‘සිරි අයියා‘ නමින්, ජවිපෙ දේශපාලනය කළ අය අතර ආදරයට, ගෞරවයට බඳුන් වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා නික්ම ගොසිනි. පසුගිය 15 වැනිදා ඔහු නෙත් පියා ගන්නා මොහොත වන තුරුම ලංකාවේ දේශපාලනය සම්බන්ධව අවදියෙන් සිටියේය.
උපන් ගම කළුතර වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා ජවිපෙ දේශපාලනය සමග සම්බන්ධ වූයේ 1969 වසරේදීය. ඒ ජවිපෙ ආරම්භ වූ මුල් අවුරුදු කිහිපයයි.
1971 අපේ‍්‍රල් අරගලයට ක‍්‍රියාකාරී ලෙස දායක වූ ඔහු එහිදී ප‍්‍රචලිත වූයේ ‘රොස්මිඞ් අමරේ‘ නමිනි. 71 නඩුවෙන් වසර දෙකක සිර දඬුවමක් ඔහුට නියම විය. 71 අරගලයේ ප‍්‍රකට චරිත බොහොමයක් අදද රටේ විවිධාකාරයෙන් ප‍්‍රචලිතය. ඔවුන්ගෙන් ඇතැමෙක් 71 අරමුණුවලින් අපට පැන්නා පමණක් නොව ඊට සපුරා එරෙහි මාවත්වලටද පිවිස සිටිති. සිරගත ජීවිතය තුළ ඇතැම්හු විප්ලවය අතහැර පෞද්ගලික ජීවිතවලට පල්ලම් බැස්සාහ. එහෙත් සෝමවංශ අමරසිංහ සහෝදරයා නොපසුබටව, තමන් විශ්වාස කළ අරමුණ වෙනුවෙන් කැප වූයේය. 1976 වසරේ පමණ සිට රහසිගත තත්වයන් යටතේ ජවිපෙ යළි ගොඩනැඟීමේ කාර්යයට ඔහු උර දුන්නේය.
සෝමවංශ අමරසිංහ සහෝදරයා ජවිපෙ මධ්‍යම කාරක සභාවට පත් වූයේ 1978 වසරේදීය. ජවිපෙ යළිත් අසීරුතම අඩියකට ඇද වැටුණේ 1982 ජනාධිපතිවරණයෙන් පසුව ගෙවී ගිය කාලය තුළයි. සංවිධායකයන් රැසක් මන්දෝත්සාහී වී ජවිපෙ හැර යමින් තිබිණි. 1983 ජයවර්ධන ආණ්ඩුව විසින් කළුජූලියට මුවා වී ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් තහනම් කිරීම තත්වය තවත් දරුණු කළේය. ඒ අසීරුතම මොහොතේ වගකීම කරට ගත් පිරිස අතර සෝමවංශ අමරසිංහ සහෝදරයාද විය. 1984 වසරේදී ඔහු ජවිපෙ දේශපාලන මණ්ඩලයට තෝරා පත් කර ගැනුණි. සෝමවංශ අමරසිංහ සහෝදරයා සතු වූ ඉංග‍්‍රීසි භාෂා දැනුම ජවිපෙට ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමේදී බෙහෙවින් ඉවහල් විය.
1989 වසර අවසානයෙ වන විට රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සියලූ දෙනා ඝාතනය කර තිබිණි. දිවි ගලවා ගැනීමට සමත් වූ එකම දේශපාලන මණ්ඩල සභිකයා වූයේ සෝමවංශ අමරසිංහ සහෝදරයා පමණි. ඔහු රහසිගතව රටින් පිට වී දිවි රැක ගත්තේය.
ලංකාවෙන් නික්ම ගිය පසුව ඔහු ජවිපෙ යළි ගොඩනැඟීමේ කාර්යයට උර දුන්නේය. අසීරු මර්දනකාරී තත්වයන් යටතේ ලංකාව තුළ ජවිපෙ ගොඩනැඟීමට ක‍්‍රියාකාරී වූ කිහිප දෙනා සමග සම්බන්ධීකරණය පවත්වා ගනිමින් සෝමවංශ අමරසිංහ සහෝදරයා විශේෂ මැදිහත් වීමක් කළේය. 1990 වසරේ සිට ජවිපෙ නායකයා වූයේ ඔහුය.
වරෙක තමන් නායකත්වයට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ‘මම පක්ෂෙ වාටියේ ඉඳලා ආපු මිනිහෙක්‘ කියාය.
1990 දශකය ඇරඹෙන විට ලංකාවේ පමණක් නොව ලෝකයේම වාමාංශික දේශපාලනයට අලූත් අභියෝග රැසක් එල්ලවී තිබිණි. සෝවියට් දේශය බිඳ වැටී තිබූ අතර චීනයේ ගමන ගැන බරපතළ සැක සංකා මතු වී තිබිණි. ධනවාදය ලෝකයේ අවසාන සමාජ ක‍්‍රමය බවට මතවාද ගෙනෙමින් තිබිණි. මේ නිසා සමාජවාදය කෙරෙහි තිබූ විශ්වාසයේ යම් බිඳ වැටීමක් තිබිණි. 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව වේගයෙන් ලංකාවේ ඇතැම් ක්ෂේත‍්‍රවලට ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය කඩා වදිමින් තිබූ අතර 1980 දශකය ලංකාවේ ජනතාව නවලිබරල් ධනවාදයේ මැජික් බලමින් සිටි කාලයක් විය. එපමණක් නොව, අති කෲර, ම්ලේච්ඡ මර්දනයකින් හා ඒ භීෂණයේ වගකීම ජවිපෙ මත පටවා තිබිණි. ඒ නිසා සමාජය තුළ ජවිපෙ පිළිබඳව නිර්මාණය වී තිබුණේ භයංකර චිත‍්‍රයකි. 1994න් පසුව ජනතාව අතරට ගිය ජවිපෙ සාමාජිකයන්ට එම භයංකර මනෝභාවයන්ගේ පරාවර්තනයන් මොනවට පැහැදිලි විය.
ජවිපෙ යළි ගොඩනැඟිය යුතුව තිබිණි. ඒ සඳහා සියල්ල මුල සිට ඇරඹිය යුතුව තිබිණි. සියල්ල වෙනස් කළ යුතුව තිබිණි. සියල්ල අලූතින් ආරම්භ කළ යුතුව තිබිණි. මේ සියල්ල මැද තවමත් සමාජවාදය විශ්වාස කළ, ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවීමට සූදානමින් සිටි සිය ගණනක් දෙනා රට පුරා විසිරී සිටීම වාසියක් විය. මේ වෙනස්වීමේ අවශ්‍යතාව මැනවින් හඳුනාගෙන සිටි පිරිස අතර සෝමවංශ අමරසිංහ සහෝදරයාද විය.
ජවිපෙ සාමාජිකයන් කොණ්ඩ, රැවුල් කපා, පිරිසිදු අලුත් ඇඳුම් ඇඳ ජනතාව අතරට යා යුතු යැයි ඔහු කීවේය. ක‍්‍රියාමාර්ගවල පමණක් නොව පෙනුමේද වෙනසක් අවශ්‍ය බව ඔහු විශ්වාස කළේය. ඒ වෙනස අත්‍යවශ්‍ය විය. 1994 ප‍්‍රසිද්ධ දේශපාලනයට කඩා වැදීමේ තීරණය පිටුපසද ඔහුගේ සක‍්‍රිය මැදිහත්වීමක් තිබිණි.
එහෙත්, ජවිපෙ ක‍්‍රමානුකූලව වමේ මාවතෙන් පිට පැනීමේ මූල බීජයන්ද ඒ සමඟම රෝපණය වූවාද යන්න විමසා බැලිය යුත්තකි. සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ පවුල් පසුබිමත් සමාජ පසුබිමත් විසින් යම් සිංහල-බෞද්ධ ජාතිකවාදී නැඹුරුවක් සහිත මනෝභාවයක් ඔහුට උරුම කර දී තිබිණි. සමාජවාදය පිළිබඳ විශ්වාසයේ වෘක්ෂය ඔහු තුළ ලියලා වැඩුණේ එම පසෙහිය. ඒ බව නොයෙක් වර විවෘතව පෙනෙන්නටද තිබිණ. ජවිපෙ ආරම්භයේ සිටම යම් ජාතිකවාදී ලක්ෂණවල මුහු වීමක් ද තිබිණි. උපක‍්‍රමික පියවරක් ලෙස සන්ධාන දේශාපාලනය කෙරෙහිද ඔහුගේ විශ්වාසයක් තිබිණි.
නායක මණ්ඩලවල සිටින සාමාජිකයන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් සහ නැඹුරුතා දේශපාලන ව්‍යාපාර ගමන් ගන්නා මාවත තීරණය කිරීමෙහිලා බලපෑමක් කරන බව පැහැදිලිය. සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ රුචි අරුචිකම් ජනතා විමුක්ති පෙරමුණ 1990න් පසුව ගමන්ගත් මාවත තීරණය කිරීමේදී වැදගත් සාධකයක් වූ බව පෙනෙන්නට තිබේ. එහෙත් එකම සාධකය එය පමණක් නොවේ.
ජවිපෙට අලුත් මුහුණුවරකින් වැඩ කිරීමට සිදු විය. යුද්ධය විසින් දෙමළ කතා කරන බහුතරයක් සිටින උතුර, නැගෙනහිර සෙසු ප‍්‍රදේශවලින් වෙන් කොට තිබිණි. ඒ තත්වය තුළ ජවිපෙ ලියලා වැඩෙමින් තිබුණේ සිංහල බහුතරයක් ජීවත් වූ ප‍්‍රදේශවලය. යුද්ධයේ බලපෑමද තදින්ම ජවිපෙට බලපෑවේය. යුදමය තත්වයක් දක්වා වර්ධනය වී තිබූ ජාතික ගැටලූව විසින් පන්ති ප‍්‍රශ්නය යට ගසා තිබෙන බවත් ඒ නිසා පළමුව යුද්ධය නිමා කළ යුතුව තිබෙන බවත් සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇතුළු ජවිපෙ නායකත්වයේ තිබූ එක් බරපතළ විශ්වාසයක් විය. යුද්ධය විසින් සිංහල ජනතාව තුළ ස්වෝත්තමවාදයක් සහ දෙමළ විරෝධයක් වර්ධනය කර තිබූ අතර එයද ජවිපෙට යම් බලපෑමක් කළේය.
මේ සියලූ තත්වයෙන්ගේ බලපෑමට ලක්ව සිටි ජවිපෙ 2000 වසර පමණ වන විට ජාතිකවාදී මනෝභාවයක් සහිත මධ්‍යම පාන්තිකයන්ගේ ආකර්ශනයට ලක් විය. එය විසින් ජවිපෙට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලැබිණි. එබැවින් ධනපති පක්ෂ අතර තිබූ බල අරගලය තුළ යම් තීරණාත්මක භූමිකාවකට අවතීර්ණ වීමේ ‘හැකියාව‘ ජවිපෙට ලැබිණි. පරිවාස ආණ්ඩු හරහා සන්ධාන දේශපාලනයටත් ධනපති පක්ෂවල බල අරගලයේ කොටස්කරුවකු බවට පත් වීමටත් ජවිපෙට ඉඩ විවර විය. මේ සෑම තැනකදීම සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ මැදිහත්වීමක්ද තිබිණී.
නායක මණ්ඩවලවල සාමාජිකයන්ගේ රුචිකත්වයන් විසින් කරන බලපෑමෙන් වන හානිය අවම කර ගැනීමටත් ඔවුන් උපායමාර්ගික මාවතෙහි රඳවා ගැනීමටත් වගකීම ඇත්තේ ව්‍යාපාරයටය. ඒ නිසා ජවිපෙ සුළු ධනේෂ්වර පක්ෂයක් බවට පත් වීමේ සහ ධනපති දේශපාලන පක්ෂවල අතකොළුවක් බවට පත්වීමේ ගමනෙහි යම් වගකීමක් සෝමවංශ අමරසිංහ සහෝදරයාද භාර ගත යුතු නමුත් එය මුළුමහත් දේශපාලන ව්‍යාපාරය විසින් වගකිව යුතු ගැටලූවකි. කෙසේ වුවත් තත්වයන් විසින් තල්ලූ කරන ලද මාවතේ ජවිපෙ දිගින් දිගටම ගමන් ගත් අතර තවදුරටත් ගමන් කරමින් සිටී. එම තත්වයන් විසින් තල්ලූ කරන ලද මාවත සෝමවංශ අමරසිංහ සහෝදරයාගේද රුචිකත්වය විය.
සෝමවංශ අමරසිංහ සහෝදරයා සමාජවාදය තදින් විශ්වාස කළේය. ඔහු තමන්ගේ මුළුමහත් ජීවිතයම ඒ වෙනුවෙන් කැප කළේය. දැන් විවිධ පෞද්ගලික ව්‍යාපෘතිවල සිර වී සිටින සහ හුදු විවේචකයන් පමණක් බවට පත් ව සිටින ඇතැමුන් සෝමවංශ සහෝදරයා 1978දී ජවිපෙන් ඉවත්වීමට සූදානමින් සිටි අයකු යැයි පවසනු ඇසේ. ඔවුන්ට කීමට තිබෙන්නේ ඒ විවේචනය සෝමවංශ අමරසිංහ සහෝදරයාට එල්ල නොකර තමන්ටම එල්ල කර ගන්නා ලෙසයි. තවත් පිරිසක් කියන්නේ ජීවිතයේ අවසන් වසර කිහිපය ‘ඕනෑම කුණක් කාගෙන‘ ජවිපෙටම වී සිටියා නම් මිනී පෙට්ටියේ හතර කොණේ බිම බලා ගත් රතු සෙබළුන් හතර දෙනකු ඇතුළු විප්ලවීය ආචාරය සහිතව මිහිදන් වීමට තිබූ බවයි. එහෙත් සෝමවංශ අමරසිංහ සහෝදරයා කහට බිබී ආගිය තොරතුරු කතා කරමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවා දැමීමට සූදානම් අයකු නොවේ. තමන්ගේ මළ සිරුරට ලැබෙන විප්ලවීය ආචාරයට වඩා ඔහු ජීවත්ව සිටියදී කළ හැකි දේ කළ යුතු යැයි විශ්වාස කළේය. තම ජීවිතයම කැප කළ ව්‍යාපාරය, තමන් නායකත්වය දුන් ව්‍යාපාරය ගමන් ගන්නා මාවත නිවැරදි නැතැයි හැඟුණු වහාම තනිවම පාරට බැස අලුත් ව්‍යාපාරයක් ගොඩනැඟීමේ ධෛර්යය ඔහුට තිබිණි. ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් බරපතළ විවේචන තිබියදීත් ඔහුගේ ඒ ධෛර්යයට ආචාර කළ යුතුය. ජවිපෙ නායකයා ලෙස දහස් ගණනකගේ අත්පොළසන් මැදින් වේදිකාවට නැඟි ඔහුට ඊට සතියකට පසුව මාලඹේ බස් නැවතුමේ තවත් සගයකු සමග අත් පත‍්‍රිකා බෙදීමට තරම් ධෛර්යයක් තිබිණි. ඒ නිසා සෝමවංශ අමරසිංහ සහෝදරයා සම්බන්ධව නැගෙන අදේශපාලනික කන්කෙඳිරිගෑම් කෙරෙහි අනුකම්පා කරනවා හැර අන් කළ යුතු දෙයක් නොවේ.
අවසාන වශයෙන් කිව යුත්තේ සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ භූමිකාව අගතිගාමී මනෝභාවයෙන් තොරව කියවා බැලිය යුතු බවයි. එය වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට තමන් වැරදි බොහෝ ගණනක් නිවැරදි කර ගැනීමට ආලෝකය සපයනු ඇත.
ජනක තුෂාර
http://lankaviews.com/