Tuesday, December 2, 2014

අපි එන්නේ වමේ මතයක් ගොඩනගන්න - දුමින්ද නාගමුව

එළැඹී ඇති ජනාධිපතිවරණය හමුවේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඊට මුහුණ දෙන ආකාරය පැහැදිලි කරමින් තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ විසින් පසුගිය දා සිය එළැඹුම ප‍්‍රකාශයට පත් කරන ලදී. ‘වාමාංශික පොදු අපේක්ෂකයා’ වශයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සමඟ ‘ජනරළ‘ ඉරිදා සංග්‍රහය කළ සංවාදයයි මේ.

වමේ පොදු අපේක්ෂකයෙක් හැටියට මේ ජනාධිපතිවරණයට ආවේ ඇයි?

අපි හිතනවා සමාජය මුහුණ දීලා තිබෙන සමාජ ආර්ථික ප‍්‍රශ්නවලට විකල්පය තියෙන්නේ වමෙන් කියලා. සමාජවාදී සමාජ ක‍්‍රමයක් ඇතුළේ කියලා. ඒ සඳහා කරන අරගලයක් තියෙනවා. ඒ සඳහා වෙච්ච දේශපාලන කි‍්‍රයාකාරීත්වයක් අවශ්‍යයි කියන ස්ථාවරයේ ඉදිමින් තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කරන්න මැදිහත් වුණේ. මෙහිදිත් ඒක මූලික වුණා. අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ පහුගිය කාලයේ අපි යම් යම් කි‍්‍රයාකාරකම්වල එකට හිටියා. ඒ හැම අවස්ථාවකම එකට වැඩකරපු දේශපාලන පක්ෂ සියල්ලටම අදහසක් තිබුණා වමේ මතයක් ශක්තිමත් කරන්න ඕන කියලා.

මේ රටේ දුක් විඳින මිනිසුන් වැඩ කරන පීඩිත ජනතාවගේ බලයක් ස්ථාපිත කරන දේශපාලන වගකීමක් අපට තියෙනවා. ඒ නිසා තමයි අපි හිතුවේ ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා.

ඔබ මහින්දගේ පාලනය දකින්නේ කොහොමද?

2005න් පස්සේ ඇතිවුණු පාලනයේ සහ එතෙක් තිබිච්ච පාලනයන්ට වෙනස්කමකුත් තියෙනවා. ඒ වගේම පොදුකමකුත් තියෙනවා.

පොදු ස්වභාවය ගත්තොත් 1977ට පස්සේ ලංකාවෙ ක‍්‍රියාත්මක වුණ නවලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්ති. ජේ. ආර්. ජයවර්ධන මේක කි‍්‍රයාත්මක කරන්න පටන් ගත්තා. ඉතා වේගයකින් ඒකට අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කර ඒකට අවශ්‍ය කරන පාලන ව්‍යූහයක් හැදුවා. ඒ ප‍්‍රතිසංස්කරණ ගෙනල්ලා ජේ. ආර්. ජයවර්ධන ගෙනාපු ආර්ථික ප‍්‍රතිපත්තිය කියා විශාල ගැටලූ ඇතිවුණා. ඒ තුළ ආර්ථික ආර්බුදය, ඒ දේශපාලන අර්බුදයක් ප‍්‍රකාශ වුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විරුද්ධව විශාල ජන රැල්ලක් ඇතිවුණා. ඒත් 1994පත් වුණු පොදු පෙරමුණු අවසානයේ පාර්ලිමේන්තුව තුළ දී මන්ති‍්‍ර ධුර එකකින් දෙකකින් තමයි ඔවුන් බලය පවත්වගෙන ගියේ. ඊට පස්සේ ආපු ආණ්ඩුවලට මේ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීමේ උවමනාව තිබුණත් ඒ බලාපොරොත්තු වෙච්ච වේගයෙන්ම කි‍්‍රයාත්මක කරන්න බැරිවුණා. හැබැයි 2009යුද්දේ අවසන් වීමෙන් පස්සේ මතුවෙච්ච දේශපාලන තත්වයක් තියෙනවා. එය අවසන් වීමෙන් පස්සේ රට ඇතුලේ යම් දේශපාලන පෙළ ගැස්මක් ගොඩනඟා ගන්න ආණ්ඩුව සමත් වුණා. මේකට එක පැත්තකින් යුද්දෙ පාවිච්ච් කළා. ඒක ඇතුලේ පාර්ලිමේන්තුව තුළ 3/2බලයක් ගොඩනඟා ගත්තා. එතනින් පස්සේ ජයවර්ධන ගෙනිච්ච වැඩපිළිවෙළම දෙවැනි පරිච්ෙඡ්දය අත ගහන්න හැකිවුණා. ඒ නිසා රාජපක්ෂ පාලනය අපි දකින්නේ ඒ දෙවැනි කාල පරිච්ෙඡ්දය තුළ නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ගණනාවක් කි‍්‍රයාත්මක කරමින් ඉන්න ආණ්ඩුවක් විදිහට. විසි අවුරුදු සැලැස්මක් ගෙනල්ලා විවිධ ක්ෂේත‍්‍රවලට අදාළව කි‍්‍රයාත්මක කරමින් ඉන්නවා.

නැවතට වටයකින් ලෝකයේ අධිරාජ්‍යවාදී වුවමනාවන්ට බහු ජාතික සමාගම්වල අවශතාවලට රට සූදානම් කරමින් පසුවෙන යුගයක් මේ තියෙන්නේ. නිසා මේ වනකොට රට විශාල ණය කන්දකට යට කොට හමාරයි. ඒ නිසා නැවතත් දැවැන්ත දේශපාලන ආර්ථික අර්බුදයකට රට ගමන් කරමින් තියෙනවා. ඒක නිසා ඇතිවන ජනතා නැඟිටීම් වැළැක්වීම සඳහා විශාල මර්දනයක් කි‍්‍රයාත්මක වෙමින් තියෙනවා.

මේ මොහොතේ දේශපාලනයේ අවධානය තියෙන්නේ ව්‍යවස්ථාදායකය යටපත් කර විධායකය බලවත් වීම ගැනයි. එහෙම තියෙද් දී වමේ අපේක්ෂකයාගේ භූමිකාවකට ඉඩක් ලැබෙයිද?

අපි කලින් පැහැදිලි කරගත්තා වගේ ජනතාව දෘෂ්ටිවා දී, මතවා දී වසඟයට අවනත කර පාලනය කිරීමට මැදිහත් වෙනවා. එක පැත්තකින් මර්දනය සමාජයට මුදා හැරලා තියෙනවා. ඒ මර්දනයට මුහුණ දෙන කොටස් තුළ විරෝධය හා උද්වේගය මතුවෙමින් තියෙනවා. ප‍්‍රජාතන්තවාදය සඳහා විශාල දේශපාලන අවශ්‍යතාවක්, උද්යෝගයක් මතුවෙලා තියෙනවා.

විශේෂයෙන්ම පහුගිය කාලේ තමිල් කතාකරන ජනතාව තුළ ඒ දේශපාලන අභිලාෂය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල තුළ අධ්‍යාපනයේ නිදහස පිළිබඳ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දේශපාලන අභිලාෂයන් වර්ධනය වෙලා තියෙනවා. සටන් කරන වෘත්තීය සමිති හා පොදුවේ කම්කරු ව්‍යාපාරය තුළ උද්යෝගයක් මතුවෙලා තියෙනවා.

දැන් ඒ පීඩිත ජන කොටස් අතර තිබෙන වැඩෙන දේශපාලන මතය එක් කණ්ඩායමක දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් යොදා ගන්න හදනවා. තවත් ධනේශ්වර ව්‍යාපෘතියක් සඳහා ඒ සටන්කාමීත්වය යොදාගන්න යන අය, හැම වෙලාවකදීම පීඩිතයන් අතර ඇති උද්යෝගය මේ හා සාකච්ඡුාව සීමා කරනවා. ඒ අයට ඕන මේ සංවාදය බලය හුවමාරු කිරීමේ සීමාවක නතර කරගන්න. මෙතන තියෙන ප‍්‍රශ්නය, විධායක ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තුලනයක් ඇති කරන එක විතරද?

ව්‍යාවස්ථාදායකය කාගේ උවමනාවන්ද ඉටුකරන්නේ කියන එක. ඒ ව්‍යස්ථාදායකය ඉටු කරන්ණේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ උවමනාවන්ද? මේ රටේ පීඩිතයන්ගේ උවමනාවන්ද? මේ දෙක අතර සංවරණය හා තුලනය ගොඩ නැඟුනාම සේරම හරිද?

වැලිවේරියේ ජනතාව පිරිසිදු වතුර ඉල්ලලා සටන් කරද්දි, නිරායුද මිනිස්සුන්ට වෙඩි තබනවා. ඒ තීරණය ගන්නේ ජනාධිපති, ආරක්ෂක ඇමැති වශයෙන් ඔහු තමයි සියලූ තීරණවලට මැදිහත් වෙන්නේ. වේදිකාවට ගෙන්නෙ නැති කොටසක් මේ ප‍්‍රශ්නෙ තියෙනවා. ඒක තමයි ඇත්තටම මේ රටේ පීඩිත ජනතාව සාතිශය බහුතරයක් මුහුණ දී තිබෙන මහා බරපතළ ප‍්‍රශ්නය. ඒ ප‍්‍රශ්නේ ගන්නේ නැතුව ව්‍යුහවලට බලය නතුකර ගැනීමේ, බලය තුලනය කරගැනීමේ, සාකච්ඡාවකට සීමා වෙනවා. සාකච්ඡාවේ දේශපාලන පටු බවක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡාවෙ බාගයක්වත් එතන නෑ. ඒක අරික්කාල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් විදිහට තමයි අපි සලකන්නේ. නමුත් ඒ සීමාව අභිබවා යා යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් අපට තියෙනවා.

මොන ප‍්‍රජතන්ත‍්‍රවාදී අරගලයක් ගැනද ඔබ මේ කියන්නේ?

පැහැදිලිවම අපි මේ කතා කරන්නේ නිර්ධන පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, එහෙම නැත්නම් සම්පුර්ණ ප‍්‍රජාතන්තවාදය පිළිබඳ ප‍්‍රශ්නය ගැනයි අපි කියන්නෙ. ඒ සාකච්ඡාව ගන්නෙ නැතුව බොහෝ දෙනෙක් කැමතියි අර කලින් කියපු විදියට ප‍්‍රජතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නෙන් අරික්කාලක් විතරක් ගන්න.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ මැතිවරණවලටයි ජනතාව ඡන්දය ලකුණු කරන එකටයි නෙවෙයි. එක කණ්ඩායමකට බලය මාරු කරන එක ගැන නෙවෙයි අපට ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ජනතාවගේ අභිලාෂයන් සහ ඒවා සකී‍්‍රය කිරීමේ ක‍්‍රියාදාමයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ඒ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තමයි අපේ අරගලය තියෙන්නෙ.

මේ වනවිට මහින්ද රාජපක්ෂ පාලනය ෆැසිස්ට් තත්වයක් කරා වර්ධනය වෙමින් තිබෙවා. එවැනි පරිසරයක සියලූ දෙනා එක්ව එම තත්වය පරාජය කිරීමට කටයුතු කළ යුතුයි නේද?

මහින්ද රාජපක්ෂගේ තුන් වැනි ධුර කාලයක් කියල කියන්නේ පැහැදිලිවම බරපතළ මර්දනයක් කැඳවන කාල පරිච්ෙඡ්දයක් වෙන්න පුළුවන්. ඒ සඳහා බලපාන සමාජ තත්වයක් ඇතුලේ තමයි අපි ඉන්නේ. මේ ආර්ථික අර්බුදය විසින් ජනතාවගේ අරගල පැන නඟිනවා. ඒ සටන් පැන නඟද්දි ඒවා මර්දනය කිරීම සඳහා අවශ්‍ය කරන පුර්ව සූදානම් කිරීම් කරනවා. දැවැන්ත මුදලක් වෙන්කරලා විශාල මර්දන යාන්ත‍්‍රණයක් හදමින් සහ නඩත්තු කරමින් තියෙනවා. ආරක්ෂක වැය ශිර්ෂය සඳහා අය වැයෙන් බිලියන ගාණක් වෙන් කරනවා. ඒ මර්දන යන්ත‍්‍රය හදන්නේ ඉදිරියේ දී මතුවෙන්න නියමිත දේශපාලන අරගල මර්දනය කිරීම සඳහා. අනිත් පැත්තෙන් එවැනි මර්දනයක්, ඒකාධිපති වියරුවක් එන්නෙ ඇයි? නිකන් ආශාවට කවුරුවත් මර්දනයට ප‍්‍රවේශ වෙනවා නෙමේයි. ඒ අර්බුදය මතුවෙන්නේ වර්ධනය වන තත්වයන් තුළ.

සමාජයේ එක් එක් බලවේගයන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න පාලනයකට බැරිවුණාට පස්සේ ඒ අවශ්‍යතා වෙනුවෙන් සටන් පැන නඟිනවා. මේ සටන් මර්දනය කරමින් තමයි ඒකාධිපතිවාදයක් ගොඩ නැෙඟන්නේ. මහින්ද රාජපක්ෂ වෙනුවට වෙන කෙනෙක් ගොඩනැඟීමෙන් ඒ ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ. එහෙම වෙනවා කියනවා නම් ඒ කියන අය වසන් කරන යමක් තියෙනවා. වසන් කරන සමාජ ආර්ථික ගැටලූ විසඳන්න නම් සමාජ ආර්ථික පරිවර්තනයක් ඕන වෙනවා. ඒක අමතක කරලා වෙනත් කණ්ඩායමකට බලය මාරු කළාම මර්දනය හෝ අත්තනෝමතික වියරුවක් ඇතිවෙන හේතුව අහෝසි වෙන්නෙ නෑ.

දැනටමත් මැතිවරණ ප‍්‍රචාර ආරම්භ කර ඇති මහින්දගෙයි මෛති‍්‍රපාලගෙයි තරගයක දී වම දිනවන්න කියලා කියන්නෙ කොහොමද?

ජනාධිපතිවරණයක දී ප‍්‍රධාන අවධානය එන්නේ ප‍්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙකුටනේ. එවැනි අභියෝගයකට මුහුණ දීමේ අමාරුකමක් තියෙනවා. නමුත් අපි හිතනවා. මේකට විකල්ප දේශපාලන අවකාශයක්, දේශපාලන විකල්පයක් තියෙයි කියලා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අන්න ඒ දේශපාලන මතය සමාජගත කරන්න. ඒ දේශපාලන අදහස සමාජයට ගෙන්න. ඒ දේශපාලන අවකාශය පාවිච්චි කරන්න. මේ සමාජය ගමන් කරමින් සිටින තැන සම්බන්ධයෙන් අදහසක්, මේ දේශපාලන අවස්ථාව පාවිච්චි කරලා දෙන්න.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී වැදගත් වෙන්නෙ අපිට ලැබෙන පංගුව, අපිට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය මත නෙවෙයි. ජයග‍්‍රහණය තීරණය වෙන්නේ. වමේ මතයක් නැතුව මේ දේශපාලන මොහොත තල්ලූවී යාම වැළැක්විය යුතුයි. මේ අවස්ථාව වමේ මතයක් ඉදිරිපත් කරමින් විකල්පය තියෙන්නේ වමේ කියන අදහස සමාජයට ඉදිරිපත් කිරීමෙන් තමයි දේශපාලන ජයග‍්‍රහණයක් ලැබෙන්නෙ.

නවලිබරල් ධනවාදී ප‍්‍රවේශය තුළින් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉටු කරගැනීමට හැකියැයි මතයකුත් ප‍්‍රකාශ වී තිබෙනවා නේද ?

මට හිතෙන්නේ ඔබ අහන්නේ නිම නොවූ ධනේශ්වර කර්තව්‍යයන් පිළිබඳව. ධනවාදයේ උත්පාත අවදියේ ධනපති ක‍්‍රමයට ඕන වුණා එතෙක් තිබුණු සමාජයේ සියලූම බෙදීම් අහෝසි කර එකවර නිශ්පාදනය සඳහා මහා බලවේගයක් කැඳවන්න.

ගැහැණු පිරිමි කියලා තිබුණ වෙනස්කම් සහ කාන්තා පීඩනය අහෝසි කරන්න. නැත්නම් කුල ප‍්‍රශ්නය අහෝසි කරන්න. රදල වැඩවසම් ක‍්‍රමයේ රදලයන්ට තිබුණු මහා බලයක් අහෝසි කරන්න. ඔන්න ඔය කියන සමාජ ආර්ථික හේතු නිසයි. ධනේශ්වර විප්ලවවලදී ඒ ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතා පැන නැඟුනේ. හැබැයි ඒ අරමුණු වෙනුවෙන් දේශපාලන වශයෙන් ප‍්‍රබල මතයකුත් ගොඩ නැගුවා. ඒ වෙනුවෙන් ලිබරල්වාදීන් හිටියා. සාධාරණන්වය, යුක්තිය, සමානාත්මතාවය මේව තමයි සටන් පාඨ වුණේ. දියුණු ධනේශ්වර රටවල්වල විශාල ප‍්‍රමාණයකට මේ පරිවර්තනය සිද්ධ වුණා. හැබැයි අපි වගේ පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත රටක ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඉතිරි කරපු ප‍්‍රශ්න ගොඩක් තියෙනවා.

ඒ ප‍්‍රශ්න නැවත විසඳීම සඳහා අවශ්‍ය කරන ආර්ථිකමය දැක්මක් ආර්ථිකමය සුදානමක්වත් ඒකට අවශ්‍ය කරන දේශපාලන මතවාදී සුදානමක්වත් නැහැ. ඒ නිසා දැන් මේ ඉන්න ධනපතියන්ට ධනපති කොටස්වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් එහෙම නිම නොවූ කර්යයක් ඉෂ්ට කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ඉල්ලීම් ප‍්‍රතිසංස්කරණ සඳහා වන අවශ්‍යතාව හෝ ඒවා ඉල්ලා සිටින එක, ඒ වෙනුවෙන් සටන් වදින එක අපි බැහැර කරන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් සටන් වදිනවා. මොකද ඒ සටන හරහා තමයි යම් දවසක සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම දක්වා අරගලයකට පීඩිත පන්තිය ගේන්න පුළුවන්. පීඩිත පන්තිය විසින් තම අතීත අභිලාෂයන් හඳුන ගන්නේ මේ සටන ඇතුලේ. ඒ නිසා ඒ සටන අත්‍යවශ්‍යයි.

විධායකය විසින් අත්තනෝමතිකභාවයක් ගොඩනඟනවිට ව්‍යවස්ථාදායකය යොදවා එය තුලනය කිරීම කළ හැකි බවට වන මතය ගැන ඔබේ අදහස?

ලෝකයේ වෙච්ච ධනේශ්වර විප්ලවවලින් මේ අදහසට ආවෙ. විශේෂයෙන්ම ප‍්‍රංශ විප්ලවය. අමෙරිකාවේ වෙච්ච නිදහස් අරගල වලින් විශාල බලපෑමක් කළා. ඒවගෙන් ගෙනාපු මතය අනුව ජනතාවට තමයි පරමාධිපත්‍ය තියෙන්නේ. ජනතාව කාලෙන් කාලෙට ජනතා පරමාධිපත්‍ය පවරනවා කියන එක තමයි ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකල්පවලින් ගෙනාපු අදහස. පාර්ලිමේන්තු හැදෙන්නේ ඒකට අනුව.

එතනින් ආපු ඉදිරි පියවර විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය මේවගේ ආයතනවලට තමයි ජනතා පරමාධිපත්‍ය පවරන්නේ. ව්‍යවස්ථාදායක බලයක් නියෝජිතකයන්ට පවරලා දෙනවා. ප‍්‍රශ්නෙ තියෙන්නේ මේ දෙන බලය නැවත ගන්න නැවත අගයන්න හැකියාවක් නෑ. ජනතා පරමාධිපත්‍ය නැමති බලය ජනතාවට හිමිවෙන විදිහට නෙමෙයි මේ ආකෘතිය හැදිලා තියෙන්නේ. අවුරුදු 5කට පාරක් ලොකු මතවාදී බලපෑමක් කරලා. මිනිස්සුන්ගෙ ඔලූ කරකවලා ලොකු බලයක් හදනවා. ඊට පස්සේ ඡන්ද ගන්නවා. ආණ්ඩු හදනවා. නැවත නැවත ඒ ආණ්ඩුවලට රිසි සේ පාලනය ගෙන යනවා. ඒ පාලනයට අදාළ මූලික නීති සහිත ව්‍යවස්ථාව ගෙනැල්ලා තියෙන්නේ මිනිසුන්ගේ අනුමැතියකින් නෙමෙයි. 78ව්‍යවස්ථාව ගත්ත් 72එකක්වත් ජනතාවට ඉදිරිපත් කරලා. ජනමතය විචාරණයකින් ජනමතය විමසීමකින් නෙමෙයි.

පරමාධිපත්‍ය බලය පාලනය වෙන විදිහකට මේ සමාජයට ක‍්‍රමවේදයක් ගේන්න ඕන. එහෙම පාලනයක් සඳහා වූ ඉල්ලීම් පදනම් කරගත්ත අරගලය දැන් පටන් ගන්න ඕන. එතකොට එහෙම පාලනයක් හදන්න පුළුවන්වන්නේ ජනතාවට හිමි දේශපාලන බලයක් තුළ.

විධායක ජනාධිපති ක‍්‍රමය පාර්ලිමේනතුවට වගකියන අගමැති ධුරයක් දක්වා සංශෝධනය කළ හැකි බව විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් කියනු ලබනවා. ඒ ගැන එකඟද?

විපක්ෂයේ පොදු අපේක්ෂකයා තාම ආව විතරයිනේ. ගායකයා තාම වේදිකාවට නැග්ග විතරයි. සින්දුව කියලා නැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න ඕන. ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළාම අපිට කියන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා.

හැබැයි දැනට ආපු ඉගි බිගි තියෙනවා. ඒ කවුරුවත් එක අදහසක ඉඳලා නෙමෙයි කතා කරන්නේ. උදාහරණයක් විදියට හෙළ උරුමය මේකේ පොඩි පොඩි කෑලි ටිකක් කියනවා. විධායක බලය අයින් කළාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔපමට්ටම් කරන් යන්න පුළුවන් කියලා හිතනවා. තවත් සමහරු කියනවා විධායක ක‍්‍රමයම අහෝසි කරන්න ඕන කියලා. ඉතින් මේ සියලූ දෙනාම එකතු වුණත් මොකක්ද කියන්නේ කියලා හරියට තේරෙන්නේ නැහැ.

වමේ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් එකතු වී සිටින පක්ෂ හා සංවිධාන මොනවද?

අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා, නව සමසමාජ පක්ෂය විදිහට සහාය ලබා දෙනවා. සමාජවාදි පක්ෂය, ප‍්‍රැක්සිස් සාමූහිකය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, ඒ වගේම අපි තව සංවිධාන ගණනාවක් එක්ක සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා.

විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ප‍්‍රකාශයට පත්කළාට පසුව ඇතිව තිබෙන නව තත්වයක් ගැනත් සලකමින් වාමාංශික පක්ෂවල තීරණය ගැන ඉදිරියේදි නැවත සලකා බලනවද?

පැහැදිලිව අපි ගත්ත තීරණ මේ නව වෙනස්කම්වලට අදාළව වෙනස් කළ යුතු නෑ. අපි කරගෙන ආව සංවාදය දැන් තාර්කික වෙලා තියෙනවා. ආණ්ඩු බලය හිමි පක්ෂයේ හිටපු ලේකම්වරයා දැන් ඔවුන්ගේ පක්ෂයෙන් ඉවත් වෙලා විපක්ෂ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වීමෙන් ආණ්ඩුවට අර්බුදයක් තියෙනවා. ඕක හැමදාම වෙච්ච වැඩක්, ඕක ඒතරම් දෙයක් නොවෙයි කියල ආණ්ඩුවේ කට්ටිය කිව්වට ප‍්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවෙන් ඇවිත් ඔවුන් පවත්තපු පළමු වැනි මාධ්‍ය සාකච්ඡාවත් වාරණය කරන්න, එක ජනතාවට පේන්නෙ නැතිවෙන්න කටයුතු කරන්නයි ආණ්ඩුව උත්සාහ කළේ. දෙවනුව ගත්තොත් එහෙම මේ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වන කණ්ඩායම ප‍්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කරන්නෙ මොනවද? ඔවුන්ගේ දේශපාලන භාවිතාව ඇතුලේ වගේම පහුගිය කාලෙත් ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වපු අදහස් තිබෙනවා. ඔවුන් එකිනෙකා කෙරෙහි කියපු දේවල් අනුව, මෙවැනි පෙරමුණක් ඇතුලේ ඒවා කොහොමද සමහන් කර ගන්නේ වෙනස් ප‍්‍රතිපත්ති සහිත අයත් ඉන්නවා. ඒ නිසා ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ ලොකු අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. අන්තිමට ජවිපෙට කියන්න වෙලා තියෙන්නේ බාගේ තීරණයක්. දැන් හෙට මොනවා කියයිද දන්නෙ නැහැ. මහින්දව පරද්දන්න ඕන කියලා ඉතිරි කෑල්ල කියන්නේ නැහැ.

අපි වමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා තීරණයක් ගත්තා. ඒ තීරණයට අනුව කටයුතු කළා. දැන් අපිට තියෙනවා අවස්ථාවක් ඒ සඳහා සමාජයට මතයක් ගෙනියන්න. ඒ සඳහා සමාජ මතය අපි ආයෝජනය කරන්නේ දිගුකාලීන වාම ව්‍යාපෘතියක් වෙනුවෙන්. වමට බලයක් හදනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. විශේෂයෙන් 1990සෝවියට් කඳවුර බිඳ වැටුනට පස්සේ එක් පැත්තකින් මේ මතය අතහැරුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කළ මැදිහත් වීම ඇතුලෙත් වමේ මතය දුර්වල වීමේ දිසාවට තමයි ගමන් කරමින් තිබුණේ. ඒ නිසා දැන් ජනතාව තුළත් විකල්පයක් තියෙනවාද කියන සැකයක් ඇතිකරලා තියෙන්නෙ.

ජනතාව එක කණ්ඩායමකට කාන්දමක් වගේ ඇලෙනවා. ඒක එපා වෙලා ඈත්වෙලා වෙනත් කාන්දම් කණ්ඩායමක ඇලෙනවා. මේ කාන්දම් දෙකේ ඇලෙනවා ඇරෙන්න වෙන මොනවා හරි විකල්පයක් තියෙනවාද කියන ප‍්‍රශ්නයත් ජනතාවට තියෙනවා. පහුගිය දශක දෙක ඇතුලේ සමාජය තුළ වම අවලංගු කරපු නිසා, ඒ භූමිකාව නැති කරපු නිසා, එහෙම භූමිකාවල් ගොඩන ගන එක පහසු නැහැ. අපි හිතනවා දිගුකාලීනව කරන්න ඕන දේ ඒක. අද මේ අදහස තේරෙන්නේ නැති අය හෙට මේක තේරුම් ගනියි. මේ බොහොම පැහැදිලිව අපි ගත්තා තීරණයක්. ඒ ගත්ත තීරණය මත හිඳිමින් සමාජයට වමේ මතයක් ගෙන යමින් විකල්ප සමාජ කතාබහක් ඇති කරන්න අපි කටයුතු කරනවා. 

සංවාදය - සපුමල් කොඩිතුවක්කු 
ජනරළ ඉරිදා සංග්‍රහය 2014.11.30

0 comments:

Post a Comment