Saturday, December 6, 2014

වත්මන් පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක්‌! - වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව සහෝදරයා

වමේ පක්‍ෂ කීපයක එකමුතුවෙන් නිර්මාණය වූ "වමේ එකමුතුව" සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය වමේ පෙරමුණ නිර්මාණය කර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළේ ඇයි.?

පිළිතුර - රට බරපතළ අර්බුදයකට ව්‍යසනයකට ගොස්‌ ඇති බව රට පාලනය කළ ප්‍රධාන පක්‍ෂ දෙකේ අවසන් ශේෂ පත්‍රය දෙස බැලූ කළ ඉතා පැහැදිළියි. අප රට ආර්ථික දේශපාලන අතින් අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තියකට හැරවිලා. එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ගොස්‌ රජය රටේ ජනතාවට මර්ධනය එල්ල කර තිබෙනවා. රට තුළ ජාතිවාදී ගිනිදැල් ඇවිලිලා. මිනිසුන්ගේ සමාජ ජීවිතය ඇහිරිලා. උනුන් ඇන කොටා ගන්නා සමාජයක්‌ රට තුළ ඇති වෙලා. මෙම ප්‍රශ්නයට ප්‍රධාන පක්‍ෂ දෙකට උත්තර නැහැ වගේම ඔවුන් මෙම ප්‍රශ්නවලට උත්තරයත් නෙවෙයි. අපගේ ඉදිරිපත්වීම එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමටයි.

ප්‍රශ්නය - වමේ දේශපාලන පක්‍ෂ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඇති පක්‍ෂ තරම් සවිශක්‌තිමත් නොමැති බව පසුගිය මැතිවරණයන් තුළින් පෙන්නුම් කර තිබෙනවා. එම තත්ත්වය තුළ ඔබ පෙරමුණෙන් අරමුණු සාක්‍ෂාත් කර ගන්නේ කෙසේද?

පිළිතුර - වමේ පක්‍ෂ ශක්‌තිමත් නොමැති බව අවධාරණය වෙලා තිබෙන්නේ. මැතිවරණ ධාරාවේ ප්‍රශ්නයකින් නෙමෙයි. මිනිසුන් ගේ මත හැදීමේ සහ එයට අනුව අදහස්‌ හැදීමේ ක්‍රියාවලිය තුලින් මිනිසුන්ව පාලනය කරමින් තමයි මෙම ක්‍රමය පවත්වාගෙන යන්නේ. ඒ නිසා තමන්ගේ වමේ ප්‍රශ්නය විස¹ ගැනීම පිළිබඳ අදහස සමාජය තුළ දුර්වල වෙලා. 90 දී සෝවියට්‌ කඳවුරු බිඳ වැටීම. පසුගිය දශක දෙක තුළ සමාජවාදය පිළිබඳ සාකච්ඡා බිඳ වැටීම වැනි කරුණු එයට බලපා තිබෙනවා. පොදුවේ දුර්වලවී තිබෙන්නේ වමේ මතවාදයයි. එම දුර්වල තැන් නැවත ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් මෙම මැතිවරණය අප වේදිකාවක්‌ කර ගන්නවා.

ප්‍රශ්නය - පන්ති දේශපාලනය මතු කර ගන්න තිබෙන හොඳම වේදිකාව මැතිවරණයද?

පිළිතුර - නැහැ. මැතිවරණ සටන් බිම කියන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අවශ්‍ය ලෙසට සලසා ගත් සටන් බිමක්‌. කවුද වැඩියෙන් සල්ලි පොම්ප කරන්නේ. කාටද වැඩියෙන් මාධ්‍ය බලය තියෙන්නේ යන කරුණු මතයි. ඡන්ද ප්‍රතිඵල තීරණය වන්නේ එවැනි තරග බිමක වමට මහා බලයක්‌ ගන්න හැකිවේ යෑයි අප හිතන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට වෙනත් සටන් බිම්වලට පාලකයන් කැඳවීම සඳහා අප සටන් බිමට එනවා.

ප්‍රශ්නය - මේ තුළින් ගම්‍ය වන්නේ වමේ පෙරමුණ ජනාධිපතිවරණයක්‌ බලාපොරොත්තුවෙන් නොසිටින බවයි.

පිළිතුර - අපේ ජයග්‍රහණය වමේ මතය රටට ඉදිරිපත් කිරීමයි. එම දේශපාලන පියවරෙන් මතුවන ඉඩකඩ භාවිතා කරමින් ඉදිරියේ මතුවන දේශපලන අර්බුදයට තියුණු දේශපාලන මැදිහත්වීමක්‌ කිරීම අපගේ අරමුණයි.

ප්‍රශ්නය - රටේ ජනතාව වමේ දේශපාලනය වටා ගොනුකර ගැනීමට නොහැකිවී ඇත්තේ එහි නායකයන්ගේ හා ක්‍රියාකාරින්ගේ දුර්වලතා නිසා නොවේද?

පිළිතුර - එම ප්‍රතිඵලයට අදාල පැති කිහිපයක්‌ තිබෙනවා. ධනපති පාලකයෝ ඔවුන්ගේ මතය පීඩිත පන්තිය වෙත යොමු කිරීමට යටත්වෙලා තිබෙනවා. ඒ වගේම ජීවිතයත් සංවිධානය කළ යුතු දේශපාලන පක්‍ෂ පසුගිය කාලය තුළ දුර්වලවී තිබෙනවා. එම නිසා පීඩිත ජනතාවගේ දේශපාලන විග්‍රහය මොටවී තිබෙනවා. අනෙක්‌ කාරණය මෙම තත්ත්වයෙන් මිදීමට ජනතාවගේ මැලිවීමක්‌ දක්‌නට තිබෙනවා. මෙම පැති තුනේම ප්‍රශ්න තිබෙනවා. වටේ දේශපාලන උපක්‍රමවල ප්‍රශ්නයක්‌ තිබීමත් මෙම තත්ත්වයට හේතුවක්‌ වෙලා.

ප්‍රශ්නය - එම උපක්‍රමවල ප්‍රශ්නය කුමක්‌ද යන්න වමේ පෙරමුන හඳුනාගෙන තිබෙනවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම අප හ\qනාගෙන තිබෙනවා. පැරණි සමාජවාදි කඳවුර තුලින් මතු වූ අඩුපාඩුකම් අප හඳුනාගෙන තිබෙනවා වගේම ඇගයීමකට ලක්‌කර තිබෙනවා. ඒ නිසා තමයි පෙරටුගාමී සමාජවාදී නිර්මාණය වුණේ. නමුත් ජනතා විමුක්‌ති පෙරමුණට බැරි වෙලා තිබෙනවා සත්‍යවාදයෙන් ගැලවීමට පැරණි සමසමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය කළ වැඩේ තමයි වෙන විදියකට ජනතා විමුක්‌ති පෙරමුණ අද සිදු කරමින් තිබෙන්නේ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරනවාද?

පිළිතුර - ඔව් අප එය ඉදිරියේදී ජනතාව අතට පත් කරනවා. මූලික වශයෙන් ආර්ථික රාජ්‍ය පාලනය හා ජාතික ගැටලුව සම්බන්ධයෙන් අදාල අපගේ ප්‍රතිපත්ති එහි ඇතුළත්. බහුතර ජනතාවක්‌ ඉතා සුළුතර දේශපාලකයන් පිරිසකට හා පක්‍ෂ කිහිපයකට නතුවී තිබෙනවා. ඔවුන් පවත්වාගෙන යන්නේ බහුතරයට අවශ්‍ය ක්‍රමයක්‌ නෙමෙයි. බලය සුළුතරය අතර මධ්‍යගත කර ගන්නේ කෙසේද යන්න බලය සම්බන්ධයෙන් ඔවුන් කල්පනා කරනා කාරණයයි. නමුත් සමාජවාදී පාලකයන් කියන්නේ පීඩිත ජනතාවගේ පාලනයක්‌ පරමාධිපත්‍ය බලය මිනිස්‌සු අභ්‍යාසයක්‌ ගන්න ක්‍රමයක්‌.

ප්‍රශ්නය - සමාජවාදී පාලනයක ව්‍යවස්‌ථාව හැදෙන්නේ කෙසේද

පිළිතුර - එය සැකසෙන්නේ රටේ ජනමත විචාරයකට යොමුකරලයි. අප දැන් පාලනය වන නීති 1972, 1978 නීති එකක්‌වත් රටේ ජනතාවගෙන් ව්‍යවස්‌ථාකින් සම්මත කර ගත් ඒවා නෙමෙයි. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක්‌ නෙමෙයි කීවත් අපි හදපුවත් සම්මත කරගත්ත එකක්‌වත් නෙමෙයි. නමුත් සමාජවාදී කාලයක්‌ තුළ නීති සකසන්න ජනතාවගේ අදහස්‌ විමසනවා. ජනතාව ඉදිරියට නැවත එය ඉදිරිපත් කරනවා.

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව රට තුළ නිරන්තරයෙන් කථාබහට ලක්‌වෙනවා. මේ කතා බහ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස හඳුනාගෙන ඇතිද යන්න ඔබ සිතනවාද?

පිළිතුර - වත්මන් පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල කාරණයක්‌ එල්ලවී තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්‌ඩුවක්‌. නමුත් ඇතැමෙක්‌ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට අහිමිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. එම ප්‍රශ්නය එක සීමාවකට පටු කරන්න ඔවුන් උත්සාහ කරනවා. විපක්‍ෂය කියන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා කියන ව්‍යාපෘතිය ගැන අපට විශ්වාසයක්‌ නැහැ. මේ සියල්ල සිදුවන්නේ තම තමන්ගේ පුද්ගලික අරමුනු වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දමා ගෙන මේ සිදු කරන්නේ දේශපාලන උගුලක්‌. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී කාරණය ජනතාවට අදාලව මීට වඩා බරපතලයි.

ප්‍රශ්නය - ඔබ පෙරමුණ වමේ පෙරමුණ ලෙස හැඳින්නුවත් වමේ පක්‍ෂය බහුතරයක්‌ ඔබ පෙරමුණ සමග නැහැ නේද?

පිළිතුර - වමේ පක්‍ෂ කියන ගොඩක්‌ පක්‍ෂ මේ වෙලාවේ ප්‍රධාන කඳවුරු දෙකෙන් එකකට තුරුළු වෙලා ඉන්නේ. සමහරු තුරුළු වෙන්න බලාගෙන ඉන්නවා. සමහරු තුරුල්වෙන්න බැරිව දුකෙන් ඉන්නේ. ඒ තුළ අප සැබෑ වම වෙනුවෙන් පෙනී සිටිනවා.

ප්‍රශ්නය - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටි කුමාර් සහෝදරයාට මොකද වුණේ?

පිළිතුර- කුමාර සහෝදරයාව පැහැර ගත්තේ, රටින් පිටුවල් කළේ මේ ආණ්‌ඩුවයි. ලලිත් කූගන් සහෝදරවරු තවමත් අප අතරට එවා නැහැ. අප බරපතළ මර්ධනයකට මුහුණ දුන්නා. අප කුමාර් සහෝදරයව ගෙන්වා ගන්න උත්සාහ කළා. එහෙත් ඒ සඳහා යම් යම් බාධාවන් තිබෙනවා. එම බාධාවන් ඉවත්කර ගත් පළමු මොහොතේම අප ඔහුව මෙහි ගෙන්වා ගන්නවා.

ප්‍රශ්නය - කුමාර් සහෝදරයා වෙනුවට නාගමුව සහෝදරයා ජනාධිපතිවරණ සටනට පැමිණ පැමිණ තිබෙනවා. ඒ සඳහා පැමිණීමට ඔබට ඇති සුදුසුකම කුමක්‌ද?

පිළිතුර - පුද්ගලයකු ලෙස ඇති සුදුසුකමට වඩා වැදගත් දේශපාලන ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙලයි. අපට ඇති සුදුසුකම එයයි.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
දිවයින - ඉරිදා සංග්‍රහය

0 comments:

Post a Comment