමට ඇති අවස්ථාවන්ට සීමා පැනවීමට, ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්කමක් නැත. රැුකියා සහ ආදායම් නිර්මාණය කරන්නේත් සමාජය සශ‍්‍රීකවත් කරන්නේත් එම හැකියාවන්ම ය. වෙළෙඳ ව්‍යාපාර, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය වනාහී, ඉගැන්වීමට, කොපි කිරීමට හෝ මිල දී ගැනීමට නොහැකි, නිපුණතා සහ කුසලතාවන් ය. ඒවා, කලා, නාට්‍ය සහ වෙනත් හැකියාවන් කෙරෙහි මෙන්ම, දිරිමත් කළ යුතුය. ඇප උපකාර කළ යුතුය.” (ලසන්ත නමැති පාඨකයෙක්)

එම අදහස සමාජවාදීන් විසින් පිළිගනීද? මා මේ ප‍්‍රශ්නය මතුකරන්නේ, එය සමාජවාදීන් විසින් පමණක් නොව, සෑම ගුරුකුලයකම ආර්ථික විද්‍යාඥයන් විසින් ද පිළිතුරු සැපයිය යුතු ප‍්‍රශ්නයක් වන බැවිනි. ආර්ථික සශ‍්‍රීකත්වයට තල්ලූව සපයන වඩාත් වැදගත් කාරණය ‘මිනිස් තණ්හාව’ වශයෙන් අප පිළිගන්නේ නම්, එම ‘මිනිස් තණ්හාව’ තව තවත් තරකෙරෙන ආර්ථික යාන්ත‍්‍රණයක ඇති වලංගුභාවය ද අප පිළිගත යුතුය. ඒ යාන්ත‍්‍රණය කුමක්ද? එය, නිෂ්පාදන මාර්ග හිමි කරගැනීමට කෙනෙකුට ඇති අයිතිය මිසවෙන දෙයක් නොවේ: වෙනත් වචනවලින් කිවහොත්, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතියයි. ධනවාදය විසින් එය පිළිගෙන ඇත. කෙසේ වෙතත්, මා දන්නාතරමට, නිෂ්පාදන මාර්ග පෞද්ගලික අයිතියේ පැවතීම, කම්කරුවන්ගේ ශ‍්‍රම ශක්තිය සූරාකෑමට හේතු කාරක වන බව, කාල් මාක්ස් කීය. එය ද සැබෑවකි. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සර ඒ මතය දැරුවේය. එහෙත් ඔවුන්ගේ අලූත්ම ‘දැක්ම සහ ප‍්‍රතිපත්ති රාමුව’ තුළ, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය සම්බන්ධයෙන් තමන් දැරූ එම මතය බැහැර කොට ඇති අතර, පෞද්ගලික ව්‍යාපාරවල පැවැත්ම සහ ඒවා දිරිමත් කිරීමේ ඇති අවශ්‍යතාව දැන් පිළිගෙන ඇත. දැන් ජනතා විමුක්ති පෙරමුණ මෙසේ කියයි: 

”නිෂ්පාදනය පදනම් වන ආර්ථිකයක කොටසක් බවට පොදු සහ පෞද්ගලික අංශ පත් කෙරෙනු ඇත” 
(‘අපේ දැක්ම සහ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති රාමුව’- පිටුව 15) 

දැන්, සූරාකෑම පිළිබඳ සංකල්පයට කුමක් වීද? එය අනවශ්‍ය සංකල්පයක්ද? මම එසේ නොසිතමි. උදාහරණයක් වශයෙන්, හිටපු අමෙරිකානු ජනාධිපති ක්ලින්ටන්ගේ ආර්ථික උපදේශක කමිටුවේ සිටි, නොබෙල් ත්‍යාගලාභී ධනපති ආර්ථික විද්‍යාඥ, මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස් කියන පරිදි, 
”බදු අය කරගැනීම් හරහා ආදායම්වල නිසි බෙදාහැරීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය ය. සමස්ත අමෙරිකානු පරිභෝජනය තිරසාර පදනමක් මත ස්ථාපිත කිරීමට නම්, ආදායමේ මහා පරිමාණ යළි බෙදාහැරීමක් අවශ්‍යකරන අතර, එය සිදු විය යුත්තේ, ඉතිරි කිරීමේ හැකියාව ඇති ඉහළම ස්තරයෙන්, උපයන සෑම සතයක්ම වියදම් කරන පහළම ස්තරයට ය. ප‍්‍රගාමී බදු අය කිරීම (ඉහළම ස්තරයෙන් වැඩියෙන් බදු අය කිරීමත්, පහළම ස්තරයෙන් අඩුවෙන් බදු අය කිරීමත්* ම`ගින් එය සිද්ධ වෙනවා පමණක් නොව, එය ආර්ථිකයේ ස්ථායීතාවට ද තුඩු දෙන්නේය” (‘නිදහස් වැටීම’- ජෝසප් ස්ටිග්ලිස්, 2010)

ස්ටිග්ලිස්ගේ ඉහත සඳහනෙන් පෙනෙන්නේ, සූරාකෑමක් පවතින බවත් ඒ නිසා ආදායම්වල නැවත ව්‍යාප්තියක් අත්‍යාවශ්‍ය බවත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ ධනපති ආර්ථික විද්‍යාඥයන් පවා පිළිගන්නා බවයි. ආදායමේ ඕනෑම යළි බෙදාහැරීමක් හරහා ‘මිනිස් තණ්හාවට’ යම් සීමාවක් පැනවිය හැකි වන්නේය. 

සූරා කෑම යන්නෙන්, නිෂ්පාදන ප‍්‍රාග්ධනයේ ව්‍යාප්තියක් සහ එම නිෂ්පාදන ප‍්‍රාග්ධනය ධනපති ප‍්‍රභූ පන්තියක් සන්තකයේ පවතින බවක් අදහස් නොවන බව මගේ අදහසයි. සූරා කෑම යනුවෙන් අදහස් වන්නේ, අවසාන විග‍්‍රහයේදී කෙනෙකු තමන් සඳහා වැඩි වැඩියෙන් ‘පරිභෝජනීය නිමැවුම්’ වෙන්කරගන්නා බවයි. එසේ කිරීමට, නිෂ්පාදන මාර්ග හෝ ආණ්ඩුව හෝ ඒ දෙකම තමන් සතු කරගත යුතුය. 

කර්මාන්ත ශාලා සහ බැංකුවල අයිතිය පවතින්නේ පුද්ගල අයිතිය යටතේ වේවා, සමාගම් අයිතිය යටතේ වේවා, කම්කරු අයිතිය යටතේ වේවා, වෘත්තීය සමිති අයිතිය යටතේ වේවා, ආණ්ඩුව හෝ සමුපකාර අයිතිය යටතේ වේවා, නිෂ්පාදන මාර්ගවල අයිතියෙන් පරිභෝජනීය නිමැවුම් බෙදාහැරීම වෙන් කොට තබාගැනීම සමාජවාදයේ ඉලක්කයක් විය යුතුය. ඒ ඇයි? ආණ්ඩුවකට වුවත් සූරා කෑම කළ හැකි බැවිනි. මුදල් මත පදනම්ව යහතින් ක‍්‍රියාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ, නිෂ්පාදනයේ අයිතියට ඇති සහසම්බන්ධතාවකින් තොරව, පරිභෝජනීය නිමැවුම් සාධාරණ අන්දමින් බෙදාහැරීම කළ හැකිය. එය තාක්ෂණික අරුතකින් සහ ආර්ථිකමය අරුතකින් කළ හැකි බව, ධනපති ප‍්‍රභූ පෙළැන්තිය දනිති. එසේ කළ හැක්කේ විචල්‍යයන් තුනක් යථා ආකාරයෙන් හැසිරවීමෙනි: ඒවා නම්, වැටුප් ව්‍යුහය, බදු අයකිරීම සහ පරිභෝජන ණය මාර්ගයි. එහෙත්, ධනය යළි බෙදාහැරීම නිෂ්පාදන මාර්ගවල අයිතියෙන් සම්පූර්ණයෙන්ම හෝ ඕනෑවට වඩා ඉවත් කළොත්, එවිට ආර්ථික කාර්යක්ෂමතාව ස්ථාපිත කළ නොහැකි වන්නේය. මන්ද යත්, එවිට ‘මිනිස් තණ්හාව’ පිළිබඳ සාධකය විනාශ කෙරෙන බැවිනි. 

කෙසේ වෙතත්, මෑතක ඇතිවූ ජගත් ආර්ථික අර්බුදය විසින් පැහැදිලිව පෙන්නුම් කළ එක දෙයක් තිබේ. එනම්, ආර්ථික කාර්යක්ෂමතාව ස්ථාපිත කිරීම සහ නිෂ්පාදන මාර්ග පෞද්ගලික අයිතිය යටතේ පැවතීම අතරකිසි සම්බන්ධයක් නැති බවයි. බෑන්ක් ඔෆ් අමෙරිකා, සිටි බෑන්ක්, ජේ.පී.මෝර්ගන් චේස්, වොලස් ෆාර්ගෝ, ජෙනරල් මෝටර්ස්, ක‍්‍රයිස්ලර් ආදී අමෙරිකාවේ පෞද්ගලික අයිතිය යටතේ පවතින සියලූ ප‍්‍රධාන බැංකු සහ ව්‍යාපාරික සමාගම්, ආණ්ඩුව ම`ගින් මුක්කු ගසා ඔසවා නොතබන්නට, මේ වන විට බංකොලොත් වීමට නියමිතව තිබුණි. ඒ නිසා, ආර්ථික කාර්යක්ෂමතාවක් සහ ස්ථාවරත්වයක් එක දිගට පවත්වා ගැනීම, හුදෙක් නිෂ්පාදන මාර්ග හිමි කරගැනීමට කෙනෙකුට ඇති අයිතිය උඩ පමණක් රඳා නොපවතින බවත් ස්ථාවර ආර්ථික සශ‍්‍රීකත්වය නඩත්තු කිරීමට ‘මිනිස් තණ්හාවට’ පුළුවන්කමක් නැති බවත් පැහැදිලි ය. බාගෙ විට, ධනපති ක‍්‍රමය තුළ දී මෙන්ම සමාජවාදී ක‍්‍රමය තුළ ද ආර්ථික ස්ථාවරත්වය සහතික වන්නේ, ‘මිනිස් නිර්මාණශීලීත්වය’ සහ ‘පද්ධතිමය ප‍්‍රතිසංස්කරණ’ ම`ගින් විය හැකිය. 

පද්ධතිමය ප‍්‍රතිසංස්කරණ ගැන මා මෙසේ කතා කරන්නේ ඇයි? වර්තමාන ධනපති ක‍්‍රමය තුළ යම් පද්ධතිමය දෝෂයක් තිබේද? ඔව්, එවැන්නක් තිබේ. ෆෙඩරල් සංචිතයේ හිටපු සභාපති ග‍්‍රීන්ස්පෑන්,ක‍්‍රමය තුළ පවතින දෝෂයක් තමාටහමු වූ බව ප‍්‍රසිද්ධියේ කීවේය. තවද ධනපති ක‍්‍රමයේ ස්වභාවයවන්නේ, අපල-ණය (ආපසු අයකරගත නොහැකි ණය) කන්දරාවක්, සමපේක්ෂකයන්ගේ (ව්‍යාපාර අනාගතය ඔට්ටුවට තබන්නන්ගේ) ව්‍යාපාර තුළගොඩ ගැසීම නිසා, විටින් විට ආර්ථිකයේ කඩාවැටීම් සිදුවන බව, හයිමන් මින්ස්කි කීවේය. ඒ සම`ගම ඔහු තවත් වැදගත් නිරීක්ෂණයක් කළේය. එනම්, එසේ අපල-ණය ගොඩගැසීම වැළැක්විය නොහැකි බවයි. සාමාන්‍යයෙන් ධනපති ආර්ථික ක‍්‍රමයක් තුළ, සරු කාල-පරිහානි කාල චක‍්‍රයන් ඇති වීම වැළැක්විය නොහැකි බව බොහෝ ආර්ථික විද්‍යාඥයෝ පිළිගනිති. මේ ප‍්‍රපංචය ඔවුන් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ, ව්‍යාපාරික චක‍්‍ර නියාමයක් වශයෙනි. මේ සියලූ මත ප‍්‍රතික්ෂේප කරන මම මෙසේ ප‍්‍රශ්න කරමි: 

භෞතික නිෂ්පාදන බලවේගවල සංවර්ධනය චක‍්‍රීය නැත. එහෙත්, අපට ඇති සාර්ව-ආර්ථික පද්ධතිය (පුළුල් ආර්ථික පද්ධතිය) තුළ, සරු සහ පරිහානි කාල චක‍්‍රයන් බිහිකරනු ලැබේ. භෞතික නිෂ්පාදන බලවේගයේ සංවර්ධනය හැසිරෙන්නේ, සරු කාල-පරිහානිකාල චක‍්‍රයක් තුළ නම්, සාර්ව-ආර්ථික නිමැවුමේ සහ සමස්ත ආර්ථික ක‍්‍රමයේ සරු කාල-පරිහානිකාල චක‍්‍රය ඉවසා වැදෑරීමට අපට සිදුවෙයි. එහෙත් භෞතික නිෂ්පාදන බලවේගයේ ප‍්‍රවර්ධනය හෝ භෞතික නිෂ්පාදන බලවේගයේ වෘද්ධික ශක්‍යතාව ඉදිරිගාමීව පෙරට ඇදෙන සාධකයක් නම්, සාර්ව-ආර්ථිකක‍්‍රමයේ චක‍්‍රීය හැසිරීම ඉවසා සිටීම අත්‍යාවශ්‍ය නැත. 

මෙසේ කීමෙන්, ක්ෂුද්‍ර-ආර්ථික ව්‍යුහයේ (තනි ව්‍යාපාර ආයතනවල) ව්‍යාපාරික චක‍්‍රයන් (උස් පහත්වීම්) ඉවසා සිටිය යුතු නැති බවක් අදහස් නොවේ. අප භාරගත යුත්තේ එහි අනිත් පැත්තයි: එනම්, පාරිභෝගිකයන්ගේ අභිමතයන් මත පදනම් වන ව්‍යාපාරික කාර්යක්ෂමතාවක් සහතික කරනුවස්, එවැනි චක‍්‍රීය හැසිරීමක් අත්‍යවශ්‍ය වන බවයි. එහෙත්, සාර්ව-ආර්ථික ක‍්‍රමයේ අසාර්ථකතා ඇති වන්නේ, පාරිභෝගිකයන්ගේ වරණයන් (අභිමතයන්) නිසානොව, විටින් විට ඇති වන අපල-ණය අර්බුද හේතුවෙන් පාරිභෝගිකයන් තුළ ඇති වන සාමාන්‍ය අද්‍රවශීලතාව (වියදම් කිරීමට අතමිට හිඟ වීම* නිසා බව අප මතක තබාගත යුතුය. 

පාරිභෝගිකයන්ගේ අද්‍රවශීලතාව, මූල්‍යමය සංසිද්ධියක් මිස භෞතික සංසිද්ධියක් නොවේ. ‘සැබෑ’ නොවන මුදල, අපට පාලනය කළ හැකි, වියුක්ත ප‍්‍රමාණයකි. 2007 අවසාන භාගයේ අමෙරිකාවේ සහ යුරෝපා සාර්ව ආර්ථික ක‍්‍රමයන්හි බිඳ වැටීම වැළැක්විය හැකිව තිබුණු බවටත් මූල්‍යමය සමීකරණය වෙනස් කරගත්තේ නම්, අර්බුදය ඉක්මනින් අවසන් කරගත හැකිව තිබුණු බවටත් මා උදක්ම තර්ක කරන්නේ එබැවිනි. එසේ කිරීමට, එදා අවශ්‍ය කළේත් අද අවශ්‍ය කරන්නේත් නව සාර්ව-ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ නව ඥානයකි. ක‍්‍රමය තුළ පවතින දෝෂය, සිල්ලර පොන්සි පරිපාටීන්ට වඩා බරපතළ ය. 

සරු කාල-පරිහානි කාල චක‍්‍ර එක දිගටම පවතින්නේ නම්, නිදහස පිළිබඳ හැඟීමකින් ජීවත්වන ජනතාවක් සහිත නවීන සමාජවාදී සමාජයක්වත් ධනපති සමාජයක්වත් ගොඩනැ`ගිය නොහේ. ‘මනුෂ්‍යයා යනු මෙවලම් තනන්නෙක්’ බව කී ඇපල් සමාගමේ හිටපු ප‍්‍රධානියා, වෙනත් සත්වයන්ට වඩා අප කාර්යක්ෂම වන්නේ ඒ හේතුවෙනැ යි කීය. මා සිතන විදිහට, මිනිසා විශේෂිත වන්නේ, ඒ සම්බන්ධයෙන් පමණක් නොව, කාර්යක්ෂමතාව සහතික කෙරෙන ක‍්‍රම පද්ධති ගොඩනැ`ගීමටත් එම කාර්යක්ෂමතාවෙන් නිපදවන නිමැවුම වඩාත් සාධාරණ ආකාරයෙන් යළි බෙදා හැරීමටත් ඔහුට හැකියාව ඇත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ලියවිල්ල තුළ සඳහන් පරිදි, මිනිසුන් වශයෙන් අප නිදහස් යැයි අපට හැෙඟනු ඇත්තේ එවිට පමණි.

හේම සේනානායක

2014 අපේ‍්‍රල් 30 වැනිදා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළ වූ JVP's Vision & Policy Framework: A Lapse in the 'Vision"! නමැති ලිපියේ සිංහල පරිවර්තනය.
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

0 comments:

Post a Comment