Wednesday, April 2, 2014

හිරුණිකා සහ හෙළ උරුමය

Hirunika Premachandra
හිරුණිකා පන්තියේ පළවෙනියා වෙච්ච එක අපට අදාළ දෙයක් නොවේ.. ඒ උනාට ඇය ලද ජයග්‍රහණය නින්දාවට සහ ගර්හාවට පාත්‍ර කරන පරාජය විඳ දරා ගත නොහැකි සිංහල ජාතිකත්වය නියෝජනය කරනවා යැයි කියන තක්කඩියන්ට පිළිතුරක් සැපයීමට සිතුණි..

හිරුණිකා සිය පියාගේ මිනිය වික්කා යැයි ඔවුහු කියති.. ජාතික හෙළ උරුමය විකුණා ගන්නේ එක මිනියක් නොව, මිනී ලක්ෂයක් මැරුණු යුද්දයකි... එදා සිට අද වනතුරුත් මේ යුද්දය විකුණා ගැනීම, ගිහි තක්කඩියන්ගෙන් සමන්විත බජාර් මඩුවකදී ගිහියන් අතින් ගුටි කා අර්හත් ධජයට නිගා දීම, බුදු හිමියන්ගේ වස්ත්‍රය පොරවාගෙන ගිහියන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත්ව පාරේ රඟ දී රටට අවිණ්‍යෙය ආදර්ශයක් ලබා දීමත් හැර ඔවුහු මේ රටට කළ කිසිදු යහපතක් නැත... කොටින්ම කියතොත්, මේ යුද්දය නොමැති නම් අද හෙළ උරුමය කිසිම ව්‍යවස්ථාදායක සභාවක නැත... අදටත් මේ රජයෙන් යම් හෙයකින් හෙළ උරුමය ඉවත්ව තනිව තරඟ කළහොත් ඔවුහු හැඳි ගෑවී යෑම අනිවාර්යය... හෙළ උරුමය මුලින්ම බලයට පැමිණියේත් අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ශ්‍රී දේහය සහ ඒ ප්‍රතිපත්ති විකුණාගෙනය.. සෝම හිමිගේ අපවත් වීමට අදාළව ඔවුන් පැවැත්වූ පරීක්ෂණ හෝ අන්‍යාගමිකරණය වළක්වන පනත ආදී ඔවුහු බොහෝ බරසාර ලෙස විකුණාගත් දේ අද ලොවෙත් නැත... එම පක්ෂය තවත් විකුණු දෑ කියන්නට යෑම පවා ජුගුප්සා ජනකය.. ඔවුහු ඇත්ත වශයෙන්ම මෙරට දේශපාලනයෙහි දැනට ඉතිරිව සිටින නිර්ලජ්ජිතම දේශපාලන පක්ෂයය..

හිරුණිකා සිය අඟ පසඟ පෙන්වා ඡන්දය දිනා ගත් බව ඔවුහු කියති.. ජාතික හෙළ උරුමය සහ එයට සෘජුව සහ වක්‍රව සම්බන්ධව සිටින අය විකුණා ගන්නේ ජාතික ධජයේ සිටින සිංහයාගේ අඟ පසඟය... ජාතික ධජය, ජාතිය විකුණාගෙන ඡන්ද හිඟා කනවාට වඩා උපතින් ලැබුණු රූපකාය විකුණා ගැනීම නම්බුකාරයැයි අපට කිව හැක...

ඇත්තෙන්ම හිරුණිකාට ඡන්ද ලක්ෂයක් අබිබවා ලැබුනේ ඇගේ රූපශ්‍රීය නිසාය කියන නින්දිත ලුම්පන් තක්කඩි ගෝරනාඩුව අප පිළිකුලෙන් යුතුව බැහැර කරමු.. හිරුණිකාගෙන් අප දුටුවේ මෙම මුග්ධ රජය විසින් අනිත් තැන්වලට යොදන ලද හිස් වූ මොළ කුහර සහිත ස්ත්‍රී පරාණ කූඩුවලට වඩා බෙහෙවින්ම දියුණු තත්වයකි... ඇය නීතිය උගත් කාන්තාවක් වීමත්, ජන මාධ්‍ය හමුවේ අසන පැණ උදෙසා ව්‍යක්ථව අදහස් දැක්වීමත්, කුඩා කළ සිටම දේශපාලනයට මුහුණ දීම නිසා දක්ෂව ඡන්දයක් දිනන්නේ කෙසේද යන්න ගැන හොඳ අවබෝධයක් ඇයට තිබුණු නිසාත් ඇය මෙසේ ඉහළින්ම ජයගත්තා විය යුතුය.. මිට අමතරව පරිණත දේශපාලකයෙකු වන ඇගේ පියාට එවකට ලැබුණු ජනතා සහාය අද ඇයට ලැබෙනවා වන්නටද පිළිවන... ඇගේ තරුණ කමට හෝ රූප ස්වභාවයට හිත වැටී ඇයට ලැබුනු ඡන්දද, ඇගේ කඳුළු වලට වැටුණු ඡන්ද ද තිබෙනවා විය හැක... නමුත් ඇයට කොළඹ වැනි ජ්‍යේෂ්ඨ දිස්ත්‍රික්කයක පළමු තැනට එන්නට ඒවා ප්‍රමාණවත් මදි බව ඕනැම කෙනෙකු දන්නා කරුණකි...

හිරුණිකා හෙට මොනවා කරාවිදැයි අප නොදනිමු.. එය අපට අදාළ නැත...

By Damith Kethaka

0 comments:

Post a Comment