Sunday, August 30, 2015

ලංකාවෙන් Coca-cola සමාගමට රුපියල් බිලියනයක දඩයක්

කර්මාන්ත ශාලාවලින් සිදුවන පරිසර දුෂණය අද වන විට ලෝකය පුරාම විශාල ගැටළුවක් වෙලා. ලෝකයේ සංවර්ධිත රටවල නම් මෙවන් පරිසර දුෂණයන් වැලැක්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වය මීට හාත්පසින්ම වෙනස්. බොහෝවිට කර්මාන්ත ශාලා වලින් සිදුවන පරිසර දුෂණයන් කිසිදු අවදානයක් නොලබාම සැඟවී යනවා. මහා පරිමාණ සමාගම් මගින් සිදුවන මෙවන් පරිසර විනාශයන් ඔවුන් තම මුදලේ බලයෙන් සඟවා ගන්නට ඉතා සුක්ෂම ලෙස කටයුතු කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල නීති රීති වල ඇති අඩුලුහුඩු කම් වලින් ප්‍රයෝජනය ලබමින් ඔවුන් එම රටවල් වලින් ඉමහත් ලාබයක් උපයන්නේ එම රටවල් වල පරිසරය හෝ එම රටවල මිනිසුන් ගැන කිසිදු තැකීමක් නොකරමින්

පසුගිය දිනක අපේ රටෙත් මෙවන් විශාල පරිසර දුෂණයක් සිදුවුනා. මේ සිදුවීම සිදුවුනේ බියගම පිහිටුවා ඇති Coca-cola කර්මාන්ත ශාලාවෙනුයි. Coca-cola කර්මාන්ත ශාලාවෙන් කිසියම් ද්‍රව්‍යක් කැළණි ගඟට එකතු වීම නිසා කැළණි ගඟේ ජලය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමට අපවිත්‍ර වුනා. මේ නිසා කොළඹ නගරයේ පානිය ජාල සැපයුම විටින් විට අඩාල කිරීමටත් සිදුව තිබෙනවා. කර්මාන්ත ශාලාවක භාවිත වූ ජලය නැවතත් ජාල මුලාශ්‍රයකට මුදාහරින්නේ නම් ඊට ප්‍රථම එම ජලය මනුෂ්‍ය පරිභෝජනය සඳහා සුදුසු වන ආකාරයට පිරිසිදු කල යුතු වෙනවා. එමෙන්ම මේ ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් නිරීක්ෂණය කලයුත්තක්. මේ සියලු ක්‍රියාදාමයන් නිසියාකාරව සිදුවෙන්නේ නැත්නම් එම කර්මත්න ශාලාව පවත්වාගෙන යාම සඳහා නිකුත් කොට තිබෙන පාරිසරික බලපත්‍රය අවලංගු කෙරෙනවා.

මේ සිද්දිය සම්බන්දව Coca-cola Sri Lanka සමගම පවසා තිබෙන්නේ මෙය භූගත ඩිසල් නලයක ඇතිවූ කාන්දුවක් නිසා සිදුවුන ජල අපවිත්‍ර වීමක් බවයි. නමුත් මෙතරම් විශාල ජල අපවිත්‍ර වීමක් වනතෙක් ඩිසල් කාන්දුවීමක් සොයාගැනීමට නොහැකි නම් එම කර්මාන්ත ශාලාවේ සැකැස්ම සහ නඩත්තුව ගැන මතුවන්නේ විශාල ගැටළුවක්. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවකදී අදාල කර්මාන්තශාලාව මගින් නියමිත අංශ දැනුවත් කිරීම කල යුතුයි එවිට ඔවුන්ට මේ අපිරිසිදු ජලය මහජනයා වෙත ළඟාවීම වැලක්වීමට අවශ්‍ය පියවර ගත හැකි වෙනවා. Coca-cola Sri Lanka සමගම මේ පියවරයන් අනුගමනය කළේදැයි යන්න විමසා බැලිය යුතු වෙනවා.

ජාතික ජල සැපයුම් මණ්ඩලයට අනුව නම් ඔවුන් උදැසන 7 ට පමණ ඔවුන්ගේ අඹතලේ පිහිටි ජල පවිත්‍රාගාරයේ ටැංකි මත තෙල් වැනි ද්‍රව්‍යයක් පාවෙමින් තිබෙනු නිරීක්ෂණය කර ඇති අතර ඉන් පසුව ඔවුන් අඹතලේ ජල පවිත්‍රාගාරය වසා දමා එම තෙල් වැනි ද්‍රව්‍ය පිරිසිදු කිරීමට කටයුතු කර තිබෙනවා. මේ තෙල් වැනි ද්‍රව්‍ය නිසා පවිත්‍රාගාරයේ පෙරහන් වලටද යම් හානියක් වන්නට ඇතැයි සැක කෙරෙනවා. තවද කැළණි ගඟේ රැඳී තිබු අපවිත්‍ර ජලය ඉවත් කිරීම සඳහා ලක්‍ෂපාන ජලාශයෙන් ජලය නිකුත් කිරීමටද සිදුව තිබෙනවා.

Coca-cola Sri Lanka සමගම පවසන පරිදි සිදුව ඇත්තේ ඩිසල් කාන්දුවීමක් ද නැත්නම් වෙනත් අහිතකර රසනයනික ද්‍රවයක් දැයි යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ සඳහා අදාල ජල සාම්පල් ඉන්දියාවට යවා ඇති බවත් වාර්තාවෙනවා. දැනට වාර්තාවෙන අන්දමට Coca-cola Sri Lanka සමාගමේ පාරිසරික බලපත්‍රය අවලංගු කොට තිබෙනවා. එමෙන්ම ඔවුන්ට රුපියල් බිලියන 1 ක දඩයක් නියම කොට ඇතිබවත් වාර්තාවෙනවා.

ජලය යනු මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් ගෙන් ප්‍රධානම කරුණක්. අපිට ජලය නැතිව ජීවත්වීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. නමුත් Coca-cola Sri Lanka වැනි විශාල සමාගම් කැළණි ගඟ වැනි ප්‍රධාන ජල මුලාශ්‍ර මෙලෙස අපවිත්‍ර කිරීම කිසිසේත්ම එකඟ විය නොහැකි කාරණයක්. මේ සිදිය පිළිබඳව ලැබෙන අවධානය ඉතා අල්ප වීමද බරපතල කාරණයක් මෙය මෙවන් සමාගම් වලට මෙවන් ක්‍රියාවන් නැවත නැවත කිරීම සඳහා අනුබල ලබාදීමක්. පිරිසිදු පානිය ජලය ලබාගැනීමට නොහැකිවීම එක් අවස්ථාවක අපේ රටේම විශාල ගැටළුවක් බවට පරිවර්තනය වුනා අවසානයේ එය එවකට පැවති රජය බලයෙන් පහවීමට තරම් විශාල සිද්දියක් බවට පත්වුනා. නමුත් මේ සිද්දිය ට ලැබී තිබෙන්නේ ඉතා අල්ප වූ අවධානයක්. කිසියම් පාර්ශවයක් සිතා මතා මේ සිද්දිය ප්‍රසිද්ද වීම වළකාලීම සඳහා ක්‍රියාකරනවද යන්න අවධානය යොමුකළ යුතු කාරණයක්.

තාක්ෂනය යනු අපගේ ජිවිත වඩාත් හොඳ ආකාරයට පවත්වාගෙන යාමට ඉවහල්කරගත යුත්තක් මිස එය අප ජිවත් වන මේ ලෝකය විනාශ කිරීම සඳහා යොදාගත යුතක් නොවෙයි. තාවකාලික ලාබයන් බලාපොරොත්තුවෙන් මහාපරිමාණ සමාගම් සිදුකරණ මෙවන් පාරිසරික විනාශයන් තරයේම හෙළාදකිය යුතු වන අතර මෙවන් සමාගම් වලට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කලයුතු බව අපගේ අදහසයි. මන්ද අවසානයේදී අප උපයන ලාභයන්ගේ ප්‍රතිලාබ ලැබීම සඳහා අපට ජීවත්වීමට පරිසරයක් ඉතිරිව තිබිය යුතු නිසාවෙනි.

Source : http://nation.lk/

0 comments:

Post a Comment