Showing posts with label Theory. Show all posts
Showing posts with label Theory. Show all posts

Wednesday, April 30, 2014

මැයි දිනයත් කොල්ල කෑම…

අයිතිය නිදහස ජීවිත යාප්පුවෙන් පැහැර ගත්ත
සේප්පු පුරවන ඈයොත් මේ දවසෙත් අරක් ගත්ත
හරක් කියා පාලකයොත් ගැති හඬ මැද අසුන් ගත්ත
බලපල්ලා රවටන හැටි ටීවි එකට රූප ගත්ත

ශ්‍රම දහඩිය රට සම්පත හරි හරියට කොල්ල කමින්
විලි සංගේ නැති විදිහට මේ දිනයත් කෙළෙසවමින්
කම්කරුවත් පීඩිතයක් ගොන් රැළකට අන්දවමින්
මුසාවාද බණ අතරේ අර්ත නොමැති බණ දෙසමින්

රතු කොඩියෙන් ජාතක වුණු හිටපු වමට කෑ මොර දුන්
වලිගය යට ඉන්නා සැටි එම මහතුන් බලා ගනින්
පැරණි හඬට ජාතික පෙම පත අට ගෙන සින්දවමින්
විංකලයක හුලං ගහන ද්‍රෝහියන්ව බලා ගනින්

රතු කියන්නේ රතට මිසක වෙන පාටක් ලොවේ නොමැත
මැයි දිනයට පාට දුන්නෙ පහරන්නට නොව ඒ මත
නුඹලා ලඟ දනින් වැටුන පීඩිතයට මනස නොමැත
උන් ගලවා ගන්න පිණිස මැයි දිනයට හඬක් නොමැත

Mels Macasche-මෙල්ස් මාකැස්චේ..
Source from lankaevoice.com

ජයග්‍රහණයට ඇති එකම මාවත නොනවතින අරගලයයි ...!

වහල් හිමි සමාජයේ වහල් හිමියා නිරන්තර බියකින් පසු වුනේය. කුමන මොහොතක හෝ වහලුන් අඳුරු ඉරණම් යුගය බිඳ දමමින් අපට එරෙහිව කැරලි ගසනු ඇති බවට තිබු බියෙනි. ඒ ශාපලත් නිහඬතාවය එදා ස්පාටකස් ඇතුළු නිර්භීත වහලුන් විසින් බිඳ දැමීය. ඉන් පසුව නැවතත් ධනවාදයේ අසත්‍යට එරෙහිව සත්‍යවාදයේ පණිවිඩය ගෙන ආ මොහොතක් ලෙස 1886 ඔක්තෝබර් 7,8,9 දින පවතී ඓතිහාසික ඉලිනොයිස් අධිකරණයේ පවතී නඩුව හැඳින් විය හැක. 

1886 මැයි පළමු වනදා චිකාගෝ නුවර හෙමාකට් චතුරශ්‍රයට එක් වූ වීර කම්කරු ජනතාව දවස මුළුල්ලේම කරගෙන යනු ලැබූ සුරාකෑමට එරෙහිව තම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වැඩ වැරීය. තම ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරක් වෙනුවට ධනපති පාලකයන්ගේ වෙඩි උණ්ඩ දස අතේ මුදා හරිමින් චතුරශ්‍රය ලේ වලින් සිතුවම් කළේය. ඉන් අනතුරුව එයට නායකත්වය දුන් ඔගස්ටස් ස්පයිස් ඇතුළු නායකත්වය අත්අඩංගුවට ගෙන ඉලිනොයිස් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. පළමු නඩු දිනයේදී ඔහු විනිසුරන් ඉදිරියේ සිය කතාව පටන් ගත්තේ මෙසේය .

" මගේ සාක්ෂිය ඔබේ චෝදනාවයි "

" විනිශ්චයකාරතුමනි , මම මේ උසාවියේ කරුණු දක්වන්නේ එක් පන්තියක නියෝජිතයෙක් ලෙස අනෙක් පන්තියේ නියෝජිතයන්ටය. අදින් වසර 500 කට පෙර මෙවැනිම අවස්තාවකදී ඉතාලි ජාතික වැනීසියානුවෙකු වූ ඩොජේ ෆාහිරි ඔබලාගේ නීතිය ඉදිරියේ කල කියමනකින් මම ද ආරම්භ කරමි. " මගේ ශාක්ෂිය ඔබේ චෝදනාවයි " 

විනිසුරනි, ඔබට අනුව මා කල " අපරාධයේ " හේතුව ඔබේම ඉතිහාසයයි. පැය 16 ක වැඩ දිනයක් වෙනුවට , දරුවන් හා කාන්තාවන් මන්දපෝෂණයෙන් , වහල් භාවයෙන් මුදවා ගෙන පැය 8 ක වැඩ දිනයක් වෙනුවෙන් සටන් කිරීම එම අපරාධය නම් , එහි හේතුව ඔබ මිස , මිය යමින් තිබෙන , යලි කිසිදා ගොඩ ගත නොහැකි , කෘර ක්‍රමයක් වන ධනපති ක්‍රමය පවත්වා ගෙන යන ඔබ මිස අන් කවරෙක්ද ? 

විනිශ්චයකාරතුමනි, ඉහතින් දැක වුයේ මගේ අදහස්ය . ඒවා මගේ ජීවිතයේ කොටස්ය. ඒවා ඇඳුම් ගලවා ඉවත් කරන්නාක් මෙන් ගලවා දැමිය නොහැක. එසේ හැකි වුවත් මම එසේ නොකරමි. දිනෙන් දිනවැඩි වැඩියෙන් සමාජය තුල තහවුරු වෙමින් පවතින අදහස් , අප කිහිප දෙනෙකු එල්ලුම් ගස් යැවීමෙන් විනාශ කර දැමිය හැකි යයි ඔබ සිතන්නේ නම් , සත්‍ය කතා කිරීමේ වරදට මිනිසුන් කිහිප දෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දෙන්නේ නම් , සත්‍ය ප්‍රකාශ කිරීමේ වරදට දෙන වන්දිය මරණය නම් , ආඩම්බරයෙන් හා නිර්භීත ලෙස එම මිල අධික වන්දිය ගෙවීමට මම ඇතුළු මගේ මිතුරන් සුදානම් ..!!විනිසුරනි ඔබේ වධකයන්ට කතා කරන්න ...!!!

" සත්‍යය සොක්‍රටීස් , ක්‍රිස්තුස් , ජියාඩිනෝ, බෘනෝ, ජෑන් හස්, ගැලිලියෝ මගින් කුරුසයේ තබා ඇණ ගැසූ මුත් , ඔවුන් තවමත් ජීවමානය,. ඔවුන් මෙන්ම සත්‍ය වෙනුවෙන් දිවි දුන් මිනිසුන්ගේ හමුදාව සුවිශාල වන අතර ඔවුන් තැනු ,මාවත විශාලය. අපිදු එමග යාමට සුදානම් ...ඔබගේ අනීතික දඬුවම වහාම අප වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න . එයට මුහුණ දෙමු. !"

පසුව නඩුවට ඉදිරිපත් වූ වීර කම්කරු නායකයින් සියල්ලම එල්ලා මරා දැමිය. මේ ඔවුන්ගේ චායාරුපයයි.

අද ලොව පුරා ජනයා පැය අටක වැඩ මුරයක් භුක්ති විඳීමට ඔගස්ටස් ස්පයිස් වැනි විරුවන් පැය 16 කට වඩා කඹුරමින් , පීඩාවිඳිමින් සිටි යුගයට එරෙහිව කැරලි ගැසීය. හේමාකට් විරුවන් ගැන දන්නා අයද නොදන්නා සේ මේ සියලු අයිතීන් භුක්ති විඳින අතර ඔවුන්ගේ දිවා විවේකයේදී එම මාවත සමච්චලයට ලක් කරන අවස්ථාවන්ද දැකිය හැක. තවකෙක් පැය අටට අමතරව වැඩ කරමින් " අතිකාල " ලබන්නේද හේමාකට් චතුරශ්‍රයේදී ලෝකයේ කම්කරු ජනතාව වෙනුවෙන් දීවී පිදු විරුවන්ගේ නාමයෙන් බව හිතාමතාම අමතක කරති. එදා චිකාගෝ නගරයේ ගලා ගිය රක්ත වර්ණ ලේ දහරින් සිතුවම් වූ ලෝහිත ධජය සියලු කම්කරුජනයා සිය දෑතට ගත යුතුය. හෙට දින අභිමානවත් මැයි දිනය සමගියෙන්, එකාමෙන් , බේධ දුරලා ධනපති ක්‍රමයට එරෙහිව ගොඩනැගෙන විකල්ප බලය බවට පත් වන්න . එම දුෂිත ක්‍රමයට තිත තැබීමට එක් වන්න..! නිර්ධන පන්තියේ සමගිය යනු ධනපති ක්‍රමයේ මලගමයි ..!

මැයි දිනය ගැන ලෙනින්

වී.අයි. ලෙනින් විසින් 1904 මැයි දිනය නිමිත්තෙන් ලියන ලද ලිපිය 

මැයි දිනය

සහෝදර කම්කරුවනි! මැයි දිනය එළඹෙමින් ඇත. සෑම රටකම කම්කරුවන් ඔවුන් පංති සවිංඥාණකත්වයට එළඹීම සමරනු ලබන, මිනිසා විසින් මිනිසා ව පාගා සිටීම සහ අනෙකාට එරෙහිව බලය යෙදීමට එරෙහිව කරනා අරගලය තුළ තම එකමුතුකම සමරනු ලබන, මිලියන ගණනක් වූ වැඩ කරන ජනතාව දුගී බවෙන්, බඩගින්නෙන් සහ නින්දාවෙන් නිදහස් කිරිමට කරනා අරගලය සමරනු ලබන දිනය එළඹෙමන් ඇත. මෙම ‍ශ්‍රේෂ්ඨ අරගලයේ දී එකිනෙකට මුහුණ ලා සිටින්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ලෝක දෙකකි. එනම් ප්‍රාග්ධනයේ ලෝකය සහ ශ්‍රමයේ ලෝකය යි, නැතිනම් සූරා කෑමේ හා වහල්බවේ ලෝකය සහ සහෝදරත්වයේ හා නිදහසේ ලෝකයයි.

එක් පැත්තක සිටින්නේ සුලුතර වූ ධනපති ලේ උරා බොන්නෝ ය. ඔව්හු කර්මාන්තශාලා හා මෝල්, උපකරණ හා යන්ත්‍ර සූත්‍ර තමන් යටකට ගෙන ඇති අතර අක්කර මිලියන ගණනක් ඉඩම් හා කඳු ගණන් සල්ලි ඔවුන්ගේ පෞද්ගලික අයිතියට හරවාගෙන ඇත.ඔවුන් ආණ්ඞුව සහ හමුදාව තම සේවකයන් බවට පත් කර ගෙන ඇත, ඔවුන් එක් රැස් කර ගන්නා ලද ධනයේ විශ්වාසවන්ත මුර බල්ලන් බවට පත් කර ගෙන ඇත.

අනෙක් පස සිටින්නේ මිලියන ගණනක් වූ නිර්ධනීන් ය. ඔවුන්ට බල කෙරී ඇත්තේ වැඩ කිරීමට අවසර ඉල්ලා පොහොසතුන් ළඟ හිඟා කෑමට ය. ඔව්හු තම ශ්‍රමයෙන් සියලූම ධනය නිර්මාණය කරති. නමුත් ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිත කාලය පුරාවටම පාන් කැබැල්ලක් වෙනුවෙන් අරගල කිරීමට යි. පිනට යමක් ඉල්ලනවාක් මෙන් රැකියා ඉල්ලා හිඟා කෑමට යි. ඉතා වෙහෙසකර වැඩ කිරීමට තම ශක්තිය වැය කිරීමට යි. ගම්වල මඩුවල නැතිනම් නගරවල උමං කුටිවල හෝ අට්ටාලවල බඩගින්නේ සිටීමට ය.

නමුත් අද මෙම ධනය අහිමි කරන ලද ශ්‍රම වගුරන්නන් විසින් පොහොසතුන් හා සූරා කන්නන්ට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇත. සියලූම රටවල වැඩ කරන ජනතාව ශ්‍රමය, වැටුපේ වහල්බවෙන්, දුගීබවෙන් හා හිඟකමෙන් මුදවා නිදහස් කිරීමට සටන් කරමින් සිටී. ඔවුන් සටන් කරන්නේ පොදු ශ්‍රමය මඟsන් නිර්මාණය කරනා ධනය සුලුතර පොහොසතුන්ගේ යහපත උදෙසා නොව සියලූම වැඩ කරන ජනතාවගේ යහපත උදෙසා වන සමාජ ක්‍රමයක් වෙනුවෙනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉඩම්, කර්මාන්ත ශාලා, මෝල් සහ යන්ත්‍ර සූත්‍ර සියලූම වැඩ කරන ජනතාවගේ පොදු දේපළ බවට පත් කිරීමට ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ දුප්පත් පොහොසත් බෙදීම අහෝසි කිරීමට ය. ශ්‍රමයේ ඵලය ශ්‍රමය වෙතටම ලබා දීමට ය. එමෙන්ම මිනිස් මනසින් අත්පත් කර ගන්නා සියලූම ජයග්‍රහණ, වැඩ කරනා ක්‍රමවල දියුණු වීම් වැඩ කරන ජනතාව පීඩාවට පත් කරනු වෙනුවට ඔවුන්ගේජීවන මට්ටම දියුණු කිරීමට යොදා ගැනීමට ය.

ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර වන මෙම මහා අරගලය වෙනුවෙන් සියලූම රටවල වැඩ කරන ජනතාව විශාල කැප කිරීම් කර ඇත.වඩා යහපත් ජීවිතයකට සහ සැබෑ නිදහසට ඇති තම අයිතිය වෙනුවෙන් ඔවුන් රුධිරය ගංගා හෙලා ඇත. කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්නන්ට ආණ්ඩුව අනේක විධ වධ හිංසා පමුණූවයි. නමුත් එම සියලූ වධ හිංසා මධ්‍යයේ වුවද ලොව වටා කම්කරුවන් අතර එකමුතුබව වැඩි වෙමින් තවත් ශක්තිමත් වෙමින් පවතී. කම්කරුවන් සමාජවාදී පක්ෂ තුළ දී වඩ වඩාත් කිට්ටු වන අතර එම පක්ෂවල සාමාජිකත්වය මිලියන ගණනක් දක්වා වැඩි වී ඇති අතර පියවරෙන් පියවර ධනවාදී සූරා කන්නන් ට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් වෙත ක්‍රමයෙන් ගමන් කරමින් සිටී.

රුසියානු නිර්ධන පංතිකයා ද අලුත් ජීවිතයකට අවදි වී ඇත. ඔහු ද මෙම ශ්‍රේෂ්ඨ අරගලයට එකතු වී ඇත. වහල්බවෙන් ගැලවීමක් නොමැතිව, තම කටුක ජීවිතය තුළ බලාපොරොත්තුවේ ආලෝකයක් නොමැතිව වැඩ කරන ජනතාව යටහත් පහත් වහලුන් මෙන් වැඩ කල යුගය නිමා වී ඇත. සමාජවාදය ඔහුට එයින් ගැලවෙන මග පෙන්වා දී ඇති අතර සටන්කාමීන් දහස් ගණනින් රතු ධජය වටා රොක් වන්නේ මග පෙන්වන තරුවක් වටා රොක් වන්නාක් මෙනි. වැඩ වර්ජන කම්කරුවාට එක්සත් වීමේ ඇති බලය පෙන්වා දී ඇත, සටන් කරන්නේ කෙසේදැයි උගන්වා ඇත, සංවිධානය වූ විට ශ්‍රමය ප්‍රාග්ධනයට කෙතරම් භයානක අභියෝගයක්ද යන්න පෙන්වා දී ඇත. ධනපතීන් සහ ආණ්ඩුව යැපෙන්නේත් තර වෙන්නේත් තමන් වගුරවන ශ්‍රමයෙන් බව කම්කරුවන්ට වැටහී ඇත. එක්සත් අරගලයේ සටන්කාමිත්වයෙන් හා නිදහස හා සමාජවාදය ගැන වූ බලාපොරොත්තුවෙන් වැඩ කරන ජනතාව ප්‍රාණවත් වී ඇත. සාර්ගේ ඒකාධිපතිවාදය කොතරම් අඳුරු හා බිහිසුණු බලවේගයක් ද යන්න කම්කරුවන්ට අවබෝධ වී ඇත. තම අරගලය සඳහා කම්කරුවන්ට නිදහස අවශ්‍යය ය. නමුත් සාර්වාදී ආණ්ඩුව ඔවුන්ගේ අත පය බැඳ දමා තිබේ. කම්කරුවන්ට රැස් වීමේ නිදහස ඕනෑ වේ, සංවිධානය වීමේ නිදහස ඕනෑ වේ, පුවත් පත් හා පොත් මුද්‍රණය කිරීමේ නිදහස ඕනෑ වේ නමුත් සාර්වාදී ආණ්ඩුව නිදහස වෙනුවෙන් කරනා අරගල කසය, සිරගෙදර හා බයිනෙත්තුව මඟින් මර්දනය කරයි.“ ඒකාධිපතිත්වය භංග වේවා! ” යන සටන් පාඨය රුසියාව පුරා පැතිරී ගොස් ඇති අතර එය වීදිවල සහ කම්කරුවන්ගේ මහජන රැස්වීම්වල නිතර කියවෙන්නක් බවට පත් වි ඇත. පසු ගිය ගිම්හාන කාලයේ දී දකුණු රුසියාවේ දහස් ගණනක් කම්කරුවෝ වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් සහ පොලිසියේ ප්‍රජා පීඩනයට එරෙහිව සටන් කිරීමට නැගී සිටියහ. භයානක කම්කරු හමුදාව දුටු ධනේශ්වරය සහ ආණ්ඩුව බියෙන් තැති ගත්තේය. එය විශාල නගර තුළ වූ කාර්මික ජීවිතය එක වරම නිශ්චල කළේය. කම්කරුවන් වෙනුවෙන් සටන් වැදි දුසිම් ගණන් සටන්කරුවන් අභ්‍යන්තර සතුරාට එරෙහිව සාර්වාදී හමුදා විසින් එවන ලද උණ්ඩවලට බිලි වූයේය. 

නමුත් මෙම අභ්‍යන්තර සතුරාව පරාජය කිරීමට සමත් බලවේගයක් නොමැත. මක් නිසාද යත් පාලක පංතිය සහ ආණ්ඩුව පවතින්නේ ඔවුන්ගේ ශ්‍රමය නිසාවෙන් බැවිනි. දිනෙන් දින තම පංති සවිඥාණකත්වය වර්ධනය කර ගන්නා, වඩ වඩාත් එකමුතු වන, වඩ වඩාත් සංවිධානාත්මක වන මිලියන ගණනක් කම්නරුවන් මැඩලීමට සමත් බලවේගයක් මේ මිහිපිට නොවේ. කම්කරුවන් විඳ දරා ගන්නා සෑම පරාජයක්ම එහි සාමාජිකත්වය තුළට අලුත් සටන්කරුවන් එකතු කරයි. අලුත් ජීවිතයක් වෙත මහජනතාවව අවදි කරවයි. අලුත් අරගල වලට ඔවුන්ව සූදානම් කරවයි. 

රුසියාව මේ වන විට පසු කරමින් සිටිනා සිද්ධිවලට අනුව කිව හැක්කේ මහජනතාවගේ එම නැගිටීම මීටත් වඩා ශීඝ්‍ර සහ පැතිරුණු ස්වභාවයක් ගනු ඇති බව වන අතර අප සියලු ධෛර්ය යොදවා නිර්ධන පංතියේ පහළ සාමාජිකත්වය එකමුතු කිරීමටත් වඩාත් අධිෂ්ඨානශීලි අරගලයකට ඔවුන්ව සූදානම් කිරීමටත් වෙහෙස විය යුතු වේ. නිර්ධන පංතියේ ඉතාමත් ප්‍රතිගාමී කොටස් තුළ පවා යුද්ධය හේතු කොට ගෙන දේශපාලනික ගැටලු පිළිබඳ ව උනන්දුවක් ඇති වී ඇත. ඒකාධිපති පාලනයේ අසීමාන්තික කුණු වීම හා රුසියාව පාලනය කරනා පොලිස් උසාවි කල්ලියේ අසීමාන්තික සාපරාධීභාවය යුද්ධය මඟින් වඩාත් පැහැදිලිව හා විචිත්‍රව පෙන්වා දෙනු ලැබේ.අපේ ජනතාව රට තුළ වූ හිඟකම සහ බඩගින්න නිසාවෙන් මිය යමින් සිටියි. එනමුත් ගව් ගණන් දුරින් පිහිටි වෙනත් ජාතීන් වාසය කරන්නා වූ විදේශික දේශයන් යටපත් කිරීම සඳහා වූ විනාශකාරී, නිරර්ථක යුද්ධවලට ඔවුන්ව ඇද දමා ඇත. අපේ ජනතාව දේශපාලන වහල් බවින් මිරිකී සිටියි. එනමුත් අනෙක් ජනතාවක් වහලුන් කිරීම සඳහා වූ යුද්ධයකට ඔවුන්ව ඇද දමා ඇත. අපේ ජනතාව ඉල්ලා සිටියේ රට තුළ දේශපාලන සැකැස්මේ වෙනසකි. ලෝකයේ අනෙක් පස සිදු වන්නා වූ තුවක්කු ගිගිරුමෙන් උත්සහා කරන ලද්දේ ඔවුන්ගේ අවධානය වෙනතකට හැරවීමට ය. නමුත් සාර්වාදී ආණ්ඩුව තම සූදුව දුර දිග ගෙන ගියා වැඩිය, ජාතියේ ධනය සහ පැසිෆික් හි මැරෙන්නට යැවූ තරුණ ජීවිත සාපරාධී ලෙස නාස්ති කිරීමේ සූදුව දුර දිග ගෙන ගියා වැඩිය. සෑම යුද්ධයක්ම ජනතාව පීඩාවට පත් කරනා අතර ශිෂ්ට හා නිදහස් වූ ජපන් ජාතිකයින්ට එරෙහි දුෂ්කර යුද්ධය රුසියාව මත ඇති කරන්නේ දරුණු පීඩනයකි. මෙම පීඩාව පැමිණෙන්නේ නැගිටින නිර්ධන පංතිය හමුවේ පොලිස් ඒකාධිපතිත්වයේ ව්‍යුහය දුර්වල වන්නට පටන් ගෙන ඇති කාලයක ය. යුද්ධය ආණ්ඩුවේ සියලූම දුර්වලතා නිරුවත් කරමින් ඇත. යුද්ධය සියලූම ව්‍යාජ වෙස් වලා ගැනීම් ඉරා දමමින් ඇත. යුද්ධය සියලූම අභ්‍යන්තර කුණු වීම් හෙළි කරමින් ඇත. යුද්ධය සාර්වාදී ඒකාධිපතිත්වයේ සාහසික බව සැමට පසක් කර දෙමින් ඇති අතර පැරණි රුසියාවේ, එනම් ඡන්ද බලයක් රහිත, නොදැනුවත්, භය ගන්වන ලද ජනතාවක් වෙසෙනා රුසියාවේ, තවමත් පොලිස් රාජ්‍යයේ ස්වයං වහල් බව තුළ සිර වී ඇති රුසියාවේ මාරාන්තික පීඩාව සැමට ප්‍රදර්ශනය කරමින් ඇත.

පැරණි රුසියාව මියැදෙමින් සිටියි. එහි තැන ගැනීමට අලුත් රුසියාවක් පැමිණෙමින් ඇත. සාර්වාදී ඒකාධිපතිත්වය ආරක්ෂා කල අඳුරු බලවේග කඩා වැටෙමින් ඇත. නමුත් එයට මරණීය ප්‍රහාරය එල්ල කල හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි. ජනතාවට ව්‍යාජයක් නොවන සැබෑ නිදහස දිනා දිය හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි. ජනතාව රැවටීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට, ඔවුන්ව ධනේශ්වරයේ උපකරණ බවට පත් කර ගැනීමට දරනා සෑම උත්සහයක්ම නිෂ්ප්‍රභ කල හැක්කේ පංතිය පිළිබඳ සවිඥාණික හා සංවිධිත නිර්ධන පංතියට පමණි.

සහෝදර කම්කරුවනි! දෙගුණ වූ ජවයකින් යුතුව එළඹෙමින් ඇති තීරණාත්මක සටනට අපි සූදානම් වෙමු! සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිර්ධනීන්ගෙන් යුත් සාමාජිකත්වය අන් කවරදාටත් වඩා දැඩිව එක්සත් කරමු! ඔවුන්ගේ පණිවිඩය අන් කවරදාටත් වඩා දුරකට පතුරවමු!වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වූ අරගලය අන් කවරදාටත් වඩා නිර්භයව ඉදිරියට ගෙන යමු! මැයි දින සැමරුම අපගේ අරගලය ට දහස් ගණනින් නව සටන්කරුවන් දිනා දෙතැයි ද සියලූම ජනතාවගේ නිදහස උදෙසා වූ, ප්‍රාග්ධනයේ දාසබාවයෙන් සියලූම වැඩ කරන ජනතාවට විමුක්තිය දිනා දෙන්නා වූ අපගේ ශ්‍රේෂ්ඨ අරගල යේ බලවේගයන් පුළුල් කරනු ඇතැයි ද අපි ප්‍රාර්ථනා කරමු!

පැය අටේ වැඩ දිනය දිගු කල් දිනේවා!
ජාත්‍යන්තර විප්ලවීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දිගු කල් දිනේවා!
සාපරාධී, කොල්ලකාරී සාර්වාදී ඒකාධිපතිත්වය භංග වේවා!

වී. අයි. ලෙනින්, අප්‍රේල් 1904

Monday, April 28, 2014

මැයි දිනය ගැන ලියෝන් ට්‍රොස්කි

Leon Trotsky
පහත පලවන්නේ 1918 මැයි දිනය නිමිති කරගෙන රුසියානු විප්ලවයේ නායකයෙක් වූ ලියොන් ට්‍රොට්ස්කි විසින් ලියන ලද ලිපියකි. මෙම ලිපියේදී ට්‍රොට්ස්කි දෙවැනි ජාත්‍යන්තරය විසින් කම්කරු පංති ව්‍යාපාරය පාවා දී තිබූ තතු යටතේ මැයි දිනයේ අර්ථය විකෘති වී ගිය අන්දමත් විප්ලවීය තුන්වන ජාත්‍යන්තරයක් ගොඩනැගීම තුළින් එම තත්වය අතික‍්‍රමණය කළ යුතු ආකාරයත් සාකච්ඡුා කරයි. 

මැයි දිනය සහ ජාත්‍යන්තරය

දෙවන ජාත්‍යන්තරය යුගයේ දී පැවැති සමස්ථ කම්කරු ව්‍යාපාරයේ ස්වරූපය මැයි දින නිවාඩුවේ ඉතිහාසය සහ එහි ඉරණම තුළින් විදහා දැක්වේ. මැයි පලමු වැනි දින නිවාඩු දිනයක් ලෙස පිහිට වූයේ 1889 දී පැරිස් හි පැවැති ජාත්‍යන්තර සමාජවාදී සමුලූව මගිනි. එය එසේ පිහිටුවීමේ අරමුණ වූයේ සෑම රටකම කම්කරුවන් එදිනට සමගාමීව පවත්වන පෙලපාලි තුළින් එක් ගෝලීය කේන්ද්‍රයක් සහ එක් දේශපාලන දිශානතියක් ඇති විප්ලවීය ක‍්‍රියාකාරීත්වයක් සහිත එක් ජාත්‍යන්තර නිර්ධන පංති සංවිධානයක් තුළට කැඳවීමයි.

ඉහත තීරණය ගන්නා ලද සමුලූව ජාත්‍යන්තර කොමියුනිස්ට් ලීගය සහ පලමුවන ජාත්‍යන්තරය ගත් මගම යමින් සිටියේය. ආරම්භයේ සිටම දෙවන ජාත්‍යන්තරයට මෙම සංවිධාන දෙකෙහි ආදර්ශය අනුගමනය කිරීම පහසු කටයුත්තක් විය. පළමු ජාත්‍යන්තර අවධියේ සිට ගත වූ වසර දහ හතරක කාලය තුළ සෑම රටක් තුළම නිර්ධන පංති සංවිධාන වර්ධනය ව තිබිණි. ඒවා ඔවුන්ගේ කටයුතු තමන්ගේ දේශ සීමා තුළ ස්වාධීනව සිදු කළ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවයේ මූලධර්ම මත ජාත්‍යන්තර එකමුතුවට අනුගතව නොතිබිණි.
මැයි දින සමරුව ඔවුන්ව එවැනි එකමුතුවක් සඳහා සූදානම් කළ යුතුව තිබුණු අතර එම නිසා එහි සටන් පාඨයක් ලෙස පැය අටක වැඩ දිනයක ඉල්ලීම හදුන්වා දෙන ලදී. එය නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය මගින් අනිවාර්යය කොට තිබූ අතර සෑම රටකම පුලූල් කම්කරු පංති අතර ජනප‍්‍රිය සටන් පාඨයක් විය.
මැයි දින නිවාඩුවට භාර ව තිබූ සාධනීය කාර්යභාරය සමන්විත වූයේ ආරථික ප‍්‍රවර්ගයක් වූ කම්කරු පංතිය, එහි සමාජ විද්‍යාත්මක අර්ථයට අනුව හැඩ ගැස්වීමයි. එනම් සමස්ථ පංතියේ යහපත පිළිබද සවිඥානික වූත්, සිය ආඥාදායකත්වය පිහිටුවන , සමාජවාදී විප්ලවය උදෙසා වෙහෙසෙන පංතියක් බවට කම්කරු පංතිය පරිවර්තනය වීමේ ක‍්‍රියාදාමය පහසු කිරීමයි. 

මෙම දෘෂ්ටි කෝණයෙන් ගත් කල සමාජවාදී විප්ලවයට සහය පල කරන පෙලපාලි මැයි දිනයට වඩාත් උචිත වූයේ යැයි කිව හැක. සමලූවේ විප්ලවීය කොටස් මෙය අවබෝධ කොට ගෙන සිටියේය. නමුත් එම අවස්ථාවේදී කම්කරු පංතිය පසු කරමින් සිටි වර්ධන අවධිය තුළ බොහෝ දෙනා සිතුවේ පැය අටක වැඩ දිනයක් සඳහා වූ ඉල්ලීම ඔවුන් ඉදිරියේ පැවැති කාර්යයට වඩා යෝග්‍ය වූ බවයි. කෙසේ වුවත් මෙය සෑම රටකම කම්කරුවන් එක් කිරීමට සමත් සටන් පාඨයක් විය. 

පසුකාලීනව ඉදිරිපත් කරන ලද ලෝක සාමය සඳහා වූ සටන් පාඨයද මෙවැනි කාර්යභාරයක් ඉටු කළේය.
සමුලූව යෝජනාව ඉදිරිපත් කරන ලද අතර කම්කරු ව්‍යාපාරයේ වාස්තවික තත්වය එම යෝජනාව සඳහා අදාල විධානය සිදු කළේය.

මැයි දින නිවාඩුව ක‍්‍රමානුකූලව ලෝක නිර්ධන පංතියේ අරගල මධ්‍යයේ සිට දේශීය උවමනා සඳහා එක් එක් රාජ්‍යයේ අරගල මාධ්‍යය බවට පත්විය. සර්ව ජන ඡුන්ද බලය සඳහා වූ තුන් වන සටන් පාඨය මෙයට තව දුරටත් රුකුල් දුන්නේය. 

බොහෝ රටවල මැයි දින සැමරුම පැවැත්වූයේ වැඩ ඉවර වූ පසු හවස් වරුවේදී නැතිනම් ඉරිදා දිනයකදීය. වැඩ නවතා මැයි දිනය සැමරූ බෙල්ජියම සහ ඔස්ට‍්‍රියාව වැනි රටවල පවා දේශීය අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වුවද සියලූ රටවල කම්කරු ජනතාව ලෝක කම්කරු පංතියක් බවට පත් කිරීමට අසමත් විය. එම නිසා එහි ප‍්‍රගතශීලී ප‍්‍රතිඵල මෙන්ම ( නිශ්චිත රටක කම්කරුවන් එකතු කිරීම * සෘණාත්මක ප‍්‍රතිගාමී අංශයක් ද විය. ඒ මගින් කම්කරුවන්ව නිශ්චිත රටක ඉරණමක් සමග අනවශ්‍ය ලෙස තදින් සම්බන්ධ කල අතර එය සමාජවාදී දේශපේ‍්‍රමීත්වයේ වර්ධනයට මග සෑදුවේය. 

පැරිස් සමුලූව වැදගත් කොට සැලකූ කාර්යභාරය ඉෂ්ට වූයේ නැත. ජාත්‍යන්තර විප්ලවීය නිර්ධන පංතියේ ක‍්‍රියාකාරීත්වයේ සංවිධානය ලෙස එක් කේන්ද්‍රයක් සහ එක් ජාත්‍යන්තර දේශපාලන හැඩ ගැස්මක් සහිත ජාත්‍යන්තරයක් පිහිටුවීම සාක්ෂාත් කරගත නොහැකි විය. දෙවන ජාත්‍යන්තරය ක‍්‍රියාකාරීත්වයේදී අන්‍යොන්‍ය වශයෙන් ස්වාධීන වූ කම්කරු පක්ෂවල දුර්වල එකමුතුවක් විය.

මැයි දිනය එහි විරුද්ධාර්ථයට හැරුණු අතර යුද්ධයත් සමග එහි පැවැත්ම අවසාන විය. කම්කරු ව්‍යාපාරය විසින් දයලෙක්තික වර්ධන ක‍්‍රියාවලිය පිළිබද කරන ලද දැඩි තර්කනයේ ප‍්‍රතිඵලය වූයේ එයයි.

මෙම සංසිද්ධියට හේතු වූයේ කුමක්ද? එයම නැවත සිදු නොවන බවට ඇති සහතික කිරීම කුමක්ද? අනාගතය වෙනුවෙන් මෙයින් ඉගෙන ගත හැකි පාඩම් මොනවාද? මැයි දින නිවාඩුවේ අසාර්ථක වීමට මුල් වූ හේතුව ගැබ් වී ඇත්තේ එම යුගයේදී ධනවාදයේ සිදු වූ වර්ධනයේ ස්වභාවය තුළයි. සෑම රටකම ධනවාදය දියුණු වීමේ ක‍්‍රියාවලිය සහ එම ක‍්‍රියාවලිය විසින් පාලනය කරන රාජ්‍ය පද්ධතිය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීමට සහ රාජ්‍ය ධනවාදයේ වර්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් හැඩ ගැස්වීමට කරන අරගලය තුළයි. නමුත් ධනවාදී හෝ අනෙකුත් කවර හෝ පද්ධතියක වර්ධනයේදී එහි ප‍්‍රවණතා දෙකක් පවතී. එනම් ප‍්‍රතිගාමී ප‍්‍රවණතාව සහ විප්ලවීය ප‍්‍රවණතාවයයි.

ඓතිහාසික ක‍්‍රියාවලියේ ක‍්‍රියාකාරීව සහභාගී වන කම්කරු පංතියත් සමගම එහි පෙරටුගාමීන් වන සමාජවාදී පක්ෂ මෙම ක‍්‍රියාවලිය ඉදිරියෙන් ගමන් කිරීමට නියමිත අතර කම්කරු ව්‍යාපාරයේ සෑම අවධියකදීම ප‍්‍රතිගාමී ප‍්‍රවණතාවයට එරෙහිව විප්ලවීය ප‍්‍රවණතාවය මතු කිරීම සහ ජාතිකත්වය මත පදනම් වන්නේ නැතිව සමස්ථ නිර්ධන පංතියේ යහපත ඉදිරියට දැමීම සහ ආරක්ෂා කිරීම ඔවුන් විසින් ( එනම් සමාජවාදී පක්ෂ විසින් * සිදු කළ යුතු වේ. දෙවන ජාත්‍යන්තරය වකවානුවේදී සමාජවාදී පක්ෂ විසින් ඉටු නොකළ කාර්ය භාරය මෙයමයි. එය මැයි දින නිවාඩුවේ ඉරණම මත සෘජු බලපෑමක් ඇති කළේය.

බුද්ධිමතුන්ගේ සහ කම්කරු ව්‍යාපාරවල නිලධාරීන්ගේ බලපෑම යටතේ මෙම වකවානුව තුලදී සමාජවාදී පක්ෂ ඔවුන්ගේ අවධානය යොමු කලේ ඉතා ප‍්‍රයෝජ්‍යතාවාදී පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වය වෙතයි. පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වයෙහි සාරය ජාතික වේ. එය ජාත්‍යන්තර හෝ පංති ලක්ෂණයන්ගෙන් තොරය. කම්කරු සංවිධාන පාර්ලිමේන්තු තුළ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය දුටුවේ පංති අරගලයේ මාධ්‍ය්‍යක් ලෙස පමණක් නොවේ එහි අරමුණ ලෙසයි. ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නායකයින් මැයි දිනය ආසන්නයේම ඊලගට එලැඹෙන ඉදිරි දිනය වෙත මාරු කරන්නට යැයි තර්ක කළ ආකාරය මතකයට නගා ගැනීම මෙහිදී ප‍්‍රමාණවත් වේ. ඔවුන් පවසා සිටියේ ආදර්ශමත් පක්ෂ සංවිධානය, පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වය සහ විශාල ගණනක් වූ වෘත්තීය සමිති පෙලපාලියක් වෙනුවෙන් අනතුරේ දැමිය නොහැකි බවයි.

වර්තමාන වකවානුවේ ස්වභාවය පැවැති වකවානුවේ ස්වභාවයට සෘජුව ප‍්‍රතිවිරුද්ධ වේ. යුද්ධයෙන් සහ 
විශේෂයෙන්ම ඔක්තෝබර් රුසියානු විප්ලවයෙන් විවෘතව, එය ප‍්‍රකාශව ඇත්තේ ලෝක පරිමාණයෙන් නිර්ධන පංතිය සඳහා බලය ලබා ගැනීමේ සෘජු අරගලයේ වකවානුව ලෙසයි.

පැරිස් සමුලූවේ විප්ලවීය කොටස් 1889 දී මැයි දිනට භාර කිරීමට උත්සාහ කරන ලද කාර්ය භාරය ඉෂ්ට කිරීමට මේ යුගයේ ස්වභාවය උපකාරී වේ. මේ යුගයේ කාර්යභාරය වන්නේ තුන්වන විප්ලවීය ජාත්‍යන්තරයක් ගොඩ නැගීමේ කාර්යයට උර දීම සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා නිර්ධන පංති බලවේග සංවිධාන කිරීමයි.

නමුත් මෙම ශ්‍රේෂ්ඨ කාර්යය ඉෂ්ට කිරීමට නම් අතීතයේ පාඩම් සහ වර්තමානයේ ඉල්ලීම් විසින් සියලූ රටවල සමාජවාදීන්ට ප‍්‍රබලව අණ කර කියා සිටින්නේ,
1. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති වල රැුඩිකල් වෙනසක් කරන ලෙසත්
2. මැයි දිනයට උචිත සටන් පාඨ ඉදිරිපත් කරන ලෙසත්ය

ඒ සඳහා පලමු කොටම පහත පියවර ගත යුතුය,
1. තුන්වන විප්ලවීය ජාත්‍යන්තරය ගොඩ නැගීමට සෑම ආකාරයකින්ම මහන්සි වීම
2. එක් එක් රටේ අරමුණු ජාත්‍යන්තර නිර්ධන පංති ව්‍යාපාරයේ පොදු අරමුණු වෙනුවෙන් ද පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වය නිර්ධන පංති අරගලයේ අරමුණු වෙනුවන් ද යටත් කිරීම

මෙම වකවානුවේ ප‍්‍රධාන මැයි දින සටන් පාඨ වන්නේ,
1. තුන්වන ජාත්‍යන්තරය
2. නිර්ධන පංති ආඥාදායකත්වය
3. ලෝක සෝවියට් ජනරජය
4. සමාජවාදී විප්ලවය යන සටන් පාඨයෝය.

ලියොන් ට්‍රොට්ස්කි 1918 මැයි 01
Original Source from - lankaviews.com

Friday, April 25, 2014

රතු මිනිස් රතු එළියට ජය වේවා!!!!!

දෘෂ්ටිවාදීමය හා පුද්ගලවාදයන් තුලට පටු වී කණ්ඩනය වෙමින් ලංකා සමාජය සුනු විසිණු වී ඇති මොහොතක, එක් වීම නැමැති වචනයට අර්ථයක් ගෙන දීමට ගන්නා මෙම අසීරු තත්ත්වය සංකෙතීය ලෙස හෝ මල් පල ගැන්වීමේ අවස්ථාවක් ලෙස වාමාංශිකයන්ගේ පුනර්ජීවනය ගැන කොන්දේසි විරහිතව සතුටට පත්විය හැකිය. පවත්නා සමාජ ව්‍යවසනයට ක්ණික පිළියමක් ලෙස මෙම එක් වීම නිර්වචනය කර නොගත යුතු සේම, යම් ලෙසකින් අසාර්ථකත්වයකට පත් වුවද ඒ පිළිබඳව ද කණගාටු වීම හෝ කණස්සල්ලට පත් විය යුතු ද නැත. මන්ද ලාංකික සමාජයට විකල්ප ආදරයක් සොයා යන මිනිසුන්ගේ ආදර සම්බන්ධයක් වන බැවින් අප සැම මෙම සහයෝගීතාව තව තවත් ශක්තිමත් කරනු පිණිස සහයෝගය පල කළ යුතු වෙමු.

අතීත පාඩම් ඉගෙන ගනිමින් පළමුව පවත්නා සමාජ ක්‍රමය පිළිබඳව ද දෙවැනුව ලෝකය පිළිබඳව ද තෙවැනුව තමා පිළිබඳව ද ඇති දැක්ම පුළුල් කර ගනිමින් ඉතා කුඩාවට වුවද ඇති කළ යුතු වන්නේ විශ්වාසයයි. සමස්ථ සමාජයම අද වන විට තමාට හා අනෙකාට පාරාජිකා වී ඇති දේශපාලනික යථාර්ථයක් තුල නව මිනිසෙකුට, නව සමාජයකට, නැවුම් භූමියකට අවශ්‍යව ඇත්තේ විශ්වාසයේ වැස්සයි. මේඝ ගර්ජන, විජ්ජුලතාවන්ගෙන් ද අඳුරු වූ අහසකින් පොළවට පතිත වන්නේ බලාපොරොත්තුවේ වර්ෂාව නම්, විශ්වාසයේ නියඟයට හසුව බලාපොරොත්තුවේ බීජ පොළොව මතින් දළු ලැමට බලා සිටින වග සහතිකය.

එනිසා වමේ කතිකාව තව තවත් පුළුල් වෙමින්, පුළුල් කරමින් වළාකුළු වැස්ස ගෙන එන්නාක් මෙන් ද ධනවාදය ගැටුම් ගෙන එන්නාක් මෙන් ද විශ්වාසයේ වළාවන් ද වැසි ද බවට පත් වීමේ යුතුකම හා වගකීම වාමාංශික සැමගේම කර මතට පැමිණ ඇත.

මිනිසුන් මත පමණක් නොවන එහෙත් බුද්ධිමත් මිනිසුන් සහිත ක්‍රමයක් මත මිනිසුන් ක්‍රියාකරන දර්ශනමය වැඩ පිළිවෙලකට ආකෘතිගත වූ කෙටි දිගු හා ඉතා දිගු විශ්වාසදායක දැක්මකට ගමන් කරන්නට හැකියාව ඇත්නම් අනාගතයට සුන්දර සිහින දරා සිටිය හැකිය. උපදින්නාට ද ජීවත් වන්නාට ද මිය යන්නාට ද එම සිහිනයේ ප්‍රාණය සමාජගත කළ හැකි වනු ඇත.

මෙකල වනාහී අලුත් සංස්කෘතියක් ඉල්ලා සිටින කාලයකි. අලුත් සංස්කෘතියක් අස්වැද්දිය යුතු දේශයකි. එය කළ හැකි යැයි වචන හා කාච මතින් සිතුවම් කළ ද, හැට වසරක අත්දැකීම් තුලින් උරුම කර දී ඇත්තේ මායාවක් වූ සිනමා සිත්තමකි. පවුල බලය හා ධනය කරපින්නා ගත් චංචාකාරී දේශප්‍රේමීන්ට හෝ ඔවුන්ගේ කාසියේ අනෙක් පැත්ත වන්නා වූ විශ්‍රාම ගිය බල ලෝබීන්ට මෙම සමාජ ක්‍රමය මිනිසාට යහපත පිණිස වෙනස් කළ නොහැකි වනු ඇත. එය සිදු කිරීමට හැකි මිනිසුන් බවට නිර්මාණය විය යුතු අතර අපට එය කළ හැකි යැයි යන විශ්වාසය පමණක් නොව භාවිතාව ද ක්‍රියාවද පරිණාමයක් බවට පත් කර ගත යුතුය. ඒ සඳහා සංවාදය ද සාකච්ඡාව ද විවිධත්වය තුල ඒකකත්වය ඇති කර ගැනීමට ඉවහල් වන බව භෞතිකවාදී අපෝහකය තුලින් පමණක් නොව ශිෂ්ටසම්පන්න දේශපාලන භාවිතාවන්ගෙන් ද පාඩම් උගන්වනු ඇත.

ඉතා පුළුල් අවකාශයකට ප්‍රජාතන්ත්‍රීය භාවිතාව පරීක්ෂා කිරීමටත්, වෙට්ටු නැති ගේම් නැති අංචි නැති සබෑ උවමනාවක අයිතිකරුවන් නොවී කොටස්කරුවන් බවට පත් වෙමින් අද මෙන්ශේවික් එකතුව හෙට දින බොල්ශේවික් එකතුව දක්වා නිර්මාණය කර ගැනීමට පුද්ගල කණ්ඩායම් පක්ෂ හා ජත්‍යන්තර ප්‍රගතිශීලී බලවේගවලට විශ්වසනීය තැනක් නිර්මාණය කළ යුතුව ඇත. ඒ සඳහා ඔබ උත්සාහ දරා ඇති බව ඉතිහාසය විසින් නිදොස් කරනු ඇත. එසේම එම උත්සාහයේ සිහිනය යථාර්ථයක් වීමේ පදනම දමමින් ලංකා භූමියට ආදර්ශය සපයනු ඇති නම් නිසැකවම ඉතිහාසය වෙනස් කළ මිනිසුන්ගේ රන් පිළිමවලට වඩා නිදහසේ හුස්ම ගත හැකි සමාජයක දුක් විඳින ජනයාගේ විමුක්තිදායකයන් වීමේ ප්‍රාණ වායුව බවට පත් වනු ඇත්තේ අනාගතය වර්තමානයෙන් උපකල්පනය නොකිරීමෙනි. ඒ සඳහා කළ යුතු කැප කිරීම් නම් වචනවලට වඩා විශාල වනු ඇත.

මෙම නිමේෂය ඔබලාගේ පුංචි වුව ද විශාල ප්‍රයත්නයට සුභ පතනු ලබන්නේ සෙසු සැබෑ උවමනාව ඇති මිනිසුන්ට මේ සඳහා එක් වීමට වැඩ පිළිවෙලක් හා දර්ශනයක් ඇති විවෘත මන්දිරයක් වේවා යන සුභ සිහිනය සහිතවය.

උදය ආර්. තෙන්නකෝන්

Wednesday, April 23, 2014

සමාජවාදී ජීවිතයක් - සමාජවාදී සමාජයක්

තවත් ජාත්‍යන්තර කම්කරු දිනයක් ළඟ ළඟම එන මේ වෙලාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි ඔබ සොයාගෙන ආවේ ලොකුු කතාවකට මුළ පුරන්නයි.

අපේ රටේ හු`ගක් දෙනා ජාත්‍යන්තර කම්කරු දිනය හඳුන්වන්නේ, මැයි දිනය කියලා. කොළඹ අගනුවර වීදි දෙදරවමින් මැයි පළමු වැනිදාට ඇදෙන පෙළපාලි සැඳෑ භාගයේදී අවසන් වෙන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ නායකයන්ගේ උද්වේගකර කතාවලින්. සමහර ඒවා ජනප‍්‍රිය සංගීත සාජ්ජවලිනුත් අවසන් වෙනවා.

සති අන්ත පත්තර, දිනපතා පත්තර... මේ හැම එකකම පිටු කීපයක්ම මැයි දිනය වෙනුවෙන් වෙන් කෙරෙනවා. බොහෝ විට පිටකොටුවේ දාඩිය පෙරාගෙන වැඩ කරන කම්කරු සහෝදරයෙක්ගේ පීඩාවෙන් බර වෙච්ච මුහුණක් සහිත ඡුායාරූප තමයි ඒවාට යොදා ගන්නේ. ඒත් අර මැයි පෙළපාලිවල කවදාවත් ඒ සහෝදරවරු ඉන්නවා ඔබ දැකල තියෙනවාද?

අපි ඔබෙන් ඇහුවොත් අද ලංකාවේ පවත්වන මැයි දිනයේ අරමුණ මොකක්ද කියලා, ඔබේ උත්තරේ මොකක්ද? ඇත්තටම අද මැයි දිනය වැඩ කරන ඔබගේද? එහෙම නැත්තම් කවුරු හරි ඒක ඔබෙන් පැහැර ගෙනද? එහෙම පැහැර ගෙන නම් මැයි දිනය ඔබ සතු කරගන්නේ කොහොමද? නිකම්ම වාර්ෂික සැමරුමක් බවට පත් වෙලා තියෙන මැයි දිනයට අලූත් තේරුමක් ගේන්නේ කොහොමද? වැඩ කරන පීඩිත ජනතාවට සැබෑ ජයග‍්‍රහණයක් ලබාගන්න අවශ්‍ය තවත් බොහෝ කරුණු කාරණා අතරට මැයි දිනයත් සම්බන්ධ කරගන්නේ කොහොමද? මේවා තමයි අපි කතා කරලා විසඳා ගන්න ඕන ප‍්‍රශ්න.

ජාත්‍යන්තර කම්කරු දිනය කියන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් සංකේතවත් කරන දිනයක්. මේ අයිතීන් ඉතිහාසය පුරාම සටන් කරලා දිනාගත්තා මිස පාලකයෝ කැමැත්තෙන් ප‍්‍රධානය කළේ නැහැ. එදා හේමාකට් චතුරශ‍්‍රයේදී තමන්ගේ සාධාරණ ඉල්ලීම් දිනාගන්න ගිය කම්කරුවන්ට පාලකයන්ගෙන් ලැබුනේ ගිනියම් වූ මූනිස්සම් විතරයි. නමුත් ඔවුන් සටන අත්හැරලා පලා ගියේ නැහැ. ඒ මැයි පළමු වැනිදා රතු පාට දිනයක් වුණේ එදා ඔවුන් ඇඳන් ගිය ඇඳුම් සිය ලෙයින් පෙගී ගිය නිසා. ඒ නිසයි අදත් ලෝකය පුරා ගැහැණු මිනිස්සු රතු ධජ ඉහළට ඔසවා ඒ වීරෝධාර ජනතාවගේ ධෛර්යයට, එකමුතුකමට පුද කළ යුතු ගෞරවය පුද කරන්නේ.

ඒත් දැන් දැන් ඒ වෙනුවට ලෝකේ පුරාමයි, අපේ රටෙයි රතු ධජ විතරක් නෙමේ. කොළ, නිල්, කහ ධජත් එසවෙනවා. වැඩ කරන මිනිහාටත් වඩා එයාව පාගාගෙන ඉන්න පාලකයනුත් මැයි දිනය සමරනවා. පාලකයන්ම මැයි දිනය ‘‘සැමරීම’’ සංවිධානය කරලා දෙනවා. ඒ නිසා දැන් මැයි දිනය ‘‘සැමරීකමකටම’’ සීමා වෙලා, ඒක වාර්ෂික උත්සවයක තත්වයට පත් වෙලා. ඉතිං මේක මැයි දිනයට විතරක් වුණු දෙයක් නොවෙයි. අනෙක් සෑම දෙයකටමත් සිද්ධ වුණු දෙයක්. කම්කරු සටනේ ස්වරූපයත්, සහමුලින් වෙනස් වෙලා. ඒ විතරක් නොවෙයි, කම්කරුවන් ඇතුළු වැඩ කරන සමාන්‍ය ජනතාවට එරෙහිව පාලකයන් ගේ මර්දනයේ ස්වරූපයත් වෙනස් වෙලා. තුවක්කු, බයිනේ්ත්තු විතරක් නොවෙයි, බැලූ බැල්මට හිංසාකාරී බව නොපෙනන බොහෝ දේවල්වලිනුත් අපිව මර්දනය කරලයි තියෙන්නේ. වස`ග කරලා යටත් කර ගෙනයි තියෙන්නේ. වැඩ කරන ජනතාවයි, වාමාංශිකයි කියාගත්තු දේශපාලන පක්ෂයි මේවට අහුවුණාම තමයි ජාත්‍යන්තර කම්කරු දිනය මැයි දින ‘‘සැමරුමකට’’ සීමා වෙන්නේ. මැයි දින ‘‘උත්සවයකට’’ සීමා වෙන්නේ.

අපි අද ජීවත් වෙන්නේ නව ලිබරල් ධනවාදී සමාජයක. එදා කාල් මාක්ස් කිව්වේ ‘‘සකල දේශ වාසී කම්කරුවනි එක්වව්’’ කියලයි. අද මේ නව ලිබරල්වාදී ජීවිතය මිනිසුන්ට බල කරන්නේ, පටු පෞද්ගලිකත්වයේ ගිලෙන්න. තමන්ගේ සගයා තමන්ගේ සතුරෙක් සේ දකින්න. සාමූහිකත්වය මරලා වලලලා දාන්න. සාමූහිකත්වය ගැන කතා කරන මිනිහාව විහිළුවට ගන්නයි අපිට උගන්නලා තියෙන්නේ. මිනිසුන්ට ජයග‍්‍රහණ ලබන්න පුළුවන් තනිව සටන් කිරීමෙන් කියලයි තහවුරු කරලා තියෙන්නේ. නමුත් අපි දන්නවා තනිව සටන් කරන්න ගිය ඔක්කෝම පරාදයි කියලා.

හැබැයි නව ලිබරල් ධනවාදයේ මිලේච්ඡුත්වය එහෙම වසං කරලා තියා ගන්න බැහැ. ඒක වතුර යට හංගන් ඉන්න හදන රබර් බෝලයක් වගේ. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. වර්තමාන ක‍්‍රමය ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ පුරාම මහා පරිමාණ අර්බුදයකට මුහුණ දීලයි තියෙන්නේ. දියුණුයි කියාගත්තු බටහිර යුරෝපයේ රටවල්වල පවා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය වේගයෙන් කඩා වැටෙනවා. ඔවුන්ගේ ජීවිතයේ අතෘප්තිය එන්න එන්නම වර්ධනය වෙනවා. මේ අර්බුදය පියමං කරන්න වර්තමාන ක‍්‍රමයට බැරි නිසා වැඩ කරන ජනතාව සතුව ඉතිරිව තියෙන අවම ජීවන තත්වයන් පවා උදුරා ගන්නයි පාලකයන් වෙර දරන්නේ. දැන් ලංකාවේ මෑන් පවර් සමාගම්වලට කම්කරු නීති අණ පනත් අදාළ නැහැ. ඒවායේ අද වෙනකොට කි‍්‍රයාත්මක වෙන්නේ වහල් නීති රීති.

ඒත් නව ලිබරල් ධනවාදය ඉතා සූක්ෂම විදියට තමන්ගේ බැරිකම හංගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක‍්‍රමය, තමන් ජනතාවගේ පීඩකයාය කියන කාරණයත් හංගන්න සමත් වෙලා තියෙනවා. ජනතාවගේ සැබෑ පීඩකයා සැ`ගවිලා කම්කරුවා හමුවට ව්‍යාජ පීඩකයෙක් මවා පෙන්වනවා. ඒ නිසා ජනතාව තමන්ගේ සැබෑ සතුරා එක්ක සටන් කරන්නේ නැහැ. ඒ වෙනුවට සටන් කරන්නේ තමන් වගේම අසරණ පීඩිතයෙක් එක්ක. අනිත් කාරණය අද අපේ රටේ දකින්න තියෙන බොහෝ කම්කරු සටන් අවසන් ජයග‍්‍රහණය ගැන ඉලක්කයක් නැති සටන් බවට පත්වෙලා. මේවා මොනවා හරි ඉල්ලීම් ටිකක් ලබාගන්නට වෙර දරන උපයෝගීතාවාදී සටන් බවට සීමා වෙලා තියෙන්නේ ඒ නිසා. අමාරුවෙන් හරි ලබාගන්න මේ සොච්චම් දේවල් ටිකත් එක් අතකින් දීලා අනිත් අතින් වැඩියෙනුත් එක්ක පාලකයන් විසින් උදුරාගන්නවා කියලා වැඩ කරන ජනතාව තේරුම් ගන්න ඕනෑ. ඒ නිසයි මේ කරන හැම සටනක්ම මොනවා හරි ඉල්ලා ගන්නා සටන්වලින් නතර නොවී තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීමේ සමාජවාදී සටනට සම්බන්ධ කරන්න ඕන වෙන්නේ. සමහර දේශපාලන පක්ෂ කම්කරු සටන් යොදාගන්නේ තමන් මුහුණ දෙන මැතිවරණවලින් ආසනයක් දෙකක් දිනා ගැනීමේ අරමුණ ඉටු කරගන්න. මේකෙන් තේරෙනවා මේ අය ගොදුරු වෙලා ඉන්න උපයෝගීතාව කොයිතරම් බරපතලද කියලා.

අපි ඔබට පොඩි උදාහරණයකින් ඒක පැහැදිලි කරලා දෙන්නම්. ලංකාවේ වමේ යැයි කියාගත්තු එක් පක්ෂයක් පහුගිය බස්නාහිර දකුණ පළාත් සභා ඡුන්දය වෙලාවේ අපූරු සටන් පාඨයක් ගෙනාවා. නිෂ්පාදකයාට ලාභ නෑ, කම්කරුවාට වැටුප් නෑ, කියලා. ඒ සටන් පාඨයට අනුව බැලූවහම කම්කරුවත් පීඩනයෙන් මිරිකෙනවා, කම්කරුවාගේ පීඩනයට හේතු වෙන නිෂ්පාදකයත් පීඩනයෙන් මිරිකෙනවා. එතකොට මේ සටන් පාඨයට අනුව දෙගොල්ලන්ටම සමගියෙන් සාමයෙන් ඉන්න ක‍්‍රමයකුයි ඕන වෙන්නේ. එතකොට මේ ධනවාදී ක‍්‍රමය ප‍්‍රශ්නයක් නැහැ, දෙන්නම පීඩා විදින්නේ ¥ෂිත රාජපක්‍ෂ ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය නිසා කියලයි මේ කියන්නේ. එහෙම නැතිව මේ ජරපත් ධනවාදී ක‍්‍රමය නිසා නොවෙයි. මොකද ඔවුන්ට කම්කරුවාගෙයි, ඔවුන්ව සූරාකන නිෂ්පාදකයගෙයි ඡුන්දය එකම වෙලාවෙ ගන්න ඕනැ කරන නිසයි ඒ වගේ බොරු සටන් පාඨ ගේන්නේ.

එතකොට මේ ක‍්‍රමය හෝ ආණ්ඩු විතරක් නොවෙයි, වාමාංශිකයි කියාගත්තු දේශපාලන පක්ෂත් එකතු වෙලයි වැඩකරන ජනතාව රැුවටීමේ දේශපාලනය කරන්නේ. ඉතිං මේ වගේ ව්‍යාජ සටන් පාඨවලින් හං`ගලා තියෙන සැබෑ ජයග‍්‍රහණය සඳහා වූ සටන, අපි කොහොමද මතු කර ගන්නේ?

ශ්‍රේණි භේදය මුළු කම්කරු ව්‍යාපාරයම විනාශ කරන පිළිල බවට පත්වෙලා. එකම වෘත්තියේ නිරත වන අය ශ්‍රේණි භේද නිසා විරසක වෙලා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස අද බොහෝ කම්කරු සටන් උසාවි නියෝග හරහා මර්දනය කරනවා. පිල්වලට බෙදිලා කට්ටිවාදීව සිටින තාක්කල්, මේ මර්දනය පරාජය කරන්න අපට බැරි වෙනවා. එකිනෙකාට එරෙහිව නොවෙයි, එකිනෙකා වෙනුවෙන් අරගල කරන සංස්කෘතියක් ගොඩනගන්නේ නැතිව අපිට ජයගන්න බැහැ. එතකොට තමයි අපි මුලින්ම කියපු සාමූහිකත්වය ගොඩනගන්නත් පුළුවන් වෙන්නේ. බෙදිලා වෙන්වෙලා නොවෙයි, එක්ව සටන් කිරීම තුළින් විතරයි සාමූහිකත්වය ගොඩගන්න පුළුවන් වෙන්නේ. එහෙම සාමූහික සටනකින් විතරයි ජීවිතයට සතුට ගේන්න පුළුවන් වෙන්නේ. එහෙම සතුට තියෙන සමාජවාදී ජීවිතයක් ගොඩ නගන්න පුළුවන් සාමූහිකත්වයේ අරගලය තුළින් නිර්මාණය කරන සමාජවාදී සමාජයක් ගොඩනැගීමෙන් විතරයි.

වැඩකරන කම්කරු පංති ජනතාවනි,

මේ මැයි දිනය මුල් කර ගනිමින් ඔබත් සම`ග කතා බහක නිරත වෙන්න පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අපි ඔබව සොයා එනවා. රටේ විවිධ තැන්වල අපි මැයි දිනයට කලින් ඉඳන් සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වනවා. වැඩපල මට්ටමේ කුඩා සාකච්ඡුා පවත්වනවා. වෘත්තීය සමිති සීමාවන් පුපුරුවා හැරලා, ගෝත‍්‍රික ශ්‍රේණි භේදයෙන් මිදිලා කම්කරු, ගොවි, ශිෂ්‍ය, කාන්තා බලවේගයන්ගේ සමගිය විදහාපාන දිනයක් බවට මෙවර මැයි දිනය පත්කර ගනිමු.

මේ ගැන අපි වැඩි වැඩියෙන් කතා කරමු. අලූත් භාවිතාවක් ඒ හරහා අත් පත්කර ගැනීමට වෙහෙසෙමු. ලංකාවේ කම්කරු පංති ව්‍යාපාරය තුළ නව පරිච්ෙඡ්දයක් පටන් ගන්න කැපවෙමු.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

Monday, April 21, 2014

පුරෝගාමී විකල්ප සංස්කෘතික බුද්ධිමතා - සුචරිත ගම්ලත් (1934 - 2013)

සුචරිත ගම්ලත් (1934 - 2013)
සුචරිත ගම්ලත් (1934 - 2013)
සුචරිත ගම්ලත් යනු එක්තරා ආකාරයකින් ලංකාවේ ඇතිවූ සංස්කෘතික දේශපාලන ව්‍යාපාර දෙකක් එකිනෙක හමුවන ලක්ෂ්‍යයක්. ඔහුගේ ප‍්‍රසිද්ධ බුද්ධිමය ප‍්‍රවිෂ්ඨය සිදුවන්නේ සාම්ප‍්‍රදායික දැනීම නිෂ්පාදනය වන ක්ෂේත‍්‍රයේ සිටයි. එනම් පාලි, සංස්කෘත වැනි පෙරදිග භාෂා භාවිත කොට පෙරදිග කලා සාහිත්‍යාදිය අධ්‍යයනය කරන ක්ෂේත‍්‍රයේ සිටයි.

නමුත් ඔහුගේ සමාජ-දේශපාලන මුද්‍රාව හරිහැටි සලකුණු වෙන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය හරහා මාක්ස්වාදී බුද්ධි සම්ප‍්‍රදාය තුළට ප‍්‍රවිෂ්ට වීමත් සමගයි. මෙම කතිකාමය පෙරමුණු දෙක යා කරන චරිත ලංකාවේ බුද්ධි නිර්මිතය තුළ සුලබ නැහැ.

විශේෂයෙන්ම සුචරිත ගම්ලත්ගේ මට්ටමේ එවන් පුද්ගලයන් තවත් නැති තරම්. ලාංකීය පැරණි මෙන්ම තත්කාලීන කලා හා සාහිත්‍ය කෘති සේවනය කළ, ඒවා පිළිබඳ විචාර කතිකාවට මැදිහත්වූ, ඒවා අර්ථ විවරණය කළ, සංස්කරණය කළ හා, ඒ අතරම, මාක්ස්වාදී වාමාංශික දේශපාලන මාතෘකා පිලිබඳවත් ඒ තරමටම මැදිහත් වූ ඒවා ගැන ලියූ කියූ අයෙක් සුචරිත ගම්ලත්ගේ මට්ටමින් නම් අපට සිටියේ නැහැ. ඔහුගේ භූමිකාවේ මා දකින ප‍්‍රධානතම වැදගත්කම එයයි. මේ අනුව මම අදහස් කරන්නේ ඔහු තමයි ලංකාවේ පුරෝගාමි විකල්ප සංස්කෘතික බුද්ධිමතා. ඔහු පුරෝගාමි විකල්ප සංස්කෘතික බුද්ධිමතා වූයේ කෙසේද යන්න පුලූල්ව තේරුම් ගැනීමයි මේ ලිපියේ අරමුණ.

මහජන අවකාශය හා මහජන බුද්ධිමතා

ගම්ලත් සංස්කෘතික හා දේශපාලන ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ 1970 අග භාගයේ හා 80 දශකයේ මුල් භාගයේදීයි. මෙම ක්ෂේත‍්‍රයන් තුළ ඔහුව ස්ථානගත කිරීමට මත්තෙන් ඒ සදහා වැදගත්වන සංකල්ප දෙකක් හඳුන්වා දීමට මම කැමතියි.

i මහජන අවකාශය :(Public sphere)
ii මහජන බුද්ධිමතා :(Public Intellectual)

මහජන අවකාශය (Public sphere) යන්න සංකල්ප ගත කළේ හා ලෝකය පුරා ජනප‍්‍රිය කළේ තවමත් ජීවත්වන ජර්මානු චින්තකයෙකු වන යර්ගන් හබර්මාස් විසින්. අපේ ජීවිතය ගත්විට එය සමන්විත වන්නේ පුද්ගලික ජීවිතය හා සමාජ/මහජන ජීවිතය ලෙස කොටස් දෙකකින්. මේවා වෙන්කොට ඉරක් ඇඳීමට පුලූවන් කමක් නැහැ. එසේ වුනත් අප නිරත සමාජ ක‍්‍රියාවලිය නිසා හැදෙන යම්කිසි අවකාශයක් පබ්ලික්ස්පියර් ලෙස නම් කෙරෙනවා.

හබර්මාස් පවසන මහජන අවකාශය නමැති සංකල්පය බොහෝ දෙනෙක් පාවිච්චි කර තිබෙන්නක්. අපගේ සාකච්ඡාවට අදාලව විමල් දිසානායක විසින්‘Sinhala Novel and the Public Sphere’ නමින් කෘතියක් සම්පාදනය කර තිබෙනවා. විමල් දිසානායකගෙන්ම උපුටා ගත්තොත් හබර්මාස් මේ මහජන අවකාශය යැයි හඳුන්වා දෙන්නේ කුමක්දැයි අවධානයට ගෙන බලමු. හර්බමාස් මහජන අවකාශය නිර්වචනය කරන්නේ පුරවැසියන්ට තමන්ගේ පොදු අභිලාෂයන්ට අදාළව, ශාරීරික අඩන්තේට්ටම් වලට හා ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු නොවී සිය අදහස් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශකොට මහජන මතය ගොඩනැංවිය හැකි අපගේ සමාජ ජීවිතවයට අදාළ අඩවියක් ලෙසටයි(“Public Sphere as, ‘a domain of our social life where such things as public opinion can be formed (where) citizens ... deal with matters of general interest without being subject to coercicion … to express and publicize their views)' . ප‍්‍රංශ ජාතික චින්තකයෙකු වන ඔන්රි ලෙෆබර් (Henri Lefebvre) මහජන අවකාශය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කරනු ලැබ ඇති අදහසක් ගෙන හැර දැක්වීමද මෙහි දී වැදගත්.

ඔහු ප‍්‍රකාශ කරන්නේ සමාජමය නිෂ්පාදනයක් වන සමාජ අවකාශය බලයේ හා ආධිපත්‍යයේ අඩවියක්ද වන බවයි (Social space is a social product - the space produced in a certain manner serves as a tool of thought and action. It is not only a means of production but also a means of control, and hence of domination/power).

හර්බමාස් ගේ නිර්වචනය තුළ මහජන අවකාශය කිසියම් ආකාරයක පරමාදර්ශි තත්වයක් හා අහිංසක තැනක් ලෙස පෙනී යන්නේ නම්, ලෙෆබර් විසින් එය ඒ තුළ අඩංගු බල සංඝටක හා විවිධ පිරිස් විසින් මෙහෙයවනු ලබන මිනිස් ක‍්‍රියාකාරකම් විසින් හසුරුවනු ලබන තැනක් බව පෙන්නුම් කරනු ලබනවා.

මෙහිදී ඒ අනුව අපට ප‍්‍රකාශ කළ හැක්කේ මෙම මහජන අවකාශය මූලික වශයෙන් අපට අභිමුඛ වන්නේ එම අවකාශය තුළ තම මත ප‍්‍රකාශ කිරීමට තරම් බලවත් හඩවල් (dominant voices) හිමි වුන් ආධිපත්‍යය දරන ස්ථානයක් ද ලෙසටයි. මෙම පොදු සමාජ අවකාශය තුළ යම්කිසි සමාජ කණ්ඩායමක පොදු අභිමතය (collective will) ප‍්‍රකාශයට පත් කරන්නා මහජන බුද්ධිමතායි. කෙසේ වෙතත් ඇතැම් විට එය ඔහුගේ/ඇයගේ පෞද්ගලික අභිමතය (Individual will) වීමට ද ඉඩ තිබේ. එ විට එය සාකච්ඡාවට භාජනය වීම තුළ සහ එම අදහස් ක‍්‍රියාවට පෙරළීම තුළ පරීක්ෂාවට භාජනය වේ. එවිට වාද විවාද පැන නඟී. මෙලෙස ඇතිවන සංවාදය තුළ විධිමත් ලෙස නිරත වීම සෑම කෙනෙකුටම කළ හැක්කක් නොවේ. ඒවාට විශේෂ පරිචයක් ඇති පුද්ගලයන් (specially trained individual) අවශ්‍ය වේ.

අපට මහජන බුද්ධිමතුන්ගේ භූමිකාව ස්ථානගත කළ හැක්කේ මෙන්න මෙතැනයි. මෙය අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. සුචරිත ගම්ලත් හා ගුණදාස අමරසේකර මහජන අවකාශය තුළ සංවාදයක නිරත වන්නේ යයි සිතමු. සිංහලයාගේ අභිමතය මේ යයි අමරසේකර කියන විට ගම්ලත් එය එසේ නොවේයයි කියමින් සංවාදයකට එළඹේ. මේ සංවාදය කල හැක්කේ ඒ සඳහා විශේෂ පරිචයක් ලැබූ බුද්ධිමතුන්ටයි. මේ අර්ථයෙන් ගුණදාස අදරසේකර මෙන්ම සුචරිත ගම්ලත් ද මහජන බුද්ධිමතුන් ලෙස සැලකිය හැකියි.

සාම්ප‍්‍රදායික සමාජ ජීවිතය අහෝසි වීම

අපි දැන් මහජන බුද්ධිමතෙකු ලෙස සුචරිත ගම්ලත් ගේ භූමිකාව සලකා බලමු. අපි මුලින්ම ඔහු මහජන බුද්ධිමය ක‍්‍රියාකාරකම් ක්ෂේත‍්‍රයට පැමිනෙන විට ලංකාවේ බුද්ධිමය නිර්මිතය ව්‍යුහගත වී තිබූ ආකාරය මදක් සලකා බලමු. එහිදී දහනව වන ශතවර්ශයේ ලංකාවේ ඇති වූ සංස්කෘතික පුනරුදය දෙස අවධානය යොමු කිරීම වැදගත්. අද අපි වර්තමානයේ ‘නූතන සමාජය’ කියා හඳුන්වන දේ පැන නඟින්නේ 19 වන ශත වර්ෂය මැද භාගයේදීයි. මේ කාලය වන විට පෘතුගීසි හා ලන්දේසි පාලනයන් නිසා විශේෂයෙන්ම බස්නාහිර හා දකුණු පළාත්වල පැවති සාම්ප‍්‍රදායික සමාජ ජීවිතය අහෝසි වෙමින් පැවැතියා.

මේ තත්වය තුළ අපිට පේනවා බි‍්‍රතාන්‍ය යුගයේ මැද හරියේ දී, එනම් දහනව වන ශතවර්ශයේ මැද දී අලූත් මහජන අවකාශයක් ඇති වීම. මෙ කළ උඩරට පැවැති පූර්ව යටත් විජිත සමාජ සැකැස්ම තීරණාත්මක ලෙස බිඳ වැටෙමින් තිබූ අතර 1818 කැරැල්ල මුළුමනින්ම මැඩ පැවැත්වීම මෙහිදී තීරණාත්මක සාධකයක් වුනා. උඩරට ප‍්‍රභූ පැලැන්තිය මර්ධනය කිරීමෙන් පසු උඩරට පාලන තන්ත‍්‍රය සහමුලින්ම බිඳ වැටී බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයට නතුවීම දක්නට ලැබෙනවා. මෙතැනින් පසුව විශේෂයෙන්ම දකුණු හා බස්නාහිර වෙරළ බඩ ප‍්‍රදේශ ආශ‍්‍රිතව ක්ෂේත‍්‍ර ගණනාවක වැදගත් වර්ධනයන් කීපයක් දක්නට ලැබෙනවා. මුද්‍රණ යන්ත‍්‍රය බහුල ලෙස භාවිතයට ගැනීම නිසා 1850 ගණන් වන විට සිංහල පුවත්පත් හා සඟරා බිහි වීමට පටන් ගැනෙනවා.

මේ සඳහා පසුබිම සකසන වැදගත් වර්ධනයක් වන්නේ 18 වන ශත වර්ෂයේ මැද භාගයේදී උඩරට ප‍්‍රදේශයේ ආරම්භවන වැලිවිට සරණංකර හිමියන්ගේ ව්‍යාපාරයයි. උඩරට පන්සල් කීපයක් හැදුන ද ඒවා ආශ‍්‍රිතව යම් තරමකට ශාස්ත‍්‍රීය වැඩ කටයුතු කෙරුණ ද මේ ව්‍යාපාරය මහනුවර ප‍්‍රදේශයේ ශීඝ‍්‍ර සංස්කෘතික වෙනසක් ඇති කලේ නැහැ. මේ ව්‍යාපාරය වැදගත් වන්නේ එය විශේෂයෙන්ම මාතර ප‍්‍රදේශයටත් එතැනින් ගාල්ලටත්, මුහුදු තීරය දිගේ කොළඹ දෙසටත් විහිදී යාම නිසායි. 19 වන සියවසේ අග භාගය වන විට ඇතිවන ශාස්ත‍්‍රීය ප‍්‍රබෝධය නව බුද්ධිමය ව්‍යාපාරයක් බවට පත්වීමේ ගතිකත්වයකින් යුක්ත වුනා.
මේ බුද්ධිමය ව්‍යාපාරය මූලාශ‍්‍ර කීපයකින් පෝෂණය වුනා. එක් අතකින් මුද්‍රණ තාක්ෂණය ද අනෙක් පසින් අලූතින් වර්ධනය වන ව්‍යාපාරික පංතියේ සහායද මීට ලැබුණා. එමෙන්ම විශාල ජාත්‍යන්තර සහයෝගයක් ද හෙන්රි ඕල්කට් වැන්නන් හරහා ලැබෙන අතර අධ්‍යාපන කෙරේ විශේෂ උනන්දුවක් ඇති වුනා.

ස්වදේශීය ඉංග‍්‍රීසි උගතුන් පිරිසක් වර්ධනය වී ඔවුන්ගේ සහය මේ ව්‍යාපාර වලට ලැබීම සිදුවුනා. මෙලෙස මේ ව්‍යාපාරය බෙහෙවින් කාර්යක්ෂම හා දැවැන්ත ලෙස වර්ධනය වුනා. පසුව එය යටත් විජිත පාලනයට හා ක‍්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයට විකල්ප බුද්ධිමය බලවේගයක් බවට පත්වෙනවා.

නූතන සමාජය ඇතිවීම

මේ බුද්ධිමය ක‍්‍රියාකාරකම් නිසා ඇතිවන නව මහජන අවකාශය තමයි අද අපි නූතන සමාජය ලෙස හඳුන්වන්නේ. නිෂ්චිත අර්ථයකින් සැලකූ විට ‘නූතන ලංකාව’ හෝ ‘නූතන ශිෂ්ඨාචාරය’ යන සංසිද්ධිය ඇරඹෙන්නේ මේ මහජන අවකාශයෙන් බව කිව හැකියි. මීට සමාන්තරව නව මහජන අවකාශයක් උතුරේ ද ඇති වුනා. උතුරේ ජනවාර්ගික ප‍්‍රශ්නයේ ප‍්‍රභවය දැකිය හැක්කේ නූතන ලංකාව මෙවැනි සංස්කෘතික-බුද්ධිමය කේන්ද්‍රස්ථාන දෙකක් ආකාරයෙන් වර්ධනය වීම තුළයි. මින් එකක් දකුණු හා බටහිර මුහුදු බඩ ප‍්‍රදේශයේ මාතර සිට කොළඹ දක්වා ප‍්‍රදේශය කේන්ද්‍ර කොටගත් අතර අනෙක යාපනය කේන්ද්‍ර කොටගත්තකි. මෙම මහජන අවකාශ ආගමික හා වාර්ගික අනන්‍යතා මුල් කොට ගත්, එමෙන්ම, ලෙෆබර් කියන ආකාරයේ ආධිපත්‍යමය අවකාශ.

මෙම මහජන අවකාශයේ වර්ධනය තුළ සමාජය පිළිබඳ නව පරිකල්පනයක් සකස් වන අතර ජාතික නිදහස දිනාගත යුතු බවත් පැරණි නැතිවී ගිය ‘අපේ සිංහල බෞද්ධ උරුමය’ යළි අත්පත්කරගත යුතු බවත් මෙම පරිකල්පනයේ මූලික සංඝඨක විය. හදුනා ගැනීමේ පහසුව සඳහා සහ මෙහි මූලික ලක්ෂණ ද සලකා බලා මෙම මහජන අවකාශය ‘සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය’ ලෙස හැඳින්වීමට මම කැමතියි.

වාමාංශික ව්‍යාපාරයේ නැගීම

අපගේ සාකච්ඡාවට වෙහෙවින් වැදගත් වන තවත් වර්ධනයක් නම් 1930 ගණන් වල වර්ධනය වන වාමාංශික ව්‍යාපාරයයි. මීට ප‍්‍රභවය දුන් මූලාශ‍්‍ර 3 ක් හඳුනා ගන්න පුළුවන්.

01. බටහිර අධ්‍යාපනයට ගොස්, එහි ව්‍යාප්තව පැවැති රැඩිකල් මාක්ස්වාදී සමාජවාදී අදස්වලින් ආශ්වාදය ලැබ, පෙරළා පැමිණ දේශපාලන ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ තරුණ පිරිස්.

02. මූලික වශයෙන් කොළඹ නගරය ආශ‍්‍රිතව වර්ධනය වන කම්කරු පංතිය හා ඒ ආශ‍්‍රිතව ඇතිවන වෘත්තිය සමිති ව්‍යාපාර. පුරෝගාමී වාමාංශික නායකයින්ගේ මූලික දේශපාලන උනන්දුව පැවැතියේ මේ කම්කරුවන් දේශපාලනමය වශයෙන් සංවිධානය කිරීමටයි.

03. ග‍්‍රාමීය දුගී ගැමි ගොවීන් හා ඉඩම් හිමි ප‍්‍රභූ තන්ත‍්‍රය අතර වූ විභවාත්මක ගැටුම. මෙය කම්කරුවන් හා ඔවුන්ගේ හාම්පුතුන් අතර පැවතියා සේ විවෘත ගැටුමක් නොවූවද අතර එය සැඟවුණ ප‍්‍රතිවිරෝධයක් වුනා.

මේ මූලාශ‍්‍ර තුන උගත් තරුණ පිරිස්, කම්කරුවන් හා දුගී ගැමි ගොවීන් යන සංඝටක තුන එකතුවීමෙන් පුළුල් අර්ථයෙන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ලෙස අපට නම්කල හැකි අලූත් සමාජ-දේශපාලන අවකාශයක ආරම්භය සලකුණු වෙනවා. මෙය අපට නව බුද්ධිමය ක්ෂිතිජයක ආරම්භයක් ලෙස ප‍්‍රකාශ කිරීමට පුළුවන්.

මෙය මුලින් සඳහන් කළ 19 වන ශතවර්ෂයේ මැදි දී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය තුළින් පැන නැගී බුද්ධිමය අවකාශයට වඩා වෙනස් වු එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මූලිකම වෙනස දැකිය හැක්කේ මෙකී අවකාශ දෙක තුළ විමුක්තිය පිළිබඳ සාධකය ගැබ් වී ඇති ආකාරයේ ඇති වෙනසයි. ඕනෑම මහජන කතිකාමය අවකාශයක විමුක්තිය පිළිබඳ යම් අදහසක් දැකිය හැකියි. මෙම වාමාංශික අවකාශය තුළ එය මූලික වශයෙන්ම දක්නට ලැබුනේ පීඩිත සමාජ පංතීන් ට අයත් ජනයාගේ විමුක්තිය පිළිබඳ සංකල්පනයක් ලෙසටයි. පළමුවෙනුව කී ‘සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය’ තුළ විමුක්තිය පිළිබඳ සංකල්පනය පැවැතියේ ‘ජාතික විමුක්තිය’ ලෙසටයි. එසේම එම ජාතික විමුක්තිය පිළිබඳ සංකල්පනයද එහි තාර්කික අවසානය තුළ සිංහල-බෞද්ධයාගේ විමුක්තිය ලෙස සීමා කෙරුණා.

කෙසේ වෙතත් ‘සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය’ තුළ ද ප‍්‍රයොජනවත් විභවයන් පැවැති බව කිව හැකියි. වාමාංශික දේශපාලනය තුළ කි‍්‍රයාකාරී වූ පුරෝගාමීන් පවා මෙම විභවය හඳුනාගෙන තිබුණා. ඇත්ත වශයෙන්ම එහි සීමාවන් හඳුනා ගැනීමට හා ඒවා අතික‍්‍රමණය කිරීමට දුෂ්කර වන තරමටම මෙම පුරෝගාමීන් මේ විභවයන්ට ආශක්ත වී සිටි බව කිව හැකියි. කෙසේ වෙතත් වාමාංශික ව්‍යාපාරයේ විමුක්ති වාදී දේශපාලන පරිකල්පනයට සාපේක්ෂව සලකා බලනවා නම් ‘සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය’ ලංකාවේ ධනේෂ්වර මහජන පරිමණ්ඩලය (bourgeoisie public sphere) ලෙස හැඳින්විය හැකියි. එනම් එහි මූලික දිශානතිය වූයේ ප‍්‍රාග්ධනය රැස් කිරීමේ නිරතව සිටි පිරිසගේ පොදු අශිලාෂයයි. මීට වෙනස්ව වාමාංශික ව්‍යාපාරය තුල තිබුණේ පොදු ජන විමුක්තිය පිළිබඳ අදහසකි. එබැවින් මේ ව්‍යාපාර දෙක එකට පෑහුණේ නැහැ.

කෙසේ වෙතත් මුල් ව්‍යාපාරයට සාපේක්ෂව ගත්කළ තමන්ගේම වූ බුද්ධිමය සම්ප‍්‍රදායක් ගොඩනැගීමට වාමාංශිකයින්ට නොහැකි වුනා. කම්කරු පංතිය මුල් කරගත් සම්ප‍්‍රදායික මාක්ස්වාදය වෙතින් පැමිණි බුද්ධි සම්ප‍්‍රදාය ඔවුන් සතුව තිබුනත් ලංකාව පිළිබඳ සංයුක්ත අදහසක් ඔවුනට තිබුණේ නැහැ. මේ නිසා වාමාංශික ව්‍යාපාරයේ බුද්ධිමය සීමාව වූයේ පළමු මහජන අවකාශයේ දේශපාලන පරිකල්පනයේ ක්ෂිතිජය ඉක්මවීමට ඔවුනට හැකි නොවීමයි. ඔවුන් බොහෝවිට ජාතිකවාදී උගුල්වල පැටලූණේ මේ නිසායි.

සුචරිත ගම්ලත්ගේ බුද්ධිමය ආගමනය සිද්ධ වන්නේ මේ සීමාව අතික‍්‍රමණය කිරීමේ අභියෝගයට වාමාංශික පරිකල්නය මුහුණ දී සිටි මොහාතකයි. අපට ඔහු හැඳින්විය හැක්කේ මේ පරිමණ්ඩල දෙකටම අයත් කතිකාමය අවකාශ තුළ ඉතාම පහසුවෙන් සැරිසැරීමට හැකි බුද්ධිමය පුහුණුවක් තිබුනා වූ ද, ඒ අතරම වාමංශික දේශපාලන පරිකල්පනයේ සිට සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලයේ පටු වාර්ගික ආගමික මෙන්ම බූර්ෂුවා සීමා ද සමතික‍්‍රමණය කිරීම සඳහා දැනුවත්ව මැදිහත් වූ ද පුරෝගාමී විකල්ප මහජන බුද්ධිමතා ලෙසින්.

විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් හතර දෙනා හා සුචරිත ගම්ලත්

සුචරිත ගම්ලත් දෙස එක එල්ලේ බැලූවොත් ඔහු ‘සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය’ මගින් නිර්මිත බුද්ධිමය ක‍්‍රියාකාරකම් වල ප‍්‍රමුඛයෙක්. සම්භව්‍ය කෘති සංස්කරණය, ඒවාට අදාලව විවරණ සැපයීම, ඒ සඳහා අවශ්‍ය වූ ප‍්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ආදිය පැත්තෙන් ගත්විට ඔහු ඒ අංශයන්හී ප‍්‍රමුඛ බුද්ධිමතෙක්. නමුත් ඔහුගේ බුද්ධිමය අනන්‍යතාවය සකස් වන්නේ එම කතිකාව තුළ නොවේ. විශේෂයෙන්ම 1970 ගණන් වල මුල්හරියේ දී ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට සම්බන්ධ වීම හරහා ඔහුගේ බුද්ධිමය මැදිහත් වීමේ මූලික විප්ලවීය පරිවර්තනයක් සිදුවේ. කාල් මාක්ස් ගේ බුද්ධිමය විකාශයට අදාළව ලූයී අලතූසර් පරිහරණය කරන වචන වලින් කියනවා නම් මේ ඛණ්ඩනයට පසු සුචරිත ගම්ලත් ‘පරිනත ගම්ලත්‘ ලෙස හැඳින්වීමට කැමතියි.

සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය තුළ අවකාශමය වශයෙන් පිහිටි බුද්ධිමය ක‍්‍රියාකාරකම්වල නිරත වීමේ දී ‘පරිනත ගම්ලත්ගේ’ ව්‍යායාමය වුයේ මෙම බුද්ධිමය අවකාශය තුළ පිහිටා තිබූ සම්භාව්‍ය සාහිත්‍යට හා සංස්කෘතියට අදාළ බුද්ධිමය ක‍්‍රියාකාරකම් ඒවායේ වූ බුර්ෂුවා සහ පටු සිංහල-බෞද්ධ ජාතිකවාදී හිරගෙයින් මුදවා ගැනීමයි. විශේෂයෙන්ම බුදුදහම පවා සිංහල - බෞද්ධ ආගමික හා ජාතිකවාදී චින්තනයෙන් මුදවා ගැනීමට උත්සාහ දැරීමක් ඔහුගේ බුද්ධිමය ක‍්‍රියාකාරිත්වය තුළ හඳුනා ගත හැකිය.

70 ගණන් වල මුල දී සිදුවන ඛණ්ඩනය මගින් ගම්ලත්ව තල්ලූ කරනු ලබන්නේ විකොස මගින් නියෝජනය කළා වූ ආධානාග‍්‍රාහී ට්‍රොට්ස්කිවාදී බුද්ධිමය කතිකාව තුළට පමණක් නොව මේ වනවිට කොළඹ නාගරික තරුණ පිරිසක් වටා ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පැවැති රැුඩිකල් කලා සංස්කෘතික කතිකාවක මධ්‍යයටම ඔහු තල්ලූ වීමක්ද දැකිය හැකියි.

මේ පසුව කී කතිකාමය අවකාශය ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසය තුළ අතිශයින් තීරණාත්මක වැදගත් කමක් සහිත එකකි. මෙම කතිකාමය අවකාශය මා උචිත වචනයක් සොයා ගැනීමට නොහැකි නිසා ඇවන්ගාඞ් වාමාංශය ලෙසින් හැඳින්වීමට කැමතියි. මෙම කතිකාවේ ආරම්භක අවධියේ ද්‍රව්‍යාත්මක පදනම වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් නගරයට සංක‍්‍රමණය වී ආගන්තුක අගනාගරික සමාජ මිනිස් සම්බන්ධතා වලට මුහුණ දෙන තරුණ පිරිස මුණදෙන සමාජ අධ්‍යාත්මික අර්බුදයයි.

මෙම ඇවන්ගාඞ් කතිකාවේ ඉතිහාසය සොයා බලනවිට එහි ආරම්භය මා දකින්නේ ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ වැනි අයගේ සාහිත්‍ය ව්‍යාපාරය තුළයි. සිරි ගුනසිංහගේ ‘හෙවනැල්ල’ සහ ගුණදාස අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ වැනි කෘතිවල ආමන්ත‍්‍රණය කරන මිනිස් අත්දැකීම් ක්ෂේත‍්‍රය වන්නේ ගම්වලින් නගරයට සංක‍්‍රමණය වී වෙනස් සමාජ මිනිස් සම්බන්ධතා වලට මුහුණ දෙන තරුණ පිරිසකගේ මානසික ලෝකය යි. තවත් වැදගත් දෙයක් තමයි මේ කෘතිවල එන කතිකාමය පරිකල්පනය තුළ අපට හඳුනා ගන්න පුළුවන් සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලයේ මෙන්ම වාමාංශික මහජන පරිමණ්ඩලයේත් බුද්ධිමය ක්ෂිතිජයන්ට ඔබ්බෙන් පිහිටි කතිකාමය ලක්ෂණ.

අමරසේකර හා සිරි ගුණසිංහගෙන් පසුව සුගතපාල ද සිල්වා අජිත් තිලකසේන, සුමන ආලෝක බණ්ඩාර, පේ‍්‍රම රංජිත් තිලකරත්න, ගාමිණී හත්ටේටුවේගම, සිරිල් බී. පෙරේරා, සයිමන් නවගත්තේගම, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක වැනි අයගේ ක‍්‍රියාකාරකම් හරහා මෙම කතිකාමය අවකාශය ස්වායත්ත බුද්ධිමය අවකාශයක් ලෙස ආයතනගත වීම දක්නට පුළුවන්. මහජන බුද්ධිමතෙක් ලෙස සුචරිත ගම්ලත් ගේ මැදිහත්වීම මෙම මූලික වශයෙන් නාභිගත වූයේ මෙම ක‍්‍රියාකාරකම් ක්ෂේත‍්‍රය මතයි.

විමල් දිසානායක සිය Enabling Traditions: Four Sinhala Cultural Intellectuals නැමති කෘතියේ සාකච්ඡා කරන්නේ සිය අවධානට ලක්වන බුද්ධිමතුන් සිව් දෙනා වන මාර්ටින් වික‍්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුණදාස අමරසේකර, ‘සම්ප‍්‍රදාය’ යනුවෙන් ඔහු විසින් හඳුන්වනු ලබන දෙය මේ බුද්ධිමතුන් සිව් දෙනාගේ බුද්ධිමය භාවිතය තුළ හැකිදෙයක් බවට පත්වන්නේ කෙසේ ද යන්නයි. අපගේ සාකච්ඡාව ඉදිරියට ගෙනයාම සඳහා අපට මෙහි දී ඇසිය හැකි ප‍්‍රශ්නයකක් වන්නේ විමල් දිසානායකගේ බුද්ධිමතුන් අතරට සුචරිත ගම්ලත් වැන්නෙක් ඇතුල් නොවන්නේ මන් ද යන්නයි. අවශ්‍ය නම් කෙනෙකුට විමල් දිසානායකගේ ලැයිස්තුවේ සිටින්නේ ලංකාවේ බුද්ධිමතුන් අතර ඉහළම සහ බලපෑම් සහගතම සිව් දෙනෙක් වන බැවින් එහි දී ගම්ලත් ට හිමිවීමට ඉඩ ඇත්තේ ඊට පහළ ස්ථානයක් බැවට තර්ක කළ හැකියි. එම තර්කයේ සාධාරණත්වයක් තිබුනත් මගේ පැහැදිළි කීරීම ඊට වෙනස් එකක්. මගේ තර්කය වන්නේ බුද්ධිමතෙක් ලෙස ගම්ලත් අයත් වන්නේ වෙනම ප‍්‍රභේදයකට බවත් මේ නිසාම කිසිසේත්ම ඔහු විමල් දිසානායකගේ රේඩාර් තිරයට හසු නොවන බවත්ය.

විමල් දිසානායක සිය බුද්ධිමතුන් සිව් දෙනා සිංහල සංස්කෘතික බුද්ධිමතුන් ලෙස හඳුන්වන විට ඒ හැඳින්වීම තුළ ඔවුන් ප‍්‍රමුඛ වශයෙන්ම සිංහල භාෂාවෙන් බුද්ධිමය ක‍්‍රියාකාරකම්වල නිරතවන බුද්ධිමතුන්ය යන අර්ථයට වඩා වැඩි දෙයක් අන්තර් ගතය. මට අනුව විමල් දිසානායක මෙහිදී අදහස් කරන්නේ මේ බුද්ධිමතුන් සිව් දෙනා මා ඉහත සඳහන් කළ 19 වන ශතවර්ශයේ මැද දී ආරම්භ වූ සිංහල-බෞද්ධ මහජන අවකාශය තුල නිර්මිත බුද්ධිමය පරිකල්පනය නියෝජනය කළ, එය පෝෂණය කළ හා එය ප‍්‍රතිනිෂ්පාදනය කළ බුද්ධිමතුන් බවයි. ගම්ලත් සිටින්නේ පැහැදිලිවම මෙම වර්ගීකරණයට පිටතිනි.

විමල් දිසානායකගේ කතිකාවට මෙන්ම ඉහත කී සිංහල-බෞද්ධ බුද්ධිමය කතිකාව තුළ ද කේන්ද්‍රීයව වැදගත් වූ ‘සම්ප‍්‍රදාය’ යන්න සුචරිත ගම්ලත්ගේ කතිකාව තුළද හඳුනා ගැනීමට හැකියාව ලැබුන ද එහි පැහැදිළි අර්ථමය වෙනසක් ඇත. විමල් දිසානායකගේ ද අවධානයට යොමු වන එරික් හොබ්ස්බෝම් ගේ ‘සම්ප‍්‍රදාය සොයාගැනීම (invention of tradition) යන අදහසින් වගේම මිෂෙල් ෆූකෝ ගේ ‘කතිකාව’ පිළිබඳ අදහසින් ද ආභාසය ලබා අපට ප‍්‍රකාශ කළ හැක්කේ විමල් දිසානායක ගේ ‘සම්ප‍්‍රදාය’ කතිකාමය ගොඩ නැංවීමක් බවයි. එය ඉහත කී සිංහල-බෞද්ධ කතිකාවේ පෞරාණිකත්වය පිළිබඳ කියා පෑමේ වර පත‍්‍රයයි (charter of the primordial claim). මෙම සිංහල-බෞද්ධ කතිකාව පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ හෙජමොනීකරණ දෘෂ්ටිවාදයේ ප‍්‍රමුඛ සංඝඨකයක් ලෙස ක‍්‍රියාත්මක වන්නේ ම මෙම ‘සම්ප‍්‍රදාය’ පිළිබඳ පෞරාණිකමය කියාපෑම මගින් අත්පත් කරගන්නා යුක්තිසහගතභාවයේ අධිකාරී බලයෙනි.

සුචරිත ගම්ලත් ගේ ඓතිහාසික භූමිකාව වූයේ මේ ‘සම්ප‍්‍රදාය’ උච්ඡුාරණය කරමින් කි‍්‍රයාත්්මක වූ හෙජමොනීකරණ දෘෂ්ටිවාදයේ අධිකාරී බලයට අභියෝග කිරීමයි. එම අභියෝග කිරීමේ ඉතා වැදගත් ලක්ෂණ දෙකක් මෙහිදී ගෙනහැර දැක්වීමට මම කැමතියි. එකක් තමයි ‘සම්ප‍්‍රදාය’ පිළිබඳ අධිපති දෘෂ්ටිවාදයේ රාමුවට පිටතින් සිට සහ එම අධිපති දෘෂ්ටිවාදයට අභියෝග කරමින් මේ ඊනියා ‘සම්ප‍්‍රදායේ’ අඩංගුව නියෝජනය කිරීමට ඔහුට හැකියාව තිබීම සහ ඔහු එය ඉතාම සක‍්‍රීයව සිදු කිරීම. මෙහි දී මා අදහස් කරන්නේ ප‍්‍රාචීන භාෂා ශාස්ත‍්‍ර අධ්‍යයන ක්ෂේත‍්‍රය තුළ ඔහුගේ අධිකාරීමය මැදිහත් වීමයි.

දෙවැන්න වන්නේ මෙම අධිපති දෘෂ්ටිවාදය පුනර්නිෂ්පාදනය කෙරුණු බූර්ෂුවා සිංහල-බෞද්ධ මහජන අවකාශයට ප‍්‍රති පක්ෂව විකල්ප කතිකාමය මහජන අවකාශයක් ගොඩවැංවීම සඳහා වූ ඔහුගේ දායකත්වය. මා ඉහත සඳහන් කළ ඇවන්ගාඞ් වාමාංශය කෙරෙහි සුචරිත ගම්ලත්ගේ නැඹුරුව තුළ මෙන්ම මහජන බුද්ධිමතෙක් ලෙස ඔහුගේ ඉතාම සක‍්‍රීය ක‍්‍රියාකාරිත්වය තුළ ද මේ ලක්ෂණය කදිමට හඳුනා ගත හැක.

ලංකාවේ සම්ප‍්‍රදායික වාමාංශික දේශපාලනය තුළ දක්නට ලැබුණු ප‍්‍රධාන අඩුපාඩුවක් වූයේ ස්වායත්ත බුද්ධිමය ක‍්‍රියාකාරිත්වයක් පිළිබඳ දැක්මක් එයට නොතිබීමයි. එම අඩුවට හේතුව ලෙස මා දකින්නේ අදහස් පිළිබඳ ක්ෂේත‍්‍රය අරගල ක්ෂේත‍්‍රයක් ලෙස නොදැකීමයි. දෘෂ්ටිවාදය කේන්ද්‍රීය අරගල ක්ෂේත‍්‍රයක් ලෙස නිෂ්චිත වශයෙන් හඳුනාගනු ලබන අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි ගේ ප‍්‍රවාද පිළිබඳ දැනුමක් ඒ වන විටත් ලංකාවේ මාක්ස්වාදී කතිකාව තුළ දක්නට නොලැබුණා පමණක් නොව පැවැති අධිපති මාක්ස්වාදී කතිකාව තුළ එයට පිළිගැනීමක් ලැබීමට ඉඩක්ද නොතිබුණි. සුචරිත ගම්ලත් මාක්ස්වාදී කතිකාව තුළ ස්ථානගත වී සිටි ආධානග‍්‍රාහී ට්‍රොට්ස්කිවාදී ස්ථාවරය ද එවැනි පිළිගැනීමකට තරම් විවෘතභාවයක් පැවැති කතිකාවක් නොවීය.

කෙසේ වෙතත් ලංකාවේ මාක්ස්වාදී වාමාංශය තුළ ගම්ලත් අයත්වූ විප්ලවවාදී කොම්යුනිස්ට් සංගමයට පැවැතියේ ඉතා සුළු ජනතා ආකර්ශනයක් බැවින්, ඊට හිළව් කිරීම සඳහා තියුණු බුද්ධිමය පරිශ‍්‍රමයක නිරත වීමට එම සංවිධානයට සිදු විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ මා මුලින් සඳහන් කළ ඇවන්ගාඞ් වාමාංශයේ ක‍්‍රියාධරයින් තුළ විකොස කෙරෙහි විශාල බුද්ධිමය ආකර්ශනයක් ඇති වීමයි. මෙම බුද්ධිමය ක‍්‍රියාකාරිත්වයේ කේන්ද්‍රයේ සිටියේ කීර්ති බාලසූරිය වන අතර සුචරිත ගම්ලත් හා පියසීලී විජේගුණසිංහ මෙම ඇවනගාඞ් වාමාංශය සමඟ විකොස සම්බන්ධ කළ ප‍්‍රධාන පුරුක් දෙක විය. ඒ අතරින් ද පියසීලී විජේගුණසිංහ අභිබවා සුචරිත ගම්ලත් පෙරමුණට පැමිණියේ පියසීලී විජේගුණසිංහ වැඩි වැඩියෙන් විකොස තුළට නැඹුරු වූ අතර ගම්ලත් වැඩි වැඩියෙන් බාහිරට යොමුවීම නිසාය.

සිය ජීවිතයේ අවසාන දශක දෙක තුළ වැඩි වැඩියෙන් මහජන බුද්ධිමතෙකු ලෙස මැදිහත් වීමට සුචරිත ගම්ලත් උත්සාහ කළ බව පැහැදිළිය. ඔහු ‘ඉරුදින’ පුවත්පතට කාලයක් තිස්සේ අඛණ්ඩ ලෙස සැපයූ ලිපි මේ මැදිහත් වීම තුළ සුවිශේෂී තැනක් ගනී. මේ ලිපි වල අඩංගුව සම්බන්ධයෙන් විවේචවාත්මක වීමට හැකියාව තිබුනද ඒවායේ කතිකාමය වැදගත් කමට ඉන් කිසිඳු හානියක් සිදුනොවේ. විශේෂයෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදයේ අන්තවාදී ප‍්‍රවණතා වල නැගීම හමුවේ ඒ සම්බන්ධව ඔහුගේ ස්ථිරසාර මැදිහත් වීම් ජාතිකවාදී නොවූ සිංහල සුළුතරයට විශාල ශක්තියක් ගෙන දිණි.

අවසාන වශයෙන් මගේ යෝජනාව වන්නේ සුචරිත ගම්ලත් ගේ බුද්ධිමය උරුමය විචාරාත්මකව මෙන්ම විවේචනාත්මක ද ගවේශණය කිරීම ඔහු පුරෝගාමී වු විකල්ප බුද්ධිමය ක‍්‍රියාකාරිත්වය ඉදිරියට ගෙනයාම සම්බන්දයෙන් අතිශයින් වැදගත් බවයි. සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය විසින් බිහිකළා වූ බුද්ධිමතුන් සම්බන්ධව විමල් දිසානායකගේ අවධානය හෝ සමහර විට ඊටත් වඩා තියුණු අවධානයක් සුචරිත ගම්ලත් සම්බන්ධයෙන් මෙන්ම ඔහු ද පුරෝගාමී මැදිහත් වීමක් ලබා දුන් බුද්ධිමය කතිකාව කෙරෙහිද යොමුකිරීම අපගේ වගකීමයි.

(ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග උදේනි ජයවීර කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් මේ ලිපිය සම්පාදනය කළේ ශ්‍යාමා ජයවර්ධන)

මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අරමුණු කොටගත් "මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි 'මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට වාමාංශික පක්ෂ එකමුතුවක් සූදානම් වේ. මෙහි පළමු සම්මන්ත්‍රණය අප්‍රේල් 24 වන දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර මේ සඳහා ශ්‍රි ලංකා පෙර‍ටුගාමී පක්ෂය, පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී(මාක්ස්ලෙනින්වාදී) පක්ෂය සහභාගී වීමට නියමිතය.


කලාවේ විජිත සහ දේශපාලනයේ පුබුදු

"පීඩනයට ලක්වුන මනුස්සයාට තාවකාලික සන්තර්පනයක් ලබාදීම කලාවේ කාර්ය්‍ය කියලා අපි වරදවා තේරුම් අරන් ඉන්නවා.නමුත් කලාවේ කාර්ය්‍ය වෙන්නේ පීඩාවට පත් පුද්ගලයාට යථාර්තය දකින්න අවශ්‍ය හිඟ ධෛර්ය්‍ය සැපයීමයි".
කථිකාචාර්ය විජිත ගුණරත්න

"කලාව පිළිබදව අපිට තියන අදහස මුළු කලාවේ ඉතිහාසයම ගත්තොත් කළා කරුවාගේ පුද්ගලීක දුෂ්ඨියට කොටුවෙලා නැහැ .ඉතාමත් පටු දැක්මක් තියන කලා කරුවෝ ඉතා විශිෂ්ඨ කෘතී බිහි කරලා තියනවා" 
පුබුදු ජාගොඩ

ප්‍රවීණ කලා කරු කථිකාචාර්ය විජිත ගුණරත්න සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතුන් විවර නාලිකාව පවත්වන ලද සංවාදය.


Sunday, April 13, 2014

ජවිපෙ නව ගමන කොයිබටද ?

පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ තුළ අද වන විට නැවතත් කිසියම් පිබිදීමක් දක්නට ලැබේ. මෙවර මැතිවරණ ප‍්‍රතිපලයද ඒ සඳහා එක් උදාහරණයකි. එහිදී සීයට තුන්සීයක ඡන්ද වර්ධනයක් ආදී කෙන්ද කන්ද කර පෙන්වන වචන හරඹ කෙසේ වෙතත් ලබා තිබූ පරාජයේ තරමට සාපේක්ෂව ඔවුන් මේ මැතිවරණයේදී තරමක් ඉදිරියට පැමිණ තිබේ. එමෙන්ම ජවිපෙ නව නායකත්ව වෙනසද ඔවුන්ගේ මේ නව පිබිදීමට බලපෑ එක් හේතුවකි. අද විපක්ෂ දේශපාලඥයකු ලෙස අනුර දිසානායකගේ භූමිකාව පක්ෂ භේදයකින් තොරව පොදු සමාජ අවධානයකට ලක්ව තිබෙන්නක් යැයි කීම සදොස් නොවේ. ඒ අනුව ජවිපෙ මෙම නව පිබිදීමේ අනාගත දිශානතිය කෙබඳු එකක් වේ දැයි සැකෙවින් විමසා බැලීම මේ ලිපියේ මූලික අභිලාෂය වෙයි.

අද මේ රට ඉතා වේගයෙන් ඇද වැටෙමින් තිබෙන කාලකන්නි තත්ත්වය තුළ ඊට එරෙහි යහපත් දේශපාලන ව්‍යාපාරයක් මතුව ඒ නම් කුමන සීමාකම් මැද හෝ එය සතුටට කාරණයකි. එහිදී රටේ පුරවැසියකු ලෙස මගේ කැමැත්ත වනුයේද ජවිපෙ වැනි විකල්ප ව්‍යාපාර පරාජය වනු දැකීම නොව ඒවා ශක්තිමත්ව පෙරට එනු දැකිීමය. එහෙයින් ජවිපෙ විවේචනයට ලක් කිරීමේ කිසිදු පූර්ව අභිලාෂයක්ද මා තුළ නොවේ. එහෙත් ඔවුන්ගේ ගමන දෙස විමසුම් ඇසින් බැලීමේදී මට සැබවින්ම පෙනෙන දෙය ජවිපෙ කෙරේ වන සොඳුරු වැනුමක් නොවන්නේ නම් එය මගේ වරදක්ද නොවේ. මා මේ කාරණය මෙහිලා සඳහන් කළේම මා ජවිපෙ ගැන කරන ඕනෑම මිතුරු විවේචනයක් වුවද සතුරු ලෙස භාර ගැනීමට මගේ අතීත දේශපාලන සගයන් සැදී පැහැදී සිටින හෙයිනි.

මෙවර මැතිවරණයේදී ජවිපෙ තරමක් පෙරට ඒම එහි මිතුරු බලවේගවලට විශාල ආස්වාදයක් වී තිබේ. ඔවුන්ගේ ආස්වාදය අසාධාරණ නැතත් එකී පෙරට ඒම එතරම් අරුමයක් හෝ තම ජයග‍්‍රහණයේ නියත සලකුණක් ලෙස සැලකිය යුත්තක්ද නොවේ. සම සමාජ, කොමියුනට්ස් වැනි දේශපාලන පක්ෂ පවා තවමත් ඉතිරිව පවතින්නේ නම් ජවිපෙ වැනි පක්ෂයක් නුදුරු අනාගතයකදී අභාවයට නොයන බව අමුතුවෙන් නොකිව යුත්තකි. කුමන තරමේ පසුබෑම් හෝ පරාජයන්ට ගොදුරු වුවද උස් පහත්වන වර්ධනයක් සහිතව කාලයක් පැවතීමේ හැකියාව එම ව්‍යාපාර සතු වෙයි. ඇතැම් විට ඉදිරියේදී මීටත් වඩා එම වර්ධනයන් ඉහළ යාමට ඉඩ තිබේ. එසේ වුවද වර්ධනයන් අත් කර ගැනීමෙන් හෝ ෆීනික්ස් පක්ෂියා සේ නොනැසී පැවතීමෙන් පමණක් එම ව්‍යාපාරවලට තීරණාත්මක ජයග‍්‍රහණ කරා ලඟා විය හැකි යැයි සිතන්නේ නම් එය බලවත් මුලාවකි. තීරණාත්මක ජයග‍්‍රහණ කරා ළඟා වීමට නම් ඔවුන් විසින් සපුරා ගත යුතු සුදුසුකම් රාශියක් තිබේ. ඒ නිසාම ජවිපෙ සාමාජිකයන් තම ජයග‍්‍රහණ ගැන සතුටුවීම සාධාරණ වන්නේ ඔවුන්ගේ වත්මන් වර්ධනය එම ව්‍යාපාරය තුළ සිදුවූ ඉදිරිගාමී වෙනසක ප‍්‍රතිපලයක් වන්නේ නම් පමණකි. එවන් වෙනසක ප‍්‍රතිපලයක් නොවන විශාල වර්ධනයකට වඩා එවන් වෙනසක ප‍්‍රතිපලයක් ලෙස අත් කර ගන්නා පුංචි වර්ධනයක් වුවද බෙහෙවින් වැදගත් හා තීරණාත්මකය. එසේ වුවද අවාසනාවන්ත කාරණය වන්නේ ජවිපෙ වත්මන් වර්ධනය යනු හුදු සාමාන්‍ය උස් පහත් වීමක් විනා ජවිපෙ අලූතින් සිදු කර ගත් කිසිදු වෙනසක ප‍්‍රතිපලයක් නොවීමය. එය එසේ වන්නේ මන්ද යන්න මෙහිදී විමසා බැලිය යුතුව තිබේ.

මෑත ඉතිහාසයට අදාලව සලකා බලතොත් ජවිපෙ යනු 1994න් පසු යුගය තුළ ජය පිට ජය ලබමින් පෙරට ආ අභිමානවත් ගමනකින් පසුව මෝඩ ස්වයං විනාශයකට ගොදුරුව නැවතත් බිංදුවට ඇද වැටුණු දේශපාලන ව්‍යාපාරයකි. ඒ විනාශය නිසා එම පක්ෂයට පමණක් නොව මේ රටටද ලැබිය හැකිව තිබූ ජයග‍්‍රහණ ගණනාවක් නැති නාස්ති වී ගියේය. එම ව්‍යාපාරය වෙන්වෙන් කැපවූ සිය දහස් ගණනක් යහපත් මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කර දැමීමටද ඔවුන්ගේ පරාජය හේතුවිය. මේ නිසාම යළි නැගී සිටීමකදී ඔවුන් විසින් කළ යුතු පළමු කටයුත්තක් වන්නේ මේ දරුණු ඛේදවාචකය ගැඹුරින් විශ්ලේෂණය කර ගැනීමය. එසේ වුවද බාහිරව හෝ අභ්‍යන්තර වශයෙන් ඒ පිළිබඳ වැදගත් සංවාදයක් ජවිපෙ තුළ තවමත් දක්නට නැත. එවැනි සංවාදයක් තියා එකී පරාජයේ තරමට සරිලන කම්පාවක් හෝ ඔවුන් කෙරෙන් පළ වනු දක්නට නැත. ඒ වෙනුවට ජවිපෙ පිළිවෙත වී ඇත්තේ ”ඔව් අපි යම් පසුබෑමකට ලක් වුනා” වැනි ඉතා ලූහු විග‍්‍රහයන් හරහා ඒ බරපතල ඛේදවාචකය ගැන ඉතා නොවැදගත් ප‍්‍රතිචාර දැක්වීමය. ඒ නොවැදගත් ප‍්‍රතිචාර තුළද ඔවුන් සරල ලෙස අවධානයට ගනිමින් හිදින්නේ සන්ධාන හැදීම හෝ ඒවායින් ඉවත් වීම ආදී උපායමාර්ගික ගමනට අදාළ කාරණා පමණක් වන අතර ජවිපෙ පරාජය කෙරේ බලපෑ සූක්ෂම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා පිළිබඳ ඔවුන්ගේ කිසිදු අවධානයක් තවමත් පෙනෙන්නට නැත. ඇත්තෙන්ම ජවිපෙ විනාශය කෙරේ බලපෑ නරක ජන්ම ගති ලක්ෂණ රැසක් ජවිපෙ තුළ පවතින්නේ කිරි කලයකට ගොම බිඳක් නොව ගොම තලියක්ම මුසු වී ඇති පරිද්දෙනි. ඔවුන්ගේ සියලූ ප‍්‍රබලතා නිශේධනය කොට එම ව්‍යාපාරය පරාජය කරා ගෙන යාමට තරම් මේ අහිතකර ලක්ෂණ තීරණාත්මකය. නිළධාරීවාදය, පටු සංවිධාන ක‍්‍රමවේද, අනම්‍ය නීති රීති, දාර්ශනික අගතිීන්, අල්ප මතවාද, මෝඩ සංස්කෘතික ඇබ්බැහිකම් ආදී වශයෙන් හඳුන්වා දිය හැකි මේ නිශේධනාත්මක ප‍්‍රවණතා ජවිපෙ පසුගිය කඩා වැටීම කෙරේද අතිශය තීරණාත්මක ලෙස බලපෑවේය. ජවිපෙ ස්වයං විනාශය ගැන ලියූ ”බිඳුණු වම් අත” කෘතියේ වැඩිම ඉඩක් මා වෙන් කළේද මේ ප‍්‍රවණතා මොනවාදැයි විමසා බැලීමටය. එසේ වුවද අවාසනාවකට ජවිපෙ තුළ හෝ ඉන් පරිබාහිරව මේ තීරණාත්මක ප‍්‍රශ්නය ගැන තවමත් හරිහමන් සංවාදයක් නිර්මාණය වී නැත. ඒ වග ජවිපෙ නව නායකයා ඇතුලූ සියල්ලන්ගේ හැසිරීම්වලින් මනා සේ සනාත වෙයි.

ඊට අදාල උදාහරණ මොහොතකට සලකා බලමු. මාක්ස්වාදයේ සන්දර්භමය සීමා මායිම් කිසිවක් නොතකන ජවිපෙ තවමත් මාක්ස්වාදය සලකන්නේ ලෝකය පිළිබඳ පරම නිෂ්ඨාවක් ලෙසය. නිර්මාණශීලී ලෙස ආභාසය ලද හැකි වැදගත් දාර්ශනික හා දේශපාලන ප‍්‍රවණතාවක් ලෙස එය ඇසුරු කිරීමට ඔවුන් තවමත් සූදානමක් නැත. එතැනින්ද නොනවතින ජවිපෙ මේ වනවිටත් තම ජාතික පුවත්පතේ පිටු දොස්තරවරුන්ට සතිපතා වෙන්කර දෙමින් සිටින්නේ කසිකබල් හේතුවාදයක් සනාථ කිරීම සඳහාය. එය ඔවුන්ගේ මතවාදීමය අල්ප බව පිළිබඳ බලවත් නිදසුනකි. මෑතකදී නව නායකයා පුවත්පතකට පවසා තිබුනේ පක්ෂයට ද්‍රෝහීකම් කොට පලා ගිය අය හැරුණු කොට නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එකතු කර ගැනීමට තමන් සූදානම් බවය. ඒ ප‍්‍රකාශයේ අනෙක් අර්ථය වන්නේ පක්ෂය හැර ගිය සියලූ දෙනා ද්‍රෝහීන් හෝ අනවබෝධය ඇත්තන් පමණක් වන විට එසේ නොවූ සියලූ උත්තම පුරුෂයන් තවමත් ජවිපෙ තුළ යහතින් ඉතිරිව සිටින බවය. මේ අධිමානයේ මනස පක්ෂය ගැන බැතිමත් වර්ණනාවලට මිස ඊට අත්‍යාවශ්‍යම වන කටුක දේශපාලන සංවාදයට කිසිදා විවෘත වන්නේ නැත. ජවිපෙ නව හා පරණ නායකයන්ගේ සිට ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ ජවිපෙ වෙනුවෙන් දිවා රෑ මත පතුරුවා හරින්නන්ගේ කියුම් කෙරුම්වලින් පවා ප‍්‍රදර්ශනය වන්නේ මේ අධිමානයේ මනසමය. ඉතා අල්ප හා පටු බෙදීම් ඔස්සේ දේවල් දෙස බලන ඔවුන්ට තමන්ට වඩා වෙනස් මතයක් දරන තමන්ගේම මිතුරු පාර්ශවයන් පවා තවමත් පෙනෙන්නේ ද්‍රෝහීන් ලෙසය. මේ සියල්ල ඔවුහු තම කතාවෙන් හා ක‍්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිති. ඊට අදාල ආසන්නතම උදාහරණය වන්නේ සුමතිපාල මානවඩුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සාමාජික පිරිස් පළවා හැරීම සහ ඒ අතරින් දෙදනකුට පහර දීමය. මේ සියලූ කාරණාවල සරල සාරාංශය වන්නේ තම අනාගත යහපත වෙනුවෙන් අතීත මෝඩ ඇබ්බැහිකම් අත හැරීමට ජවිපෙ තවමත් හිත හදාගෙන නැති බවය. ජවිපෙ තුළ කෙතරම් යහපත් ප‍්‍රතිපත්ති හා කැපකිරීම් ආදිය පැවතුනද මේ විනාශකාරී අභ්‍යන්තර දුර්ගුණාංග සමඟ තීරණාත්මක ගමනක් යාමට ඔවුන්ට කිසිදා හැකි වන්නේ නැත. තමන්ගේ කිරි කලයෙන් මේ ගොම තලිය ඉවත් කරන තුරා කිිරි ගැන ඔවුන් කරන සියලූ කාව්‍යමය වර්ණනා බීරි අලියන්ට කරන වීනා ගැසීමක් බඳු වනු ඇත. කාලයෙන් කාලයට උස් පහත් වන ඡන්ද ප‍්‍රස්තාර දෙස බලා සිටීමේ සදාතනික ඉරණම පරාජය කිරීමට නම් ඔවුන් විශාල වෙනසකට සූදානම් විය යුතුය.

මීළඟට වැදගත් කාරණය වන්නේ ජවිපෙ උපාය මාර්ගය ආශ‍්‍රිතව ඔවුන්ගේ වත්මන් ගමන විමසා බැලීමය. එහිදී අවධානයට ගත යුතු කාරණා කීපයකි. රටේ වර්තමාන පාලනය යටතේ අද මේ රට පවතින්නේ ඉතා ජරාජීර්ණ තැනකය. මේ නරක තත්ත්වය වෙනස් කිරීමට වර්තමාන පාලනය අසමත් නම් ඒ වෙනස කළ හැකි පාලන තන්ත‍්‍රයක් පිහිටුවා ගත යුතුය. එසේ වුවද ඕනෑම වර්ගයක බල පෙරළියකින් හෝ අරාබි වසන්තයක් මඟින් උදා කර ගත නොහැකි ඒ වෙනස වෙත එක් පියවරක් හෝ තැබිය හැකි වන්නේ වඩා යහපත් ප‍්‍රගතිශීලී බලවේග අතට රටේ බලය මාරු කිරීමෙනි. එසේ වුවද අද මේ රටේ පවතින ආණ්ඩු විරෝධි ව්‍යාපාරය යනු එවන් ප‍්‍රගතිශීලී බලවේගයක් නොවේ. එම ව්‍යාපාරය ඉදිරියේදී පෙළ ගැසෙනු ඇත්තේ වත්මන් ආණ්ඩුව යුද්ධය හා බෙදුම්වාදය පැරදවීම ආශ‍්‍රිතව රටට ලබාදුන් වැදගත්ම ජයග‍්‍රහණය පවා ආපසු හැරවීම සඳහාය. රටේ වත්මන් ආණ්ඩුව පමණක් නොව ආණ්ඩු විරෝධී ව්‍යාපාරයද අද ජරාජීර්ණ අවුල් ජාලාවක් වෙයි. රටේ පවතින මේ තත්ත්වය තුළ අද ප‍්‍රගතිශීලී අරමුණු සහිතව ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාරයකට පසුකර යාමට සිදුවන්නේ ඉතා අසීරු හා සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එක් අතකින් වත්මන් පාලනයේ නොමනාකම් වලට විරුද්ධ වන අතරේම ඒ විරෝධය වෙනත් අශ්ශීල බලවේගයක ගිණුමට බැර නොවන ආකාරයෙන් කටයුතු කිරීමටද එවන් ව්‍යාපාරයකට සිදුවෙයි. එවන් ප‍්‍රවේශයක් මේ මොහොතේ තරමක් දුෂ්කර හා ළඟ පෙනෙන ඉක්මන් ඉලක්ක රහිත එකක් විය හැකි වුවද තෝරා ගත යුතු මාර්ගය එය මිස අන් කවරක්වත් නොවේ. එසේ වුවද ජවිපෙ වත්මන් උපාය මාර්ගික ප‍්‍රවේශය සලකා බැලීමේදී අපට දැකගත හැක්කේ කුමක්ද?

ජවිපෙ තම උපාය මාර්ගය වරදවා ගැනීමේ පළමු තීරණාත්මක අවස්ථාව 2005 ජනාධිපතිවරණය වන අතර එතැන් සිට ඔවුන් දිගින් දිගටම කළේ එකී මූලික වරද්දා ගැනීමේ දිශානතිය ඔස්සේම පෙරට යාමය. එම ගමනේ කඩිනම් ප‍්‍රතිපලය වූයේ ඡන්ද පදනම අතින් පමණක් නොව භෞතික හා අධ්‍යාත්මික වශයෙන්ද අන්තයට පිරිහී ගිය හා තම ගෞරවය සියතින්ම නැති නාස්ති කර ගත් ව්‍යාපාරයක තත්ත්වයට ජවිපෙ ඇද වැටීමය. 2011 වනවිට පෙරටුගාමී පක්ෂය ලෙස ජවිපෙන් කොටසක් බෙදී යාමටද මේ දරුණු ඇද වැටීම එක් හේතුවක් විය. මෙහිදී පෙරටුගාමී පක්ෂය වැඩිකල් යාමට පෙර කැඞී විසිරී ගිය නමුත් මේ හැල හැප්පීම් සියල්ලෙන් පසුව පවා ජවිපෙ නැවතත් ක‍්‍රම ක‍්‍රමයෙන් හිස ඔසවන්නට වූ අතර රාජපක්ෂ පාලනයේ නොමනාකම් විසින්ද ජවිපෙ භූමිකාවට විශාල සදාචාරාත්මක බලයක් හිමි කර දුන්නේය. ඒ අන්දමට ආණ්ඩු විරෝධය ඔස්සේ ජවිපෙ පෙරට ආ ගමනේ ආසන්න වැදගත් ලක්ෂය පසුගිය බස්නාහිර දකුණ මැතිවරණයි. 

මේ ආකාරයට අද වන විට ආණ්ඩු විරෝධී බලවේගයක් ලෙස ජවිපෙ භූමිකාව ආකර්ශණීය එකක් විය හැකි වුවද ඔවුන් තවමත් උපාය මාර්ගිකව වැදගත් ප‍්‍රවේශයක් ගෙන ඇතැයි සිතීම අසීරුය. ජවිපෙ වත්මන් ආණ්ඩු විරෝධී සටන් පාඨ බොහොමයක් සාධාරණ ඒවා වුවද ඔවුන් අද මේ රටේ පවතින අවුල බොහෝවිට විග‍්‍රහ කර ගනිමින් සිටින්නේද සරල ආණ්ඩු විරෝධයේ සීමාව දක්වා පටු වෙමිනි. ඊට ඉහළින් පවතින යටත් විජිතවාදයේ නරුම වියගස ගැන ජවිපෙ වත්මන් විවේචනය ඉතා තුනී එකක් වනවා පමණක් නොව ඔවුන් විටෙක හැසිරෙමින් සිටින්නේ යටත්විජිතවාදයේ ඇතැම් බලවේගවල ආස්වාදයට පවා හේතුවන අන්දමිනි. ජිනීවා ප‍්‍රශ්නය වැනි දේශපාලන කාරණාවලදී පමණක් නොව මෙරට කෘෂි රසායන භාවිතය ආශ‍්‍රිතව මතුවූ මිනිස් ජීවිත පිළිබඳ ඉතා තීරණාත්මක ගැටලූ වලදී පවා අනුර දිසානායකලා කටයුතු කළ ආකාරය ඊට එක් උදාහරණයකි. සැකෙවින්ම ගතහොත් වත්මන් ජවිපෙ කිසිවෙකු සමඟ සන්ධානගතව නොසිටියද ඔවුන්ගේ නොනිල සන්ධානය ගොඩනැ`ගී ඇත්තේ මෙරට දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සමගය. එය හුදු ආණ්ඩු විරෝධී සාධකය යටතේ ඉබේම සිදුවන කඳවුරු බෙදීමකට වඩා වැඩි දැනුවත් ගනුදෙනුවක් බව පැහැදිලිව පෙනෙයි. අනුරගේ නව නායකත්වයද මේ ගනුදෙනුවේදී තීරණාත්මක සාධකයක් විය හැකිය. අනුර යනු ජවිපෙ තුළ ඔත්තුකරුවකු ලෙස කටයුතු කොට අද ඔස්ටේ‍්‍රලියාවේ සුවසේ ජීවත් වන කුමාර් ගුණරත්නම්ගේ මීළඟ අනුප‍්‍රාප්තිකයාද නැද්ද යන සැකය කුමක් වුවත් අනුර වනාහී පසුගිය කාලයක් තිස්සේම එජාපය ප‍්‍රමුඛ බලවේග සතුටු කරවන තීන්දු තීරණ වෙනුවෙන් ජවිපෙ තුළ අරගල කළ අයෙකි. ඔහුට එරෙහි තැනක සිටි විමල්, සෝමවංශ වැනි අයගේ විරෝධයද රහිත තත්ත්වයක් යටතේ අද අනුරට වඩා පහසුවෙන් ක‍්‍රීඩා කළ හැකිව තිබේ. මේ නිසාම දෝ අද ජවිපෙ ගමනට පූර්ණ විප්ලවීය සහයෝගය ලබාදෙමින් සිටින්නේ සිරස, මව්බිම වැනි සමාජ පාදඩකරණ මාධ්‍ය ආයතන විසිනි. අතීතයේදී ජවිපෙ පතුරු ගැසූ සිරසටත්, රනිල් එලවීමේ කොන්ත‍්‍රාත්තුවේදී සිරසේ සම සහකරුවා වන මව්බිමටත් ජවිපෙ ගැන පහල වී ඇති මේ හදිසි ආදරය එම පක්ෂය තුළ සිටින සිහි බුද්ධියක් ඇති සාමාජිකයන්ගේ තියුණු විමසුමට ලක්විය යුත්තකි. එවැනි සමාජ දූෂක මාධ්‍ය ආයතන පමණක් නොව මෙරට ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රික ඊනියා බුද්ධිමතුන්ද අද පෙල ගැසී සිටින්නේ ජවිපෙ වටාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියත අභාවයෙන් පසු ඔවුහු තම අභිලාෂයන් සඳහා නැවතත් ජවිපෙ වෙත ඉව අල්ලමින් සිටිති. මෙවර මැතිවරණයේදී ජවිපෙ වෙනුවෙන් ප‍්‍රකාශ ලබා දී ඇත්තේ නිර්මාල් රංජිත්, කුමාර් ඬේවිඞ්, ජෙගනාදන්, දයාන් ජයතිලක ආදී අපූරු මහදැනමුත්තන් පිරිසකි. එදා ජවිපෙ පස් අවුරුදු සැලැස්ම පතුරු ගැසූ දයාන් ජයතිලක ජවිපෙ වත්මන් නවීන සමාජවාදී වැඩපිළිවෙල පසසමින් ලංකා පුවත්පතට සාකච්ඡාද ලබාදෙයි. තමන් ජවිපෙට ඡන්දය දෙන්නේ මන්දැයි පුවත්පතකට ලියන නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ ජවිපෙ තුළින් සිංහල ජාතිකවාදී සංඝටක බැහැර වී තිබීමත්, මෑතක සිට ඔවුන් දෙමළ ජාතික සන්ධානය සමඟ කිට්ටුවෙන් කටයුතු කිරීමත් බෙහෙවින් අගය කළ යුතු ගුණාංග බවය. එසේ පවසන අතරේම වන සත්වයෙකුට ඇති තරමේ හෝ ප‍්‍රායෝගික බුද්ධියක් නොමැති මේ ඇදුරාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙනෙන්නේ සමාජවාදී පරිවර්තනයට අවශ්‍ය බුද්ධි මහිමය සහිත ව්‍යාපාරයක් වශයෙනි. ලොකුම ඛේදවාචකය වන්නේ මෙවන් නරි නාටකීය විචාරයන් තඹ දොයිතුවකට නොතකා බැහැර කිරීමට අවශ්‍ය නිවැරදි දේශපාලන පෞරුෂය වත්මන් ජවිපෙ තුළ නොතිබීමය. මෑත ඉතිහාසය තුළ ජවිපෙ යහතින් පෙරට ආ සෑම මොහොතකම මේ "යූඇන්පී වාමාංශිකයෝ" එහි සතුරු පිල නියෝජනය කළෝ වෙති. ඇත්තෙන්ම මේ අපාය සහායකයන්ගේ ආශිර්වාදයම ජවිපෙ වත්මන් භූමිකාව කුමක්දැයි වටහා ගත හැකි වැදගත් දර්ශකයකි. ඔවුන්ට අවශ්‍ය වනුයේ යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස වැඩෙන ජනතා විමුක්ති පෙරමුණක් නොව තමන්ගේ සිල්ලර වුවමනා සඳහා අවභාවිතයේ යෙදවිය හැකි ජනතා විමුක්ති පෙරමුණකි. ඔවුන්ගේ කඩිනම් අවශ්‍යතාව වනුයේ ඉදිරි බල හුවමාරුවක් සඳහා ජවිපෙ වෙතින් අත් උදව් සපයා ගැනීමය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු ඉස්සර කර ගනිමින් පැමිණෙන ද්‍රෝහී න්‍යාය පත‍්‍රය බලාත්මක කර ගැනීමේදී ඔවුන්ට ජවිපෙ සහාය අත්‍යාවශ්‍ය වෙයි. නමුත් ජවිපෙ හෝ රටේ ජයග‍්‍රහණයට හේතු නොවන එකී න්‍යාය පත‍්‍රය බෙදුම්වාදය යළි දිනවන, ජාතිවාදය පෝශණය කරන, රටේ අස්ථාවරභාවය ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් වනු නොඅනුමානය. ඔවුන්ගේ වත්මන් අභිලාෂය වනුයේ මේ සඳහා අතකොලූවක් ලෙස භාවිත කළ හැකි ජනතා විමුක්ති පෙරමුණකි. අද ඒ අභිලාෂයට ජවිපෙ පාර්ශවයෙන්ද සුබවාදී අනුබල සැපයෙමින් තිබේ.

ජවිපෙ ආණ්ඩු විරෝධි වීමේ කිසිදු වරදක් නැතත් ඔවුන් එය කළ යුත්තේ රටේ ජයග‍්‍රහණවලට හේතුවන ආකාරයෙනි. ජවිපෙ සන්ධාන ගතවීම නිරපේක්ෂව වරදක් නොවුනත් ඔවුන් එය කළ යුත්තේද යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස තමන්ගේ සහ රටේ සුබ සිද්ධියට ඉවහල් වන අන්දමිනි. මේ මොහොතේ ළඟ ඉලක්ක රහිතව වුවත් ඔවුන් විසින් තෝරා ගත යුතු ප‍්‍රවේශය එවැන්නකි. අද ජවිපෙ වටා එක්ව සිටින කපටි ආරක්ෂකයන්ගේ මර උගුල්වලින් ගැලවීමට ඔවුන්ට හැකිවනුයේ ඒ නිසි ප‍්‍රවේශය ඔස්සේ අතීත මෝඩකම් නිවැරදි කර ගනිමින් පෙරට යාමෙනි. එසේවුවද අනුර දිසානායක යනු බොහෝ විට ඒ උගුල් මඟ හැර යා හැකි නායකයෙක් නොව ඒ උගුල් කරා ජවිපෙ ගෙනයාමේ අවදානමක් සහිත නායකයෙකි. අකමැත්තෙන් වුවත් අද පෙනෙන්නට තිබෙන කාරණා අනුව අපට එළඹීමට සිදුවන කටුක නිගමනය එවැන්නකි. එහෙයින් මේ කටුක දේශපාලන කාරණා තේරුම් නොගනිමින් පුංචි ඡන්ද වර්ධනයක් ගැන උද්දාමයට පත්වීම තේරුමක් නොවේ. අනෙක් අතින් මේ මැතිවරණයේදී ජවිපෙ අභිබවා යාමට සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවා සමත්ව තිබේ. එය කෙටිකාලීන රැල්ලක් ලෙස හැඳින්විය හැකි වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලැබුනු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනී යන්නේ ජවිපෙ තම මෝඩ ක‍්‍රියාමාර්ග හරහා නිකරුනේ නැතිි නාස්ති කරගත් ගෞරවය හා මහජන විශ්වාසය යළි පිළිසකර කර ගැනීම ඔවුන්ට එතරම් පහසු නොවන බවය. ෆොන්සේකාගේ පක්ෂයේ ඉදිරිය කුමක්විය හැකි වුවද නව විකල්ප ව්‍යාපාරයක් සඳහා රට තුළ බලවත් අපේක්ෂාවක් පවතින බව ඒ පක්ෂයට කඩිනමින් ලැබුණු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනීයයි. 

අවසාන වශයෙන් සැකෙවින් සලකා බැලීමේදී 1994 සිට ජවිපෙ පැමිණි ජයග‍්‍රාහී ගමන නින්දිත පරාජයක් දක්වා ඇද වැටීමට බලපෑ ප‍්‍රධාන හේතු දෙකක් තිබේ. පළමු කාරණය වන්නේ තම අභ්‍යන්තරයේ තිරව මුල් බැස පැවති දුර්ගුණාංග හඳුනා ගනිමින් කාලානුරූපව ඒවා වෙනස් කර ගැනිමට ඔවුන් සමත් නොවීමය. දෙවන කාරණය වන්නේ ඔවුන් තම නිසි උපාය මාර්ගික ගමන වරද්දා ගැනීමය. අද ජවිපෙ පුංචි මැතිවරණ නැගීමකින් උද්දාමයට පත්ව සිටියද මේ මූලික වැරදි දෙක නිවැරදි කර ගැනීමේ අවම සූදානමක් හෝ තවමත් ඔවුන් වෙතින් පෙනෙන්නට නැත. ඔවුන් අද නැවතත් පෙරට යාමට සූදනම් වන්නේ මේ වැරදි එලෙසම පවත්වා ගනිමින් වීම බෙහෙවින් කණගාටුදායක තත්ත්වයකි. කෙසේ හෝ වේවා මේ වැරදි නිවැරදි කර නොගත් පලියට එම පක්ෂය නැත්තට නැතිවී යන්නේ නැත. ඉදිරියේදී ඇතැම්විට ඔවුන් තව තවත් වර්ධනය විය හැකිය. තව තවත් මන්තී‍්‍ර ධූරද ලබාගත හැකිය. වැටෙන වැටෙන වාරයක් පාසා මොන මොන ක‍්‍රමයකින් හෝ යළි යළි නැගී සිටීමටද බැරි කමක් නැත. එසේ වුවද වැටි වැටී නැගිටින සුපුරුදු ගමන වෙනුවට ස්ථාවර ශක්තියකින් නැඟී සිටිමින් මේ රටේ වැදගත් පරිවර්තනයක් කිරීමට ජවිපෙට හැකිවනුයේ ඉහත වැරදි තේරුම් ගනිමින් ඒවා වෙනස් කර ගැනීමට ඔවුන් කවදා හෝ සමත් වන්නේ නම් පමණි. අපට අවසාන වශයෙන් කළ හැක්කේ ඒ නිසි මාවත වෙත තම ව්‍යාපාරය ගෙනයාමට අවශ්‍ය සිහි බුද්ධිය ජවිපෙ සාමාජිකයන් තුළ කවදා හෝ පහළ වේවායි ප‍්‍රාර්ථනා කිරීමය.

-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය

Friday, April 11, 2014

ඇදහිලි කල්ලි (CULTS)


ඇදහිලි කල්ලිවල අනුගාමිකයන් ගමන් කළ හැකි මාරාන්තික අන්තයන් මොනවාදැයි අපි වසර පහළොවකට අඩු කාලයක් තුළ දෙවරක්ම දැක ඇත්තෙමු. 1978 ගයනාවේ වනාන්තරයක් තුළ, සයනයිඞ් මුසු කළ බීම පානය කිරීමෙන් සහ වෙඩි තබා ගැනීමෙන් මිය ගිය, ජිම් ජෝන්ස්ගේ, වර්ණවත් ඇඳුමින් සැරසුණු අනුගාමිකයින්ගේ රූප අපි සඟරාවල සහ රූපවාහිනියෙන් දුටුවෙමු. ජෝන්ස්ටවුන් හි අවසානය සැමරෙන සෑම අවස්ථාවකම අපට මෙම දර්ශන යළි යළිත් දිස්වේ. 1993 මුල් භාගයේ දී කොරේශ් ඇදහිලි කල්ලියේ වෙඩි තබාගැනීමත්, ඊට සති ගණනකට පසුව, ටෙක්සාස් තැන්නෙහි ගිනිගෙන දැවෙමින එය අවසන් වූ අයුරුත්, රූපවාහිනී ප‍්‍රවෘත්තිවල දැකිය හැකි විය. සියලූ මනුෂ්‍යයන් මානසික බලපෑම්වලට යටත් වීමේ අවදානම කෙතරම් දරා සිටින්නේ ද යන්න තේරුම් ගැනීමට තව ජෝන්ස්ටවුන්, වැකෝ වැනි සිදුවීම් කොපමණ ඇතිවිය යුතු ද? මෙම සිදුවීම් දෙක අතර කාලය තුළ නිසි උවටැන් අහිමි වීම නිසා ඇදහිලි කල්ලිවල දරුවන් සහ මව්වරුන් සියයකට ආසන්න ප‍්‍රමාණයක් ඉන්දියානාවේ දී මිය ගිය හ. එසේම, ඇදහිලි කල්ලි තුළ අපයෝජනයට ලක්වූ දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වාර්තා ගණනාවක් ඇත. උසාවි නඩු තුනක දී තමන්ව පැරදවූ නීතීඥයකු ඝාතනය කිරීමට කැලිෆෝනියාවේ එක් ඇදහිලි කල්ලියක් විසින් ඔහුගේ ලියුම් පෙට්ටිය තුළට විසකුරු සර්පයකු දමා තැබුණි. ඔරිගන් හි රාජ්නීශ් ඇදහිලි කල්ලිය ඩැලස් හි ජලනල පද්ධතියට වස දැමීමට උත්සාහ කළහ. වැස්කෝ සහ ජෙෆර්සන් ග‍්‍රාමවල නිලධාරීන් මෙම ඇදහිලි කල්ලිවලට විරුද්ධව එම ප‍්‍රාන්තයේ නීති ක‍්‍රියාත්මක කළ නිසා මෙම රාජ්නීශ් ඇදහිලි කල්ලිය ඔවුන්ට හිංසා කළහ. ප‍්‍රාන්ත නීති තමාට අදාළ නොවිය යුතු යයි ඔවුහු සිතූහ. සාමාන්‍ය පුරවැසියන්ව සිටි මෙම ඇදහිලි කල්ලිය සාමාජිකයන්ව, ඒවායේ නායකයන් විසින් ඝාතනය, සියදිවි නසා ගැනීම සහ වෙනත් හිංසාකාරී ක‍්‍රියා වෙත පොළඹවාගෙන ඇත.

1978 ගයනාවේ වනාන්තරයක් තුළ, සයනයිඞ් මුසු කළ බීම පානය කිරීමෙන් සහ වෙඩි තබා ගැනීමෙන් මිය ගිය, ජිම් ජෝන්ස්ගේ, වර්ණවත් ඇඳුමින් සැරසුණු අනුගාමිකයින්

සාමාන්‍ය සමාජය විසින් පහසුවෙන් හඳුනාගන්නා ඇදහිලි කල්ලි වූ කලි සිය විශාලත්වය, සිය සාහසික හැසිරීම් සහ ස්වයං-විනාශකාරී ප‍්‍රවණතාවයන් නිසා වඩා හොඳින් දෘශ්‍යමාන වන කණ්ඩායම් වේ. එහෙත් වඩා සූක්‍ෂම සහ විචක්‍ෂණශීලී වන, මේවා තරම්ම අධිෂ්ඨානශීලී සහ භයානක, තවත් කණ්ඩායම් ගණනාවක් දැකිය හැකි ය. ඔවුහු ඇමරිකා එක්සත් ජනපදය තුළ සහ ලෝකය පුරාම නව සාමාජිකයන් බඳවා ගනිමින්, සාර්ථක ලෙස වැඩෙමින්, බලය සහ ධනය වැඩිකරගනිමින් ක‍්‍රියාශීලී ලෙස කටයුතු කරති. මෙම කණ්ඩායම් සිතාමතාම කරන මානසික හැසිරවීම් හෝ සිතුවිලි ප‍්‍රතිසැකසුම් කි‍්‍රයාමාර්ග තුළින් තම සාමාජිකයන්ව සහ අනුගාමිකයන්ව සූරාකෑමට සහ අපයෝජනයට ලක් කරති. මේ මානසික හැසිරවීම්, සන්දර්භ සහ පසුබිම් ගණනාවක් තුළ යොදා ගත හැකි ය.

අපි මේ පොත තුළ ප‍්‍රධාන කණ්ඩායම් වර්ග දෙකක් ගැන සාකච්ඡා කරමු. මින් පළමුවැන්න නම් ආධුනිකයන් හෝ සාමාජිකයන් සංවිධිත මනෝවිද්‍යාත්මක සහ සමාජමය පෙළඹවීම් කි‍්‍රයාවලීන්ට ලක් කරන ඇදහිලි කල්ලි හා ඒ හා සමාන කණ්ඩායම් ය. මෙම මානසික සහ සමාජයීය පෙළඹවීමේ කි‍්‍රයාවලි සකස් කර ඇත්තේ ආකල්පය වෙනස්කම් ඇති කිරීමට සහ ආධුනිකයින් සහ සාමාජිකයන්ගේ ජීවිත මත පුදුම දනවනසුළු පාලනයක් ඇති කිරීමට ය. මේ ඇදහිලි කල්ලි තම සාමාජිකයන්ව රැවටීමට, හැසිරවීමට සහ සූරාකෑමට ලක්කරන අතරම, ඔවුන්ව හැකි තරම් කාලයක් ඇදහිලි කල්ලි තුළ රඳවා ගැනීමට උත්සාහ කරති.

Dr. Margaret Thaler Singer
(Dr. Singer is the author of the book “Cults In Our Midst,” which summarizes fifty years of work on the subject.)

දෙවැනි වර්ගය වන්නේ වාණිජමය ලෙස අලෙවි කරනු ලබන විශාල කණ්ඩායම්වලින් සෑදුණු දැනුවත්වීමේ පුහුණු වැඩසටහන්, වෙනත් ”ස්වයං-අභිවෘද්ධි” වැඩසටහන් සහ මනෝ විද්‍යාව පදනම් කරගත් විවිධ සංවිධාන වේ. මේවා තියුණු සම්බන්ධීකරණමය පෙළඹවීම් කි‍්‍රයාවලීන් භාවිතා කරන නමුත් සාමාන්‍යයෙන් නම් ගණුදෙණුකරුවන් දීර්ඝ කාලීන සාමාජිකත්වයට ඇතුල් කර නොගන්නා සංවිධාන වේ. ඔවුන් වඩා කැමති වන්නේ තමන්ව විශ්වාස කරන අය සාමාන්‍යයෙන් වසරක් හෝ දෙකක් පමණ තමන් සමඟ රැඳෙමින් වැඩි වැඩියෙන් තම පාඨමාලා මිළදී ගැනීම හෝ නව ගණුදෙණුකරුවනකැඳවාගෙන එනු දැකීම ය.

All destructive cults have personable, persuasive and often charismatic leaders, like David Koresh of the Branch Davidians.

මේ ආකාරයට, මේ දෙවර්ගයේම කණ්ඩායම් සිතුවිලි ප‍්‍රතිසැකසුම් කි‍්‍රයාමාර්ග අනුගමනය කරති. ඇදහිලි කල්ලි සහ සිතුවිලි ප‍්‍රතිසැකසුම් කරන කණ්ඩායම්වල නිර්මාතෘවරු බලහත්කාරී මානසික බලපෑම් සහ චර්යාත්මක පාලන ක‍්‍රම සහිත සම්බන්ධීකරණමය වැඩසටහන් මවති. එසේ කරනු ලබන්නේ විශාල විවිධත්වයකින් යුත් දර්ශනයන්, න්‍යායන් සහ භාවිතයන් වටා ගොඩනැගුණු පුද්ගල ආකල්ප වෙනස් කිරීමේ කි‍්‍රයාවලියක් සඳහා ඉතා පැරණි පෙළඹවීම් උපක‍්‍රම භාවිතා කරමිනි. තමාව අනුගමනය කිරීමට සහ තම ඉල්ලීම් ඉටුකරගැනීමට අන් අය පොළඹවා ගැනිම සඳහා පැකේජගත කරන ලද පෙළඹවීම් විධි ක‍්‍රම, උපක‍්‍රම සහ උපාය විධි සකසාගත යුතු බව මේ අති දක්‍ෂ මානසික හසුරුවන්නෝ දන්නා බවක් පෙනේ. මේ සියලූම කණ්ඩායම් ඇදහිලි කල්ලි ලෙස නිර්වචනය කළ නොහැකි වුව ද, ඔවුහු සියල්ලෝම අනුගාමිකයන් බඳවා ගැනීමට, වෙනස් කිරීමට සහ සූරා කෑමට සිතුවිලි ප‍්‍රතිසැකසුම් උපක‍්‍රම භාවිතා කරති. (සිතුවිලි ප‍්‍රතිසැකසුම් උපක‍්‍රම පිළිබඳ වඩා සවිස්තර සාකච්ඡාවක් තුන්වන පරිච්ඡ්දයේ ඇත)

අවන්හල්, ස්වයං-උපකාරක කණ්ඩායම්, ව්‍යාපාර පුහුණු වැඩමුළු, සශී‍්‍රකත්වයේ සමාජ, මනෝ චිකිත්සක සායන, සටන් කලා පුහුණු කේන්‍ද්‍ර, ආහාර පාලන සැලසුම්, විශ්ව විද්‍යාල කි‍්‍රයාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස්වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයක් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇත්දැයි ඔබ දන්නවා ද? බොහෝ දෙනා සිතන ආකාරයට, ඇදහිලි කල්ලි සහ සිතුවිලි ප‍්‍රතිසැකසුම් කි‍්‍රයාවලීන් යොදාගන්නා කණ්ඩායම් වියැකී යනවා වෙනුවට මහ වැස්සකට පසුව හතු පිපෙන්නාක් මෙන් පැතිරී ගොස් ඇත.

දැනට, ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් ඇදහිලි කල්ලි තුන්දහසත් පන්දහසත් අතර ප‍්‍රමාණයක් (කෙනෙකු ඇදහිලි කල්ලි නිර්වචනය කරන ආකාරය අනුව) ඇත. පසුගිය දශක දෙක තුළ මෙම කුමක් හෝ කණ්ඩායමක් තුළ, විවිධ කාල පරාස ගත කළ පුද්ගලයන් මිලියන විස්සක් පමණ විශාල සංඛ්‍යාවක් සිටිති. මේවායින් බලපෑම් එල්ල වන්නේ ඇදහිලි කල්ලි සාමාජිකයන්ට පමණක් නොවේ. තවත් මිලියන ගණනක් පවුල් සාමාජිකයන්, ඥතීන් සහ හිත මිතුරන් ඇදහිලි කල්ලියක සාමාජිකයකු වූ තම මිතුරාට හෝ ඥතියාට සිදුවුයේ කුමක්දැයි සිතමින් කනස්සළු වෙමින් ඇතැම්විට වසර ගණනක් ගත කරති.

ඇදහිලි කල්ලියක බඳවාගන්නෙකුගේ ප‍්‍රවේශයට ලක්වන සෑම කෙනෙක්ම එම කණ්ඩායමට බැඳෙන්නේ නැති අතර එසේ බැඳෙන හැම දෙනාම ද සදහටම එහි සිටින්නේත් නැත. එහෙත්, ඇදහිලි කල්ලිබරපතල පරීක්‍ෂණයකට ලක්කිරීමට සුදුසු සමාජ ප‍්‍රශ්නයක් ලෙස හඳුනාගැනීමට අවශ්‍ය තරම් ප‍්‍රමාණයක් පුද්ගලයන් ඇදහිලි කල්ලිවලට බැඳී ඒවා තුළ දීර්ඝ කාල පරිච්ෙඡ්දයන් ගෙවා දමති. මා මෙහිදී කතා කරන්නේ දාර්ශනික සංවාදයකින් හෝ රූපවාහිනී සංවාද වැඩසටහනකින් කරන හෙලිදරව්වකින් හෝ විසඳිය හැකි ප‍්‍රශ්නයක් ගැන නොවේ. ඇදහිලි කල්ලි විසින් එල්ල කරනු ලබන තර්ජනය මීට වඩා ගැඹුරු ය. මෙසේ මිනිසුන්ව හසුරුවන සහ සදාචාර විරෝධී ලෙස කි‍්‍රයාකරන කණ්ඩායම් සහ වැඩසටහන් අප සමාජයේ අහුමුළු තුළට පමණක් නොව ප‍්‍රධාන අංශ සහ ආයතන තුළට ද ව්‍යාප්ත වී ඇති ආකාරය අධ්‍යයනය තුළ අපට පෙනී යයි. මා කථාකරන්නේ පොදු ජන සෞඛ්‍යයට, මානසික සෞඛ්‍යයට, දේශපාලන බලයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසට සහ දැන් දැන් පෙනී යන පරිදි පාරිභෝගිකයන්ගේ ගැටළුවලට මෙම කණ්ඩායම් විසින් එල්ල කරන සැබෑ තර්ජනයන් පිළිබඳවයි.

1960 ගණන් සහ 1970 ගණන්වලදී මෙන් නොව, ඇදහිලි කල්ලි යනු තවදුරටත්, තම පරමාදර්ශ හඹායන සහ බලාපොරොත්තු කඩවූ ගැටවර වියේ දරුවන්ව නිරීක්ෂණය කරන දෙමව්පියන් පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවේ. 1980 ගණන් සහ 1990 ගණන් තුළ විවිධ වයස් කාණ්ඩ සහ විවිධ ආදායම් මට්ටම්වල සිටින පුද්ගලයින් ඇදහිලි කල්ලිවල වසඟයට ලක්වනු අප දැක ඇත. අතීතයේ දී ඇදහිලි කල්ලි විසින් සිය පදනම සකස් කරගත්තේ ඊනියා ආන්තික කණ්ඩායම්, එනම් සෑම පරම්පරාවකම, සමාජයට නොබැඳුණු හෝ අපේක්‍ෂා භංගත්වයට පත් වූ හෝ අසහනයට පත් වූ පුද්ගලයන්, තමන් වෙත ඇද ගැනීමෙනි. එහෙත් වර්තමානයේ දී ඇදහිලි කල්ලි තම එළඹුම් සහ පෙළඹවීමේ විධි ක‍්‍රම කෙතරම් වෘත්තීය මට්ටමකට රැගෙනවිත් ඇත් ද යත් ඔවුන් පැහැදිලි ලෙසම පරිවාරයේ සිට ප‍්‍රධාන ධාරාව කරා ගමන් කරමින් සිටියි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔබවයි.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ඇති විශාල ඇදහිලි කල්ලි ගණනාව අතර එක් කණ්ඩායමක හෝ ඇතැම්විට කණ්ඩායම් ගණනාවක සිටි පුද්ගලයන් 3000 ක් පමණ ද ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සිය ගණනක් සමඟ ද මා සම්මුඛ සාකච්ඡුා පවත්වා ඇත. වෙනත් ඉහල පාලන මට්ටම් සහිත කණ්ඩායම් තුළ විසූ පුද්ගලයන් සහ තමා ඇදහිලි කල්ලියක් තුළ සිටියේ නම් පාලනය කරනු ලබන ආකාරයට තනි පුද්ගලයෙකුගේ පාලනයට ලක් වූ පුද්ගලයන් (සාමාන්‍යයෙන් ස්ත‍්‍රීන්) ද පණස් වසරකට වැඩි කාලයක් පුරා කළ අධ්‍යයන, පර්යේෂණ සහ සායනික භාවිතා හරහා ලැබූ දැනුමෙන් ද මෙම ජීවන අත්දැකීමෙන් ද මට කිව හැක්කේ මෙයයි: මා විසින් ඇසිය යුතුව ඇති සියල්ල අසා ඇතැයි සිතූ විට, මට ඊටත් වඩා නරක කථාවක් අළුත් සාක්ෂි සමඟ අසන්නට ලැබේ.

මා මේ පොත තුළ පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සාමාන්‍ය පුරවැසියන් තමාගේ එදිනෙදා ජීවිත අත්හැර දමා, අමුතු සහ ආචාර විරෝධී කි‍්‍රයාවන්ගේ සිට ස්වයං විනාශකාරී ක‍්‍රියා සහ ඝාතන දක්වා විවිධ කටයුතු වෙත යොමුවන කණ්ඩායම්වල කොටස්කරුවන් බවට පත්වන්නේ කෙසේද යන්නයි. ඇදහිලි කල්ලි වල අමුතු භාවිතාවන්ගේ කෙලවරක් නැත. හෘදය සාක්‍ෂි විරෝධී චර්යාවන්හි යෙදීමට සහ තම අනුගාමිකයන් අපයෝජනයට ලක් කිරීමට ඇදහිලි කල්ලි නායකයන් සතුව ඇති හැකියාව අසීමිත බව පෙනේ. මනුෂ්‍ය සංජානනයෙන් ඔබ්බෙහි පවතින ශක්තියක් ඇදහිලි කල්ලි සාමාජිකයන් සතුව ඇති බව දැකිය හැකි ය. ඇදහිලි කල්ලිවලින් ඉවත් වන සාමාජිකයෝ, පැහැදිලිවම, තමාව සුව කර ගැනීමටත්, තම නිදහස නැවත ලබාගැනීමටත්, බියජනක අත්දැකීම්වලින් ධනාත්මක දේ උකහාගැනීමටත් නොසි`දුණු අධිෂ්ඨානයක් සහ අසීමිත ආත්ම ශක්තියක් පෙන්නුම් කරති. මට හමුවුණු සෑම පුද්ගලයෙකු සමඟම මට කළ හැක්කේ මේ නොසිඳෙන අධිෂ්ඨානය සහ ශක්තියට ආශක්තවීම සහ එය ඔසවා තැබීම පමණි.

කටු සටහන්
workingpps

“මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව

Hegel (1770-1831)
නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුකරමින් සුමනසිරි ලියනගේ, වික්ටර් අයිවන්, නලීන් ස්වාරිස්, ජයදේව උයන්ගොඩ යන අයගේ දායකත්වයෙන් රාවය පුවත් පත තුළ කෙරෙන සංවාදය කාලෝචිත මෙන්ම බුද්ධමය වශයෙන් උද්යෝගිමත්ය. ‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන්, ප්‍රැන්සිස් ෆුකුයාමා අනුව යමින් වික්ටර් අයිවන් විසින් 2005 ජූනි 05 දින රාවය පුවත් පතට ලියන ලද ලිපිය මගින් නව දේශපාලන ව්‍යාපාරයක් සිය නිෂ්ඨාව බවට පත් කරගත යුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් බව අවධාරණය කළ අතර මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 1 2 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ලිබරල්ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපියෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ යම් යම් සීමා ගෙනහැර පෑමටත් ඒවා අතික්‍රමණය කිරීමේ අවශ්‍යතාවය මතු කිරීමටත් උත්සාහ දැරීය. මෙහිදී ඔහු අනාගත පරමාදර්ශයක අංගයක් විය හැකි සහ වියයුතු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සතු සැළකිල්ලට ගතයුතු චරිතාංග ඇති බවට සුභවාදී ආකල්පයක් පළ කරන හෙයින් ඒ පිළිබඳ අවබෝධය වර්ධනය කරගනු වස් මෙම සංවාදයට හවුල්වීම මෙම ලිපියේ අරමුණයි.

දේශපාලන සමාජ ව්‍යාපාරයක් සඳහා පරමාදර්ශය විවෘත එකක් විය යුතු යැයි සුමනසිරි ලියනගේ විසින් මෙහිදී දක්වනු ලැබූවද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විසින් පුද්ගලයාට දෙන වැදගත් තැන අනාගත පරමාදර්ශයක අනිවාර්ය අංගයක් වනු ඇත සහ විය යුත්තේය යනුවෙන් ඔහුම අවධාරණය කරන හෙයින් එයද එක්තරා ආකාරයක සීමාවක ස්වරූපයක් නොගන්නේද යන්න කෙනෙකුට ඇසිය හැක. රජයට හෝ වෙනත් ජන සමාජයකට හිතූ මනාපයට පුද්ගල අයිතිය පැහැර ගැනීමට හා උල්ලංඝණය තිරීමට නොදීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් යැයි ඔහු තවදුරටත් දක්වන හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය වනාහී හුදු පුද්ගල නිදහසය යන තර්කණයේ සුජාතභාවය ගැනත් නව දේශපාලන සමාජ ව්‍යාපාරයක් තුළ මෙම නූතන පුද්ගලවාදයේ හෝ ලිබරල්වාදයේ සුජාතභාවය ගැනත් ඔහුට ගැටළු මතු නොවන්නේ ද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. මන්ද පුද්ගලයාට දෙන වැදගත් තැන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හුදු චරිතාංගයක් ලෙස සුමනසිරි ලියනගේ විසින් ගෙනහැර දැක්විමට නැඹුරු වුවද එය නූතන ලිබරල්වාදයේ දාර්ශනික පසුබිම ලෙස ගෙනහැර දැක්වීමට හැකි නිසාය. තවදුරටත් කිවහොත් වෙළඳපොළ යාන්ත්‍රණය යුක්තියුක්තකරණය කෙරෙන්නේ වෙළඳපොළ තුළ තමා කැමති දේ කැමති පරිදි තෝරාගනු ලබන ස්වාධීන, හේතුඵලවාදී පුද්ගලයෙක් සිටින්නේය යන ලිබරල් දෘෂ්ඨිය මගින් නොවේද?

සැබැවින්ම නූතන ලිබරල්වාදයේ පදනම වන්නේ සමාජයෙන් හෝ ප්‍රජාවෙන් ස්වායත්ත හේතුවාදී පුද්ගලයෙක් (autonomous rational individual) සිටින්නේය යන පරමාදර්ශය යැයි මෙහිලා දැක්වුවහොත් සුමනසිරි ලියනගේ මහතාට ඊට එකඟනොවීමට කාරණා නැතැයි සිතමි. මක්නිසාද, විශිෂ්ඨ, විචක්ෂණ ලිබරල්වාදීන්ගෙන් කෙනෙක් ලෙස ජෝන් රෝ(ව්)ල්ස් අගය කරනු ලැබීමට ඔහු පැකිලෙන්නේ නැති හෙයින් සහ ජෝන් රෝ(ව්)ල්ස් ද සමාජීයව දෙන ලද අරමුණු වලින් නිදහස්ව අපට අපගේ අනන්‍යතාවය නිර්වචනය කළ හැකි යැයි අදහස් පළකරන්නෙකු හෙයිනි. A Theory of Justice නම් ජෝන් රෝ(ව්)ල්ස්ගේ කෘතිය තුළ යුක්තිය පිළිබඳ සංකල්පනයක් ඉදිරිපත් කරන්නේ එක්තරා පරිකල්පිත සමාජ සම්මුතියක් ඇසුරිනි. ඔහුගේ එක් වැදගත් නිරීක්ෂණයක් වන්නේ ඕනෑම සමාජයක විවිධ පුද්ගලයන් අතර අවශ්‍යතාව පිළිබඳව හැම විටම ගැටුම් පවතින බවයි. මෙයට රෝ(ව්)ල්ස් දෙන හේතුව නම් තම සහභාගීත්වයෙන් බිහි කෙරෙන ලාභ ප්‍රයෝජනයන් බෙදාහැරෙන්නේ කෙසේද යන්න පිළිබඳව තනි තනි පුද්ගලයන් උද්යෝගිමත්ව උනන්දුවන බවයි. ඒ අනුව වරප්‍රසාද විභේදනය නිශ්චය කෙරෙන විවිධ සමාජ සැකසුම් අතර තේරීමේ මූලධර්ම සමූහයක් අවශ්‍යවන අතර රෝ(ව්)ල්ස්ට අනුව මෙම මූලධර්ම සමාජ යුක්තියේ මූලධර්මයන්ය. මෙම මූලධර්ම සතු මූලික කරුණ නම් ඒවා මූලික අයිතීන් සහ යුතුකම් පැවරීමේ මාර්ගයක් පිරිනැමීමයි. පුද්ගලයන් අතර මෙම යුතුකම් සහ අයිතීන් පැවරීමේදී කිසිදු හිතුවක්කාරී විභේදනයක් සිදු නොවන්නේය, යන්න තහවුරු කෙරෙන සංස්ථාවන් පරාසයක් මෙම වරප්‍රසාද නිසි පරිදි බෙදාහැරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවේ.

ජෝන් රො(ව්)ල්ස් පෙන්වා දෙන පරිදි සාධාරණත්වය ලෙස ගත් යුක්තිය පිළිබඳ මෙම පරමාදර්ශය සමාජ සංස්ථාවන්ගේ ප්‍රථම සද්ගුණය (first virtue) වේ. නමුත් මෙහිදී වැදගත් කරුණ වන්නේ යුක්තිය සුරක්ෂිත කිරීමට නම් සියල්ලටම ඉහළින් ගරුකළයුතු මූලධර්මය ලෙස (සුමනසිරි ලියනගේ ද දක්වා ඇති පරිදි) පුද්ගලයන්ගේ පරම ස්වායත්තතාව සහ වියෝජ්‍යතාවය රෝල්ස් විසින් අවධාරණයකර දක්වනු ලැබීමයි. ඔහුගේම වචන වලින් දක්වනු ලබන්නේ නම් සමස්ථයක් වශයෙන් සමාජයේ සුබසාධනයටවත් යටකර දැමිය නොහැකි යුක්තිය මත පදනම් වූ අනුල්ලංඝණීය බවක් එකිනෙක පුද්ගලයා සතුය. මෙහිදී සමාජයේ පුද්ගලයින්ට යුක්තිය ඉටුකිරීමේ කාර්ය කිරීම උදෙසා මූලික වශයෙන් ගරුකළයුතු දෙය ලෙස පුද්ගල අයිතීන් යන්න පැනනැඟේ. ජෝන් රෝ(ව්)ල්ස් ම කීමට කැමති පරිදි යහපත පිළිබඳ සංකල්පයකට (concept of the good) වඩා අයිතිය පිළිබඳ සංකල්පය මෙහිදී ප්‍රමුඛය.

නූතන ලාංකික අප මුහුණ දෙන ගැටලු හමුවේ සාමූහික දේශපාලන ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාවය පිළිබඳව කිසිම සැකයක් මෙම සංවාදයට දායකවන්නන් අතර තිබිය නොහැකි නමුත් එහි පරමාදර්ශය වියයුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය (ෆුකුයාමාගේ අරුතින්) නම්, එසේත් නැතහොත් පුද්ගල නිදහස (සුමනසිරි ලියනගේ දක්වන රෝ(ව්)ල්සියානු අරුතින්) නම් ඒ සඳහා ප්‍රබල දේශපාලන සමාජ ව්‍යාපාරයක් අවශ්‍යද යන ප්‍රශ්නය කෙනෙකුට මතු කළ හැකි නොවේද? මෙහිලා සුමනසිරි ලියනගේ විසින් මතු කරන වැදගත් ප්‍රශ්නයක් වන්නේ විකල්පයක් ගැන සිතීම පවා කළනොහැකි ද යන ප්‍රශ්නයයි. කෙසේ නමුත් ලිබරල්වාදයේ දාර්ශනික පදනම් සුනුවිසුණු කළ බොහෝ දාර්ශනිකයන්ගෙන් අපගේ සාමූහික ජීවිතය මුහුණ දෙන ගැටලු අවබෝධ කරගැනීමට ආලෝකයක් ලැබිය හැකි බවට සාක්ෂි ඔහුගේ ලිපියෙන්ම හමුවේ. එනම් ඔහු විචක්ෂණ හා විශිෂ්ඨ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස ජෝන් රො(ව්)ල්ස් ගේ නම සමගම සඳහන් කරන මයිකල් සැන්ඩල් (Michael Sandel) මෙහිලා විශේෂයෙන්ම වැදගත් වන්නේ, ඔහු මිනිසා ස්වාධීන හා හේතුවාදී සත්ත්වයෙක් යන ජෝන් රෝ(ව්)ල්ස් ගේ ලිබරල් දෘෂ්ඨිය බරපතළ ලෙස අභියෝගයට ලක් කරන හෙයිනි. සැන්ඩල් පෙන්වා දෙන්නේ ලිබරල්වාදය ගොඩනඟනු ලැබ ඇති පදනම් සදොස් බවය. එනම් යුක්තිය පිළිබඳ මූලධර්ම සඳහා පරම ප්‍රමුඛත්වයක් (absolute priority) ඉෂ්ඨ කරගනු වස් ලිබරල්වාදීන් අස්මිතාව (self) පිළිබඳ පැහැදිළිවම ව්‍යාජ දෘෂ්ඨීන් රාශියක් පවත්වා ගත යුතු බවයි. Liberalism and the Limits of Justice යන සැන්ඩල්ගේ කෘතිය පළවන්නේ ජෝන් රෝ(ව්)ල්ස්ට විවේචනයක් ලෙසය. මෙහිලා ඔහු ආභාෂය ලබන්නේ ද හේගල්ගෙන්ම වන හෙයින් සුමනසිරි ලියනගේම පවසන පරිදි හේගල් මරණයෙන් නැගිටවුව යුතු නමුත් ඒ ෆුකුයාමාගේ සරල අරුතින් ‍නොවන බව පැහැදිළිය. මිනිසා හේතුවාදී සත්ත්වයෙක් යන ලිබරල් අදහස ප්‍රතික්ෂේප කිරීමට සැන්ඩල්ට බලපාන්නේ මිනිසා ‍ඓතිහාසිකව තත්වාරෝපිත සත්ත්වයෙකි යන හේගලියානු සංකල්පනය ය.

සැන්ඩල්ගේ කෘතියේ මූලික තර්කය වන්නේ ලිබරල්වාදය රඳා පවතින්නේ සදොස් පාරභෞතික දෘෂ්ථීන් මත බවය. එනම් යුක්තිය පිළිබඳ ඉල්ලීම් පරම සහ විශ්වීය (absolute and universal) වන අතර පොදු අරමුණු හමුවේ එකඟතාවයකට පැමිණීමට තරම්වත් අපට එකිනෙකා අ‍‍න්‍යෝන්‍යව හඳුනාගත ‍නොහැකිවා පමණක් ‍නොව අප‍ගේ අනන්‍යතාවය සමාජ අරමුණු වලින් නිදහස්ව අපට නිශ්චය කරගැනීමට ද හැක. ‘යුක්තිය සමාජ සංස්ථාවන්ගේ ප්‍රථම සද්ගුනය ය’ යනුවෙන් රෝ(ව්)ල්ස් යුක්තිය ප්‍රමුඛත්වයකට ගෙන ඒම සංස්ථාවනට ආදේශ කළහැකි සදාචාරාත්මක නියමයන් පිළිබඳ අදහසක් ගෙන දෙන්නේ වුවද සැන්ඩල් එය අර්ථදක්වන්නේ රෝ(ව්)ල්ස් යුක්තිය පිළිබද පදනම අනුභූති – උත්තර නොවන අතරම සියලුම සමාජ සහ ඓතිහාසික අනිශ්චිතතාවන්ගෙන් (contingencies) නිදහස් වියයුතු බවට පාර-ආචාරධාර්මික කියාපෑමක් කරන බවය. මෙහිදී සැන්ඩල් ලිබරල්වාදීන්ගේ අයීතින් පිළිබඳ දේශපාලනය (politics of rights) වෙනුවට පොදු යහපත පිළිබඳ දේශපාලනයක් (politics of the good) යෝජනා කරයි. අපගේ අනන්‍යතාවයන් ගොඩනැගෙන්නේ යහපත පිළිබඳ අප සතු සංකල්පය මගින් වන නිසා යුක්තිය ප්‍රමුඛ වියනොහැකි බව සැන්ඩල් දක්වා සිටී. එබැවින් අයිතීන් පිළිබඳ දේශපාලනය විශ්වාස කිරීම සම්බන්ධයෙන් ඔහු සැක පළකරයි.

සැබැවින්ම රෝ(ව්)ල්ස්ගේ මෙම පුද්ගල අයිතීන් මත පදනම් වූ යුක්තිය පිළිබඳ න්‍යාය එරෙහිව පවතින්නේ අන් කිසිවකට නොව පොදු යහපත හෝ ප්‍රජාවේ යහපත යන අදහසට බව පැහැදිළිය. ලිබරල්වාදය සතුව නැත්තේද යහපත පිළිබඳ කිසියම් හෝ අදහසකි. පුද්ගලයන්ට තම ස්වයං-උවමනාවන් වැඩි දියුණු කරගැනීම සදහා අනෙකාගේ අයිතීන්වලට ගරුකිරීම නම් සීමාව තුළ තම අයිතීන් කැමති අයුරින් කියාවේ යෙදවිය හැකි අතර මෙම අයිතීන් යොදා ගන්නා අකාරය (යහපත) පිළිබඳව කිසිදු ප්‍රමිතියක් නැත. ඇලස්ඩෙයර් මැකින්ටයර් (Alasdair MacIntyre) ට අනුව ලිබරල්වාදයට කිසිම පදනමක් නැති අතර සදාචාරය විනිශ්චය කිරීම සදහා පදනමක් සැපයිය හැකි (මිනිසා වනාහී තම සැබෑ අරමුණ නිර්වචනය කෙරෙන සාරයක් සහිත සත්ත්වයෙක් ලෙස සළකනු ලබන) සමාජ ජීවිතයක් තුළ එයට පදනම් විය නොහැක. එමනිසා ලිබරල්වාදීන්ට ඔවුන්ගේ මූලධර්මයන් සදහා ව්‍යාජ නියතතාවක් පැතීමට හෝ සදාචාරය වනාහී හුදු පුද්ගල මතයක් පිළිබඳ කරුණක් බවත් එබැවින් කිසිම සදාචාරයක් නැති බවත් පිළිගැනීමට හෝ සිදුව ඇත. ජෝන් රෝ(ව්)ල්ස් පිළිබඳ තම විවේචනයේදී මැකින්ටයර් ආභාෂය ලබන්නේ “පුද්ගලයාගේ යහපත සහ ප්‍රජා‍‍‍වේ යහපත යන ‍‍දෙකම පිළිබඳ අවබෝධයක් තම මූලික බැම්ම කරගත් ප්‍රජාවක් තුළ” යුක්තිය මුල් බැස තිබේ යන ඇරිස්ටෝටලියානු අදහසිනි.

මේ අනුව යුක්තිය සහ අයිතිය පිළිබඳ අදහසක් අපට ලැබිය හැක්කේ යහපත පිළිබඳ අදහසක් සහිත ප්‍රජාවක, දේශපාලන ජීවිතය තුළ සහභාගීවිම තුළින් බව පැහැදිළිය. නමුත් ප්‍රජාවේ යහපත පිළිබද රෝ(ව්)ල්ස් ගේ සංකල්පනය උපයෝගිතාවාදී (utilitarian) එකකි. එය පුද්ගල යහපත්වල එකතුවක් පිළිබඳ අදහසකි.

මේ අයුරින් බලන කළ සමකාලීන ලිබරල්වාදය පුද්ගල නිදහස පිළිබඳ එහි අවධාරණය ද සමගින් පුද්ගල අයිතීන් සහ ස්වයං-උවමනාවන් පිළිබඳ සංකල්ප හැර අන් සියලු සංකල්ප ද සමගින් පොදු මහජන කටයුතු පිළිබඳ තලය අතුගා දමනු ඇතැයි ස්කීනර් වැනි දේශපාලන දාර්ශනිකයන් පවසන විට දේශපාලන ව්‍යාපාරයක පරමාදර්ශයක රෝ(ව්)ල්සියානු පුද්ගලයාට දෙන තැන ගැන තවදුරටත් සංවාද කළයුතු නොවේද? මන්ද, අපට ප්‍ර‍තිරෝධය දැක්වීමට සිදුව ඇත්තේ කොමියුනිස්ට්, ෆැසිස්ට් හෝ වෙනත් ආකාරයක ආඥාදායකත්වයකට නොව අප දේශපාලනය තුළ අධිපති බවට පත්වෙමින් තිබෙන පුද්ගලවාදී ලිබරල් අගනාකම් වලටම නිසාය. මිනිසුන් දේශපාලනයෙන් දුරස්වන්නේත් පරිභෝජනවාදය නැගී එන්නේත් මෙම පුද්ගලවාදය අධිපතිවාදය දරණ ලෝකය තුළ නොවේද? එබැවින් අප හමුවේ පවතින ගැටලුව වන්නේ පුද්ගල යහපත වෙනුවට සාමූහික යහපත යනුවෙන් අරගල කිරිම නොවේද?

දිමුතු සමන් වෙත්තසිංහ - ‘කතිකා’ අධ්‍යයන කවය