Saturday, September 6, 2014

සමාජ සංවර්ධනයේ කෙටි මාර්ග තුළ ජවිපෙ දියවීම

බලයේ සිටී රනිල් වික්‍රමසිංහගේ යූඑන්පී රෙජීමය පෙරලා දැමීම සදහා 2003 දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ මහ සෙනග ගාල්ලේ සිට කොළඹ බලා ආවේ පා ගමනකිනි. එම ජන බලය පෙරටුව ආ ජ.වි.පෙ. එවකට ප්‍රචාරක ලේකම් වූ විමල් වීරවංශගේ සුරතේ පිරිත් නූලක් බදිමින් ඔවුන්ව පිළිගත්තේ ප්‍රේමදාස රෙජීමයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ කුප්‍රකට ඇල්ලේ ගුණවංශයි. එම අවස්ථාවේ ගත් ඡායාරූපයක් රාවය පුවත් පත තම මුල් පිටුවේ පළ කරමින් එය හදුන්වා තිබුණේ ගුණවංශ හා වීරවංශ ලෙසිනි. උත්ප්‍රාසය දනවන මේ ඡායාරූපය හා එහි හැදින්විම ලාංකික වාමාංශික ව්‍යාපාරය බරපතල ප්‍රශ්න කිරීමකට ලක් කළත් ඒ පිළිබදව සමාජ සංවාදයක් නම් ඇති නොවුණි.

හැත්තේ එකේ කැරුල්ලේ ද සටන්කරුවකු වූ අදටත් ධනපති විරෝධි පෙරමුණේ සටන් සගයකු වන ගම්බදව ජීවත්වන පෙර පරම්පරාවේ සහෝදරයකු සමග ඒ දිනවලම ජනතා විමුක්ති පෙරමුණේ මේ අනග රුගුම ගැන කතා කළ විට තම ආත්මයම පීඩිත පන්තියේ විමුක්ති අරගලය වෙනුවෙන් කැප කළ මේ සහෝදරයා ගත් කටටම පැවසුවේ රට පාවාදෙන වික්‍රමසිංහ හා බැලූ කළ ගුණවංශගේ වැරුද්දක් නැති බවය. හදිසි නීතියට පක්ෂව ඡන්දය දෙන, බෙදුම්වාදය පරාජය කිරීම සදහා දේශප්‍රේමී බල මුළු තර කිරීම ගැන කතා කරන, ධනපති නායකයන් හා කදවුරු බදින ජනතා විමුක්ති පෙරමුණේ මේ දේශපාලන හැසිරීම ගැන පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු සමග කතා බස් කරන විට ඔහුගේ ප්‍රතිචාරය ද පෙර කී ගැමි සහෝදරයාගේ ප්‍රතිචාරයට නොවෙනස් වුණි.

ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටීය ද ඒ සදහා දේශපාලන අරගලයන්හි යෙදුන ද ඔවුන්ගේ න්‍යාය පත්‍රය තුළ සංයුක්ත විකල්පයක් තිබුණා යැයි පැවසිය නොහැක. ධනපති පන්තියේ අභ්‍යන්තර මත ගැටුම් හා පසුබෑම් දේශපාලන සංසිද්ධින් කර ගනිමින් ඒවා මත තම දේශපාලන න්‍යාය පත්‍රය සකස් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ එකම ඉලක්කය විය. ඒ අනුව ඔවුන් පදනම් වූයේ සුභ සාධනවාදය ඉලක්ක කර ගත් රාජ්‍ය කේන්ද්‍රීය ආණ්ඩු ක්‍රමයක් මතය. ඒ අර්ථයෙන් ඔවුන්ගේ සමාජවාදයේ ආකෘති ගත පදනම වූයේ 1970/77 ආණ්ඩුවයි.

ලාංකික සමාජයේ පන්ති සැකැස්ම සලකා බැලූවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරීම මාක්ස් ලෙනින්වාදයට පරස්පර වූ බව ස්ථිරය. ඒ නිර්මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකාරීත්වයට එරෙහිව අභ්‍යන්තරයෙන් පිපිරීමක් ඇතිවීම තාර්කික හා න්‍යායාත්මකය. ජනතා විමුක්ති පෙරමුණේ මෙම අභ්‍යන්තර පිපිරීම බෝල්ෂෙවිකයන් දැකිය යුත්තේ ධනාත්මක ප්‍රගතිශීලී දේශපාලන නැගී සිටීමක් ලෙස මිස බටහිර කුමන්ත්‍රණයක් හෝ බෙදුම්වාදයේ නව සම්මුතියක් ලෙසින් හෝ නොවේ.

වතුර බේසමේ කිඹුලන් දැකීමට බොහෝ වාමාංශිකයන් ලොල් කළත් සමාජවාදී දේශපාලන භාවිතයක් තුළ සමාජ සංවර්ධනයේ පදනම තහවුරු වන්නේ පැරුන්න ඉවත්ව ගොස් අලුත් දේ පැමිණීම මත හා එය ප්‍රගතිශීලී ලෙස දැකීම මතිනි. ඒ අර්ථයෙන් ජනතා විමුක්ති පෙරමුණ තුළ මේ වනවිට ඇති වී පවතින මතවාදී කතිකාව සුභවාදීව දැකීමට එම මතයන්ට එකගවීම හෝ එරෙහිවීම හෝ බාධාවක් නොවේ.

විප්ලවවාදී පක්ෂයක් තුළ මතවාද ඇතිවීම එම මතවාද දරන්නන්ගේ පශ්චාත් භාගයට පා පහර එල්ල වීමට හේතුවක් නොවේ. එසේම එම මතවාද දරන්නන් බටහිර ඔත්තුකරුවන්, බෙදුම්වාදීන්ගේ අතකොළු හෝ ආණ්ඩුවේ සුරතලුන් ලෙස හංවඩු ගැසීමට තරම් දේශපාලන වැරදිකරුවන් වන්නේ ද නැත. සමාජවාදය ලාංකික පොළොවේ බිහි කිරීමට අයිතිය ඇත්තේ තමන්ට බවත් ඒ සදහා තමන්ට අභියෝග කිරීමට නවකයන්ට අයිතියක් නොමැති බවත් ආදී වූ ගෝත්‍රිකවාදී කතා සමාජවාදී භාවිතයන්ට එකගවන්නේ කෙසේදැයි තම තමන්ම විග්‍රහ කර ගැනීම වඩා අර්ථාන්විතය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සියළුම පාර්ශ්වයන් වඩා වැඩි වගකීමකින් මාක්ස් ලෙනින්වාදී භාවිතාවක හැසිරෙමින් මතුවී ඇති දේශපාලන පිපිරීම සංවාදයට ලක් කළ යුතුය.

1978 දී ලාංකික සමාජයේ ඇති වූ මහා දේශපාලන තැන් මාරුව (Paradigmatic shift) තුළ පන්ති විග්‍රහය වලංගුව පවතිමින්ම පන්ති දේශපාලනය අහෝසිවී ගියේ මාක්ස්වාදී දේශපාලනයට නව මානයන් එක් කරමිනි. තවදුරටත් සම්ප්‍රදායි මානයන්ගෙන් සමාජය දෙස බලමින් ඒ සමාජයේ සම්ප්‍රදායි සමාජවාදය ස්ථාපිත කිරීමට තැත් කිරීම සමාජ සංවර්ධනයේ ගතිකය තේරුම් නොගැනීමේ දුර්වලතාවකි.

පැරණි දේ ඉවතලමින් නව දේවල් මතුකරමින් සමාජ සංවර්ධනයේ පිමි පනින්නා වූ අනවරත අරගලයේ දී මහජනතාව බලමුළු ගැන්වීම තවදුරටත් වලංගු වන්නේ නැත. ඒ අනුව පිකටීන් කරමින් වර්ජනය කරමින් ගිරිය පුප්පා අභියෝග කරමින් කරන්නා වූ සම්ප්‍රදායි දේශපාලනය ඉවත දමා විකල්පයන් තෝරා ගැනීමට තරුණ සමාජවාදී කොටස් මහන්සිවීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ අර්ථයෙන් න්‍යාය ප්‍රගුණ කරමින් ද එය භාවිතයට යොදා ගනිමින් ද බරපතල අධ්‍යයනයකට යා යුත්තේ සමාජය වෙනස් කිරීමේ උපාය උපක්‍රම යළි නිර්මාණය කර ගැනීමටයි. පාර්ලිමේන්තුවාදී සමාජවාදීන් කොතෙක් උත්සාහ කළත් ජනතා අරගලයන් මගින් වර්ථමාන ධනපති රාජ්‍ය ආකෘතිය හෝ සමාජ ආකෘතිය හෝ වෙනස් කිරීමේ හැකියාව අල්ප වූවකි. ඒ නිසා තවදුරටත් ජනතා අරගලයන් තුළ සමාජවාදීන් කොටුවීම අර්ථ විරහිත උපක්‍රමයකි.

සමාජය තුළ රික්තයක් ඇතිවී ඇත්තේ ධනපති දේශපාලනයේ හිඩැස් පිරවීමට යැයි වරදවා තේරුම් නොගත යුතුය. එමෙන්ම ධනේශ්වර රාජ්‍ය ආකෘතිය රුක ගනිමින් සුභසාධනවාදී ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමටත් නොවේ. සමාජවාදීන් අරගල කළ යුත්තේ තමන්ටම ආවේනික බලයකින් යුත් දේශපාලන, ආර්ථික හා සමාජීය අවකාශයක් නිර්මාණය කර ගැනීමටයි. ඒ සදහා පැරණි ධනපති සමාජ සංවිධාන හා මතවාදී බලවේගයන් සමග අරගල කළ යුතුය.

එසේ අරගල කිරීමට මාක්ස්වාදය මත පදනම් වෙමින් දැනුම එකතු කර ගත යුතුය. ඒ දැනුම බෙදා හදා ගනිමින් න්‍යායාත්මක තලය තුළ අරගල කිරීමත් ඒ තුළින් ධනේශ්වර මතවාදයන්ට, මතවාදයන්ගේ ප්‍රචාරක උපකරණයන්ට හා සමාජයීය මූලයන්ට ශක්තිමත් අභියෝගයක් එල්ල කිරීම තරුණ සමාජවාදීන්ගේ ප්‍රධාන දේශපාලන ඉලක්කය විය යුතුය.

ගෝලීය ධනේශ්වරය තවදුරටත් විග්‍රහ කළ යුත්තේ පැරණි ජාතික ධනේශ්වරය විග්‍රහ කළ මානයන්ගෙන් නොවේ. ඒ අනුව සුභ සාධනවාදී රාජ්‍යය රුක ගැනීම සදහා ප්‍රතිසංස්කරණවාදී දේශපාලන අරගලයන්හි යෙදීම මේ යුගය තුළ සැබෑ සමාජවාදීන්ගේ ඉලක්කය වන්නේ නැත. සංයුක්ත සමාජවාදී වැඩපිළිවෙලක් සහිත මහජන ව්‍යාපාරයක් මේ මොහොතේ දී ධනේශ්වර සංවර්ධනය තේරුම් ගත යුත්තේ ධනාත්මකවයි.

පූර්ණ ධනේශ්වර වර්ධනයක් තුළ මිනිසා අත්පත් කර ගන්නා සියළු ජයග්‍රහණයන් ඊලග සමාජය වන සමාජවාදී සමාජය නිර්මාණය කර ගැනීමට අනිවාර්ය වන බව මාක්ස් ප්‍රකාශ කළේ ය. ඒ අර්ථයෙන් ලාංකික සාමාජය ධනේශ්වර සංවර්ධනය අත්පත් කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් වූ තියුණු කියවීමක් සමාජවාදීන්ට අත්‍යවශ්‍ය වේ.

සමාජ සංවර්ධනයේ දී ඉලක්කයන් කරා යෑමට කෙටී මාර්ගයන් නොමැති බව කාල් මාක්ස් පැහැදිලිවම ප්‍රකාශ කළේ ය.මේ මොහොතේ දී එතිහාසික හා ගෞරවනීය මෙහෙවරක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සහෝදර සහෝදරියන් මහන්සි වී අවබෝධ කරගත යුත්තේ එයයි.

කේ.ජී.පිලිප් ශාන්ත