Monday, December 1, 2014

අහෝ..! අවසාන ජවනිකාව නැරඹීමට පෙර ඒ සට්ටැඹියන් දෙදෙනාම යන්න ගියෝය..!

මෘග චෞර ඒකාධිපති පාලකයන් වෙනුවෙන් කෙතරම් සට්ටැඹි කම් කළද මරණය වැළකිය නොහැක යන ලෝක ධර්මතාවය සනාථ කරමින් දිගු කලක් තිස්සේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පට්ටපල් බොරු සහිත වන්දිභට්ට ස්තෝත්‍ර ගයමින් ජනතාව මුලා කළ තවත් සට්ටැඹි ජඩමාධ්‍ය කාරයෙක් මීට සුළු මොහොතකට පෙර මිය පරලොව ගොස් තිබේ. 

ඔහු නම් අයිටීඑන් ජඩමාධ්‍ය නාලිකාවට දිනපතා විමසුම නමින් දේශපාලන පිටපතක් ලියූ මහින්ද අබේසුන්දර ය. මිය යෑමට පෙර අංශභාග රෝගයට ගොදුරුව සිටි ඔහු එලෙස සිටියදී ද වන්දිභට්ට රචනය ලියා අයිටීඑන් නාලිකාවට යැවීමට අමතක නොකෙළේ ය. මිය යන විට ඔහු 75 වන වියේ පසුවිය.
රාජපක්ෂ රෙජීමයට ‘කඩේ යෑම‘ ගැන සඳහන් කරමින් ඔහු වරක් ප්‍රසිද්ධියේ කියා තිබුනේ තමා කෙදිනකවත් පක්ෂ මාරු නොකළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බවත් තමන්ට ලැබී ඇති සියළු වරප්‍රසාද ලැබී ඇත්තේ වත්මන් රෙජීමයෙන් බවත් එනිසා ඒ වෙනුවෙන් ලියන බවයි. 

මෙවැනිම තවත් රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹි ජඩමාධ්‍ය කාරයෙක් වූ සිළුමිණ පත්‍රයේ මෑතක් වන තුරුම හිටපු කර්ත‍ෘ කරුණාදාස සූරියආරච්චි ද පසුගිය සතියේ මිය ගියේය. ඔහු කෙතරම් රෙජීමයේ වන්දිභට්ටකමින් හිස උදුම්මාගත් අයෙක් වීද යත් සිළුමිණ පුවත්පතේ කර්තෘ ධූරයට පැමිණි පසු එහි මුල් යුගයේ සිටම සිළුමිණ කතුවරුන් භාවිතා කළ, කීර්තිමත් කතුවරයෙක් වූ මාර්ටින් වික්‍රමසිංහ පවා භාවිතා කළ, ජාතික වස්තුවක් වන්, ඓතිහාසික මේසය සහ පුටුව අබලි ද්‍රව්‍ය වලට දැම්මේ ඒවායේ කිසිදු අබලිවීමක් නොමැතිවය. ඊට අනෙකුත් කර්තෘ මාණ්ඩලිකයන් විරුද්ධ වුවද එය ගණන් නොගත් ඔහු එම ඓතිහාසික මේසය කර්තෘ කාමරයෙන් එළියට ගත්තේ හිත් කම්පා කරවන ලෙස මේසය දෙකට කපා වෙන් කරමිනි. එය දොරින් එළියට ගැනීමට පවා නොහැකි තරම් විශාල මෙන්ම වටිනා දැවයෙන් නිම කරන ලද්දක් විය. ඔහුට සිළුමිණේ සිටි කීර්තිමත් කතුවරයෙක් වීමට වුවමනා කෙළේ නැවුම් අදහස් වලින් නොව නැවුම් මේසයකින් සහ පුටුවකිනි. 

තමන් අදහන ඕනෑම දර්ශනයක් වෙනුවෙන් ලිවීමට ඕනෑම අයෙකුට නිදහස ඇතත් පවතින සත්‍ය විකෘති කරමින් බේගල් ලිවීමට අයිතියක් නැත. මොවුන් දෙදෙනාම සත්‍ය විකෘති කිරීමේ කෙළ පැමිණියවුන් වූහ. තමන්ගේම කුලයේ වුන්ට එනම් අනෙකුත් මාධ්‍යවේදීන්ට පවා විරුද්ධව පාලකයා වෙනුවෙන් අසත්‍යයම ලිවූහ. මෘග රෙජීමයේ මර්දනයෙන් දිවි බේරා ගැනීමට විදේශ ගත වූ මාධ්‍යවේදීන්ව මොවුන් හැඳින්වූයේ දේශද්‍රෝහීන් ලෙසය. ලංකාවේ සිටියදී මාධ්‍ය වෘත්තියේ යෙදුනද වෙනත් රටවල එවැනි වෘත්තියක යෙදීමේ හැකියාව නොමැත්තෙන් කඩවල දුෂ්කර රැකියා කරමින්, වැසිකිලි සෝදමින්, හිමේ ගැහෙමින්, අනේකවිධ දුක් පීඩා විඳිමින් වුව ලත් ඉසිඹුවෙන් අකුරක් හෝ ලියන විදෙස් ගත මාධ්‍යවේදීන් හැඳින්වූයේ ඩොලර් කාක්කන් ලෙසය. මැදමූලන මරා විසින් කැඳවන සට්ටැඹි මාධ්‍ය ප්‍රධානීන්ගේ මාසික හමුවට පැමිණි මේ දෙදෙනාම ඒ සෑම දිනකම පාහේ ලංකා ඊ නිව්ස් තහනම් කරන ලෙස මරාගෙන් ඉල්ලා සිටියහ. මැදමූලන මරා ලංකා ඊ නිව්ස් ඇතුළු වෙබ් අඩවි තහනම් කිරීමට ගත් තීරණයට මොවුන්ගේ පෙළැඹවීමද හේතු වූ බව අපි ඉතා හොඳින් දනිමු. 

මොවුන් දෙදෙනාගෙන් නවක මාධ්‍යවේදීන්ට ඉගෙන ගත යුතු දේ බොහෝය. ඒ අන් කිසිවක් නොව මාධ්‍යවේදියෙකු ලෙස නොකළ යුත්තේ කුමක්ද යන්න පමණි. මහින්ද අබේසුන්දර මෙන්ම කරුණාදාස සූරියආරච්චි යන දෙදෙනාගේම අභාවයන් ගැන ලංකා ඊ නිව්ස්හි අපි කණගාටු වෙමු. ඒ තමන් සට්ටැඹි කම් කළ මෘග චෞර පාලකයාගේ අවසානය නොදැක ඔවුන්ට මිය යන්නට සිදුවීම ගැන ය.
(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.28, ප.ව. 7.35) 

0 comments:

Post a Comment